Kadambari (2015) Bengali

Kadambari (2015) Bengali 

? Spoiler Alert!

89% liked this film Google users

කාදොම්බොරී දේවී යනු ප්‍රකට ලේඛක රබින්ද්‍රනාත් තාගෝර්ගේ නෑනාය. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වන ජ්යෝතින්ද්‍රනාත් තාගෝර්ගේ බිරිඳයි. තාගෝර්ගේ කෘතීන් වල සිටින ඇතැම් කාන්තා චරිත වලට ප්‍රභලව පාධක වූයේ කාදොම්බොරී. එය සනාථ කළ ප්‍රභල නිර්ණායකයක් ඔහු විසින් 1901 දී රචනා කළ Nastanirh කෘතිය. මෙය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සත්‍යජිත් රේ විසින් 1964 දී Charulata යන නමින් සිනමාවට ගොඩ නැගුවා. Charulata චිත්‍රපටය The Lonely Wife යන අනුවර්ත නාමයෙන්ද හඳුන්වනවා. Charulata තුලින් සැබවින්ම පෙන්නුම් කරන්නේ කාදොම්බොරී දේවීගේ චරිතයයි. ඔබ Kadambari චිත්‍රපටය නරඹා Charulata නැරඹුවොත්, (නැතිනම් Charulata නරඹා Kadambari නැරඹුවොත් ) මෙම සම්බන්දය පිලිබඳ පැහැදිලි වැටහීමක් ඔබ‍ට ලැබෙයි. සත්‍යජිත් රේ ගේ නිර්මාණය අවසන් වන්නේ ප්‍රේක්ෂකයාටද ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමින්. නමුත් කදම්බරි දේවීගේ සැබෑ ජීවිත කතාව විශාල ඛේදවාචකයක්. Suman Ghosh 2015 දී අධ්‍යක්ෂණය කළ Kadambari හරහා පෙන්නුම් කරන්නේ, කාදොම්බොරී දේවියගේ ඛේදනීය ජීවිත කතාවයි.

කාදොම්බොරී දේවී රබින්ද්‍රනාත්ගේ (රෝබී) වැඩිමහල් සහෝදරයා සමග විවාහ වන්නේ වයස අවුරුදු නවයේදී. ඒ අනුව විශාල වයස් පරතරයක් ඇති ජ්යෝතින්ද්‍රනාත් (ජ්‍යෝතී) වෙනුවෙන්, කාදොම්බොරී හට බිරිඳකගේ භූමිකාවේ නියැලෙන්නට සිදු වන්නේ තම ළමාවියේ පටන්. සැබවින්ම ඇයට ළමා වියක් හිමි වන්නේ නැත. ඉන්දියාවේ එකල සහ වර්තමානයේ සිදුවන ළමා විවාහයන් තුල, සිත කළඹන සිදුවීම් රැසක් අස්සනට ලැබෙනවා. නමුත් කදම්බරී හට එවැනි භයානක ඉරණමක් හිමි වන්නේ නැත. ඊට හේතුව කාදොම්බොරීගේ සැමියා වන ජ්‍යෝතී යනු ඉදිරිගාමී පුරුෂයෙකු වීමයි. ජ්‍යෝතී සහ රෝබීගේ අනිකුත් සහෝදරයන්ගේ බිරින්දෑවරුන් එවකට ගැහැණියට උරුම වූ සම්ප්‍රදායික භූමිකාවන් වල නිරත වූවත්, කාදොම්බොරීට එය සිදු වන්නේ නැත. ජ්‍යෝතී සහ රෝබී අවතීර්ණ වූ සාහිත්‍ය ලෝකය පිලිබඳ ඉගෙන ගැනීමට ඇයටද අවස්ථාවක් හිමි වනවා. මෙහිදී ඇයගේ සැමියා තුලින් කිසිදු බාදාවක් ඇති වන්නේ නැත.

