Kumbalangi Nights (2019) Malayalam

Kumbalangi Nights (2019) Malayalam

 

? මේ කුම්බලගිනයිට්ස් ගැනම නොවේ..!! ?
*********************************************

කුම්බලගිනයිට්ස් කිව්වම හැමෝටම මතක් වෙන්නේ ෆෆාගේ අද්විතීය රංගනය, නැත්තං ඒ සහෝදර බැඳීම.. එහෙමත් නැත්තං සමාජය කියන පුළුල් වපසරිය ඇතුලේ තියෙන කුඩාම ඒකකය වෙන #පවුල කියන සාධකය ඇතුලේ එහා මෙහා දිවෙන පොදු සමාජ යථාර්ථයන්..!! නිර්මාණකරුවා ඒක හරි සියුම්ව අපේ හදවතට ස්පර්ශ කරන්න ගත්ත උත්සාහය සාර්ථක වෙලා තියෙනවා කිව්වොත් තමා නිවැරදි.

ඉතිං, මේ ෆිල්ම් එක ගැන දහස් ගණන් ලිපි පලවෙලා ඇති. ඕන තරම් ඇගයීම් කරලා ඇති. කොටින්ම මේ ෆිල්ම් එක නොබලපු කෙනෙක් නැතුවත් ඇති. ඒ තරමට මිනිස්සු අතරට ගියපු සාර්ථක මලයාලම් නිර්මාණයක් තමා කුම්බලගිනයිට්ස් කියන්නේ. කව්රු හරි නවකයෙක් හොද මලයාලම් ෆිල්ම්ස් ටිකක් නිර්දේශ කරන්න කියලා කිව්වොත්, 75%ක් වගේ දෙනා නිර්දේශ කරන ලිස්ට් එකේ අනිවාර්යයෙන්ම මේ ෆිල්ම් එක තියෙනවා කියලා මම බය නැතුව කියනවා.

ඉතිං, ඒ වුනත් මම අද කතා කරන්න යන්නේ මේ ෆිල්ම් එක ගැන නෙවේ.. මේ ෆිල්ම් එකේ ඉන්න අපූරු #සහෝදරයන්_සිව්දෙනාව_මට_දැනුනේ_කොහොමද_කියලා. ඇත්තටම මේ ෆිල්ම් එකේ සහෝදරයන් ලෙස රගපාපු සිව්දෙනාම එකකට එකක් නොදෙවැනි ලෙස තම භූමිකාව හරියටම ඉටු කරා කිවොත් හරි. ඒ අතරින්,

#සජී
******

ඔයාලට මතකනම් සජී, ඔහුගේ මිතුරා මිය යාමෙන් පසු ඔහුගේ බිරිඳගේ පය පාමුල වැටී හඬන දර්ශනය, එහෙමත් නැත්තං සහෝදරයාගෙන් ගුටි කාපු අවස්ථාව. හිතේ තියෙන දුක තුනී කරගන්න උපදේශනයට යොමු වෙන අවස්ථාව, ඒ තමා සජී කියන චරිතය අපේ හදවතේ ගැඹුරෙන්ම පලපැදියම් කරපු චිත්‍රපට අවස්ථාවන්.

සාමාන්‍යයෙන් ගත්තොත්, පවුලේ වැඩිමලා කියන්නේ ආත්ම අභිමානය කියන දේ හිසේ මුදුනින්ම පලදන් ඉන්න චරිතයක්. ඒ අභිමානය පළුදු වුනාම කෙනෙක්ගෙන් දිස්වෙන හැගීම් ප්‍රකාශනය, අපේක්ෂා භංගත්වය, ලැජ්ජාව, වගේ කාරණා ගොඩක් සජීගේ මුහුණේ ඒ වෙලාවේ ජීවමාන උනා.. දෙබස් වලට පුලුවන් වචන හරඹයක් කරලා ප්‍රේක්ෂකයා ඇද බැද තබාගන්න. නමුත්, සජී කියන චරිතේ ඇතුලේ දෙබස් පරයා යමින් ඔහුගේ භාව ප්‍රකාශනය බලවත් උනා කියලයි මට හිතෙන්නේ..!

#බොනී
********
විවිධ අදහස් මත ගැටුම් නිසා ගෙදරින් දුරස් වෙලා ඉන්න උත්සාහ දරණ චරිතයක්නේ. නමුත් ඔය මොන විරසකය උනත් ලේ බැඳීම ඉස්සරහා අසරණ වෙනවා. සාමාන්‍යයෙන් නිහඬ චරිතයක් සාමාජ ආශ්‍රයෙන් ඈත් කරලා කලබලයෙන් තොර චරිතයක් බවට පත් කරන්න නිර්මාණකරුවාට හැකියාව තිබුනත් බොනී කියන්නේ වෙනස්ම ස්වරූපයක් ආරෝපණය කරපු, තරුණයන් අතර ජනප්‍රිය චරිතයක්. සජී පොලිසියට අරන් ගිය වෙලාවෙත් අනෙක් සහෝදරයන්ට වඩා බොනීව ඉස්මතු කරලා පෙන්නන්න උත්සාහයක් ගත්තා වගේ කියලා මට හිතුනේ.

#ෆ්‍රැන්කි
**********
ගෙදර ඉන්න බාලයා උනත් වගකීම කියන දේ උපරිමය දරන කෙනා තමා ෆ්‍රැන්කි. ගෙදරක අම්මා කියන චරිතය ෆ්‍රැන්කි තුලින් මැවී පෙනෙන්න ගන්නවා. සජී මියගිය මිතුරාගේ බිරිඳ හා දරුවා නිවසට රැගෙන එනකොට, බොනී විදෙස් තරුණිය නිවසට රැගෙන එනකොට බොබීගේ ඉවසීම පුපුරලා යනකොට ෆ්‍රැන්කි උත්සාහ ගන්නේ ගෙදර අම්මා වගේ මැදිහත් සිතින් හැමදේම තුලනය කරගන්න. පවුලේ සබඳතා යාකරන දම්වැල ඔහු කියලයි මට හිතෙන්නේ.

#බොබී
*******
ගොඩක් දෙනෙක්ට බොබිගේ නිර්ව්‍යාජ හිනාව නම් මතකයේ රැදිලා ඇති. බේබි එක්ක ආදර සබඳතාවක් පවත්වන් යන ඔහුගෙන් විටෙක ලාමක බවක් පෙන්නුම් කලද තවත් විටෙක තද ස්වරූපයක් පෙන්නුම් කරනවා. මම ඔහුගේ කැමතිම රංගන අවස්ථාව තමා සහෝදරයන් එක්ක අම්මා මුණ ගැහෙන්න යන අවස්ථාව. මිනිස්සු වෙන අපි සමාජයේදී ඕන තරම් ප්‍රතික්ෂේප වීම් වලට මුහුණ දීලා ඇති. ඒත්, අම්මා කියන කෙනා ගාව දරුවෙක් වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.. දරුවෙක්ට වඩා වැදගත් වෙන කිසිවක් අම්මෙක්ට නෑ.. ඒත්, බොබීගේ අවසන් බලාපොරොත්තුවත් සුන් වෙන්නේ අම්මා බොබීලගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරාම. ඒ වෙලාවේ බොබීගේ මුහුණේ තියෙන අසරණකම අපිට දැනෙන්න ගන්නවා. #බේබීව හිමිකරගන්න ඔහුට තියෙන එකම පිලිසරණ අම්මා. ඒ මොහොතේ ඒ හීනය ඔහුගෙන් දුරස් වෙන බව අපිට දැනෙනවා.

බොබිගෙන් කොයි කාට වුවද උදව් ඉල්ලගන්න පුලුවන් වුනත්, ඒ දේම රාජකාරියක් විදියට හිතලා කරලා දෙන්න කිව්වොත් ඔහු අකැමති බව මේ ෆිල්ම් එකේ, එක තැනකදී කියවෙනවා. ඒ වගේ සිතුම් පැතුම් තියෙන පුද්ගලයෙක් බේබිගේ ආදරය ඉස්සරහා වෙනස් වෙන්න ගන්නවා කියලා අපිට පේනවා. සජී හා බොනී පිටස්තර කාන්තාවන් නිවසට වද්දාගන්නවිට සමාජය හමුවේ අවනම්බු වීමට සිදුවේයැයි හිතන්නෙත් ඒ දේවල් තුලින් බේබී අහිමි වෙන බව ඔහු හොදාකාරවම දන්නා නිසයි. මේ දේවල් දෙබස් වලින් කියාපානවට වඩා හැසීරීම් තුලින් අපිට අවබෝධ කරවන්න මේ අයියා මලෝ සිව්දෙනා උත්සාහ ගත්තා.

ඉතිං කුම්බලගිනයිට්ස් කියන්නේ විටෙක ෆෆා අභිබවමින් සහෝදරයන් ඉස්මතු වූත්, සහෝදරයන් අභිබවමින් ෆෆා ඉස්මතුවූත් සුපිරි මායා සිත්තමක්.

#කාලා බලපුවම රංගනය අතින් #ටොවිනෝද හොද #සුමේෂ්ද හොද කියලා ප්‍රශ්නයක් ඔලුවට ආවා, #සුෆියුම් සුජාතයුම් බලපුවම සංවේදි වෙන්න ඕන සුෆි, සුජාතා ගැනද නැත්තං සුජාතාගෙන් අවුරුදු 10ක් ආදරේ නොලබපු ස්වාමිපුරුෂයා ගැනද කියලා හිතාගන්න බැරි වුනා. මේ ෆිල්ම් එකත් ඒවගේ තමා.

හැමදාම කියනවා වගේ අදත් කියන්නම්, මලයාලම් කියන්නේ තනිකරම පිස්සුවක්.. හොද කරන්න ම බැරි පිස්සුවක්..!!!

මේ කුම්බලගිනයිට්ස් එකේ සහෝදරයන් ගැන මගේ අත්දැකීමයි..!!! ඔබේ අත්දැකීමත් බෙදාගනිමුද???

දිලිනි රත්නායක

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *