Kaaka Muttai (2014) Tamil | Sinhala Article

Kaaka Muttai (2014) Tamil by Malintha Imalka Vithanage 

“පීසාවලට වඩා කපුටු බිත්තර රසවත්”

සැබැවින්ම පීසා(Pizza) යනු රසවත් කෑමක්ද? යමෙකුට එය රසමසවුළු විය හැකි ය. මෙලොවෙි තිබෙන රසම රස කෑම බවට පත් විය හැකි ය. තවෙකුට එය මෙලොව තිබෙන පිළිකුල්සහගත ම කෑම වීමට පිලිවන. දිනක මාගේ නැගණියන් දෙදෙනා මා හට පෙරැත්ත කලේ පීසා කැබැල්ලක රස බලන්න අපටත් ගෙනත් දෙන්නැයි කියා. නමුත් රූපවාහිනියේ පෙන්වන තරමි පීසාවල ඇති දෙයක් නෑ යන වග වැටහුනේ පීසා ඔවුන්ට ගෙනත් දී එය කා නිමවීමෙන් අනතුරුව ය. මෙි සිදුවීම සිහියට නැගෙන්නේ “කාක මුටිටෙයි” චිත්‍රපටය නිරායාසයෙන්ම සිහිපත් කරමිනි.

කාක මුට්ටෙයි චිත්‍රපටියේ කතාන්දරය ගෙතී ඇත්තේ පියා සිර කූඩුවක සිරගත වු කල පවුලක, දිළඳු මවකගේ සහ මිත්තණියකගේ රැකවරණය ලබමින් තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ පැල්පත්වාසීව වෙසෙන ළමුන් දෙදෙනෙකුගේ පීසා කෑමට ඇති ආශාව කේන්ද්‍ර කරගනිමින් ය. අධික දරිද්‍රතාවය නිසා පාසැල් නොයන මෙම ළමුන් දෙදෙනාගේත්, මවගේත් ඒකායන ප්‍රාර්ථනය වනුයේ සිරගත වී ඇති සිය පියා සහ සැමියාව නිදහස් කරගැනීම සදහා නීතීඥයන්ට ගෙවීමට මුදල් සොයාගැනීම ය. මව කුඩා බෙලෙක් කම්හලක වැඩ කරන අතර මෙම කුඩා ළමුන් දෙදෙන රේල් පාරේ වැටී ඇති ගල් අඟුරු එකතු කර විකුණමින් තම පියා⁣ නිදහස් කරගැනීමෙි අරමුණ සාක්ෂාත් කරගැනීමට වෙහෙසෙයි. තුන් වෙිලටම නිසියාකාරව ආහාරයක් නොමැති මෙම දරුවන් අවශ්‍ය ශක්තිය සපයා ගැනීම සදහා නගරයේ අතැහැර දැමු ඉඩමක බෝ ගසේ ඇති කපුටු කුඩුවක කපුටු බිත්තර බීම පුරුද්දක් කර ගනී. එම නිසා ම මෙම ළමුන් දෙදෙනට ලොකු කාක බිත්තරය (පෙරිය මුට්ටයි) සහ කුඩා කාක බිත්තරය (සින්න මුට්ටයි) ලෙස නම් පට බැඳෙන්නට පටන් ගනී.

