Kolaigaran (2019) Tamil

Kolaigaran (2019) Tamil

88% liked this film Google users

ශර්ලොක් හෝම්ස් මිනීමැරුමක් කළා නම් ඒක කොහොම වේවි ද?

අපි හැමෝම ගොඩක් ආසාවෙන් කියවපු ශර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතාවල එක තැනකදි ශර්ලොක් හෝම්ස් දොස්තර වොට්සන්ට කියනවා තමන් අපරාධකාරයෙක් නොවුණෙ ලන්ඩන්වල මිනිස්සුන්ගෙ වාසනාවට කියල.

අපි කොහොම කිව්වත් හැමදෙයක්ම වෙන්නෙ මොනව හරි හේතුවකට කියල කතාවකුත් තියෙනවනෙ.

ඇත්තටම ඒ වගේ තීක්ෂණ බුද්ධියක්, තියුණු නිරීක්ෂණයක්, ශරීර ශක්තියක්, ක්ෂේත්‍රය ගැන දැනුමක් තියෙන කෙනෙක් අපරාධයක් කරන්න පෙළඹුණොත් ඒක මොන වගේ අත්දැකීමක් වේවි කියලද ඔබ හිතන්නෙ?

සිනමාවෙ මේ වගේ අවස්ථාවලට හොඳ උදාහරණ අපට හමුවෙලා තියෙනවා. ඉතින් Kolaigaran චිත්‍රපටයත් ඒකට හොඳ උදාහරණයක්.

ඕනම Crime Thriller චිත්‍රපටයක කතාවක් ගත්තම ඒක දිවයන්නෙ මූලිකවම ප්‍රශ්න කීපයක් වටා කියල අපට දැකගන්න පුළුවන්.

කවුද?
කවදා ද?
කොහොමද?
ඇයි?

සරලවම කෙරෙන්නෙ මෙන්න මේ ප්‍රශ්නවලට උත්තර හොයන එක. මේකෙන් පළවෙනි ප්‍රශ්නෙට කිසියම් උත්තරයක් චිත්‍රපටය ආරම්භයේදිම අපට ලැබෙනවා. හැබැයි ඒ හැබෑම උත්තරේ ද කියල දැනගන්න නම් චිත්‍රපටය අවසානය වෙනකල්ම මගනොහැර නරඹන්න වෙනවා.

මේ චිත්‍රපටය ඇතුළෙ අනිත් ප්‍රශ්න තුනට නම් උත්තර හොයන එක ඒ තරම් ලේසි වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් ලේසියෙන් උත්තර ලැබෙනවා. මේ වගේ දේකදි හිතනවටත් වඩා ලේසියෙන් උත්තරයක් ලැබෙනව නම් ඒකෙත් තව හිතන්න ලොකු දෙයක් තියෙන්න ඕන නේද?

ඔන්න තව තව හොයාගෙන යන්න ප්‍රශ්න මතුවෙන්නෙ එතනදි.

ඇත්තටම දඩයම මොකක් ද?

ඕනෑම මොහොතක කොච්චර දක්ෂ දඩයක්කාරයෙක් වුණත් දඩයමක් වෙන්න පුළුවන්.

චිත්‍රපටයේ සිදුවීම් සහ රූපරාමු ගැළපීම තරමක් අවුල් සහගතයි කියල ඔබට හිතේවි. ඒක ඔබව හිතාගන්න බැරි තරම් උපකල්පනවලට අරගෙන ගිහින් වෙහෙසට පත්කරාවි. ඒත් අතහරින්න එපා. මොකද අධ්‍යක්ෂකවරයාට වගේම ඔවුන්ටත් ඕනකරන්නෙ ඒ ටිකමයි. කතාවෙ හොඳම රහ තියෙන්නෙ එතැනයි කියලයි මට හිතෙන්නෙ.

සිදුවීම සිද්ධ වුණු විදිය ගැන ගොඩක් දේවල් උපකල්පනය කරන්න ඔබට පුළුවන්. ඇත්තටම කිව්වොත් පොලිස් නිළධාරියා කරන්නෙත් ඒකම යි. ඇත්තට ළඟාවෙන්නත් අපට එක උපකල්පනයකට වඩා තියෙන්න ඕනනෙ. හැබැයි ඒ උපකල්පනවලට පුළුවන් අපිව ඕනෑම මොහොතක නිවැරදි මාර්ගයෙන් පිටතට ගෙනැත් නොමග යවන්නත්. නිරන්තරයෙන්ම මේ වගේ විමර්ශනයකදි ඒ අවදානම ගන්න අපට සිදුවෙනවා. මේ විමර්ශනයේදි ආරම්භයේ ඉඳලම ඒ ගැන කල්පනාවෙන් ඒ අවදානම ගන්න අපට සිද්ධවෙනවා.

මේක හරියට ජිග්සෝ ප්‍රහේළිකාවක් වගේ. හරිම පරිස්සමින්, අවධානයෙන් ආරම්භයේ ඉඳලම කෑලි එකතුකරගෙන යන්න ඕන. එහෙම ගියොත් අවසානයට කලින් කිසියම් සාර්ථක මට්ටමේ නිගමනයකට එන්න අපට පුළුවන්. ඒත් ඊටපස්සෙ අවසානය එළඹෙන තෙක් අපි නොඉවසිලිමත්වෙන්නෙ අපේ ඒ නිගමන කොයිතරම් දුරට නිවැරදි ද කියල බලන්න. ඔබ පොලිස් නිළධාරියා එක්කම ඒ විමර්ශනයේ යෙදුණ නම්, අවසානය කරා එළඹෙද්දි ඔබේ නිගමන නිවැරදි ද කියල බලාගන්න හිතේ ඇතිවෙන කුතුහලයෙන් ඔබේ හිත ගැහෙන්න පටන්ගනීවි. මේක ඒ වගේ අපූරු අත්දැකීමක් ඔබට ලබාදෙන්න සමත්වෙන චිත්‍රපටයක්.

අවසානයේ මේ ජිග්සෝ ප්‍රහේළිකාවෙ ඔක්කොම සම්පූර්ණ වෙලා එක චූටි හිස්තැනක් ඉතුරුවේවි. ඒ හිස්තැනට ගැළපෙන චූටි කෑල්ල චිත්‍රපටයේ මුල ඉඳන්ම ඔබේ අතේ ගුලිකරගෙන හිටපු කෑල්ලක් කියල තේරුම් යද්දි ඒක ඔබට මොන වගේ අත්දැකීමක් වේවි ද?

Kolaigaran චිත්‍රපටය ආරම්භයේ සිටම අවසානය දක්වාම ඔබේ කුතුහලය උපරිමෙන් රඳවාගෙන ඔබට අපූරු Crime Thriller ශානරයේ සිනමා අත්දැකීමක් ලබාදීමට සමත් චිත්‍රපටයක් කියල හඳුන්වාදෙන්න පුළුවන්. සිනමාපටයට හිමි වී ඇති IMDb අගය 7.2ක්.

ජීවිතේ සමහර වෙලාවල් තියෙනවා අපි වෘත්තීය මට්ටමින් හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ලබන ජයග්‍රහණ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණ ඉදිරියේ පරාජයන් බවට පත්වෙන. මොකද ලෝකෙ ඕනම ජයග්‍රහණයකට වඩා මනුෂ්‍යත්වයේ ජයග්‍රහණ ඉදිරියෙන් තියෙන නිසා. ඒ මනුෂ්‍යත්වයේ ජයග්‍රහණවලට කවදාවත් මේ යැයි කියල වටිනාකමක් දෙන්න බැරි නිසා.

ආරම්භයේදීම ශර්ලොක් හෝම්ස් ගැන සඳහන් කරපු නිසා ශර්ලොක් හෝම්ස්ගෙන්ම සටහන ඉවරකරන්නම්. ශර්ලොක් හෝම්ස් චාල්ස් ඔගස්ටස් මිල්වර්ටන්ගෙ මිනීමැරුමෙදි ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පරීක්ෂක ලෙස්ට්‍රේඩ්ට මෙහෙම කියනවා.

“මෙතනදි මම වැඩිපුර අනුකම්පාකරන්නෙ මිනීමරුවට. මැරුණු දුෂ්ටයට නෙවෙයි.”

මේ කතාවෙ මේක කොතැනට කොහොම අදාළ වෙනව ද කියන එක ඔයාල චිත්‍රපටය බලලම තීරණය කරන්න.

“Case closed”

– හංසිනී –

**********************************************

Directed by – Andrew Louis

Produced by – B.Pradip

Written by – Andrew Louis

Starring –

Vijay Antony
Arjun
Ashima Narwal
Nassar
Seetha

Music by – Simon K. King

Cinematography – Mukes

Edited by – Richard Kevin

Production company – Diya movies

Distributed by – BOFTA Media Works

Release date – 7 June 2019

Running time – 122 minutes

Country – India

Language – Tamil

හංසිනී කවින්දි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *