Joji ജോജി (2021) Malayalam
? Spoiler Alert!.
Maheshinte Prathikaaram, Thondamuthalum Drisakshiyum වැනි සිනමා සිත්තම් ඔබට ගෙන ආ Dileesh Pothan ගේ තුන්වන සිනමා නිර්මාණය Joji. Joji චිත්‍රපට කතා තේමාවේ ප්‍රධාන සංකල්පය වන්නේ විලියම් ශේක්ස්පියර්ගේ Macbeth කෘතිය. ශේක්ස්පියර්ගේ Macbeth, Othello සහ Hamlet වැනි කෘතීන් සිනමාව තුල විවිදාකාර අනුවර්තනයන් සහ කියවීම් තුලින් ඉදිරිපත් කර ඇත. එම ඉදිරිපත් කිරීම් බොහෝ විට එම රටවල් තුල ඇති සමාජ දේශපාලනික වාතාවරණයන්ට සම්බන්ද කර තිබුනා. මෙහිදී ඉන්දියානු සිනමා ප්‍රේක්ෂකයින්ට වඩාත් සමීප වන්නේ විශාල් බරධ්වාජ් ශේක්ස්පියර් ඔස්සේ සිනමාවට අනුවර්තනය කළ Macbool (Macbeth), Omkara (Othello) සහ Haider (Hamlet ). මෙම අනුවර්තනයන් ත්‍රිත්වයම ඉතා විශිෂ්ට ගණයේ සිනමා කෘතීන් ලෙසද අපට නම් කරන්නට පුළුවන්. Dileesh Pothan අපට 2021 දී ඉදිරිපත් කරන්නේද Macbeth හි තවත් වෙනස්ම අනුවර්තනයක්. මෙය තව තවත් සුවිශේෂී වන්නේ 2020 දී ආරම්භ කළ කොරෝනා වසංගත කාල සීමාව මෙම කතාවේ පසුබිමට ඇතුලත් කිරීමයි.
ජෝජී යනු කුට්ටප්පන් පනාචෙල් නම් ධනපතියෙකුගේ බාලම පුත්‍රයායි. ජෝජීගේ වැඩිමහල් සහෝදරයින් දෙදෙනා වන්නේ ජොමොන් සහ ජේසන්. පනාචෙල් පවුල බොහෝ සෙයින් පීතෘ මූලික පවුලක්. එම පවුලේ සෑම අංගයක්ම පාලනය වන්නේ කුට්ටප්පන්ගේ අණ කිරීම් යටතේ. එම පවුලේ සිටින එකම ගැහැණිය, ජේසන්ගේ බිරිඳ වන බින්සි. ජෝජී ඉංජිනේරු උපාදිය සම්පුර්ණ නොකර තම පියාගේ ආධිපත්‍ය යටතේ ජීවත් වන තරුණයෙක්. එම නිවස තුල තම සහෝදරයන්ට සාපේක්ෂව අවම බලයක් හිමි වන්නේ ජෝජී හටයි. එම නිසා කතාවේ ආරම්භයේ පටන්ම ජෝජී තම පියාගේ සෙවනැල්ලෙන් ගැලවී, ඔහුගේම අනන්‍යතාවයක් සහ බලයක් ලබා ගැනීමට වෙර දරනවා. නමුත් පියාගේ ආධිපත්‍ය ඔහුව නතර කරනවා. එම නිසා ඔහු කාලය ගෙවා දමන්නේ තම අරමුණ ගැන සිතමින්. නමුත් ජෝජී තුල ඇති අරමුණ අඩු වැඩි වශයෙන් ඔහුගේ වැඩිමහල් සහෝදරයන් වන ජොමොන් සහ ජේසන් අතර සහ ඔහුගේ නෑනා වන බින්සි තුලත් සැරි සරනවා.
ජෝජී තුල අනන්‍යතාවයක් සහ බලයක් අත්පත් කර ගැනීමට මූලික අඩි තාලම සකසන්නේ ඔහුගේ පියාගේ ක්‍රියා කලාපයන් විසින්. කුට්ටප්පන් එක් වරක් ජෝජීව ප්‍රචණ්ඩකාරී ලෙස ඇඳට තල්ලු කර ප්‍රකාශ කරන්නේ ඔහු වැඩකට නැති පරාජිතයෙක් ලෙසට. ‘දෙන දෙයක් කාලා පැත්තකට වෙලා ඉඳින්’: කුට්ටප්පන් ජෝජීට දෙන අවවාදය මෙයයි. තම පියාගෙන් මෙන්ම අනිකුත් සහෝදරයන්ගේ ආධිපත්‍යට යටත්වයි ජෝජීට ජීවත් වීමට සිදු වන්නේ. එම නිසා ජෝජී ඔහුගේම ලෝකයක හුදෙකලා වනවා. මෙම හුදෙකලාව ජෝජී තුල මෙන්ම ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ නෑනා තුලත් සැරිසරනවා. බලය සහ දේපල තණ්හාව ජෝජී ඇතුළු එම පවුලේ සිටින සෑම සාමාජිකයෙකු තුලම දක්නට ලැබෙනවා. ජෝජීගේ සහෝදරයන් ජේසන් සහ ජොමොන් තම පියාගේ ආධිපත්‍යට යටපත් වූවත්, ඔවුන්ගේ පෞරුෂයන් යම්තාක් දුරකට ප්‍රභලයි. නමුත් ජෝජී ඔවුන්ට සාපේක්ෂව දුර්වල චරිතයක්. එම නිසා ඔහු භයානක අභ්‍යන්තරයන් පිලිබඳ සිතන පතන පුද්ගලයෙක්. ජෝජී මෙම අරගලය තුල සම්පුර්ණයෙන්ම තනි වන්නේ නැත. ඔහුගේ සහායට තම මැදි සහෝදරයාගේ බිරිඳ වන බින්සිද සිටිනවා. බින්සිද වෙනස්ම ආකාරයක අරමුණු සහ බලාපොරොත්තු ඇති නිහඬ චරිතයක්. ඔවුන් දෙපල තුල නෑනා සහ මස්සිනා යන සම්බන්දයට වඩා ඔබ්බට ගිය යමක් තිබෙනවා. ජෝජීගේ පියා හදිසියේම රෝගාතුර වී එකතැන් වනවා. පනාචෙල් පවුලේ වෙස් මුහුණු ගැලවෙන්නේ මෙතැන් පටන්. මෙම පවුලේ සෑම සාමාජිකයෙකු සතුව භයානක අරමුණක් තිබෙනවා. එහි අවසානය කුමක්ද?.
ශේක්ස්පියර්ගේ මැක්බත් කෘතිය පිළිබඳ ගැඹුරු අධ්‍යනයක් මා සිදු කර නැත. නමුත් මූලික අන්තර්ගතය පිලිබඳ දනුවත්බාවයක් මා තුල තිබෙනවා. මැක්බත් තුල සිදුවන රළු නාට්‍යරූපී ස්වභාවයක් Joji තුල නැත. ඒ සමගම විශාල් බරධ්වාජ් අධ්‍යක්ෂණය කළ Macbool චිත්‍රපටය මෙන් කෘර ප්‍රචණ්ඩකාරී ස්වභාවයක්ද නැත. Joji චිත්‍රපටයේ විශිෂ්ටත්වය රඳා පවතින්නේ මෙහි නිහඬ අධ්‍යනයන් තුල. අධ්‍යක්ෂක Dileesh Pothan ඉතා අපූරුවට මෙය නූතන සමාජයට බද්ද කර තිබෙනවා. මිනිසා තුල ඇති වන බලයට සහ අත්පත් කර ගැනීමේ ආශාවන් පිලිබඳ නිහඬ නමුත් ප්‍රභල විග්‍රහයක් මෙහි ඇතුලත් වනවා. අප පුරුෂාධිපත්‍යය බොහෝ වෙලාවට සම්බන්ද කරන්නේ ස්ත්‍රීවාදී මාතෘකාවන් තුල. නමුත් පුරුෂාධිපත්‍යය පිරිමියෙකුට බලපාන්නේ කෙසේද?. ජෝජී ජීවත් වන්නේ පීතෘ මූලික පවුලක සහ ඔහුට පුරුෂාධිපත්‍යය බලපාන්නේ ඔහුගේ පියා විසින් ඔහුට සිදු කරන පාගා දැමීම් හරහා. ජෝජී බොහෝ අවස්ථාවන් තුලදී අතරමන් වූ පිරිමි පරාණයක් ලෙස හැසිරෙන්නේ, ඔහුගේ පියාට ඇති බිය සහ තම පියාගේ ප්‍රචණ්ඩකාරී චරිත ලක්ෂණ හමුවේ. ඒ සමගම මැක්බත් චරිතය අපට ජෝජී තුලින් පමණක් නොව, ජෝජීගේ සහෝදරයන් තුලින්ද සාපේක්ෂව දැක ගන්නට පුළුවන්. ඒ සමගම බින්සි නොහොත් මැක්බත් බිසවගේ චරිතයද මෙහි තිර රචනය ඉතා අපූරුවට හසුරවා තිබෙනවා. බින්සී තුලද යම්කිසි අරමුණක් තිබුනත් ඇය බොහෝ සෙයින් සොයන්නේ තම ඒකාකාරී ජීවන රටාවෙන් නිදහසක්. පනාචෙල් පවුලේ පිරිමියාට පමණයි හඬක් ඇත්තේ. බින්සී යනු කුස්සියට කොටුවූ ගැහැණියක්. ඇය නිහඬයි නමුත් එහි සිටින අනිකුත් සාමාජිකයින්ට වඩා අනපේක්ෂිතයි. ඇය තම ඒකාකාරී ජීවිතයට ආලෝකයක් සොයන්නේ ජෝජී හරහා. චිත්‍රපටය තුල සියුම්ව භාවිතා කළ ස්ත්‍රීවාදී පැතිකඩ ඉස්මතු වන්නේ බින්සිගේ චරිතය හරහා.
ජෝජී චිත්‍රපටයේ රංගනයන් ඉතා ඉහල මට්ටමක තිබුනා. Fahadh Fasil ජෝජීගේ චරිතය තුල විටෙක තම පියාගේ ආධිපත්‍ය හමුවේ ඇති අසරණ ස්වභාවය සහ නිහඬ ලෙස එම චරිතය තුල ගැබ්ව ඇති කෘරත්වය ඉතා විශිෂ්ට ලෙස පෙන්නුම් කළා. බින්සි ලෙස රංගනයෙන් දායක වූ Unnimaya Prasad ගේ රංගනයද චිත්‍රපටය තුල කැපී පෙනුණා. විශේෂයෙන්ම එම චරිතය තුල ඇති නිහඬ අනපේක්ෂිතබව, Unnimaya ගේ හැඟීම් ප්‍රකාශන තුලින් ඉතා අපූරුවට ඉස්මතු වුනා. ඒ සමගම ජෝජීගේ පියාගේ චරිතය ඉදිරිපත් කළ Sunny PN ද එම චරිතයේ ඇති රළු ප්‍රචණ්ඩකාරී ස්වභාවය ඉතා තාත්වික ලෙස පෙන්නුම් කළා. Shyju Khalid ගේ විශිෂ්ට සිනමාකරණය සහ Justin Varghese ගේ සංගීත අධ්‍යක්ෂණයද චිත්‍රපටය තුල ඇති ත්‍රාසය සහ කුතුහලය ඉස්මතු කළ ප්‍රධාන සාදකයන්. ඒ සමගම චිත්‍රපටයේ සංකේත භාවිතයන්ද අමතක කළ නොහැකියි. විශේෂයෙන්ම ආරම්භයේදී පෙන්නුම් කරන පිස්තෝලේ සහ කැඩපත්, චිත්‍රපටය තුල ප්‍රධාන භාවිතා කළ ප්‍රධාන සංකේතයන් දෙකක්.
Joji යනු ඔබ මෙම වසරේ මග නොහැර නැරඹිය යුතු විශිෂ්ට ගණයේ මලයාලම් චිත්‍රපටයක්.
අපි බැලු චිත්‍රපටි වෙනුවෙන්