Kandukondain Kandukondain (2000) Tamil | Sinhala Article

Kandukondain Kandukondain (2000) Tamil ….

70% liked this film Google users
Kandukondain Kandukondain කියන්නෙ අහම්බෙන් යූටියුබ් එකේ ඇහැගැටුනු චිත්‍රපටියක්. මේක තිරගත කරලා තියෙන්නෙ 2000 වසරේ මාර්තු මාසෙදි. IMDb අගය 7.6 සහ ගූගල් පරිශීලක මනාප අගය 95% වෙනවා. චිත්‍රපටියෙ තරම හිතාගන්නකෝ!!!! මේ චිත්‍රපටි හදලා තියෙන්නෙ ජේන් ඔස්ටින් නැමැති ඉංග්‍රීසි ලේඛිකාවගේ ‘Sense and Sensibility’ නමැති කෘතිය ආශ්‍රයෙන්. 
මේකෙ කතාව මෙහෙමයි.
මනෝහර් කියන්නේ චිත්‍රපට සහය අධ්‍යක්ෂවරයෙක් සහ අවුරුදු විසිපහක විතර කොල්ලෙක්. මේ මනුස්සයා ඇමරිකාවෙ ගිහිල්ලා ඉංජිනියරින් කරලා ඇවිල්ලා තමන්ගෙ තාත්තගෙ විරෝධය සත පහකට ගනන් නොගෙන තමයි චිත්‍රපටි පැත්තට සම්බන්ධ⁣ වුනේ. මෙයාගෙ ලොකුම බලාපොරොත්තුව තමන්ගෙ කියලා චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරන එක
ඉතින් මේ මනෝහර් දවසක් එයාගෙ අධ්‍යක්ෂකවරයාගේ නියමය අනුව පසුතලයක ගැලපෙන ගෙදරක් හොයාගෙන ඒ ගැන කතාකරන්න ⁣ඒ ගෙදර අයිතිකාරයො මුණගැහෙන්න යනවා. ගිහිල්ලා ඒකත් කතාකරගෙන ඒ ගෙදර වැඩිමල් ගෑණු ළමයා සෞම්‍යා එක්ක ප්‍රේමයෙන් වෙලිලා ආපහු එනවා. ඒක පළමු දැක්මෙන්ම ඇති වුනු ප්‍රේමයක්?.
මේජර් බාලා විශ්‍රාමික සොල්දාදුවෙක්. යුද්ධය නිසා මෙයාගෙ කකුලකුත් අහිමි වෙලා කෘත්‍රීම කකුලක් පැළඳගෙන ඉන්නෙ. ඒ මදිවට මදි නොකියන්න බොනවා. තමන්ගෙ කියලා ව්‍යාපාරයක් විදියට ඕකිඩ් වගාවක් කරගෙන ⁣තමන්ගෙ පාඩුවෙ ඉන්න හිත හොඳ අවිවාහක මනුස්සයෙක්; වයස තිස්පහක් විතර ඇති. මෙයා අර කලින් කියපු ගෙදර දෙවෙනි ගෑණු ළමය මීනාක්ෂිට ආදරේ කරනවා. හැබැයි ඒකපාර්ශ්වික ප්‍රේමයක්. මීනාක්ෂිට ලස්සනට සිංදු කියන්න පුලුවන්. 
මෙයාලගෙ ගමේ කරපු රූගතකිරීම් ඉවරවෙලා ආපහු  යනකොට මනෝහර් තමන්ගෙ ආදරේ ගැන සෞම්‍යාට කියලා එයාගෙන් අහනවා තමන් පළවෙනි චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරනකන් අවුරුද්දක් විතර බලාගෙන ඉන්න පුලුවන්ද කියලා. සෞම්‍යා ඒකට කැමැත්තෙන් එකඟ වෙනවා.
මේජර් බාලා නම් ඒ තරම් වාසනාවන්ත නෑ. හදිස්සියේ මේ ගමට කඩාගෙන වැටෙන ශ්‍රීකාන්ත් නැමැති ව්‍යාපාරිකයා මීනාක්ෂිව වසඟ කර ගන්නවා. බිස්නස් බිස්නස් කිව්වට මෙයා කරන්නෙ අර රුපියල් ලක්ෂයක් තමන්ගෙ ආයතනයේ තැන්පත් කරලා මාස දහයකින් ඒක කෝටියක් කරලා දෙන බිස්නස් එක (අපේ රටෙත් ඒක හරි ජනප්‍රියයිනේ, පහුගිය කාලෙත් ලොකු කලබගෑනියක් තිබුනෙ). ඉතින් බාලා හිත හිත ඉන්න කොට ශ්‍රීකාන්ත් හිතලා ක්‍රියාත්මක වෙලත් ඉවරයි?. අනේ ඉතින් මේජර් බාලා එයාගෙ ආදරේ හිතේම තියාගෙන ඉන්නවා. 
මේ ගෑණු ළමයි ජීවත් වෙන්නෙ අම්මගෙ මහ ගෙදර අම්මයි සීයයි එක්ක. මේ දෙන්නට ඉස්කොලෙ යන පොඩි නංගියෙකුත් ඉන්නවා. තාත්තා නැහැ. මෙයාලගෙ අම්මා තාත්තා එක්ක විවාහ වෙලා තියෙන්නෙ සීයගෙ අකමැත්තෙන්. ඒක නිසා මේ වයසක මනුස්සයා තමන්ගෙ අන්තිම කැමති පත්‍රයෙන් දේපල ඔක්කොම පුතාට පවරනවා. මෙයා මැරුණට පස්සෙ පුතයි නෝනයි ඒ ගෙදර පදිංචියට එනවා.
මේ ගැටලු ගැටුම් එක්ක සෞම්‍යා සහ මීනක්ෂි අම්මයි නංගියි එක්ක ගම අතෑරලා මැඩ්‍රාස් වලට එනවා. 
එතනින් පස්සෙ මැඩ්‍රාස් වලදි මුහුන දෙන්න වන ගැටලු, ගැටුම්, අභියෝග සහ ආදරය, බලාපොරොත්තු, විශ්වාසය බිඳවැටීම් එක්ක මේ චිත්‍රපටිය ගලාගෙන යනවා.
මනෝහර්ගේ චිත්‍රපටිය සාර්ථක වෙයිද? 
ශ්‍රීකාන්ත් මීනක්ෂීව විවාහකර ගනියිද?
මේජර් බාලාට මොකද වෙන්නෙ? 
චිත්‍රපටිය බැලුවොත් තමයි ඉතින් ඒවා දැන ගන්න වෙන්නෙ ?.
මේ චිත්‍රපටිය සඳහා මේජර් බාලා ලෙස Mammootty විසින් විශිෂ්ඨ, හිතට දැනෙන ආකාරයේ රංගනයක් සිදුකරනු ලබනවා.
මනෝහර් ලෙස අජිත් කුමාර් තමයි රඟපාන්නෙ. ඔහුගේ අනන්‍ය ලක්ෂණය වන  හැඟීම් ප්‍රකාශනය සහිත අපූරු රංගනය මෙ⁣හිදිත් නොඅඩුව බලාගන්න පුලුවන්. මීනාක්ෂි ලෙස අයිශ්චර්යා රායි දඟකාර රංගනයත් සෞම්‍යා ලෙස තබුගේ වගකීම් සහගත බවක් මවාපාමින් සිදු කරනු ලබන රංගනයත් සහ එමෙන්ම ශ්‍රීකාන්ත ලෙස Abbasගේ කෙලිලොල් සහ සෙල්ලක්කාර රඟපෑමත් මෙම චිත්‍රපටිය ආලෝකමත් කරනවා.
බාලා සහ මනෝහර් ලෙස Mammootty සහ අජිත් තමන් විසින්ම හඬකැවීම් සඳහා දායකවී තිබෙනවා. නමුත් සෞම්‍යා⁣ ලෙස ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රේවතීත් මීනක්ෂි ලෙස ජයගීතා නම් ශිල්පිනියකුත් සහ ශ්‍රීකාන්ත් වෙනුවෙන් ප්‍රවීන රංගන ශිල්පියෙක් වන වික්‍රම් විසිනුත් හඬ දායකත්වය ලබාදී තිබෙනවා.
Rajiv Menon – A. R. Rahman

මේ චිත්‍රපටියේ තිබෙන අති විශේෂම දෙය වන්නේ සංගීතය යි. ප්‍රවීන සංගීත අධ්‍යක්ෂක A.R. රහ්මාන් විසින් සංගීතය නිර්මාණය කර ඇති අතර J.K. යේසුදාස්, හරිහරන්, K.S. චිත්‍රා සහ ශංකර් මහාදේවන්, මහාලක්ශ්මී අයියර් වැනි ප්‍රවීන ගායක ගායිකාවන්ගේ හඬින් ගැයෙන සුමිහිරි ගීත අටක් මෙම චිත්‍රපටියේ අඩංගු වෙනවා. ⁣අති විශිෂ්ඨයි. මට නම් කතාවට වඩා දැනුනේ සංගීතය. ජීවිතේට චිත්‍රපටියක සිංදුවක් බලන්නෙ නැති මම මේ චිත්‍රපටිය බැලුවෙත් මේ සිංදු ටික නිසා. National Film Awards 2001 හිදී ශංකර් මහාදේවන් විසින් හොඳම චිත්‍රපට පසුබිම් ගායකයාට හිමි සම්මානය මෙම  චිත්‍රපටිය වෙනුවෙන් දිනාගනු ලබනවා.

මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ රජීව් මෙනන් විසින්. Filfare Awards South 2001 හිදී හොඳම දමිළ චිත්‍රපටයට හිමි සම්මානය මේ සලරුවට ලැබෙනවා. එමෙන්ම හොඳම දමිළ අධ්‍යක්ෂකවරයාට හිමි සම්මානය රජීව් මෙනන්ට ලැබෙනවා.
මේක ඇවිල්ලා අජිත්ගෙ pepper & salt කොණ්ඩෙ තියන Arrambam ෆිල්ම් එකේ ඉඳන් ඉස්සරහට ආපු  චිත්‍රපටි විතරක් බලලා තියන අපේ පොඩි සහෝදර සහෝදරියන්ට බලන්න පුලුවන් අජිත් තරුණ කාලෙ රඟපාපු හොඳම  චිත්‍රපටියක්. අයිශ්චර්යා ගැන කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමයි, හැබැයි ‘pepper & salt කොණ්ඩේ’ කෑල්ල නැතුව. ⁣මේ දෙන්නගෙම වයස විසිගනන් වල කරපු ෆිලුමක්. විශේෂයෙන්ම  අජිත්ගෙ ෆිල්ම් නොබලපු තලපති ඇතුලු අනිකුත් නළුවන්ගෙ රසිකයො ගොඩක් දෙනෙක් මේ චිත්‍රපටිය බලලා අජිත්ගෙත් රසිකයො බවට පත්වුනාලු; ගූගල් රිවීව් වල එහෙම අදහස් ගොඩක් තියනවා. (හැබැයි මෙහෙම කියන්නෙ මධ්‍යස්ථ මට්ටමේ ඉන්න රසිකයො මිසක් එක්කෙනෙක්ව අල්ලගෙන බදාගෙන මැරෙන්න හදන උමතු රසිකයො නෙවෙයි?). 
එකම කාරණයක්(ආදරය) සම්බන්ධ⁣ව අවුරුදු විසිගණන් වල කොල්ලොයි අවුරුදු තිස් පහක විතර ⁣පුද්ගලයෙකුයි ප්‍රතිචාර දක්වන්නේ මොන විදියටද කියන දේ පිලිබඳව මෙයින් යම් අදහසක් ලබාදීලා තියනවා.
විශේෂයෙන්ම මේකෙන් ගන්න තියෙන්නෙ ‘මූණෙ ලස්සනටත් බාහිර පෙනුමටත් නොව හිතේ ලස්සනට ආදර කරන්න’ කියන පණිවිඩය තමයි.
ආදරය, සිනහව, අපේක්ෂාභංගත්වය, නොයෙක් දුෂ්කරතා මැද ජීවිතය පවත්වාගෙන යෑම, අනෝන්‍යය අවබෝධය සහ විශ්වාසය අතරින් ගලාගෙන යන මේ ආදර කතාව බලන්න කැමති අයට මේ චිත්‍රපටිය යූටියුබ් බලන්න පුලුවන්. ඉංග්‍රීසි උපසිරැසිත් එක්කම තියනවා. චිත්‍රපටිය බලන් බැරි නම් අඩු තරමේ සිංදු ටිකවත් අහන්න.
මේ චිත්‍රපටියේ අවසානය සුඛාන්තයක්!!!!

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *