Kadulla Tv Series (2015) Sinhala by Thushara S Weerasinghe
සිංහල ටෙලිනාට්‍ය ඉතිහාසයේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම නිර්මාණය කඩුල්ලද?
——=========——-******——-======
ලංකාවේ ටෙලිනාට්‍යය ඉතිහාසය ගැන කියද්දි අනිවාර්යයෙන් කියවෙන නමක් තමයි “කඩුල්ල” කියන්නෙ. තිලක් ජයරත්න මහතා විසින් තිර රචනය කොට ධර්මසේන පතිරාජයන් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ කඩුල්ල ටෙලිනාට්‍යය 1992 උණ්ඩා සම්මාන උළෙලේදී සම්මාන 9කින්ම පිදුම් ලබන්න සමත් වූ ටෙලියක්. කඩුල්ල ටෙලිනාට්‍යය කියන්නෙ ජීවිතේ වරක් හෝ ඔබ අනිවා නැරඹිය යුතු ටෙලියක් කියල අපි කියන්න කැමතියි, ඒ වගේම දැනටමත් බලල තියනවනම් තව පාරක් බැලිය යුතු ටෙලියක්. සම්මාන ලැබුණු නිසා නම් නෙමෙයි අපි එහෙම කියන්නෙ. ඒකට හේතු ගොඩක් තියනවා. එකින් එක කියන්නම්.
1. කඩුල්ලේ කතන්දරය
කඩුල්ල කියන්නෙ පරම්පරා කිහිපයක් පුරා දිගහැරෙන කතාවක්. සුද්දගෙ කාලෙන් පටන් ගෙන නිදහස ලබන සමය දක්වා දිගහැරෙන කතා පුවතක් තියෙන්නෙ. මේ කථාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ කුරුතේරිස් නම් කොච්චි (ඉන්දියාවේ කොචින්) සම්භවයකින් යුතු පතල් කම්කරුවෙක්. කාත් කවුරුත් නැති අනාතයෙක් හැටියට තමන්ගේ ජාතකය, පැවැත්ම ප්‍රශ්න කෙරෙන ජීවිතයේ පතුලක ඉඳල, කාසි පණම් කියන ඉනිමගේ ඉහලට නගින ඔහුගේ කතා පුවත තමයි කඩුල්ලේ මතුපිට කතාව. හැබැයි මේක මේ දියුණුවෙන පුද්ගලයෙක්ගෙ ජීවිතේ ගැන කියන ඉන්ස්පයරින් ස්ටෝරියක් නම් නෙමෙයි. කුරුතේරිස් ඉහල නගින්නේ තමන් වටේ ඉන්න බොහෝ පිරිසක්වත් දැනුවත්ව සහ නොදැනුවත්ව තමන්ගේ ඉහල නගින ගමනේ චලනයන්ට, බලපෑමට යටත් කරවමින්. කඩුල්ල නාට්‍යය දිග ඇරෙන්නේ කුරුතේරිස් වගේම ඒ අනෙක් අයගේ ජීවිත වල හැල හැප්පීමුත් අපිට පෙන්වමින්.
2. කඩුල්ල අපිට අල්ලයිද?
කඩුල්ල ටෙලි නාට්‍යය පරණයි, කතා පුවතත් අටසිය නවසිය බර ගණන් වල කතාවක්. ඒ මදිවට මේක ගැන ගූගල් පාරක් එහෙම දාල බැලුවොත් එක එක්කෙනා කියල තියන කතා වලට ඔලුව කැරකෙන්න ගන්නවා. බුර්ෂුවා පන්තිය, කොම්ප්‍රදෝරු ධනපතීන් වගේ බරපතල වචන වලින් විස්තර කරල තියන මේ කතාව අපි වගේ ළඳ බොළඳ අහිංසකයන්ට අල්ලයිද? අපටත් මේ ප්‍රශ්නෙ නැගුනා, ඔබටත් මේ ප්‍රශ්නෙ නැගෙන්න පුලුවන්.
අපිට පුලුවන් කඩුල්ල ටෙලිනාට්‍යය උඩින් බලන්න. ඒ බලලත් දැන් බලන ටෙලි විතරක් නෙමෙයි මතක ඇති කාලයක ටෙලිනාට්‍යය වලට වඩා හොඳ ආතල් එකක් ගන්න. සමාජ සම්බන්ධතා ගැන, මුදල ඉස්සරහ මිනිස්සුන්ගෙ වෙනස්වීම් ගැන, ආදරය, රැවටීම වගේ දේවල් එක්ක මේ කතාව විඳින්නට කිසිම බාධාවක් නෑ. කඩුල්ලේ තියන විශේෂත්වයත් ඒකයි. ඔබ මේ නාට්‍යයේ කොටසක් බලලා ඒක ගැන ටිකක් වැඩිපුර හිතුවොත්, එහෙමත් නැතිනම් දෙපාරක් බැලුවොත් කලින් නොදැනිච්ච තව තව දේවල් අහුවෙන්න පුලුවන්. ඊටත් එහා ගිහින් ඉතිහාසමය,දේශපාලනික හෝ ආර්ථික විද්‍යාත්මක ඇහැකින් කඩුල්ල දිහා බැලුවොත් මේ සියල්ලටම එහා ගිය තවත් අත්දැකීම් රැසක් ලබමින් රසවිඳින්න පුලුවන්. කඩුල්ල කියන්නෙ ලොකු කතාවක් කියන, ඒත් පුංචි පුංචි දේවල් උනත් විඳින්න සලස්සන නාට්‍යයක්.
3. කඩුල්ල අල්ලගන්න ඕනෙ තැන්
“කඩුල්ල පනින්න ඉන්න මිනිහට මරුව අත වනනකොට මහා දුකක් ඇතිවෙනවා”– කුරුතේරිස්
කුරුතේරිස් කියන්නෙ නැතිවෙන්න දෙයක් නැති මනුස්සයෙක්. සරමටත් අමුඩ කෙටියටත් සීමාවෙච්ච ඔහුගේ වස්තුවෙන් පිට ඔහුගේ ජීවිතේ බලාපොරොත්තු දෙකක් තියනවා. එකක් තමයි තමන් වැඩකරන පතලෙන් මිනිරන් පෑදෙයි කියන එක, දෙවැනි එක තමයි පොඩි නෝනාගේ ආදරය. පොඩි නෝනා කියන්නේ කුරුතේරිස්ගෙ හාම්පුතා වන කංකානම් මහත්තයාගේ දියණිය. පොඩි නෝනාගේ හිතේත් කුරුතේරිස් ගැන ආදර කැක්කුමක් තියනවා, දුප්පත්කමේ පහල අඩියක ඉඳන් වැවිල්ලෙන් ඉහලට ආපු කංකානම් මහත්තයාගේ හිතෙත් තියෙන්නේ කුරුතේරිස් ගැන පැහැදීමක්, නමුත් තම එකම දුවව තමන්ගේ සේවකයාට කරකාර බන්දන්න ඔහු පැකිලෙනවා. ඒ සමාජ මතිමතාන්තර වලට බියෙන්.
කුරුතේරිස්ගේ කඩුල්ල පැනීම, එහෙමත් නැත්නම් ධනපති පන්තිය කරා නැගීම ඇරඹෙන්නෙ හිටි අඩියේ වෙන සිදුවීම් දාමයක් නිසා. මුලදී මේ සියල්ල අහම්බයන් සහ වාසනාව කැටිවුණ සිදුවීම් හැටියට පෙනුනත් තරමක් විමසිල්ලෙන් මේ කතාව බලාගෙන ගියොත් මේ දේවල් වාසනාව හෝ අහම්බ නොවේ යැයි ඔබ පුදුම කරවන තරම් දේවල් අනාවරණය වෙන්න පුලුවන්. විශේෂයෙන් කතාවේ දෙබස් වලට අවදානය යොමුකිරීම බොහොම වටිනවා. වටෙන් ගිහින් ගෙටම එන තාලේ දෙබස් සහ චරිත හැසිරීම් එක්ක සිද්දවෙන කථාවේ රූකඩ නැටවීම් ගැන දැනුවත් වෙන්න වෙන්න නාට්‍යයෙන් ලැබෙන ආශ්වාදය වැඩියි.
4. මනුවෙල්
මනුවෙල් කියන්නෙ මේ කතාවේ තවත් ප්‍රධානම චරිතයක්. මනුවෙල් තමයි කංකානම් මහත්තයාගේ එකම පුතා, පොඩි නෝනගෙ අයියා ඒ වගේම කුරුතේරිස්ව නයාට අඳුකොළ තරමට පෙන්නන්න බැරි පුද්ගලයෙක්. හයිරංකාර චණ්ඩි චරිතයක් හැටියට පෙණුනත් මේ කතාව පුරාම හමුවන අහිංසකම චරිතය හැටියට මනුවෙල්ව හැඳින්වුවට වරදක් නෑ. මනුවෙල්ගේ තියනව නොනැමෙන ගතියක්, ඒ වගේම තමන් ගැනම අධි තක්සේරුවක්. උඩහට වැස්සාම රැළි සුලි නංවන කළු ගඟ ආම්බාන් කරමින් එගොඩ මෙගොඩ පීනන එක තමන්ගේ ජීවිතේ සතුට හැටියට හඳුන්වන මනුවෙල් කතාව ඇතුලේම යම් තැනක ඔහුගේ ඒ කතාව පුස්සක් බවට පත් කරනවා. මනුවෙල් කළු ගඟ දකින ආකාරයෙන් ඔහුගේ ජීවිතයේ පාලනය ගැනත් බොහෝ දේ කියවෙනවා. මේ කාරණය මනුවෙල්ට පමණක් පොදු එකක් නෙමෙයි. කඩුල්ල තුල හමුවන බොහෝ පුද්ගලයන්ට කළු ගඟත් එක්ක තියෙන්නෙ එකිනෙකාට සුවිශේෂ වූ ගනුදෙනුවක්. නාට්‍යය ඇතුලේ අපිට හමුවන තවත් නිහඬ චරිතයක් හැටියට කළුගඟත් රංගනයක යෙදෙනව කියන්න පුලුවන්. ඒ ගැන පසුවට.
කලු ගඟ ගැන පසුවට කිවුවට මනුවෙල් ගැන කියද්දි නම් මතක් කල යුතුම දෙයක් තියනවා. ඒ තමයි ක්ලීටස් මෙන්ඩිස්ගේ රංගනය. දඩබ්බර ගති ඇති මනුවෙල් චරිතය විටෙක සංවේදී හැඟීම් ඇති කරන, තවත් විටෙක දැඩි හාස්‍යය රසයකින් අපිව වෙලන්න සමත්වෙන ගති ඇති චරිතයක්. කතාව ඇතුලේ මනුවෙල් යන යම් දුරක් තිබෙනවා. ඒ දුරත් එක්ක මනුවෙල්ගෙ සිතුම් පැතුම්, ජීවන රටාව සසඳල බැලුවොත් තව හිතන්න දේවල් බොහොමයක් ඉතිරිවේවි.
5. කළු ගඟේ භූමිකාව
කඩුල්ල ඇරඹෙන්නෙ කළු ගඟ අවට ජීවත් වන ගම්වාසීන් පිරිසකගේ ජීවිත අප වෙත සමීප කරමින්. කඩුල්ලේ චරිත විවිධ අවස්ථාවලදි කළු ගඟ දකින ආකාරය වෙනස් වෙනවා. කළු ගඟ ගැලීමත් එක්ක ඒ අයගෙ ජීවිත ගලාගෙන යන්නෙ විටෙක කළු ගඟ මවන චිත්‍රත් එක්ක ඒ අයගෙ ජීවිත දැක්ම සමපාත කරමින්.
“ඉර බහින වෙලාවට කළු ගඟ ගලන්නෙත් හොරෙන් වගේ”
කංකානම් මහත්තයා මේ දෙබස කියන තීරණාත්මක මොහොතත් එක්ක ගලපලා ගත්තහම ඒ කතාව ඇතුලෙ ගොඩක් දේ කියවෙනවා. ඒ වගේම තමයි කථාවෙ මුලදි කුරුතේරිස් ගඟ ඉස්මත්තෙදි පොඩි නෝනට කියන දෙබස. කඩුල්ල නාට්‍යය බලල ඉවර වෙලා නැවත ඇවිත් මේ කියන දෙබස යන සීන් එක බලන්න. හිත හෙල්ලිලා යන්න ඉඩ තියනවා.
“පායන්න ගත්තහම කළු ගඟේ හැඩ බලමුකෝ…දොරේ ගලන්න වැහැල ගහකොල තෙතබරියම් උනාම මොන තරම් වාසනාවක්ද? ඒත් කළු ගඟ හැඩවෙන්නෙ ගල්කාෂ්ටකේට පායනකොට…බලමුකෝ”
කඩුල්ල කතාව ගලාගෙන යද්දි සමහරු කළුගඟ මත්තේම හැපිල විනාස වෙලා යනවා. තමන් එගොඩ උනාට පස්සේ කළු ගඟ රුස්සන්නේ නැති, ගඟේ ගඳ ඉවසන්න බැරි තවත් සමහරු ඊට තවත් දුර යනවා…
6. අද කාලෙට ගැලපෙයිද?
කඩුල්ල කියන්නෙ ඉතිහාස කතාවක්, එක්තරා ආකාරයකට ඉතිහාස පාඩමක්. ඒ වගේම ආර්ථික සහ දේශපාලන විද්‍යා පාඩමක්. සුදු ජාතිකයින්ගේ පාලනය පැවති අවධිය ගැනත්, ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් බිහිවෙන්න පටන් ගත්ත අපේ ව්‍යාපාරික ධනපති පන්තියේ නැගීමත්. ඒ අයගේ ගමන් විලාසයත් සමග තීරණය වන රටේ අනාගත දේශපාලන ගමන්මගේ හැඩයත් ගැන බොහෝම අපූරුවට මවා පෙන්වන කතාපුවතක්. මිනිරන්, රබර්, මධ්‍යසාර කියන වෙළඳාම් ඔස්සේ පා තබමින් යන කුරුතේරිස්ට උනත් යන්න පුලුවන් දුරක් තියනවා. එතනින් එහාට ඒ ගමන අරඹන්නේ ඔහුගේ පුතා විසින්. කාසි පණම් ඉනිමගේ ඉහලින් වැජඹීමෙන් ඔබ්බට ගිය තවත් අරමුණු ඉටු කරගැනීමේ ආශාව ඔවුන්ට ඇතිවනවා. ඒ තුල තමන්ගේ අතීතය සහ උරුමයන් මකාදැමීම සුලු දෙයක් බවට පත්වනවා. ගේම් ඔෆ් ත්‍රෝන්ස් විලාශයක් දක්වමින් තමන්ගේ අරමුණ කරා යාමට තම ඥාතී හිතවතුන්, හර්ද සාක්ෂිය, ආගම දර්ශනය වුවත් කැපකොට ඉදිරියට යන කුරුතේරිස් පරම්පරාවේ කතාව අදටත් අපට අදාලයි. අඩ සියවසකටත් අධික කාලයකට පස්සේ උනත් ඒ මාර්ග වල යන කුරුතේරිස්ලාගේ පුත්තුන්ව අදටත් අපිට හමුවෙනවා. කඩුල්ල විශිෂ්ට කෘතියක් වන්න ඒකත් බලපානව.
7. ජීවිතේට ගන්න ආදර්ශයක් පාඩමක් එහෙම තියනවද?
ඔන්න ඕකනේ හැමෝටම වැදගත් දේ නේද? ආදර්ශයක් එහෙම නැතිනම්, පොඩ්ඩක් ඇඟේ මයිල් කෙලින් වෙන ප්‍රෞඩත්වයක් දැනෙන්නේ නැත්නම් ඒ නාට්‍ය වහ කදුරු වගෙයිනේ. කඩුල්ල කතාව ආදර්ශයක් හරි පාඩමක් හරි වෙනවානම් ඒක වඩාත්ම බලපාන්නෙ අපේ වර්තමාන සහ අනාගත නාට්‍යයකරුවන්ට සහ රංගන ශිල්පීන්ට බව තමයි කියන්න ඕනෙ. ටෙලිවිෂන් රසිකයන් හැටියට අපි කතාවේ හරය තේරුම් ගන්න ගන්න මේ කතාවෙන් පෙන්නන සමාජ හරස්කඩ ඉතිහාසගත සහ වර්තමාන අපේ සමාජය ඇතුලතින් පේන්න පටන් ගන්න පුලුවන්. එහෙම උනාම හුඟක් බබාලගෙ දේශපාලන දර්ශන වලට එහෙමත් ඌයියා වෙන්න ඉඩ තියනවා කියලා කියන්න පුලුවන්. ඒ නිසා කඩුල්ල පනින්නේ පරිස්සමින්.
කඩුල්ලේ තිරපිටපත ගැනනම් ඇත්තටම කියන්න වචන නෑ කියල තමයි කියන්න වෙන්නේ. දෙබස් වගේම එකිනෙකාගේ අනන්‍යතාවයන් මනාවට ඉස්මතු කෙරෙන චරිත ගොඩනැංවීම මේ කතාවේ සුපිරියට කරලා තියනවා. හෑම චරිතයක්ම තව පොඩ්ඩක් තිරයේ දිගහැරුණනම් කියල හිතෙන තරම් ලස්සනක් රංගනයන් ඇතුලෙ තියනවා. ඒකට හොඳම උදාහරණයක් තමයි ඉතා කෙටි කාලයක් දිගහැරෙන එල්සන් දිවිතුරුගමගේ රංගනය. ජැක්සන් ඇන්තනි, සිරිල් වික්‍රමගේ, වසන්ති චතුරාණි, ක්ලීටස් මෙන්ඩිස්, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව් ජයසිරි, ලයනල් වික්‍රම, ප්‍රියා රණසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, පද්මිණී දිවිතුරුගම ආදී රංගන ශිල්පීන් ශිල්පිනියන් මැකිල ගිහින් ඒ වෙනුවට කුරුතේරිස්ලා, මනුවෙල්ලා, පොඩි නෝනලා අපේ අවදානය පැහැර ගන්නවා කියල කියන්න ඕනෙ.
කඩුල්ලේ කිසිම අනවශ්‍යයයි කියන්න පුලුවන් සීන් එකක් නෑ. කතාවේ පලමු සීන් එකේ පටන් දිගහැරෙන හැම සීන් එකක් සහ දෙබසක්ම වගේ කතාවේ හරයට සහ ගලායාමට අත්වැල් අල්ලන ඒවා. ශ්‍රී ලංකා ටෙලි නාට්‍ය තිරරචකයන් අතර හොඳම තිරරචකයා වශයෙන් හඳුන්වන්න පුලුවන් තිලක් ජයරත්න මහතාගේ තිර රචනය මෙන්ම පතිරාජයන්ගේ අධ්‍යක්ෂණයත් විශිෂ්ටයි කියන්න අපි අමුතුවෙන් වචන නාස්ති කරන්නේ නෑ.අනෙක් ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ සංගීතය ? ….
රඟපෑම එහෙම ඉගෙනගන්නවනම් අන්න පාඩම්, අධ්‍යක්ෂණය තිර රචනය ගැන එහෙම අන්න ආදර්ශ. ඒ වගේම තමයි රසික අපිට ලැබෙන රසවින්දනය.
රංගන දායකත්වය: ජැක්සන් ඇන්තනී,වසන්ති චතුරාණී,ක්ලීටස් මෙන්ඩිස්,ලක්ෂ්මන් මෙන්ඩිස් ,සිරිල් වික්‍රමගේ,මහේන්ද්‍ර පෙරේරා,ඩබ්.ජයසිරි,ප්‍රියා රණසිංහ
රචනය – තිලක් ජයරත්න
සංගීතය – ප්‍රේමසිරි කේමදාස
සංස්කරණය – සුනිල් පරනගම
කැමරාකරණය – ලාල් වික්‍රමආරච්චි
අධ්‍යක්ෂණය – ධර්මසේන පතිරාජ
කඩුල්ල ගැන හිතුන තවත් දේ
*සිංහල ටෙලිනාට්‍යය ඉතිහාසය තුල අමුතුම විදිහේ මරණයක් සිදුවන ආකාරයක් මේ නාට්‍යයේ තියනවා. වෙනත් ටෙලිනාට්‍යයකට සාපේක්ෂව මේ නාට්‍යය ඇතුලෙ සිද්ධවෙන ස්වභාවික නොවන මරණ ගණන වැඩියි.
*කඩුල්ල තරම් උපුටා දැක්විය හැකි දෙබස් තියන තවත් නාට්‍යයක් තියනවද කියලත් සැක හිතෙන තරම් තිර පිටපත ප්‍රබලයි.
*ක්ලීටස් මෙන්ඩිස්ට “දක්ෂ නලුවෙක්” හැටියට මීට වඩා තවත් දුරක් යන්න තිබ්බා කියල හිතෙනවා කඩුල්ල බැලුවාම.
*ලංකාවේ හොඳම ටෙලිනාට්‍යය කියලා කවුරුත් වර්ග කරන ටෙලි වලින් වැඩිම ගණනක රඟපාල තියෙන්නෙ ජැක්සන් ඇන්තනිද? (කඩුල්ල, වෙදහාමිනේ, ඇල්ල ළඟ වලව්ව, පළිඟු මැණිකේ, සුසීමා,අකාල සන්ධ්‍යා,ඇසල කළුවර)
(තොරතුරු අන්තර්ජාලයෙනි )