එසේ කතාව ගලාගෙන යද්දී මෙම කුඩා දරුවන්ගේ නිවාසයට රූපවාහිනී යන්ත්‍රය හෙවත් හුනියම් පෙටිටිය පැමිණීමත් සමඟ අටෝරාසියක් කරදරයන්ට මැදිවන්නට මෙි සහෝදර දෙපළට සිදු වෙයි. ⁣මොවුන්ගේ අවවරප්‍රසාදිත ජීවිතයට කඩාවදින හුනියමි පෙටිටිය හෙවත් රූපවාහිනියේ විකාශනය වන නවතම ආහාරයක් වන අලංකාර පීසා (Pizza) වෙළඳ දැන්වීමකින් ඔවුන්ගේ පීසා වෙනුවෙන් ආශාව ඉඩ අත්පත් කර ගනිති. මෙි අතර ඔවුන් කපුටු බිත්තර තිබු බෝ ගස කපා එම ඉඩමේ පීසා කඩයක් ඉදිකිරීමත් සමග එතෙක් රූපවාහිනීයෙන් දුටු පීසා ආශාව තවතවත් ඔවුන්ට සමීප කරයි. සැබෑ ඇසින් දැක ගැනීමටත්, සියල්ල පසක තබා ‘Pizza එකක් කෑම’ සිය අරමුණ කරගැනීමටත් මෙම කුඩා දරුවන් ඉන් අනතුරුව පෙලඹෙයි.

එහෙත් මෙි පීසා කැබැල්ලක රස බැලීම මොවුන් දෙපළට ලේසි පහසු කටයුත්තක් නමි නොවේ. මන්දයත්, දවසකට රුපියල් 10ක මුදලක් ගල් අගුරු එකතුකර විකුණමින් උපයන මෙම කුඩා දරුවන්ට ඉන්දියානු රුපියල් 300 වන පීසා එකක් කෑම මහත් අභියෝගයක් වන බැවිනි. දරුවන්ගේ ආශාව ක්ෂණයෙන් වටහාගන්නා මෙම ළමුන් දෙදනගේ මිත්තණිය තෝස පදම මත එළවලු අතුරා පීසා ප්‍රචාරක පත්‍රිකාවල පෙන්වන පීසා හා සමාන තෝසයක් සකස් කර දෙනමුත් එය සැබෑ පීසාවක මෙන් අලංකාර පෘෂ්ටිමත් නොවෙයි යැයි කියමින් මිත්තණියගේ පීසාව දරුවන් ප්‍රතික්ෂේප කරති. එතෙක් පටන් මෙම කුඩා දරුවන්ගේ ඒකායන අරමුණ වන්නේ කෙසේ හෝ පීසා එකක් මිලදී ගැනීම ය. ඒ අනුව ඔවුන් ගල්අගුරු හොරකම් කර විකිණීම, බේබද්දන්ව කුඩා කරත්තයක තබාගෙන ගොස් ගෙවල් වලට ඇරලීම, තාප්ප පිරිසිදුකර මුදල් සොයා ගැනීම ආදී කටයුතු වල නිරතවේ.

අවසානයේ මහත් වෙහෙසක් දරා සොයාගත් මුදලුත් රැගෙන,දහසක් බලාපොරොත්තු පොඳි බැඳගෙන පීසා අවන්හල වෙත ගිය ද මෙම දරුවන් එයට වැද්ද නොගනුයේ ඔවුන්ගේ කිලිටි ඇදුම් එහිලා නොගෙලපෙන බව එහි ආරක්ෂකයා දන්වන බැවිනි. චිත්‍රපටය එයින් ප්‍රේක්ෂකයාට ඉඟි කරනුයේ පීසා කෑමට නම් එහි හා බැදී සෙසු සංස්කෘතික අංග-උපාංග ද අනිවාර්යය යන්න සියුම් වු උපහාසයට ලක් කරමිනි. පීසා කෑමට මුදල් ඇති මෙම දරුවන් අනතුරුව හොද ඇදුම් සොයා සුපිරි සාප්පු සංකීර්ණයක් ලගට ගියද ඔවුන් එහි ඇතුල් නොවෙනුයේ එයින් ඔවුන් එලවා ගනු ඇතැයි යන බිය නිසාය. එහෙත් පසුව ඔවුන් සුපිරි සාප්පු සංකීර්ණයෙන් ඇදුම් මිලට ගෙන පැමිනේන ‘වීදියේ කෑම’ ප්‍රිය කරන තවත් කුඩා ළමයින් දෙදෙනෙකු සමග ‘වීදියේ කෑම’ සහ ඔවුන් මිලදී ගත් ඇදුම් හුවමාරු කරගනිමින් එම බාධකයද ජයගනී. එය එක් අතකින් මුදල් ඇති එකා සාමාන්‍යයෙන් පාරේ විකුණන ‘වීදියේ කෑම’ රසවිදීමටත්, මුදල් නැති එකා සුපිරි කෑම රසවිදීමටත් යොමුකරවන විෂම ආශාවන් සහ පන්ති විඥනයන් සිහිකැදවන්නකි. එහෙත් නැති එකාට එහි ඇති අභියෝගය කෙබදුද යන්න සිහිකැදවන්නේ චිත්‍රපටියේ ඉන් අනතුරුව දිගහැරෙන කොටස්වලිනි.