කාදොම්බොරීගේ සාහිත්‍ය රසය බොහෝ සෙයින් සමාන වන්නේ රෝබීගේ දැක්මටයි. එම නිසා කදම්බරී සහ රෝබී තුල සාහිත්‍ය වෙනුවෙන් ඇති ඇල්ම නිසාවෙන්, ඔවුන් දෙදෙනා අතර සමීප ඇසුරක් ආරම්භ වනවා. මෙය ආරම්භ වන්නේ කදම්බරී මනාලියක් වී තාගෝර් පවුලට සම්බන්ද වූ දා පටන්ය. කදම්බරී රෝබීට වඩා වැඩිමල් වන්නේ වසර දෙකකින්. ඇගේ සැමියා වෘතිය කටයුතු වෙනුවෙන් නිවසින් බැහැර වද්දී, කාදොම්බොරී බොහෝ සෙයින් කාලය ගත කරන්නේ රෝබී සමග. එම නිසා එම නිවසේ අනිකුත් සාමාජිකයන්ට වඩා කාදොම්බොරී රෝබීට සමීප වනවා. මෙම සමීපත්වයත් සමග ඔවුන් අතර ප්‍රභල සහෝදර බැඳීමක් ඇති වනවා. එම බැඳීම කාලයත් සමග ප්‍රේමයකට පරිවර්තනය වනවා. මෙම ප්‍රේමය ප්‍රධාන වශයෙන් මානසිකව ගොඩ නැගෙන ප්‍රේමයක්. රෝබීගේ සාහිත්‍ය රසය කදම්බරීගේ දැක්මෙන් තවත් පෝෂණය කරනවා. ජ්‍යෝතී තම බිරිඳට සම්ප්‍රදායික ගැහැණියක් ලෙස නොදැක්කත්, ඔහු සහ කදම්බරී අතර කාලයත් සමග දුරස් බවක් වර්ධනය වනවා. ජ්‍යෝතීගේ වෘතිමය කටයුතු නිසා ඔහුට නිවසින් බැහැරවී සිටීමට සිදුවන කාල සීමාව වැඩිය. ඒ අනුව ඔහු තම බිරිඳ සමග ගත කරන්නේ ඉතාම සීමිත කාලයක්. මෙම දුරස්ථභාවය නිසාවෙන් කාදොම්බොරී තුල දැඩි හුදෙකලාවක් ඇති කරනවා. ජ්‍යෝතී සහ රෝබී හැරුණු විට එම පවුලේ සිටින බහුතරයක් සාමාජිකයන් සමග ඇය සමීප නැත. එම නිසා කාලයත් සමග මෙම හුදෙකලාව තව තවත් වර්ධනය වනවා. එය මකා දැමීමට ඇය තුල ඇති විකල්පයන් වූයේ සාහිත්‍ය සහ රෝබී. කාදොම්බොරී ඛේදනීය ජීවිතය ගැන දැන ගැනීමට ඔබ මෙම චිත්‍රපටය නැරඹිය යුතුමයි.

