Jalsa (2022) Hindi by Ramitha Vimukthi
Tumhari Sulu වැනි සැහැල්ලු හාස්‍ය රසයට බර නිර්මාණයකින් පසුව, Thriller ගණයේ නිර්මාණයක් ඉදිරිපත් කිරීම නිර්මාණකරුවෙකු අත්හදා බලන ප්‍රභල අභියෝගයක්. Tumhari Sulu අධ්‍යක්ෂණය කළ සුරේෂ් ත්‍රිවේනි, Jalsa හරහා ඉදිරිපත් කරන්නේ එවැනි අත්හදා බැලීමක්. මාගේ සමස්ත මතය අනුව ත්‍රිවේනි මෙම අත්හදා බැලීම ඉතා සාර්ථකව ජයග්‍රහණය කර තිබෙනවා. විශේෂයෙන්ම බොලිවුඩයේ original content මදක් අර්බුදකාරී තත්වයක තිබෙන කාල වකවානුවක, මෙම චිත්‍රපටය වෙනස් ආකාරයක පන්නරයක් ලබා දීමට උත්සාහ කරනවා. Jalsa චිත්‍රපටයට පාධක වන්නේ එක් සංකීර්ණ සිදුවීමක් මත ගොඩනැගෙන මානුෂීය අධ්‍යනයක්. මෙම එක් සිදුවීම හරහා සමාජයේ විවිද වූ පැතිකඩවල් පෙලක් ඉදිරිපත් කිරීමට මෙහි නිර්මාණකරුවන් සමත්වී තිබෙනවා.
මායා මෙනන් යනු සාර්ථක මාධ්‍යවේදිනියක් ලෙස කටයුතු කරන කාන්තාවක්. ඇය සේවය කරන මාධ්‍ය ආයතනයේ ජනප්‍රිය දේශපාලනික වැඩසටහනක නිවේදිකාවක් ඇය. මායා තම සැමියාගෙන් වෙන්ව තම මවත්, විශේෂ අවශ්‍යතා ඇති ඇගේ පුතාත් සමග ජීවත් වන කාර්යබහුල කාන්තාවක්. ඇය කෙතරම් කාර්යබහුල වූවත් තම දරුවාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය ස්ථාවර රඳවා ගැනීමට කටයුතු කරන මවක්. රුක්සානා යනු මායාගේ නිවසේ අත් උදව්වට සිටින සේවිකාවයි. ඇයද දෙදරු මවක්. තම පවුලේ ආර්ථිකය මෙහෙයවීමට වෙහෙස මහන්සිවී වැඩ කටයුතු සිදු කරන මවක්. රුක්සානා මායාගේ නිවසේ සේවිකාවක් පමණක් නොව. විශේෂ අවශ්‍යතා ඇති මායාගේ පුත්‍රයා වන අයුෂ්වද ආදරයෙන් රැක බලා ගන්නා කාන්තාවක් රුක්සානා. ඉතා සමාදානයෙන් එකට ගැටෙන මෙම කාන්තාවන් දෙදෙනාගේ සහ ඔවුන් අවට සිටින පුද්ගලයින්ගේ ජීවිතයන් මුළුමනින්ම වෙනස් වන්නේ එක් සිදුවීමක් හමුවේ. රුක්සානාගේ යොවුන් දියණිය වන ආලියා එක් රාත්‍රියක භයානක මාර්ග අනතුරකට ලක්වනවා. තම පෙම්වතා සමග සැරිසරමින් සිටි ආලියා මෙයින් බරපතල ලෙස තුවාල ලබනවා. මෙය hit and run case එකක් ලෙස වාර්තා වන අතර, රුක්සානා සහ මායාගේ ලෝකය නොසිතූ අන්තයකට ගමන් කරනවා. මින් ඉදිරිය දැන ගැනීමට ඔබ Jalsa නැරඹිය යුතුමයි.
එක් සංකීර්ණ සිදුවීමක් මිනිසුන් රැසකට නොසිතූ ලෙස බලපෑමක් ඇති කරවන කතා තේමාවල් සිනමාව තුල නවක දෙයක් නොව. Jalsa තුල අධ්‍යක්ෂක මෙම සුලබ තේමාවට නැවුම් බවක් ඉදිරිපත් කරන්නේ, එම සිදුවීම හරහා සිදු කරන සමාජ කියවීම හමුවේ. මායා සහ රුක්සානා යනු වෙනස් සමාජ පංතීන් ද්විත්වයක් නියෝජනය කරන කාන්තාවන් දෙපලක්. මායා තම මහන්සියෙන් උපයාගත් වරප්‍රසාද භුක්ති විඳින අතර විවිද අවස්ථාවන් වලදී එය අවභාවිතා කිරීමටද ඇයට හැකියාවක් තිබෙනවා. නමුත් රුක්සානා නියෝජනය කරන සමාජ පන්තිය තුල ඇයට මායා සතුවන වරප්‍රසාද සිහිනයක්. මායාට තම වැඩ කරන ස්ථානයේ සිට විශේෂ අවශ්‍යතා ඇති තම පුතා දෙස, නිවස තුල ඉදිකර තිබෙන කැමරාවෙන් නිරීක්ෂණය කිරීමට හැකි වනවා. නමුත් රුක්සානාට එවැනි අවස්ථාවක් නැත. ඇය සහ ඇගේ සැමියාට දිවා රෑ වෙහෙස කර වැඩ කරද්දී, අනාරක්ෂිතව හෝ තම දරුවන්ව තනිවම නිවසේ තබා යාමට සිදු වනවා. තම දියණියට සිදුවූ අනතුරේදී “ඇයි ඔයාගේ දුව මහ රෑ එලියට ගියේ” යන පැණය එක හෙලා රුක්සානා දෙසට ඉදිරිපත් වනවා. එවැනි පැණයන් වලට පුනපුනා උත්තර දීමටද ඇයට සිදු වනවා. මායා තම වෘතිය තුල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනියක් ලෙස සත්‍ය ඉදිරිපත් කිරීම අධිෂ්ඨානයෙන් කටයුතු කරත්, එම සත්‍ය ඇයගේ ජීවිතය තුල සැබවින්ම තිබෙනවාද යන ප්‍රශ්නාර්ථය මෙහි ඉදිරිපත් කරනවා. ඒ කෙසේ නමුත් මොවුන් කුමන සමාජ පන්තිය නියෝජනය කරත්, දෙදෙනා තුලම තිබෙන මාතෘත්වය ඒක පාර්ශිකව ඉස්මතු වන්නේ සීමා මායිම් නොමැතිව.
අප කෙතරම් සත්‍ය ජයග්‍රහණය කරනවා යන කාරණය ඉදිරිපත් කරත්, මිනිසා තුල ගැබ්ව තිබෙන අවස්ථාවාදී බවෙන් එය මුළුමනින්ම විනාශ කර දැමීමට ගත වන්නේ එක් මොහොතක් පමණයි. Jalsa තුල සිදුවන මෙම එක් සිදුවීම හමුවේ ත්‍රිවේනි ඇතුළු එම රචකයින් ඉහත කාරණය ඉතා අපූරුවට ඉදිරිපත් කර තිබෙනවා. එම අවස්ථාවාදී බව පොදු සමාජයේ පටන් නීතිය ක්‍රියාත්මක කරවන ස්ථානයක් දක්වා ගලා යන ආකාරය මෙම චිත්‍රපටය තුල පෙන්නුම් කළා. නමුත් මෙම තිර නාටකයේ විශිෂ්ටත්වය වන්නේ මෙම කිසිදු චරිතයක්වත් කළු හෝ සුදු ලෙස රාමු නොකර, විනිශ්‍යකින් තොරව නරඹන්නා වෙත ඉදිරිපත් කිරීමයි.
ත්‍රිවේනි චිත්‍රපටය තුල සිදුවන ප්‍රධාන සිදුවීම ඉතා තාත්වික ලෙස ගොඩනගා තිබෙනවා. එම ගොඩනැගීම හරහා මෙම අනපේක්ෂිත චරිත සමග ගලා යන කතාවේ කුතුහලය මුල සිට අවසානය දක්වා පවත්වා ගැනීමට සමත්වී තිබෙනවා. කතාවේ ප්‍රභල අන්තර්ගතය සමගම විද්‍ය බාලන් සහ ශෙෆාලි ශාහ්ගේ විශිෂ්ට රංගනයද මෙහි සාර්ථකත්වයට ප්‍රධාන කාරණයක්. විද්‍යා බාලන්ගෙන් කලකට පසුව කළු සුදු මිශ්‍ර චරිතයකින් දැකගත හැක. ඇය මායාගේ චරිතයට විශිෂ්ට ලෙස අනුගතවී තිබුනා. නමුත් ශෙෆාලි ශාහ් මෙහිදී විද්‍යාව අභිබවා යාමට සමත් වනවා. තම දියණියට අත්පත් වන ඉරණම හමුවේ ඇය තුල ඉස්මතු වන අසරණකම සේම, යුක්තිය සොයා යාමට වෙර දරණ අධිෂ්ඨානශීලී මවකගේ චරිතය ශෙෆාලි ශාහ් ඉතා විශිෂ්ට ලෙස ඉදිරිපත් කර තිබෙනවා. විද්‍යාගේ පුතාගේ චරිතය ඉදිරිපත් කළ Suriya Kasibhatla නම් ළමා රංගන ශිල්පියාද සිත් ඇදගන්නාසුළු රංගනයක් ඉදිරිපත් කළා. Rohini Hattangadi ද ඇයට හිමිව තිබූ සීමිත දර්ශනයන් තුලින් ප්‍රයෝජනයක් ගෙන තිබුනා. චිත්‍රපටයේ තාක්ෂණික අංශයන් තුලින් Saurabh Goswami ගේ සිනමාකරණය, Shivkumar Panicker ගේ සංස්කරණය සහ Gaurav Chatterji ගේ සංගීත අධ්‍යක්ෂණයද ඉහල මට්ටමක දක්නට ලැබුනා.
මෙම වසරේ මේතාක් නිකුත් වූ හින්දි චිත්‍රපට අතරින් ඉහලින්ම තැබිය හැකි නිර්මාණයක් මෙය.