අවශ්‍ය මුදල් සහ ඇදුම් පැලදී මේ කුඩා දරුවන් පීසා කෑමට නැවතත් පීසා අවන්හලට යනමුත් එහි ආරක්ෂකයා මෙම කුඩා දරුවන්ට පහරදී එලවනුවේ මුදල් තිබුනද, ඇදුම් තිබුනද පීසා කෑමට පැමිණීමට උබලා කවුදැයි සරදම් කරමින්. බලාපොරොත්තු කඩවන මෙම කුඩා දරුවන් හිස්ලුලු අත දිවයන අතර මෙම සිද්ධීය වීඩියෝ කරගැනීමට තවත් කුඩා දරුවන් පිරිසක් සමත්වේ. එම වීඩියෝව අත්කරගන්නා වැඩිහිටියන් දෙදෙනෙකුකගෙන් එක් අයකු එය පීසා අවන්හල් හිමියාට පෙන්වා මුදල් සොයාගැනීමට යන අතර අනෙකා එය රූපවාහිනී නාලිකාවකට විකුණා මුදල් සොයාගනී. මහත් වු ප්‍රශ්නයකින් මුළු නගරයම ඇළලේ. මෙිත් සමගම පීසා කෑමට පැමිණි දිළිඳු දරුවන්ට පහර දී එලවා දැමීම මහ මුග්ධ ක්‍රියාවක් සේ ලෙස ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවල විකාශනය කරන අතර මාධ්‍ය ඔස්තාර්ලා සහ බුද්ධිමතුන් ප්‍රශ්න කරනුයේ මුදල් ගෙවා හෝ සාමාන්‍ය ජනයාට පීසා අවන්හලකට ගොඩවී කෑමක් කෑමට නොහැකිද ? ඇමෙරිකාවේ, යුරෝපයේ සහ වෙනත් බටහිර රටවල සාමාන්‍ය ජනයාට එසේ කිරීමට හැකි නම් ඉන්දියාවේ අපිට එසේ කල නොහැක්කේ මන්ද? යනුවෙනි. සිද්ධීයට මුහුණදුන් කුඩා දරුවන්ට පවා නොදැනුවත්වම ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවලින් ජාතික දේශපාලනයේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්කල ඔවුන්ගේ ප්‍රශ්නය විසදෙනුයේ, පොලිසියේ මැදිහත්වීමෙන් සොයාගන්නා කුඩා දරුවන් දෙදෙනාව රතුපලසකින් පීසා (Pizza) අවන්හලක්ට කැදවා ඔවුන්ට පීසා සංග්‍රහයකින් සැලකීමෙනි. තම පීසා (Pizza) අවන්හලට ලැබුණු විශාල මාධ්‍ය ආවරණය හමුවේ මාධ්‍ය ඉදිරියට පැමිණෙන පීසා (Pizza) අවන්හල් හිමියා කියා සිටිනුයේ පීසා (Pizza) දුප්පත් පොහොසත් සැමට රසවිදිය හැකි ආහාරයක් බවත් එය කෑමට පොහොසතෙක්ම වීමට අවශ්‍ය නැති බවත්ය. එහෙත් අපමණ උත්සහයකින් අනතුරුව පීසා එකක රසබලන ඉහත සදහන් කල ළමයින් දෙපළ පීසා කඩවෙන් පිටවී යන්නේ ‘ඒවා තමන්ගේ මිත්තණියගේ තෝස පදම මත එළවලු අතුරා පිසූ පීසා තරම්වත් රස නැතියි’ කියමිනි. ප්‍රේක්ෂකයා වු මටත්, මගේ නැගණියන් දෙදෙනටත් සිතුණේ එසේම ය. පීසා යනු රසවත් ආහාරයක් නොවෙිය යන්නයි.

එමි. මනිකනාදන් නම් නවක අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටිය තවත් සම්මාන දිනු අධ්‍යක්ෂකවරයෙක් වන වෙට්‍රිමාරන්ගේ සහ දකුණු ඉන්දියාවේ දැන් ජනප්‍රියම නළුවා මෙන්ම 2011 දී රංගනය පිළිබදව ඉන්දියානු ජාතික සම්මානය දිනූ නළුවා ද වන ධනුෂ් විසින් මුදල් වියදම් කර නිෂ්පාදනය වූ චිත්‍රපටියකි. ටොරොන්ටෝ, රෝම්, ඩුබායි සහ තවත් ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලවල් ගණනාවක්ම නියෝජනය කර සුවිශේෂ විචාරක ඇගයීම් වලට ලක්ව තිබීම නිසාම මෙම චිත්‍රපටිය ඉන්දියාවේ නිල වශයෙන් එළිදැක්වූ දිනයේම දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් දිනාගැනීමට සමත්වූ අතර තිරගතවී සතියක් යාමටත් මත්තෙන් චිත්‍රපටිය නිපදවීමට වැය වූ මුළු මුදල උපාය දීමට සමත්වූ බව වාර්තා වේ. අනෙක් අතට, එය ළමා චිත්‍රපටිය ලෙස වර්ගකර තිබීම තුල මෙම චිත්‍රපටිය මේතාක් සිදුකල ඉපැයිම් වාර්තාගත තත්වයට පත්ව තිබේ.

ගෝලීය ප්‍රාග්ධන ක්‍රියාවලියට හසුව සංස්කෘතිකකරණය වූ බටහිර රටවල සාමාන්‍ය ජනයාගේ වීදී ආහාරයක් බවට පත් වී ඇති “පීසා” ආහාරය ආසියානු රටවලට පැමිණෙන විට සුපිරි ආහාරයක් වන්නේ කුමන ආකාරයකට ද? ඒමෙන්ම විශාල මුදලක් ගෙවා, මහත් ආයාසයෙන් ඒවා රස බලන එම ජනයාට තම තමන්ගේ පුරුදු ආහාර මෙන් ඒවා රස නැත්තේ ඇයි දැයි ? යන විවිධ පැතිකඩයන් මෙම “කාක මුට්ටයි” චිත්‍රපටියෙන් හොදාකාරව පෙන්නුම් කරයි. එය එක්තරා ආකාරයකින් ලංකාවේ ඇතැම් කොටස් වලට “මැක් ඩොනල්ඩ්, KFC, පීසා ” ආදිය සුපිරි කෑම වෙන්නේ කෙසේද ? ඒවායින් කෑවද, ඇතැම් කොටස් වලට, ඒවා හොද්දක්-බතක් තරම්වත් රස නැති සේ දැනේන්නේ ඇයි වැනි පැතිකඩයන් චිත්‍රපටය තුළින් මනාවට පෙන්නුම් කරයි.

Kaaka Muttai scored 8.3 out of 10 on IMDb.

Kaaka Muttai scored 100 percent on Rotten Tomatoes.
94% liked this film Google users

 

Release date: June 5, 2015 (India)
Director: M. Manikandan
Distributed by: Star Studios
Production companies: Wunderbar FilmsGrass Root Film Company
Produced by: Dhanush; Vetrimaaran

මලින්ත විතානගේ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *