Kuruthi (2021) Malayalam
78% liked this film Google users
Spoiler Alert!
බහුතරයක් දකුණු ආසියාතික සහ ඇතැම් මැදපෙරදිග රටවල් දරුණු ලෙස මුහුණපාන සමාජ දේශපාලනික ගැටළුවක් ආගම්වාදය සහ ජාතිවාදය. සරලවම පැවසුවොත් එකම කාසියේ දෙපැත්ත. මෑත කාලීනව පමණක් ඈත නොව අතීතයේ පටන් ආගම මුවාවෙන් සිදුවන බොහෝ ක්‍රියාවන් පිලිබඳ ප්‍රශ්නාර්ථයක් අපට ඉතිරි කරනවා. සැබවින්ම අප ආගම සහ ජාතිය පදනම් කර ගෙන සිදු කරන ඇතැම් ඇදහිලි සහ ක්‍රියාවන්හි, සැබෑ අර්ථයක් තිබෙනවාද යන ව්‍යාකූල හැඟීම අප තුලත් හට ගන්නවා. ඇතැම් අන්ධ භක්තීන් සහ ඇදහිලි තුල ඇත්තේ අමානුෂික ස්වභාවයක් මිස මනුෂ්‍යත්වයක් නොව. Kuruthi හරහා අධ්‍යක්ෂක මනු වොරියර් සහ තිර රචක අනීෂ් පල්යාල් ඉදිරිපත් කරන්නේ, ආගම හමුවේ මනුෂ්‍යත්වය අහිමි කර ගත් සමාජ කොටසක් පිලිබඳව.
ඉබ්‍රාහිම් (ඉබ්රූ) යනු කඳුකර ගම්මානයක රබර් වත්තක රැකියාවක නියැලෙන තරුණයෙක්. ඔහු ජීවත් වන්නේ තම පියා වන මූසා සහ බාල සහෝදරයා වන රසූල් සමගයි. මීට වසරකට පෙර ඉබ්රූ විශාල ඛේදවාචකයට මුහුණපා තිබෙනවා. එම ඛේදවාචකය වන්නේ එම ප්‍රදේශයේ මෝසම් වැසි කාලය තුල ඇති වූ නායයෑමකින්, ඔහුගේ බිරිඳ සහ කුඩා දියණිය මියගොස් තිබෙනවා. එම කම්පණය ඉබ්රූ තුල තවමත් රැඳී තිබෙනවා. ඉබ්රූගේ පවුල මුස්ලිම් ජාතික පවුලක්. ඔවුන්ගේ නිවසට කෑම ලබා දෙන්නේ සුමති නම් අසල්වැසි කාන්තාවක් විසින්. සුමති යනු හින්දු භක්තික කාන්තාවක්. අගම්වාදයක් සහ ජාතිවාදයක් ඔවුන් තුල මතුපිටින් පෙන්නුම් කරන්නේ නැත. ඉතාම සාමකාමී ලෙස ඔවුන් ආශ්‍රය කරනවා. එක් රාත්‍රියක ඉබ්රූගේ පවුලට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදු වනවා. සත්‍යන් නම් පොලිස් නිලධාරියෙක් ඉබ්රූගේ නිවසට බලෙන් ඇතුළු වනවා. ඔහුගේ අත්අඩංගුවේ සිටින විෂ්ණු නම් තරුණයෙකුද ඔහු රැගෙන එනවා. විෂ්ණු යනු මුස්ලිම් ජාතිකයෙකු ඝාතනය කිරීමේ වරදට අත්අඩංගුවට ගත් තරුණයෙක් සහ ඔහු අන්තවාදී හින්දු භක්තිකයෙක්. සත්‍යාන් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිස් බාරයට රැගෙන යන මොහොතේ යම් නන්නාදුනන කල්ලියකගේ ප්‍රහාරයට ලක්වනවා. එයින් පලා ආ ඔවුන් අවසන් වන්නේ ඉබ්රූගේ නිවස තුලයි. රාත්‍රී ආහාර වේල ඉබ්රූගේ නිවසට රැගෙන ආ සුමතිද මෙම නිවසේ කොටු වනවා. සියල්ලම කණපිට පෙරලෙන්නේ කම්මුගේ නම් ඉබ්රූගේ හිතවතෙකු සමග ලායික් නම් පුද්ගලයෙකු එම අතරවාරයේ නිවසට පැමිණීමත් සමගයි. අන්තවාදී ආගමික භක්තිකයින් තුලින් පතුරුවන වෛරය සහ එය හමුවේ ඉස්මතු අමානුෂික මනුෂ්‍ය ස්වභාවය කතාවේ ඉදිරි දිග හැරුම තීරණය කරනවා.
මෙහි අධ්‍යක්ෂක මනු වොරියර් සහ තිර රචක අනීෂ් පල්යාල් ඔබට ඉදිරිපත් කරන්නේ ඉන්දියාව තුල තිබෙන කාලීන මාතෘකාවක්. එම මාතෘකාව වන්නේ හින්දු මුස්ලිම් ගැටුම. වොරියර් සහ පල්යාල් මෙම අන්තයන් ද්විත්වයම ඉතා අපක්ෂපාතීව පෙන්නුම් කරනවා. හින්දු අන්තවාදීන් විශ්වාස කරන්නේ තමාගේ වර්ගයාගේ සුබසාදනය පමණයි. ඉස්ලාම් අන්තවාදීන් විශ්වාස කරනු ලබන්නේ තම වර්ගයාගේ සුබසාදනය පමණයි. පාට කණ්නාඩි ගලවා බැලුවහොත් ඔවුන් එකම කාසියේ දෙපැත්ත. Kuruthi යන යෙදුමෙහි අර්ථය වන්නේ චාරිත්රානුකූල ඝාතනය. මෙය මෙම කතාව තුලද සිදුවන දෙයක්. එම චාරිත්රානුකූල ඝාතනය සිදු වන්නේ ආගම මුවාවෙන්. චිත්‍රපටය මෙම චරිත තුලින් සේම නරඹන්නා තුලින්ද පැණ නගන ප්‍රධාන කාරණයන් කිහිපයක් වන්නේ: තමා අදහන දෙවි දේවතාවන්ගේ සහ කුරානය මුවාවෙන් සිදු කරන සෑම දෙයකම තාර්කික බවක් තිබෙනවාද?, ඔබ විශ්වාස කරන සදාචාරයන්ට පටහැනි වූවත් එය දෙවියන්ගේ සහ ආගම් පොතේ නියෝගයක් ලෙස අන්ධ භක්තියෙන් පිලිගන්නවාද? සහ එය මනුෂ්‍යත්වය තුරන් කරමින් වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඉස්මතු කරත් තමා අදහන දෙවියන්ගේ සහ ආගම් පොතේ නියෝගයක් ලෙස ඔබ අන්ධ භක්තියෙන් අනුමත කරනවාද?.
Kuruthi ප්‍රධාන වශයෙන් ගොඩ නැගෙන්නේ home invasion thriller චිත්‍රපටයක් ලෙස. ආරම්භයේදී තුල පෙන්නුම් කළ ඇතැම් සිදුවීම් ප්‍රධාන වශයෙන් වටහා ගැනීමට නොහැකි වූවත්, එය චිත්‍රපටය ගලා යාමේදී අපූරුවට සම්බන්ද කර තිබෙනවා. ආරම්භයේදී සමකාමී සම්බන්දකම් ලෙස පෙන්නුම් කළ ආශ්‍රයන් සැබවින්ම ආගම මුවාවෙන් වෙනස් වන අයුරු මෙම චිත්‍රපටය තුල පෙන්නුම් කළා. විශේෂ අවධානයක් යොමු කරන්න සුමති නම් අසල්වැසි කාන්තාවගේ චරිත වර්ධනය දෙස. කලක් එකම කෑම පිගාන බෙදා ගත් පුද්ගලයින් පවා ඔබත් මමත් නොසිතන ආකාරයට ඔවුන්ගේ ඇතුලාන්තයේ සිටින ජාතිවාදී සත්වයාව පෙන්නුම් කරනවා. Kuruthi චිත්‍රපටයේ විශිෂ්ටත්වයට ප්‍රධානම කාරණයක් මෙහි ප්‍රභල චරිත වර්ධනය. ආරම්භයේ අපට හමුවූ සෑම චරිතයක්ම ඉතා අපූරුවට චිත්‍රපටය තුල වර්ධනය කර තිබෙනවා.
මෙයට රංගනයෙන් දායක වූ Roshan Matthew, Prithviraj Sukumaran, Srindaa, Manukkoya, Murali Gopi සහ Shine Tom Chacko ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා. චිත්‍රපටය තුල ඇති ප්‍රචණ්ඩකාරී වාතාවරණය සහ ගුප්ත බව පෙන්නුම් කිරීමට, Abhinandhan Ramanujam ගේ විශිෂ්ට සිනමාකරණය ප්‍රභල දායකත්වයක් ලබා දුන්නා. ඒ සමගම Jakes Bejoy ගේ පසුබිම් සංගීතය සේම Akhilesh Mohan ගේ සංස්කරණයද චිත්‍රපටය තුල කැපී පෙනුණ අංගයක්.
ආගම මුවාවෙන් වපුරන වෛරය සහ ප්‍රචණ්ඩත්වය පිලිබඳ අපක්ෂපාතී කියවීමක් Kuruthi. එම නිසා මග නොහැර නරඹන්න.
Written by: Anish Pallyal