Kallachirippu Web Series | Sinhala Article

Kallachirippu: A nail-bitting thriller

Presented by Karthik Subbaraj

7.6/10IMDb

88% liked this TV show Google users
Thriller ‧ 1 season

Kallachirippu යනු මිනි වෙබ් සීරිස් කාණ්ඩයට අයත් වන කථාංග හතකින් නිර්මාණය වුනු දමිළ වෙබ් සීරිස් එකක්. එපිසෝඩ්ස් හතක් තිබිලත් මිනි වෙබ් සීරිස් වෙන්නේ මේ එක එපිසෝඩ් එකක ධාවන කාලය උපරිම වශයෙන් විනාඩි විස්සක් පමණ වෙනවා. සම්පූර්ණ සීරිස් එකම පැය 2.5 පමණ බලලා ඉවර කරන්න පුලුවන්.

…………………………………………………………

?කතාව ගැන පොඩ්ඩක් බලමු ?

මහාති කියන අවුරුදු විසිහතරක් වයස වන තරුණ ගැහැණු ළමයා වටේ තමයි කතාව කේන්ද්රගත වෙලා තියෙන්නේ. ඇය නීතිය ඉගනගත්ත කෙනෙක්. ඇයට අවශ්යය වන්නේ පිටරටකට ගිහින් වැඩිදුරටත් අධ්යාපනය ලබා ගැනීම. නමුත් එයට කිසිසේත්ම එකඟ නොවන ඇයගේ පියා විසින් ඇයට බලහත්කාරයෙන් විවාහයක් කර දෙනවා.
මේ විවාහය එක්තරා දුරකට ගණුදෙනුවක්. මහාතිගෙ තාත්තා කියනවා ඇය මාස හයක් විවාහ ජීවිතය ගත කලොත් ඒ මාස හය අවසානයේදි ඇයට පිටරටකට යන්නට අවශ්යය මුදල් ලබා දෙනවා කියලා.
මහාති, ඇයගේ සැමියා වන රාම්, ඔවුන්ගේ විවාහයේ ඡායාරූප ශිල්පියා වන ඉන්ද්රජිත්(ඉන්දු), රාම් සහ මහාතිගේ දෙමව්පියන් සහ රාම්ගෙ පෙම්වතා වන තරුණයෙකු වටා සිදුවන සිදුවීම් වටා තමයි මූලිකවම කතාව දිවෙන්නේ.

?මෙහි චරිත ගොඩ නැංවීම ගැන සලකා බලමු ?

ප්රධාන වශයෙන්ම මේ චරිත තුළ දකින්න පුලුවන් ලොකුම සාධකය තමයි මානසික අවපීඩනය. මෙහි සිටින සියලුම චරිත තුළ අඩු වැඩි වශයෙන් මානසික ආතතිය සහ පීඩනය ප්රකට වනවා. සරලවම කිව්වොත් මානසික ව්යාධීන් නිසා විනාශයට පත්වන කතාවක් තියෙන්නේ.
මහාති යනු අධික මානසික පීඩනයකින් යුතුව ජීවත් වන තැනැත්තියක් ලෙසයි ගොඩ නගලා තියෙන්නේ. ඇයගේ ඒ පීඩනයට හේතුව ඇගේ තාත්තා. ඔහුත් යම් මානසික ව්යාධියකින් පෙළෙන බව මහාති සහ ඇයගේ මව හරහා පතුරවන ඒකාධිපති සැර පරුෂ ස්වභාවයෙන් ප්රකට වනවා. ඇත්තටම කිව්වොත් මහාතිගේ හැසිරීම සහ චරිත ලක්ෂණ යනු ඇයගේ පියාගේ මානසික ව්යාධියේ ප්රතිඵලයක්.
රාම් යනු සමලිංගික තරුණයෙක්. මේ බව ඔහුගේ මව සහ පියා දන්නවා. එය දැන දැනම ඔහුගේ මව රාම්ට මහාති සමග විවාහ වන ලෙස බලකරනවා. ඒ සඳහා ඇය බොරු හෘදයාබාධයකුත් හදාගන්නවා. එයට බිය වන රාම් මහාති සමග විවාහ වුනත් තමන්ගේ අම්මා තමාව බොරු හෘදයාබාධයක් හදාගෙන රවටපු බව දැනගන්නවා. එතැන් සිට ඔහු ජීවත් වන්නේ තම මව කෙරෙහි වර්ධනය වුනු අධික වෛරයකින්. එසේම මහාති සමග දරුවකු හදන ලෙසට ඔහුගේ මව රාම්ට දැඩිව බලපෑම් කරනවා. ඒ නිසාම ඔහු තවත් මානසික අවපීඩනයට ලක්වනවා. රාම්ගේ මව සහ මහාතිගේ පියාගේ චරිත ස්වභාවයන් සමානයි.
රාම් යනු සමලිංගිකයෙකු බව විවාහයට පෙර මහාතිගේ පියා දැනගන්නවා. නමුත් ඔහු විවාහය නැවැත්වීම තමන්ගේ ගෞරවයට හානියක් බව සිතා එය මහාතිගෙන් සඟවනවා. නමුත් මේ බව පසුව මහාති දැනගත් අතර තමාව රැවටීම නිසා ඇය තුළ පියා කෙරෙහි වන වෛරය තවත් දැඩි වනවා.
අනිත් තරුණයන් දෙදෙනා වන ඡායාරූප ශිල්පියා සහ රාම්ගේ පෙම්වතා යන චරිත ද්විත්වය තුළ එතරම් මානසික ව්යාකූලත්වයක් දකින්නට නැහැ. විශේෂයෙන්ම රාම්ගෙ පෙම්වතා යනු විවෘතව සහ පැහැදිලිව සිතන්නට පුලුවන් තරුණයෙක්.
මෙම මානසික අවපීඩනයන්, විශාදය වැනි ව්යාකූලතා අඟවන සංකේත රාශියක් දකින්නට ලැබෙනවා. විශාදය සහ මානසික ආතතිය අඟවන ලොව සුප්රකට සිතුවමක් වන Vincemt Van Gogh විසින් නිර්මාණය කළ Starry Night සිතුවම එක් කථාංගයක නිතර නිතර දකින්නට ලැබෙනවා.

