Jana Gana Mana (2022) Malayalam by Himashi Indrachapa
අවසානයක් නොවේ,ආරම්භයකි…..
Legal Drama
කතාවක් තියෙනවනේ ඇස් දෙකෙන් දකිනකන්,කන් දෙකෙන් අහනකන් කිසිම දෙයක් විශ්වාස කරන්න එපා කියලා. ඒත් ඇත්තටම සත්‍යය කියන්නේ අපි අහන දකින දේම ද ? ඇත්තම සත්‍යය මේ අපි සත්‍යය කියලා හිතන් ඉන්න සත්‍යයෙන් වැහිලා තියෙනවා වෙන්න බැරි ද ? මොකෝ බැරි ? ඔන්න එහෙම කියලා ඒකට හොඳම උත්තරයක් දීලා තියෙනවා හැමදාම අපට අර මැජික් පෙන්වන මලයාලියෝ ටික.මේ පාර මේ මැජික් එක පෙන්වපු මැජික්කාරයා තමයි ඩීජෝ ජෝස් ඇන්ටනී.තව මේ මැජික් එක තව ටිකක් හැඩ දාලා ඔප කරලා තියෙනවා අර හැඩකාර ලස්සන මලයාලියා.ඔව් ඔව් ප්‍රිත්වි තමයි.ප්‍රිත්විරාජ්.මලයාලියා කීවට මේ මලයාලියා මීට කාලේකට කලින්ම බොලිවුඩ්වලටත් ගියා.
” Jana Mana Gana ” බැලුවම හිතුනේ එක දෙයයි. ප්‍රිත්වී ! ප්‍රිත්වී ! ඔයා කොහොමද අනේ ලස්සනයි, දක්ෂකමයි, වාසනාවයි මේ සේරම එකට අරන් ආවේ ? මොනවාද ඔයාට කරන්න බැරි ? එච්චරයි හිතුණේ. හරි හරි දැන් මේ කතාව එයා ගැන නෙවෙයිනේ. ආයේ අපේ කතාව පැත්තට යමු එනම්. ඒත් ප්‍රිත්වි ගැන මං කියපු දේවල් කොච්චර දුරට නිවැරදි කියලා ඔයාට මේ චිත්‍රපටය නැරඹුවාම හිතේවි.
ෂරිස් මොහොමඩ්ගේ තිර රචනයකට අනුව ඩිජෝ ජෝස් අධ්‍යක්ෂණය කරපු කොටස් දෙකකින් යුත් සිනමා වෘතාන්තයේ පළවෙනි කොටස තමයි. ” Jana Gana Mana “. මෙය ඔහගේ සිවුවැනි චිත්‍රපටය. නිෂ්පාදනය කරේ Prithviraj Productions හා Magic Frames නිෂ්පාදන ආයතන යටතේ ප්‍රිත්විගේ නෝනා සුප්‍රියා මෙනන් එක්ක ලිස්ටින් ස්ටේපාන්
කතාව වෙන්නේ මෙහෙමයි.
සබා මරියම් කියලා තරුණ විශ්ව විද්‍යාල ගුරුවරියක් ඉන්නවා. ඇය හරිම ලස්සනයි.ඒවගේම ගොඩක් කාරුණිකයි. ඇගේ ශිෂ්‍යයන්ට ඇය ගොඩක් ආදරෙයි. ඒ වගේම ඔවුනුත් ඇයට ආදරය කළා. ඒත් එක දවසක් මේ සුන්දර ගුරුතුමියව කවුරුහරි මරලා පුච්චලා ඇගේ දේහය හයිවේ එකක් ගාව දාල ගිහින් තිබුණා. ඇගේ ශිෂ්‍යයන් ඇගේ මරණය වෙනුවෙන යුක්තිය ඉල්ලා සටන් කරන්න පටන් ගත්තා.ඒක ලෙහෙසි පහසු දෙයක් වුණේ නෑ. ඔවුන්ට ගොඩක් කරදරවලට මුහුණ දෙන්න වුණා. ඉතින් ඇගේ ශිෂ්‍යයින්ට ඔවුන්ගේ ගුරුවරිය වෙනුවෙන් යුක්තිය ඉටු කරගැනීමට හැකි වේවි ද ?
ඔන්න ඔය විදියට තමයි සබාගේ කතාව පටන් ගන්නේ.මං නම් මේකට සබාගේ කතාව කියන්න කැමති නෑ.මං මේක හඳුන්වන්න කැමතියි අරවින්දගේ කතාව කියලා.කවුද මේ අරවින්ද් ? මේ චිත්‍රපටය ආරම්භ වෙන්නෙත් අරවින්ද්ගෙන්. ඒත් ආරම්භයම ප්‍රශ්නාර්තයක් කරලා තමයි පටන් ගන්නේ. හැබැයි ආරම්භයේ හිටපු අරවින්ද් නෙවෙයි අපේ කතාවේ ඉන්න අරවින්ද්. එහෙනම් කවුද ? වෙන අරවින්ද් කෙනෙකුත් ඉන්නවද එහෙනම් ? ඒ කවුරු වුණත් ඔයා කතාවේ මැද ඉන්න අරවින්ද්ට වෛර කරාවි. ඔහුව ඔයා මේ කතාවෙි දුෂ්ටයා විදියටත් දකීවි. ඒත් අවසානයේ අරවින්ද් ඔයාට කියලා දේවි. පෙනුමින් මිනිස්සු මනින්න බෑ කියලා. අඩු තරමේ හැසිරීමෙන්වත් ඔයාට මිනිස්සු ගැන තේරුම් ගන්න බෑ කියලා එයා ඔයාට තේරුම් කරවාවි.
ඒ.සී.පී සජන් කුමාර්.ඔන්න අපේ වීරයා ආවා. වීරයාට කවුද ආදරේ නැත්තේ, නේද? ඒත් වීරයෝ ඇත්තටම වීරයෝද ? හොඳයි කියලා පිටට පේන හැමෝම ඇත්තටම හොඳ අය ? පරිස්සමින්, හොඳයි කියලා පෙන්වන මිනිස්සු ඇතුළේ තමයි වැඩිපුරම රාක්ෂයෝ ඉන්නේ….. එතකොට හොඳ මිනිස්සු ඇත්තෙම නැද්ද? නෑ ඉන්නවා. ඒත් මේ දූෂිත සමාජය එහෙම මිනිස්සුන්ට ඉන්න දෙන්නේ නෑ. එක්කෝ ඒ මිනිස්සුන්ට උරුම මරණය. නැත්නම් ඒ ජීවිත ජීවත් වුණත් වැඩක් නැති ගානට විනාශ කරලා දානවා. මේ චිත්‍රපටය තුළත් එහෙම උදාහරණ ඕන තරම් දකින්න තියෙනවා. බලලා තීරණය කරන්න එහෙම වෙන්න්න ඒ මිනිස්සු කරපු වරද මොකක් ද කියලා එහෙම වෙන්න.
කරන කලට පව් මිහිරිය මී සේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ…..
ඇයි එහෙම කීවේ කියලා හිතෙනව ද ? හැමදාම නරකම, දුෂ්ටකම්ම කරන මිනිස්සුන්ට ඒ කීවා වගේ පසුතැවෙන දවසක් එන්නෙම නැද්ද ? අනිවාර්යයෙන්ම එනවා තමන්ම නිර්මාණය කරපු මේ දූෂිත සමාජයේ තමන්ම ගොදුරක් බවට පත්වෙන. ඒත් එදාට සමහර විට පව් සමාවට නම් පරක්කු වැඩිවෙන්න පුළුවන්. මොකද සමහර නිවැරදි මිනිස්සුන්ගේ සාපයෙන් ගැළවෙන්න ගොඩක් අමාරුයි. අද අධ්‍යාපනය මොන තරම් දූෂිත වෙලාද කියලා සබා ඔයාට කියලා දේවි. උගතමනා ශිල්පමයමයි මතු රැකෙනා කීවට ඒ ශිල්පය ඇත්තටම අයිති ශිෂ්‍යන්ටම ද ? දුප්පත්කම ඒ දුප්පත්කමින් ගොඩ එන්න තියෙන අධ්‍යාපනයටම පහුරු බදිද්දි දුප්පතුන්ට වෙන කාගේ සරණක් ද ?
ගුරුවරු කියන්නේ දෙවිවරු නේ ද ? ඒත් ඒ දෙවිවරු ඇත්තටම දෙවිවරු වගේ වැඩ කරනව ද ? දෙවිවරු වගේ ගුරුවරු ඉන්නවා. ඒ සබා වගේ ආදරණීය ගුරුවරු. එහෙම ගුරුවරු මගේ, ඔබේ ජීවිතවලත් හමුවෙලා ඇති. ඒත් හරිම අඩුවෙන්. ජනමාධ්‍ය කියන්නේ ජනතාවට තොරතුරු සපයන ප්‍රධාන මාධ්‍යයක්. මාධ්‍ය ජනතාවට සත්‍යය සපයන්න බැඳි ඉන්නවා.ඒත් මාධ්‍යය අපට කියන හැමදේම ඇත්ත ද ? ඒ ඇත්ත නොවුණත් මාධ්‍යය පවසන ඕනෑම දෙයක් ඇත්ත කියලා පිළිගන්න තරම් දැන් අපිත් මේ දූෂිත සමාජ ක්‍රමයට හැඩගැහිලා නේද ? මාධ්‍යය, නීතිය, දේශපාලනය මේ තුන වර්තමානය වනවිට එක නූලක අල්ලපු පබළු තුනක් වගේ එකට බැඳිල තියෙන්නේ. කොටින්ම කීවොත් දේශපාලනය රකින්න මාධ්‍යය සහ නීතිය බැඳී සිටිනවා. එයයි වත්මන් තත්වය. එය ප්‍රශ්න කරන්නාට උරුම වන්නේ මරණය, නැත්නම් ඊටත් වඩා භයානක දඬුවමක්. තම බලය රැකගන්න මිනිසුන්ට සාහසික බවේ අන්තයටම යා හැකිය.වර්තමානයේ අපි ද එක්තරා දේශපාලුවෙකුගේ අන්තනෝමතිකත්වයේ ප්‍රතිඵල යහමින් භුක්ති විඳින රටක ජනතාවක් නිසා අපි එය හොඳින් දනිමු.
මේක හරිම අමුතු චිත්‍රපටයක්.ඔයා ආදරය කරාවි,හිතින් චියර් කරාවි ඔයාගේ වීරයාට ආරම්භයේදී. හුරේ දමාවි එයාගේ වීර ක්‍රියාවලට. එහෙත් එකම එක චරිතයක් ඇවිත් එක මොහොතකින් මුළු කතාවම එයාගේ පැත්තට හරවා ගන්නවා. ඔයා මුලින් එයාට දුෂ්ටයෙක් කියලත් කියාවී. ඒත් එයා ටිකෙන් ටික වීරයාට චියර් කරපු ඔයාව එයාගේ පැත්තට හරවා ගනීවි. වීරයා පිළිබඳ ඔයාගේ හිතේ තියෙන පැහැදීම එයා එයාගේ තර්කවලින් ටිකෙන් ටික බිඳලා දාවි. අන්තිමේදී ඔයාත් ගිහින් ඔයා ඒ මේ කතාවේ දුෂ්ටයා එයා තමයි කියලා හිතපු මනුස්සයගේ පැත්තෙන් හිට ගනීවි. මොකද ඔයාට ඒ වෙද්දී තේරුම් ගිහින් ඉවරයි මේ දූෂිත සමාජයේ ඊළග ගොදුර ඔයා කියලා.
මේ දූෂිත සමාජ ක්‍රමයට සෘජුවම එල්ල කරන අතුල් පහරක් තමයි “Jana Gana Mana”. නිකන්ම නිකන්ම අතුල් පහරක් නෙවෙයි. කන හරහා මොළයටම හිතන්න සලස්වන සැර පහරන් ඒක. පවතින සමාජ චක්‍රයට සජුවම දීපු ප්‍රතිප්‍රහාරයක් නිසාම මේක ඒ සමාජ ක්‍රමයෙන් බැට කන පීඩිත ජනතාව මේ තරම් ආදරයෙන් වැළදගන්න ඇති.
රසික ආකර්ෂණය අතින් වගේම විචාරක පැසසුම් අතිනුත් “Jana Gana Mana ” අති සාර්ථකයි. ඒ සදහා අධ්‍යක්ෂවරයාගේ වගේම තම උපරිමයටත් එහා ඉටු කළ රංගන ශිල්පීන්ගේ කැපවීමත් බලපාන්න ඇති. කලින් කියුවා වගේම ප්‍රිත්වී කවදත් වගේ විශිෂ්ටයි. ඒ වගේම සුරාජ් වෙන්මෝදූත් තමන්ගේ චරිතය උපරිමයටත් එහා කරලා තිබුණා. අනෙකුත් රංගන ශිල්පීන් ගතහොත් මම්තා මොහන්දාස්, ශ්‍රී දිව්‍යා, ශාරී, ගෞරි ලක්ෂ්මි, පසුපති රාජ්, ජී.එම් සුන්දර්, විනෝද් සුන්දර්, ඉලවරසු ආදී රංගනන ශිල්පීන් රාශියක් මෙහි රංගනයෙක් දායක වෙලා තිබුණා. ඔවුන්ගේ චරිතය මිනිත්තු කිහිපයකට සීමා වුණ ද ඔවුන් තම චරිතයට උපරිම සාධරණයක් ඉටු කොට තිබුණා. මෙය ශ්‍රී දිව්‍යාගේ ප්‍රථම මලයාලම් සිනමාපටයයි.ඇගේ චරිතය මෙහි දී සීමා වුණේ අවසාන මිනිත්තු කිහිපයට පමණක් වූවත් දෙවන කොටසින් අපට ඇයගේ මලයාලම් ආගමනය කෙසේද යැයි කියා නැරඹීමට හැකි වේවී. ඒ වගේම මෙහි මම්මූති විසින් පසුබිම් කථනය සිදු කරනවා.
ප්‍රධාන චරිත දෙකටම එක හා සමාන තිර ධාවන කාලයක් ලබදීම මා මෙහි දුටු ඉතා හොඳ ලක්ෂණයකි. බොහොමයක් චිත්‍රපටිවල එක් නළුවෙක් උලුප්පා පෙන්වීමට ගොස් බොහෝවිට අනෙක් නළුවා අමතක කරයි. අනෙක් ලක්ෂණය නම් මෙහි කිසිදු ආදර කතාවක් අඩංගු වී නොමැත. නමුත් එය චිත්‍රපටයෙහි රසයටනම් කිසිදු අයුරකින් බාධාවක් වී නොමැත. එමඟින් මෙහි රසය තවත් වැඩි වී මිස අඩු වී ඇති බවට නම් කිසිදු විවාදයක් නැත. මෙහි සංගීතය ගැන ද කතා කළ යුතුමය. මුළු චිත්‍රපටියටම ඇත්තේ ගීත දෙකක් පමණි. නමුත් චිත්‍රපටය පුරාවටම තම සංගීත ඛණ්ඩ මඟින් ජේකස් බෙජෝයි අපව විටින් විට කුතුහලය වැඩි කරවමින් චිත්‍රපටයට ඇද බැඳ තබයි. සුදීප් එලමන්ගේ සිනමාපොටෝගැෆිකරණයෙන් හා ශ්‍රීජිත් සාරන්ග්ගේ සංකරණයෙන් “Jana Gana Mana ” තවත් හැඩ වී ඇති බව කිව යුතුමය.
ඉතින් ඇතැම් විට ” Jana Gana Mana ” යනු ඔබ, මම අත්විඳින මේ අපේ සමාජයේ කතාව විය හැක. කොහොම හරි මේක ඔබ බලන්නම ඕන චිත්‍රපටයක් කියලා මම කියනවා. බලලා තීරණය කරන්න අපි කාගේ ගොදුරක් ද කියලා. නැඟී සිටින්න ඒ ගොදුරු හොයන දූෂිත සමාජ ක්‍රමයට විරුද්ධව. ක් නිවැරදි නැගී සිටිමක් ඇති මුළු රටක්ම යළි පුබුදවන්න. එය මේ මොහොතෙත් අප අත් විඳින කාරණාවක්. හැබැයි මේ මෙහි අවසානය නොවේ එක් ආරම්භයක් පමණි.ඔව් “Jana Gana Mana “හි දෙවන කොටසක් තියෙනවා. මමත් යශ්ගේ KGF, කමල් හසන්ගේ Vickran බැලුවා. මෙච්චර කල් මම බලන් ඉඳියේ KGF 3 එනකන්. ඒත් මේක බලපු වේලාවේ ඉඳන් මම බලන් ඉන්නේ ” Jana Gana Mana ” දෙවන කොටස එනකන්. ඒ තරමටම මාව මෙි චිත්‍රපටය ඇද ගත්තා.බලන්න ඔයාටත් එහෙම වෙයි ද කියලා. අනිවාර්යයෙන්ම මෙය ඔබ මෙම වසරේ දැනට නරඹපු හොදම් මලයාලම් සිනමාපටය පමණක් නොව හොඳම ඉන්දියන් සිනමාපටය ද වේවි.
තව පොඩි යෝජනාවක් තියෙනවා පුළුවන්නම් චිත්‍රපටය නරඹන්න කලින් මෙහි පූර්ව ප්‍රචාරක පටය නරඹා ඉන්න. එය ඔබව තව තවත් මේ වෙත ආකර්ෂණය කරවාවි.