Jan.E.Man (2021) Malayalam by Luckshman Aranwala
Jaan-E-Mann කියල චිත්‍රපටයකුත් ආවා 2006 දී. සල්මාන් ආක්ෂේ ප්‍රීති සින්තා ඉන්න බොහොම අනුවේදනීය හෘදයාංගම චිත්‍රපටයක්. මේකත් ජානේමන් ම තමයි. තේරුම වෙන්නේ Sweetie කියන ආදරණීය ආමන්ත්රණයනේ. ඒත් මේක බලන් ඉද්දී හිතෙනවා මොකටද එහෙම නමක් දැම්මෙ කියලත්. ඇයි ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳන්ම එකම ජංජාලයක්නේ. ලොකුම ලොකු වලියකට තමයි අර අදින්නේ. ස්වීටි නෙමේ අඩෝ කියල තමා ඇහෙන්න ඕන. ඉතින් මේ කතාවේ කවුද ජානේමන්? කාටද මේ ආමන්ත්‍රණය? සිරාවටම වලිය පටන් ගන්නෙ කොයි වෙලාවටද? හරි අපූරු සැකැස්මක් මේක. මලයාලම් රහ එන්නේ අන්න එහෙම.
ජොයිමන් ගෙන් තමයි කතාව ආරම්භ වෙන්නේ. කැනඩාවේ නර්ස් කෙනෙක් විදිහට සේවය කරන්නෙක්. කැනඩාවේ ඉන්නව කිව්වට මිනිහා ඉන්නේ පාළු හිම කතරක් මැද්දේ. දුර රටක කාත් කවුරුත් නැතුව පාළුවෙන් ඉන්නා අයෙක්ව පෙළනා දුක බොහොම තදින්ම
දැනෙනවා ජොයිමන්ගෙන්. ඒ එක්කම හරිම අපූරු චරිතයක් කියලත් පේනවා කතාබහෙන්. ලබන සතියේ මිනිහගෙ උපන්දිනේ. ඒ වෙනුවෙන්ම කේරළයට ගිහින් යාළුවෝ එක්ක ග්‍රෑන්ඩ් බර්ත්ඩේ පාටියක් දාන එක තමයි ප්ලෑන් එක. අන්න ඒ බර්ත්ඩේ පාටිය තමා සමස්ත සිදුවීම. එදා රෑ තමයි රෑ. මේ රැය පහන් වනතුරා එක පිට එක සිද්ධ වෙන සිදුවීම් පෙළ ඔස්සේ තමයි ජානේමන් හමුවට පාර කැපෙන්නේ.

ආරම්භයේ ඉඳන්ම තනිකරම ජෝගි ගොඩයි. ජෝයිමන් ගේ ජෝගිය කියල නම දැම්මත් කමක් නෑ වගෙයි. හැබැයි ඒ ඔස්සේ හරිම දරුණු ගණයේ විස්තරයක් දුවනවා ඇතුළාන්තයෙන්. යාළුවෝ ගැන මීට වඩා හොයල බලන්න හිතෙන විදිහේ පණිවිඩයක් ඒ ඇතුළේ තියෙනවා. තවත් පැත්තකින් මේක ජෝයිමන් ගෙ කතාව විතරක් නෙමේ. මානුෂීය හැඟීම් විෂමයි. මේ සිදුවීම් පෙලේදී අපිට මිනිස්සු ගොඩාක් මුණගැහෙනවා. එයාලගෙ මානසික මට්ටම් විවිධාකාර මට්ටම් වලයි පවතින්නේ. එක් කලබලකාරී රාත්‍රියක පිපිරිලා යන්න තරම් ප්‍රබල දේවල්. මුලිනුත් සඳහන් කළා වගේ ඇවිලුණොත් එකෙක් මැරෙනකම්ම කෙළවරක් වෙන්නෙ නැති මහා වලියක් තමයි. LJP ගේ චිත්‍රපට ශෛලියත් ටිකක් මතකෙට ආවා වාතාවරණය ක්‍රම ක්‍රමයෙන් උත්සන්න වේගෙන එනකොට.
මලයාලම් සිනමාවෙන් බොහෝ විටදී හමුවන කාරණයක් තමයි කුළුඳුල් අධ්‍යක්ෂණය තුළ තිබෙනා දැවැන්ත බව. මේක වරක් දෙවරක් නොවේ නැවත නැවතත් බොහොම වාරයක් සිද්ධ වෙන දෙයක්. ඉන්දීය සිනමාව තුළ එවන් ගුණාත්මක නිර්මාණාත්මක ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ මලයාලම් සිනමාවේ විතරද මන්දා. මේකත් ඒ විදිහේ කුළුඳුල් අධ්‍යක්ෂණයක්. අධ්යක්ෂකයා වෙන්නේ චිත්‍රපටයේ ඩොක්ටර් ෆයිසාල් ගේ චරිතය නිරූපණය කරන Ganapathi S Poduval ගේ අයියා Chidambaram S Poduval. අයියා මලෝ ම තමා චිත්‍රපටය රචනා කරල තියෙන්නෙත්. එතකොට ජෝයිමන් කියන්නෙත් මෑත කාලීනව දැවැන්ත කතාබහකට ලක් වූ අයෙක්. රංගන ශිල්පියෙක් විදිහට නෙමේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට. බැසිල් ජෝශප් හෙවත් මින්නල් මුරලි නිර්මාණය කළ තරුණ අධ්යක්ෂවරයා තමයි ඒ. මලයාලම් සිනමාවේ අපූරු අනන්‍යතාවය උපරිමයෙන්ම විඳගන්නට ලැබෙන නිසා ජෝයිමන් සහ තව මහ ගොඩක් පිරිස එක්ක සිද්ධ වෙන මේ මහා ජංජාලය අනිවාර්යයෙන් නැරඹිය යුත්තක් විදිහට නිර්දේශ කරනවා.
***************************************************
Directed by
Chidambaram S Poduval
Written by
Chidambaram S Poduval, Ganapathi
Produced by
Lakshmi Warrier
Ganesh Menon
Sajith Kookal
Shawn Antony
Starring
Lal
Basil Joseph
Arjun Ashokan
Balu Varghese
Ganapathi
Cinematography
Vishnu Thandassery
Music by
Bijibal
Country
India
Language
Malayalam