නැවතත් මා ආරම්භයේදී සඳහන් කළ කාදොම්බොරී සහ Charulata චිත්‍රපටයේ සම්බන්දය වෙත අවධානය යොමු කරමු. සත්‍යජිත් රේ අධ්‍යක්ෂණය කළ Charulata චිත්‍රපටයේ ප්‍රධානතම අවධානය හිමි වන්නේ චාරුලතා නම් බිරිඳගේ චරිතයටයි. චාරුලතාටද භූපති නම් ඉදිරිගාමී ස්වාමිපුරුෂයෙක් සිටිනවා. භූපතිද චාරුලතා දෙස සම්ප්‍රදායික ගැහැණියක් ලෙස බලන්නේ නැත. නමුත් භූපතිගේ කාර්යබහුලත්වය හමුවේ, තම බිරිඳ සමග කාලය ගත කිරීමට ඇත්තේ ඉතාම සීමිත කාල වේලාවක්. මෙය හමුවේ චාරුලතා එම නිවස තුල ගත කරන්නේ දැඩි හුදෙකලා ජීවිතයක්. කෙතරම් සැප පහසුකම් මැද ජීවත් වුවත්, ඇයට එම ජීවිතයේ හිස් බවක් දැනෙනවා. ඇය එම හුදෙකලාව ගෙවා දමන්නේ සාහිත්‍ය වෙත අවධානය යොමු කිරීමෙන්. ෙම හුදෙකලාව බිඳෙන්නේ භූපතිගේ ඥාති සහෝදරයෙක් වන අමාල්ගේ පැමිණීමත් සමග. අමාල්ද චාරුලතා සේම සාහිත්‍ය පිලිබඳ ප්‍රභල දැක්මක් ඇති කඩවසම් තරුණයෙක්. එක සමාන අදහස් ඇති ඔවුන් දෙදෙනා ප්‍රේමයෙන් බැඳෙන්නේ එකිනෙකාට සාහිත්‍ය කෙරෙහි ඇති ආශාව හමුවේ. සැබවින්ම කාදොම්බොරී දේවී සහ රබින්ද්‍රනාත් තාගෝර්ගේ සම්බන්දයද මීට බොහෝ සෙයින් සමානයි.

මෙය අධ්‍යක්ෂණය සහ තිර රචනය කළ සුමාන් ගෝෂ්, කාදොම්බොරීගේ එම ඛේදනීය ජීවිතය ඉතා අපූරුවට පෙන්නුම් කර තිබෙනවා. විශේෂයෙන්ම කදම්බරී සහ රබින්ද්‍රනාත්ගේ චරිතයන් තුල ඇති මනෝභාවයද ඉතා හොඳින් අධ්‍යනය කර තිබුනා. මා තුල ඇති එක්‌ විවේචනයක් වන්නේ මෙහි දාවන කාලයයි. සැබවින්ම විනාඩි 87 ක දාවන කාලය ඉතා කෙටි බවක් දැනුණා. විශේෂයෙන්ම කාදොම්බොරී සහ රබින්ද්‍රනාත්ගේ සම්බන්දය ඇසුරෙන් ඉදිරිපත් කළ දෙයට වඩා යමක් ඇතුලත් වී තිබුනා නම්, වැනි හැඟීමක් මා තුල මතු වුනා. කාදොම්බෝරී චරිතයට රඟ දක්වන්නේ කොන්කොනා සෙන් ශර්මා විසින්. කාදොම්බෝරීගේ චරිතය අත්විඳින නිහඬ හුදෙකලාව සහ අහිමි වීම ඉතා විශිෂ්ට ලෙස කොන්කොනාගේ රංගනය තුලින් ඉස්මතු වුනා. රබින්ද්‍රනාත්ගේ චරිතයට පණ දුන් පරම්බ්‍රතා චැටර්ජීද, එම චරිතය වටා ඇති අධිෂ්ඨානය සහ ප්‍රේමනීය බව ඉතා අපූරුවට ඉදිරිපත් කර තිබුනා. චිත්‍රපටයේ ඇඳුම් නිර්මාණකරණය සහ පසුතල නිර්මාණයන්ද ඉතා සාර්ථකව ඉදිරිපත් කර තිබුනා. තවද බික්‍රම් ගෝෂ්ගේ මනරම් සංගීත අධ්‍යක්ෂණය සහ බරුන් මුකර්ජීගේ සිනමාකරණයද චිත්‍රපටය තුල කැපී පෙනුණ අංගයන්.Kadambari යනු ඔබ‍ට ඉහලින්ම නිර්දේශ කළ හැකි සිනමා නිර්මාණයක්. ඒ සමගම සත්‍යජිත් රේ 1964 දී අධ්‍යක්ෂණය කළ Charulata චිත්‍රපටයද හැකි නම් සොයාගෙන නරඹන්න.

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *