Lakshmi’s NTR (2019) by Indeewari Herath
ජේෂ්ඨ NTR මැතිතුමා ගැන නොදන්න තෙලිඟු සිනමා රසිකයෙක් ඉන්න විදියක් නැහැ. තෙලිඟු සිනමාවේ දෙවියන් විදියට සලකන්නේ NTR හෙවත් NT රාමා රාඕ මැතිතුමාව. ඇත්තටම තෙලිඟු චිත්රපට කියලා දෙයක් තියනවා කියලවත් ඉන්දියාවේ අනිත් කොටසේ මිනිස්සු නොදන්න කාලෙක තෙලිඟු සිනමාව හොඳින් මුල් බැසගත් සිනමා කර්මාන්තයක් බවට පත් කරන්න ඔහු ලබා දුන්නේ අනුපමේය දායකත්වයක්. අද වෙද්දි හින්දි සිනමාවටත් නැතුවම බැරි වෙන මට්ටමට තෙලිඟු සිනමාව ඉන්ඩස්ට්රි එකක් විදියට ලොකු තැනකට ඇවිල්ලා තියනවා නම් ඒ NT රාමා රාඕ මහත්තයා දාපු ශක්තිමත් අත්තිවාරම නිසා තමයි. මෙතනදි තව කෙනෙක් ඉන්නවා අමතක කරන්න බැරි, ඒ අක්කිනේනි නාගේස්වර රාඕ මහත්තයා. හරියටම බැලුවොත් ඒ දෙන්නම එකතු වෙලා කරපු දේවල් නිසා අද සිනමා කර්මාන්තයක් විදියට තෙලිඟු සිනමාව ඉහළ තැනක තියනවා.
NTR කියන නම තෙලිඟු සිනමාව ඇතුලේ විතරක්ම නෙවෙයි සමස්ත ඉන්දියානු සිනමාව ඇතුලෙත් රන් අකුරෙන් ලියවෙන නාමයක්. මොකද කිව්වොත් ඔහු ක්රිශ්නාගේ ඉඳලා රාවණා වෙනකන් තියන චරිතත් සාමාන්ය මනුස්ස ලෝකේ තියන ප්රේමවන්තයගේ චරිතත් රඟපාලා තියන, චිත්රපටියක් වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන පුද්ගලයෙක් කියලා කියනවා. ඒ වගේම ඔහු තමන්ගේ රසිකයින්ට දෙවියන්ට වගේ සලකපු නළුවෙක්. ඒක නිසාම NTR කියන නම සාමාන්ය නළුවෙකුට එහා ගියපු දෙවියෙක්ගේ නමක් වගේ මිනිස්සු සැලකුවා. පසුකාලීනව දේශපාලනේට ආවට පස්සෙත් ඒ ජනප්රියත්වය, මිනිස්සු අතර තිබුනු ගෞරවය NTR මහත්තයගේ ශක්තිය වුනේ.
ඔහුගේ ජීවිත කතාව ඇසුරින් චිත්රපට තුනක් නිශ්පාදනය වෙලා තියනවා දැනට.
1. NTR; Kathanayakudu
මේක කවුරුත් බලලා ඇති. NTR මහත්තයා රජයේ සේවකයෙක් විදියට ඉඳලා ඒ රස්සාව අතෑරලා සිනමාවට පිවිසීම, නළුවෙක් විදියට ස්ථාවර වීම, ජනප්රියතාවය ලැබීම, චිත්රපටි නිශ්පාදනය ආරම්භ කිරීම වගේ එතුමාගේ සිනමා ජීවිතයේ මූලික සිද්ධි මේ චිත්රපටියෙන් විස්තර කරනවා.
2. NTR; Mahanayakudu

මේ චිත්රපටි දෙකම අධ්යක්ෂණය කරලා තියෙන්නෙ ක්රිෂ්. ඒ වගේම නිෂ්පාදනය NBK Films වෙනුවෙන් නන්දමූරි බාලක්රිෂ්ණා. ඇත්තටම බැලුවොත් තමන්ගේ තාත්තා වෙනුවෙන් දරුවෝ කරපු දෙයක්, විශේෂයෙන්ම බාලයියා ගාරු. මේ චිත්රපටි වල ඉන්නේ එකම පිරිසක්. NTR මහත්තයා විදියට බාලයියා ගාරු, එතුමගේ බිරිඳ විදියට විද්යා බාලන් මැඩම් ඇතුලුව තව දක්ෂ නළු නිළියන් රාශියකගේ දායකත්වය ලැබිලා තියනවා මේ චිත්රපට දෙකට.
බාලයියා ගාරුට හැමෝම හිනාවෙනවා. නමුත් ඒ හිනා වෙන අයට දුන්න හොඳ කනේ පාරක් විදියට මේ චිත්රපටි ද්විත්වයේ ඔහුගේ රඟපෑම සලකන්න පුලුවන්. NTR මහත්තයගේ තරුණ කාලේ ෆිල්ම්ස් බලපු කෙනෙක් ඉන්නවා නම් දන්නවා ඇති, ඇත්තටම බාලයියා ගාරු NTR මහත්තයා වගේම ඉන්නවා මේ ෆිල්ම්ස් වල.
( අර කෝච්චිය නවත්තන එක නම් ප්රශ්නේ එහෙම අද කාලෙට ගොන් වගේ පේන සිද්දි ඕන තරම් ඔය අනිත් අයගේ චිත්රපටි වලත් තියනවා. සමහර විට NTR මහත්තයගේ පරණ චිත්රපටි වලත් ඇති.)
හැබැයි මේ චිත්රපටි දෙකටම වඩා වෙනස් තුන්වන චිත්රපටිය Lakshmi’s NTR. මේක NTR පවුලේ නිශ්පාදනයක් නෙවෙයි.
මේ චිත්රපටියෙන් කියවෙන්නේ 1989 ඉඳලා 1996 වසරේ ඔහු මිය යන තෙක් NTR මහත්තයාගේ ජීවිතේ සිදුවුන දේවල් ගැන. විශේෂයෙන්ම ඔහුගේ ජීවිතේට සම්බන්ධ වුනු ලක්ෂ්මී පාර්වතී කියන කාන්තාව ගැන.
මේ චිත්රපටියට විශාල වශයෙන් බාධාකිරීම් ආවා. මොකද මෙය තිරගත කරන්න සූදානම් වෙද්දි ආන්ද්රා වල ලෝක් සභා මැතිවරණය පවත්වන්න ඔන්න මෙන්න තිබුනේ. අනිත් අතට මේක බයෝ පික් එකකට එහා ගියපු දේශපාලනික චිත්රපටයක්. ඒක නිසා ඉන්දීය මැතිවරණ කොමිසම අධිකරණය හරහා වාරණයක් ගත්තා මේ චිත්රපටිය චන්දෙ අස්සේ තිරගත කරන එක වලක්වමින්, හැබැයි ඒ ආන්ද්රා ප්රදේශ් වලට අදාලව. පවුලේ අයගෙනුත් විරෝධයක් තිබුනා මේ ගැන. නමුත් කවුරුත් එළියට ඇවිල්ලා ලොකුවට මෙනවත් කිව්වේ නැහැ. මොකද කිව්වොත් මේ චිත්රපටියේ තියන දේවල් ඇත්ත කිව්වත් බොරු කිව්වත් ඒකෙන් එයාලට වෙන්නේ අවාසියක් විතරයි වෙන්නේ.
1986 වසරේ තිබුන මැතිවරණයෙන් NTR මහත්තයා පරදිනවා.
සාමාන්යයෙන් පරාජිතයෙකුට ලැබෙන හුදකලාව ඔහුටත් නොඅඩුව ලැබෙනවා. මොකද ඒ වෙද්දි එතුමගේ දරුවෝ හැමෝම වගේ විවාහ වෙලා වෙන වෙනම ජීවත් වෙනවා. ඒ වගේම බිරිඳත් මිය ගිහිල්ලා. සාමාන්ය මනුස්සයෙක්ටත් හුදකලාව දරාගන්න අපහසුයි,තමන්ගේ ජීවිතේ වැඩි කාලයක් මිනිස්සු අතරම ගත කරපු ඔවුන්ගේ ආදරය ගෞරවය ලබපු කෙනෙකුට කොහොමත් ඒ වගේ නොසලකා හැරීමක්, හුදකලාවක් දරන්න අමාරුයි. ඒ වගේ තත්වෙකදි තමයි ලක්ෂ්මී පාර්වතී කියන කාන්තාව NTR මහත්තයා මුණගැහෙන්න ඇවිල්ලා ඔහුගේ ජීවිත කතාව ලියන්න අවසර ඉල්ලන්නේ, ඇයට අවසරය ලැබෙනවා. චිත්රපටය ආරම්භ වෙන්නේ ඇය නිවසට ඇතුල් වෙන තැනින්. මුහුකුරා ගිය වයසක ඇතිවෙන්න පුලුවන් විදියේ ප්රේම කතාවක් මේ චිත්රපටියේ තියනවා.

ඊළඟට රඟපෑම ගැන කිව්වොත් ඉතාම ඉහළ මට්ටමක නළු නිළියන්ගේ රඟපෑම තියනවා කියලා කියන්න පුලුවන්. මේ නළුවෝ නිලියෝ කවදාවත් දැකපු අයත් නෙවෙයි. නමුත් ඔවුන්ගේ දක්ෂතාවය නම් විශිෂ්ඨයි.
විශේෂයෙන්ම මෙහි NTR මහත්තයා විදියට රඟපාන P. විජයි කුමාර් කියන නළුවා ගැන කියන්නම ඕන. ඔහු වේදිකා නාට්යය නළුවෙක්. ඒ නිසාම වෙන්න ඇති චරිතය තුළට කිඳා බැහැලා NTR වගේ දැවැන්ත පුද්ගලයෙක්ව නැවතත් ජීවමාන කරන්න ඔහුට හැකියාව ලැබෙන්න ඇත්තේ. ඔහුගේ රඟපෑම හමුවේ Mahanayakudu චිත්රපටියේ බාලයියාගේ රඟපෑමත් දෙවෙනි තැනට ඇද වැටෙනවා. විශේෂයෙන්ම දේශපාලන වේදිකාවේ රැස්වීම් වල කතා පවත්වද්දි NTR මහත්තයගේ දකින්න ලැබෙන body language එක එ් විදියටම මේ විජයි කුමාර්ගේ රංගනය හරහා දකින්න පුලුවන්. ඒ වගේම අනිත් සියලුම නළු නිළියෝත් තමන්ගේ චරිත වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරලා තියනවා.