?මෙම සීරීස් එක තුළ කතාව ගොඩ නංවා තියෙන්නේ ලේයර්ස් විදියට.

⁣සන්තතික ගලාගෙන යෑමක් නැහැ. අතීතයත් සහ වර්තමානයත් එනම් මහාතිගේ විවාහයට පෙර සහ පසු සිදුවීම් වරින් වර මතු කරමින් කතාව ගලාගෙන යෑමට ඉඩ ලබා දෙනවා. කතාව තේරුම් ගැනීමට නම් මුල සිට අවසානය දක්වාම නරඹන්නට වෙනවා.
ඉතාම කුතුහලජනක ස්වභාවයක් සම්පූර්ණ කතා මාලාව තුළම පවත්වාගෙන යනවා. ඇත්තටම කිව්වොත් මෙම කතාව වෙත ප්රේක්ෂකයා ඇද ගෙන තියාගන්නේ කුතුහලය විසින් තමයි. ඒ ස්ක්රීන් ප්ලේ එක වෙනුවෙන් නම් අධ්යක්ෂකවරයාට ප්රශංසාවක් ලැබිය යුතුයි.සංගීතය ගැන කිව්වොත් එක ගීතයක් තියනවා මට මතක විදියට හතර වන එපිසෝඩ් එකේ. චරිත ගොඩ නැංවීම සාර්ථකයි.

?මේ Kallachirippu වෙබ් සීරිස් එක ගැන මගේ අදහස

මුලින්ම කියන්න ඕන මේක තරමක් අමුතු වැඩක්. පළවෙනි හේතුව මෙය 18+ කාණ්ඩයට වර්ගීකරණය වෙනවා. ඊළඟට මෙහි සම්පූර්ණයෙන්ම කතාව ගොඩනැගෙන්නේ මානසිකව බිඳ වැටුණු තැනැත්තියක් වටේ. මේ තැනැත්තිය එනම් මහාති කියන තරුණිය තුළ තියන මානසික අවපීඩනය නිසා අකාළයේ තරුණයින් තුන්දෙනෙකුට ජීවිත අහිමි වෙනවා.
මේ මහාති කියන තරුණියගේ වගේ ජීවිත අත්දැකීම් මට නැහැ. නමුත් මේක බලාගෙන යද්දි කවුරුහරි ගෑණු ළමයෙකුට හෝ පිරිමි ළමයෙකුට හිතෙනවා නම් මහාති කියන චරිතය සහ ඒ චරිත ලක්ෂණ තුළින් තමන්ව නිරූපණය වෙනවා කියලා පැහැදිලිව සහ වගකීමෙන් කියනවා ඔබ අනිවාර්යයෙන්ම ඉන්නේ මනෝ වෛද්යයවරයෙකුගෙන් උපදේශනය ලැබිය යුතු අවස්ථාවක. එමනිසා කරුණාකරල තමන් විසින් තමන්ගේම ජීවිතය අඳුරු වෙන්න කලින් වහාම මේ දැන්ම ඒ සඳහා කළ යුතු ප්රතිකර්මය කරගන්න. මේක කාරුණික ඉල්ලීමක්. මොකද කිසිම තරුණ ළමයෙක් අනුන්ගෙන් පළිගන්නවා කියලා හිතාගෙන තමන්ගෙන්ම පළිගන්නවා නම් ඒක ඛේදවාචකයක්.
එ් වගේම මේ මහාති කියන චරිතයට ආරෝපණය කරලා තියන චරිත ලක්ෂණ වලින් මම දැක්ක දෙය තමයි අපරිණත බව සහ ජීවිත අත්දැකීම්වලින් තොර බව. මහාතිගේ ජීවිතය තුළ යම් පරිණත බවක් තිබුනා නම් ඇය තමාගේ පියාගෙන් කරන පළිගැනීමක් විදියට මිනීමැරුමක් කරලා සිරගත වෙන්නේ නැහැ.
ජීවිත අත්දැකීම් ලබා ගන්නවා කියන දෙය ජීවත් වෙලා පමණක් කළ නොහැකියි. අනිත් මිනිසුන් විඳි ජීවිත අත්දැකීම් තුළින් තමන්ගේ ජීවිතයට පරිණත බව ලබා ගැනීමට ඇති සාර්ථකම ක්රමය තමයි සාහිත්යය සහ පොත්පත් ඇසුරු කිරීම. සිනමාවටත් වඩා සාහිත්යය අඩියක් ඉදිරියෙන් සිටිනවා.
එසේම හැඟීම් සහ ආවේග පාලනයෙන් තොර ගතිය මහාති චරිතය තුළ ඉතාම ප්රබලව කැපිලා පේනවා. තමන්ගේ හැඟීම් පාලනය කරගන්නට බැරි මිනිසුන් නිසැකවම මහා ඛේදවාචකයකින් තමන්ගේ ජීවිතය අවසාන කරගන්නවා.
මහාති ඇයගේ විවාහය දිනයේම ඡායාරූප ගන්න ආපු ඉන්ද්රජිත් සමග සබඳතාවයක් ඇති කරගන්නවා. එයත් ඇය කරන්නේ ඇයගේ කැමැත්තෙන් තොරව විවාහය කරදෙන තාත්තාට විරෝධය පළ කිරීමක් විදියට. එම සබඳතාවය ප්රේමය නොව කායික සබඳතා සහ ආශ්වාදය මුල්කර ⁣ගෙන පැවතෙන්නක් බව පෙන්නුම් කරනවා. තමා වෛර කරන අයගෙන් පළිගැනීමට තමාගේ ජීවිතය මෙතරම්ම නොසැලකිලිමත් අයුරින් භාවිතා කිරීම ප්රශ්නයක්.
අවසාන වශයෙන් කිව්වොත් කිසිම පුද්ගලයෙක් මෙම කතාව තුළින් inspire විය යුතු නැහැ. මෙහි පෙන්වන ආකාරයේ පීඩාකාරී තත්වයන් වලට ඔබ පත්වී සිටිනවා නම් වහාම කළ යුතු වන්නේ මනෝ වෛද්යය උපදේශනය සහ ප්රතිකාර තුළින් ඔබේ ජීවිතය යථා තත්වයට පත්කර ගැනීම පමණයි.
මිනිසෙකුට වඩාත්ම වැදගත් වන්නේ තම ජීවිතය පවත්වා ගැනීමයි. කිසිවෙකුගෙන් පලිගැනීමට තම ජීවිතය බිලි එළුවෙකු කරගත යුතු නෑ. මොනම තත්වයක් යටතේ වුවත් මහාතිගේ වැනි චරිත ලක්ෂණ සහ හැසිරීම් අනුමත කරන්නට බැහැ.

විශේෂයෙන්ම දෙමව්පියන් විසින් අධික වශයෙන් දරුවන්ව පීඩනයට පත්කිරීමත් ඒ පීඩනය නිසා දරුවන්ට අත්වන ඉරණමත් තමයි මේ තුළින් කියන්න උත්සාහ කරනවා ඇත්තේ.

18+ කියලා කිව්වට වයසින් නොව අදහස් සහ සිතුම් පැතුම් අතින් පරිණත සියලු දෙනාටම මේක බලන්න පුලුවන්. එසේම අවුරුදු විසිපහක් තිහක් වයස ගෙව්වට වයසට ගැලපෙන තරමට මුහුකුරා නොගිය පුද්ගලයින් මෙය නොබලන තරමට වඩාත් හොඳයි.

Karthik Subbaraj
No. of episodes8 (list of episodes)
Production companyStone Bench Productions

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *