Karnan (2021) | Tamil Movie

Karnan 2021 – Tamil
Initial releaseApril 9, 2021 (Malaysia)
Box officeest. ₹63 crore (3 days)
මිනිසාට උපතින්ම ජාතියක්, ආගමක් සහ කුලයක් හිමිය. ඒවා උසස් ද පහත් ද යන්න වර්ග කිරීමට පවතින සමාජ ක්රමයට භාරදී ඇත. මුලදී මිනිසුන් සිදු කර කරන රැකියාව මත කුලය තීරණය වූව ද, පසුකාලීනව එය දේශපාලන බලය පතුරුවා හැරීමට භාවිත කරන ලදි. මහභාරතය වැනි සාහිත්ය කෘතිවලදී කුලය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් කර තිබීම දැකගත හැකිය. එහිදී කුල හීන අයට විවිධ වරප්රසාද අහිමි කරවීම් දැකගත හැකිව තිබේ. කෙසේ වෙතත් වර්තමානය වනවිට කුලය නමැති සාධකය සිය දේශපාලන අවශ්යතාවයන් ඉටු කරගැනීමට භාවිත කරන ආකාරයක් දැකගත හැකිය. එමෙන්ම පාලන පංතිය සිය දේශපාලන වේදිකාවේදී මෙය භාවිත කරන අතරම පාලිත පංතිය තමන් ජීවත් වන ගම්මානය තුළ සිය බලය පතුරුවා හැරීමට මෙම බලය භාවිත කරනුයේ, ප්රචණ්ඩත්වය විදහා පාමින්ය. මෙම පීඩනය ඉවසීම නොහැකි වූ අවස්ථාවක කුල හීන යැයි සලකන ජනයාගේ නැගිටීමක් සිදු වේ. මෙලෙස කොන් කරන ලද සමාජයක් හා බැඳුණු කතාවක් ලෙස දනුෂ්ගේ රංගනයෙන් තිරගත වූ කර්ණන් චිත්රපටිය හඳුන්වා දිය හැකිය.
වර්තමානය වනවිට සෑම කෙනෙකුටම පොදු ප්රවාහනයේ ගමන් කිරීමේ හැකියාවක් පැවැතිය ද, අතීතයේදී එය එසේ නොවිය. බස් රථ නොමැති ගම්මාන රැසක් තිබුණි. කුලවලට වෙන් වූ මාර්ග ද වෙන තිබු බව සඳහන්ය. එක් කුලයකට අයත් පිරිස කණ්ඩායම් වශයෙන් ජීවත් වූ අතර ඔවුන්ගේ ගම්මානයට පවා තබා තිබුණේ, හීන අර්ථයක් ලබා දෙන නම්ය. එවැනි පිරිස් හට උසස් යැයි සම්මත නම් තැබීම පවා අකැපය. ඔවුන්ට තැබිය යුත්තේ, පහත් අර්ථයක් ලබා දෙන නම්ය. සාමාන්යයෙන් චිත්රපටියක් තුළ ද අපට මෙම ලක්ෂණය දැකගත හැකි තරම්ය. වීරයාට අර්ථවත් නමක් තබන සිනමාකරුවා, ප්රතිවීරයාට තබනු ලබන්නේ අර්ථයෙන් අඩු නමකි. එසේ නොමැති නම් ඔවුන්ගේ නම සමඟ අයහපත බැඳි පවතියි.
මෙම චිත්රපටිය තුළ කුලය ප්රධාන තේමාව කරගෙන නිර්මාණය කර තිබුණ ද, මේ තුළ මහභාරතයේ ප්රතිනිර්මාණයක් දැකගත හැකිව තිබුණි. මහභාරතයේ දුෂ්ඨ පාර්ශවයේ සිටි කර්ණන්ට ආදරය කරන පුද්ගලයෙකු නොමැති තරම්ය. නමුත් ඔහුට හිමි වූයේ අවමානය පමණයි. මහභාරතයේදී කර්ණන් හට නොලැබුණ සියලුම දේ මෙම චිත්රපටිය තුළ හිමි කර දීමට අධ්යක්ෂවරයා කටයුතු කර තිබුණි. මෙම සමාජය තුළ කර්ණන්ට නායකත්වය මෙන්ම, තමන් ආදරය කළ දෞපතිවත් හිමිකරදී තිබුණි. මහභාරතයේදී කර්ණන්ට නායකත්ව දෙනු ලැබුවේ, දුර්යෝධනන්ය. මෙහිදී ද පොඩියම්කුලම් ගම්මානයේ නායකයාගේ නම ද දුර්යෝධනන් හඳුන්වා දෙනු ලැබුවේ, මහභාරතය යළිත් මතක් කර දෙමින්ය. එපමණක් නොවේ, රජිනිකාන්ත්ගේ රංගනයෙන් 1991 වසරේදී තිරගත වූ “තලපති” චිත්රපටිය ද මහභාරතයේ එන කර්ණන්ගේ චරිතය අලලා නිර්මාණය කරන ලද්දකි. එක් අවස්ථාවකදී කර්ණන් තලපති රජිනිගේ ඡායාරූපයක් දැමු කමිසයකින් සැරසි සිටින ආකාරයක් ද දැකගත හැකිව තිබුණි. එපමණක් නොවේ චිත්රපටියේ අවස්ථා කිහිපයක දී “රජිනිකාන්ත්ගේ” චිත්රපටි සම්බන්ධයෙන් වන පෝස්ටර් කිහිපයක් ද පසුබිමින් දැකගත හැකිව තිබුණි. විශේෂයෙන් කර්ණන් රජිනිගේ රසිකයෙක් ලෙස පෙන්වීමට ඔහුගේ නිවසේ ද, රජිනිගේ ඡායාරූප අලවා තිබු ආකාරයක් දැකගත හැකිය. චිත්රපටියේ සඳහන් වන කාලසීමාවේදී තරුණයන්ගේ සුපිරි වීරයා ලෙස සිටියේ රජිනිකාන්ත් බව අධ්යක්ෂවරයා ආවර්ජනය කර දීමට කටයුතු කර තිබේ.
කෙසේ වෙතත්, කර්ණන් චිත්රපටිය නිර්මාණය කිරීමට සත්ය කතාවක් පාදක කරගෙන තිබෙන බව බොහෝ අයගේ මතයයි. අදාළ සිදුවීම ලෙස පාදක කරගෙන ඇත්තේ, 1995 වසරේ අගෝස්තු 31 වනදා තූත්තුකුඩි දිස්ත්රික්කකයේ කුඩියම්කුලම් නමැති ග්රාමයට කඩා වැදුණ පොලිස් කණ්ඩායමක් එහි නිවාස තුළ තිබු ආහාර පාන, විභාග සහතික විනාශ කිරීම, මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑම ඇතුළුව පානීය ජලය ලබා ගන්න ළිං තුළට භූමිතෙල් දැමීම වැනි සහසික ක්රියාවන් සිදු කළ බව තිබේ. මෙම සිදුවීමට මූලයවී තිබුණේ, හීන යැයි පවසන කුලයක තරුණයෙකු තේ කඩයක අසුන්ගෙන තේ පානය කිරීමය. කර්ණන් චිත්රපටියේ මෙම සිදුවීම බස් නැවතුමක් පාදක කරගනිමින් රචනා කර තිබුණි. මෙම සිදුවීම් දෙක සිදු වන කාලය සම්බන්ධයෙන් යම් පරස්පරයක් දැකගත හැකිව තිබුණ ද, චිත්රපටියේ ඇති සිදුවීම් බොහෝමයක් ඊට සමානකම් කියනු ලබයි.
සිනමාපටය තුළ අධ්යක්ෂ මාරි සෙල්වරාජ් විසින් විශේෂ සංකේත භාවිතයක් සිදු කර තිබේ. විශේෂයෙන් පොඩියම්කුලම් ගම්වාසීන් වන්දනා කරනු ලබන්නේ හිස නොමැති පිළිමයකටය. එය බුදු පිළිමයකට සමාන හැඩයක් ගනු ලබයි. ඉන්දියාව තුළ ව්යාප්තව පැවැති බුදුදහම යම් කාලයකදී විනාශ වීම්වලට ලක් වූ බවත් බුදු පිළිම කඩා විනාශ කර දැමු බවත් සඳහන්ය. එය නිරූපණය කිරීමට මෙය යොදාගත්තා විය හැකිය. අවස්ථා කිහිපයකදී ඇතුන්, අශ්වයින්, කඩු වැනි සංකේත භාවිත වූ ආකාරයක් ද තිබුණි. මේවා යුද සංකේත වෙයි. කුල හීන ජනයා විසින් සිදු කරනු ලබන්නේ ද යුද්ධයකි. අනෙකුත් කාරණය නම් කුල දේවවතාවන් වන්දනාමාන කිරීම මෙම චිත්රපටියේ දැකගත හැකිව තිබුණි. විශේෂයෙන්ම කර්ණන්ගේ මිය ගිය නැගණියට දේවත්වයෙන් සැලකීමක් මෙහිදි දැකිය හැකි විය. තම පවුලේ මිය ගිය පිරිසට දේවත්වයෙන් ඇදහීම සාම්ප්රදායික ලක්ෂණයකි. පසුකාලීනව ඒවා කෝවිල් දක්වා වර්ධනය වූ අවස්ථා ද තිබේ. එමෙන්ම නිතරම කර්ණන්ගේ නැගණියව ඔහුගේ පියා හීනයෙන් දකින්නේ කුල දෙවියන් නිතරම එම ජනයාගේ පිහිටට පැමිණෙන බව සිහි ගැන්වීමටය.
චිත්රපටියේ පෙර භාගයේ කකුල් දෙක ගැටගැසු බූරුවෙකුගේ දර්ශන කිහිපයක් නිරූපණය කර තිබුණි. එතුළින්ම මෙම සමාජය කොටුවී සිටින ආකාරයත් දෙවන අර්ධය වනවිට බූරුවා නිදහස් කරනු ලැබුවේ, මෙම ජනයාගේ විමුක්තිය උදා වීමේ පෙර ලකුණුත් පෙන්නුම් කරමින්ය.
කුලයෙන් හීන යැයි සම්මත පිරිස් මුහුණ දෙන එකම ගැටළුව බස් රථ ගැටලුව පමණක් යන්න මෙම චිත්රපටියේදී පුළුල් ලෙස සාකච්ඡා කර තිබිම මෙහි දැකීමට හැකි දුර්වලතාවයකි. ඔවුන්ට ඇත්තේ, බස් නැවතුමේ ගැටළුවක් පමණයි. අනෙකුත් කරුණුවලින් ඔවුන් ජය ගෙනය. පාසල් අධ්යාපනය අවසන් කළ තරුණියක විශ්වවිද්යාල සුදුසුකම් ලබයි. ඇයට එය ඉතා පහසුවෙන් ලැබුණු බවක් චිත්රපටිය තුළ පෙන්නුම් කරයි. කර්ණන් හමුදාවට එක්වීමට සුදුසුකම් ලබන්නේ ද එසේය. දේශපාලන පක්ෂ සමාජිකත්වය ලබා ගැනීමට පවා කුලය බලන රටක හමුදා සම්මුඛ පරීක්ෂණයේදී කැපිලි නොතිබු තරම්ය. චිත්රපටිය පුරාවට ප්රශ්න නිර්මාණය කරනු ලබන්නේම කර්ණන් විසින්ය. උසස් කුලයේ පිරිස් විසින් පොඩියම්කුලම් ගම්වාසීන්ට හරස් වූයේ අවස්ථා දෙකකදී පමණය. චිත්රපටිය පුරාවට වීරයා ඉස්මතු කිරීමට උත්සහ කළ ද, වීරයා ඉස්මතු කිරීමට තරම් ප්රතිවීරයෙකු නොමැති වීම සම්බන්ධයෙන් කණගාටුවිය හැකිය. චිත්රපටිය අතරතුර එනු ලබන පොලිස් නිලධාරීයාගේ චරිතය සම්බන්ධයෙන් කිසිදු පැහැදීමක් නොමැත. ඔහු නියෝජනය කරන්නේ, නිලධාරීවාදය ද නැතිනම් උසස් කුලය ද යන ගැටළුව අප තුළ මතු කිරීමට සමත්විය. අදාළ පොලිස් නිලධාරියට ගම්වාසීන් සමඟ ප්රශ්න පැන නගින්නේ, ඔහුට ගරු නොකිරීම පමණය. මෙවැනි හේතුකාරණා නිසා චිත්රපටියේ වේගය අඩු වූවා යැයි කීමට හැකිය. තම කුලයට අඩු සැලකිලි ලැබෙනවා යනුවෙන් කර්ණන් චිත්රපටිය පුරාවට අඳෝනා දුන්න ද එම අඩු සැලකිල්ල රසිකයාට ගෝචර කරගැනීමට හැකි වුණා ද යන සැකය පවතියි. කුඩියන්කුලම් සිදුවීම ව්යංගාර්ථයෙන් පැවසීමට අධ්යක්ෂවරයා ගත් උත්සහ ව්යර්ථ වන්නේ, වර්තමානයේ සිටින බොහෝ තරුණයින් නොදැන සිටීම හේතුවෙන්ය. රජය සහ මාධ්ය මෙවැනි සිදුවීම් යළිත් මතක් කිරීමක් පවා සිදු නොකරන සමාජයක කුඩියම්කුලම් සිදුවීම වර්තමානයේ සිටින තරුණ ප්රජාව නොදැන සිටීම පුදුමයක් ද නොවේ. විශේෂයෙන් චිත්රපටියේ සිදුවන සිදුවීම්වලට සමාන සිදුවීම ශ්රී ලංකාව තුළ සිදුව තිබුණ ද අපගෙන් කොපමණ දෙනෙකු එම සිද්ධීන් සම්බන්ධයෙන් දැනුවත්ව සිටින්නේ ද යන්න ප්රශ්නාර්ථයකි.
මාරි සේලවරාජ්ගේ පෙර චිත්රපටිය වන පාරියේරුම් පෙරුමාල් සමඟ කර්ණන සංසදනය කිරීම හුදෙක් විහිළුවක් පමණය. මෙම චිත්රපටි දෙක අහස සහ පොළොව ලෙස පැවසීය හැකිය. මෙම පාරියේරුම් පෙරුමාල් චිත්රපටියේ කුල හීන යැයි පවසන පිරිස් විඳින වේදනාව එලෙසම සිනමාව තුළට රැගෙනවිත් තිබුණි. කර්ණන් චිත්රපටියේ එවැන්නක් දැකීමට තිබුණේ නැත.
විශේෂයෙන් මෙවැනි චිත්රපටිවලට සංගීතයට සහ ගීතවලට හිමි වන්නේ සුවිශේෂි ස්ථානයකි. මෙම චිත්රපටියේ සංගීතය ද ඉතා උසස් මට්ටමක පැවැතුණා යැයි කීමට හැකිය. කෙසේ වෙතත් ගීත චිත්රපටියට ඇතුළත් කිරීම සහ ඒවායේ දර්ශන සම්බන්ධයෙන් පැහැදීමක් නොමැති තරම්ය. මෙම චිත්රපටියේ අවසානය සම්බන්ධයෙන් ද පැහැදීමක් නොමැත. පොලිස් නිලධාරීයෙකු ඝාතනය කළ අයෙකු සමාව ලබා පැමිණීම මෙම චිත්රපටියේ තිබු උසස්ම සිනමාත්මක ලක්ෂණයයි. සැබෑ ලෝකයේදී පොලිස් නිලධාරීයෙකුට පහර දුන් අයට කිසි දිනක සමාවක් ලැබීම හීනයක් පමණය.
කෙසේ වෙතත්, 1995 වසරේ සිදු වූ සිදුවීම එලෙසම චිත්රපටියට ගෙන තිබුණා නම් රසික ආකර්ශනය තවදුරටත් දිනා ගැනීමේ හැකියාව තිබුණා යැයි මාගේ මතයයි. මේ වනවිට සිනමාව යනු සමාජ සේවයක් නොවන බැවින්, මතු අනාගතය ගැන අවදානය යොමු කරමින් මෙලෙස කාහටත් කිසිදු හානියක් නොවන අයුරින් පිටපත ලියා ඇති බව චිත්රපටිය නැරඹීමේදී පැහැදිලි වනු ඇත.

Writer

Leave a Reply

Your email address will not be published.