Kurup (2021) malayalam by Ramitha Vimukthi
Spoiler Alert!
Srinath Rajendran විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයට පාධක වන්නේ, කේරලයේ බරපතල ගණයේ අපරාධයකට වගකිය යුතු Sukumara Kurup සම්බන්දවය. මොහු විසින් එම චෝදනා ලත් අපරාධය සිදු කරන්නේ 1984 ජනවාරි මස 21 වනදාය. නමුත් නීතියෙන් සහ පොලිස් මෙහෙයුම් තුලින් ඉතා සූක්ෂම ලෙස පලා යාමට මෙම පුද්ගලයා සමත්වී තිබෙනවා. ඒ අනුව 1984 සිට අද වනතුරු, වසර 37 ක් පුරාවට මෙම පුද්ගලයාව සොයා ගැනීමට හැකියාවක් ලැබී නැත. මෙය බරපතල ගණයේ අපරධයක් සම්බන්දව කතාවක් වූවත්, මෙහි අභ්‍යන්තරය සොයා යාමට තරම් කුතුහලයක් Sukumara Kurup යන චරිතය තුල ඇතුලත් වනවා. චිත්‍රපටය සමස්තයක් වශයෙන් ප්‍රබන්දයක් රැසක් ගොඩනගා ඇති බව සඳහන් කළ යුතුයි. විශේෂයෙන්ම මෙම චරිතයේ අභ්‍යන්තරය අප අවමයෙන්ම දන්නා නිසා, කුරුප් සම්බන්දව විවිද ප්‍රබන්දයන් ගොඩ නැගීමට විශාල අවකාශයක් නිර්මාණය වනවා. මෙම චිත්‍රපටය තුල එය එලෙසින්ම සිදුවී තිබෙනවා.
මෙම චිත්‍රපටය ආරම්භයේදී අපට පෙන්නුම් කරන්නේ, පාසැල් උසස් අධ්‍යාපනය නිසි ලෙස සමත් නොවූ ගෝපි ක්‍රිෂ්ණන් (Sukumara Kurup) නම් තරුණයෙක් තම දෙමාපියන්ගේ බල කිරීම මත ගුවන් හමුදාවට සම්බන්ද වන සිදුවීම් පෙලක්. ගෝපි ක්‍රිෂ්ණන්ව අපට හඳුන්වා දෙන මුල්ම දර්ශනයන් තුල හැඳින්විය හැක්කේ දඟකාර සහ එක්තරා ආකාරයක නන්නත්තාර ගති පැවතුම් ඇති තරුණයෙක් ලෙසටයි. තමාගේ ඉදිරි ජීවිතය පිලිබඳ විශාල අරමුණක් නැති, ගුවන් හමුදාවට සම්බන්දවී තම දඩබ්බර ගති පැවතුම් සමග කාලය කා දමන පුද්ගලයෙකු අපට මතුපිටින් දැක ගත හැකිය. ගුවන් හමුදාව තුල පුහුණු වන කාලයේ ගෝපි ක්‍රිෂ්ණන්ගේ මිත්‍රයා වන්නේ පීටර් සහ ශාරදා නම් හෙදියක් සමග ප්‍රේම සම්බන්දයක්ද ආරම්භ කරනවා. ගුවන් හමුදාවේ සේවය කිරීමට බැඳුණු මෙම තරුණයා, අවසානයේ මුළු ඉන්දියාව තුලම බරපතල අපරාධකරුවෙකු ලෙස නම් කරනු ලබන්නේ කුමන හේතුවක් මතද?. ඔහු එවැනි තැනකට පත්වූයේ කෙලෙසද?. මෙය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.
ආරම්භයේදී සඳහන් කළා සේම Sukumara Kurup ගේ චරිතය, විශාල වශයෙන් චිත්‍රපටය තුල ප්‍රබන්ධ කර ඇත. ඒ සමගම ඉන්දීය වාණිජමය චිත්‍රපට අංගයන් පෙළක්ම මෙම නිර්මාණයට ඇතුලත් කර ඇත. එම නිසා මෙම චරිතය සම්බන්දව යථාර්තවාදී හෙළිදරව්වක් මෙයින් බලාපොරොත්තු නොවන්න. මෙහි දුල්කර් සල්මාන් රඟ දැක්වූ Kurup ගේ චරිතයේ, චිත්‍රපටය තුල ඉදිරිපත් කළ පෙළගැස්ම සම්බන්දව විවේචනයක් මා තුල තිබෙනවා. මෙය නළු දුල්කර් සල්මාන්ගේ අඩුපාඩුවකට වඩා මෙහි තිර රචනය තුල ඇති හිඩැසක් ලෙසයි මා වටහා ගත්තේ. Kurup ගේ චරිතය අපට ආරම්භයේදී හඳුන්වා දෙන්නේ ඉතාම දඩබ්බර ගති පැවතුම් ඇති තරුණයෙකු ලෙසටයි. මෙම හඳුන්වා දීම මාගේ මතය අනුව සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. විශේෂයෙන්ම එම දඩබ්බර ගති පැවතුම් සමගම ඔහු අනපේක්ෂිත සහ යම් මට්ටමක ගුප්ත චරිතයක් යන ඉඟියද ලබා දීමට මෙම තිර රචනය සමත්වී තිබෙනවා. නමුත් මෙම චිත්‍රපටයේ පළමු හෝරාවෙන් අනතුරුව, මෙහි අනිකුත් සහාය චරිත හඳුන්වා දීමත් සමග Kurup ගේ චරිතය කෙමින් ගිහිලී ගොස් තිබුනා. විශේෂයෙන්ම චිත්‍රපටය මැද භාගය තුල එක් තැනකදී Kurup ගේ චරිතය දීර්ග කාල වේලාවක් තිරයෙන් බැහැර වනවා. මෙයින් එම චරිතය තුල ගොඩ නගා තිබුනු කුතුහලය, සැලකිය යුතු ප්‍රමාණයකට බිඳ වැටුනා. එම නිසා Kurup ගේ චරිතයට වඩා මෙහි සහාය චරිතයන් අවධානය දිනා ගැනීමේ ඉහල ප්‍රවනතාවයක් දක්නට ලැබුනා. එම නිසා Kurup ගේ චරිතයේ සැබෑ හෙළිදරව්ව පෙන්නුම් කරන විට, එය බලාපොරොත්තු වූ ආකාරයේ ප්‍රභල හෙළිදරව්වක් වූයේ නැත. මෙය චිත්‍රපටයේ කැපී පෙනුණු අඩුපාඩුවක් ලෙස නම් කිරීමට සිදු වනවා.
මෙම චිත්‍රපටය තුල යොදාගන්නේ nonlinear narrative ශෛලයක්. ඒ අනුව අතීතය සහ වර්තමාන සිදුවීම් අතර යාවෙමින් ගලා යන චිත්‍රපටයක් මෙය. මෙය සමස්තයක් වශයෙන් සාර්ථක වූවත් ඇතැම් අවස්ථාවන් තුලදී ව්‍යාකූල බවක් පෙන්නුම් කළා. ආරම්භයේදී කතාව ගලා යාම මදක් දියාරු වූවත් පළවෙනි අඩ හෝරාව අවසන් වීමට පෙර, එය නිසි තැනට ගමන් කිරීමට සමත් වුනා. ඒ අනුව කතාවේ කුතුහලය බිඳ වැටුනේ සියුම් තැන් කිහිපයක් තුල පමණයි. මෙහි තවත් කැපී පෙනුණ සාධකයක් වූයේ 70/80 දශකය පෙන්නුම් කළ පසුතල නිර්මාණයන් සහ ඇඳුම් නිර්මාණකරණයයි. මෙය ඉතා අවධානයෙන් සිදු කර ඇති බව දක්නට ලැබුනා. ඒ සමගම මෙහි සිනමාකරණයද ඉතා ඉහල මට්ටමක තිබුනා.
මෙහි රංගනයන් පිලිබඳ සලකා බලද්දී, දුල්කර් සල්මාන් සමස්තයක් වශයෙන් එම චරිතය සාර්ථකව ඉදිරිපත් කරත්, මෙහි තිර රචනය එම චරිතයට හිමිවිය යුතු පන්නරය නිසියාකාරව ලබා දීමට සමත්වී නැත. එහි ප්‍රතිපලයක් වශයෙන් Indrajith Sukumaran සහ විශේෂයෙන්ම Shine Tom Chacko ගේ රංගනයන් වඩාත් කැපී පෙනීමට සමත් වුනා. මෙහි වඩාත්ම සාර්ථක රංගනය ඉදිරිපත් කළේ Shine Tom Chacko. ඔහුගේ චරිතය තුල ඇතුලත්ව තිබූ අනපේක්ෂිත, රළු සහ ගුප්ත චරිත ලක්ෂණයන් ඉතා විශිෂ්ට ලෙස ඔහුගේ රංගනය හරහා ඉස්මතු වුනා.
ඉහත සඳහන් කළ කාරණයන්ට අනුව Kurup යනු සමස්තයක් වශයෙන් රස විඳිය හැකි නිර්මාණයක් වූවත්, Sukumara Kurup නම් එම චරිතයට තිරයේ ප්‍රභල පන්නරයක් ලබා දීමට අසමත් වූ නිර්මාණයක්.