Lakshmi’s NTR චිත්රපටය රාම් ගෝපාල් වර්මා (RGV) සහ Agasthya Manju දෙන්නගේ අධ්යක්ෂණයක්. RGV කියන්නේ නම් බොහොම ප්රසිද්ද අධ්යක්ෂකවරයෙක්.
මේ චිත්රපටිය ආන්ද්රා ප්රදේශ් වල තිරගත කරගන්න රාම් ගෝපාල් වර්මාට යුද්දයක් කරන්න සිද්ද වුනා. මොකද කිව්වොත් ඔහු ගලක් විසි කරලා තිබුනේ ලොකු දෙබරෙකට. NTR මහත්තයාගේ දෙවෙනි දුව විවාහ වුනේ චන්ද්ර බාබු නායිදු සමග. ඔහු තමයි ආන්ද්රා ප්රදේශ් වල මහ ඇමති විදියට හිටියේ මේ චිත්රපටිය තිරගත කරන්න හදනකොට. එක පැත්තකින් මේ චිත්රපටියේ තියනවා මාමයි බෑණයි අතරේ වුනා කියන සීතල දේශපාලනික යුද්දය ගැන.

දැන් කවුරුහරි මේ ලිපියේ ටයිට්ල් එක බලලා ඊට පස්සේ ගූගල් සර්ච් කරලා ඔය තියන මොනාහරි ඕපදූපයක් හොයාගෙන මේ ෆිල්ම් එක බලන්නෙත් නැතුව බණින්න හිතෙනවා නම් පොඩ්ඩක් ඊට කලින් ඔලුවේ මුදුන අතගාලා බලාගන්න. මොකද ඒ වැඩිදෙනෙක් Jr NTR නිසා, එයාගේ චිත්රපටි නිසා ඒ පවුලේ බැතිමත්තු වුනාට ආන්ද්රා,තෙලෙඟානා වල මිනිස්සු ලොකු NTR මහත්තයාගේ චිත්රපටි බලලා තියනවා. මේ චිත්රපටියේ IMDb අගය විතරක් තියනවා 7.3 !!
මිනිස්සු මේ චිත්රපටිය ප්රතික්ශේප කරලා නැහැ. ඒ වගේම මේකෙන් ඒ මිනිස්සුන්ගේ දෙවියන්ට අපහාසයක්, අවනම්බුවක් වෙලා තිබුනා නම් මෙහෙම අගයක් එන්නෙත් නෑ.
මේ අවුරුද්දේ අන්තිම හරියේ ගොඩක් හොඳ චිත්රපටි ආවා. මේකත් ඒ ගොඩට දාන්න පුලුවන්. මම ඉස්සරලම Lakshmi’s NTR බලලා තමයි අනිත් ෆිල්ම්ස් දෙක බැලුවේ. ඒවා බලන්න හිතුනෙත් මේක බැලුවට පස්සේ ආව පෙළඹවීම නිසා. බයෝ පික් එකක්ම නෙවෙයි, සාමාන්ය චිත්රපටියක් වගේ දැනුනේ.
සිංහල සබ් ගැන නම් කියන්න දන්නෑ. ලැබෙන්නත් පුලුවන් නොලැබෙන්නත් පුලුවන්. හොඳ චිත්රපටියක් අහුවුනොත් සබ් හොය හොයා ඉන්න පුරුද්දක් නැති නිසා මම නම් මේක බැලුවා. කැමති අය බලන්න. සුපුරුදු වෙබ් සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
විශේෂයෙන්ම කියන්න ඕන මම මෙතන කතා කලේ Lakshmi’s NTR චිත්රපටිය ගැන විතරයි. එහෙම නැතුව මේ දෙන්නා සම්බන්ධව තියන ජනප්රවාද සහ ඕපාදූප ගැන හොයලා බැලුවේ නැහැ.
Lakshmi’s NTR චිත්රපටියේ තියන මගේ හිත ගත්ත සිංදුවකින් උපුටා ගත්ත පරිවර්තනයක් එක්ක ඉවර කරන්නම්.
………………………………………………………
“ජය හෝ පරාජය අපගේ මනසේ ඉපදෙන සිතුවිලිය,
ඒවා ජීවන ගමනේ කොටසක් පමණි.
අවර දිග අඳුර සූර්යාට එරෙහිව සිටිමින් එහි ආලෝකය වසා දමයි.
නමුත් හිමිදිරියේ පෙරදිගින්
උදා ආලෝකය පැමිණ අඳුර පළවාහරියි.
ඔබේ දෑසින් ඉදිරිය දැකිය හැකි නම්,
ජයග්රහණය ඔබ සතු වෙයි”