Jagame Thandhiram (2021) Tamil

Jagame Thandhiram (2021) Tamil 

අධ්‍යක්ෂකවරයෙක් කියනනෙත් හැඟීම් දැනීම් තියන, කැමති අකමැති දේවල් තියන සාමාන්‍ය මනුස්සයෙක්. නමුත් අධ්‍යක්ෂකවරයා කියන පුද්ගලයා තමන්ගේ චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කරද්දි, චිත්‍රපටියේ ස්ක්‍රිප්ට් එක ලියද්දි, සරලවම තමන්ගේ චිත්‍රපටිය බිල්ඩ්අප් කරන අවස්ථාවෙදි අර සාමාන්‍යය මනුෂ්‍යය ස්වභාවයෙන් පොඩ්ඩක් මිදිලා විවෘත සහ ස්වාධීන මනසක් සහිත පුද්ගලයෙක් බවට පත් විය යුතුයි. අධ්‍යක්ෂකවරයා කවුරුහරි නළුවෙකුගෙ ෆෑන්⁣ බෝයි කෙනෙක් වෙලා චිත්‍රපටි හදපුවම ඒවා තුළින් මතු වෙන්නේ අර අධ්‍යක්ෂකවරයා ෆෑන් බෝයි කෙනෙක් වෙලා ඉන්න නළුවා ව. හැබැයි ඒක හොඳයි වහළුන්ට , එයාලා මාර සැටිස් ඒ වගේ දේවල් බලද්දි. ඒ වගේම ෆිල්ම් එකේ මාකටින් එකටත් හොඳයි,මොකද අධ්‍යක්ෂකවරයා අහවල් නළුවගෙ ෆෑන් බෝයි කෙනෙක් කියන එකම ප්‍රසිද්ධ කාරණයක් වෙලා තියෙද්දි එයාගෙ ෆිල්ම් එකෙත් ඒ නළුවගෙන් ගත්ත references නොසෑහෙන්න තියනවා කියන්නේ නිකංම තව ෆෑන් බේස් එකක් ඒ චිත්‍රපටියට ආකර්ශනය වෙනවා. ඕක ඇවිල්ලා තියටර් රිලීස් කරන ෆිල්ම් එකක් බ්ලොක්බස්ටර් කරවන්න පුලුවන් ට්‍රික් එකක්.

කාර්තික් සුබ්බාරාජ්ගෙ ජගමේ තන්දිරම් සහ ඔහුගේ පෙර චිත්‍රපටිය වන පේට්ට චිත්‍රපටි දෙකේම සැකිල්ල බොහෝ දුරට සමානයි. එසේම චිත්‍රපටියේ මුල් භාගය තුළ සුරුලි කියන චරිතය සෑහෙන්න රජිණිෆයිඩ් කරලා තියනවා.

සුරුලි කුලී මැරයෙක්. පීටර් කියන සුදු ජාතික වර්ගවාදී පුද්ගලයා තමන්ගේ එදිරිවාදියා වන සිවදාස් මරා දැමීම සඳහා සුරුලිව කුළියට ගන්නවා. සිවදාස් එංගලන්තයේ සිටින සරණාගත ජනතාවගේ වීරයෙක් සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින උදව් කරන කෙනෙක්. කොහොම හරි සුරුලි විසින් උපක්‍රමශීලීව සිවදාස් මරාදැමීමට පීටර්ට අවස්ථාවක් හදලා දෙනවා. සිවදාස් මැරෙන තැනට එනකන් ෆිල්ම් එක හොඳයි. කතාව බිල්ඩ්අප් කරගෙන ආපු විදිය, ස්ක්‍රීන් ප්ලේ හැමදෙයක්ම පිළිවෙලට තිබුනා. පොඩි predictable ගතියක් නම් තියනවා වුනත් ඒක ලොකු අවුලක් නෑ. ෆස්ට් හාෆ් එකේ මම දැකපු එකම lack එක තමයි තමන්ගේ තරහකාරයගෙ මිනිහෙක් වන සුරුලි ගිහිල්ලා ‘සල්ලි වෙනුවෙන් ඕන දෙයක් ඕන තරම් කරනවා’ කියපු ගමන් පළපුරුදු මැරයෙක් වුන සිවදාස් සුරුලිව විශ්වාසයට ගැනීම. ඒකත් සමහර විට තමන්ගේ ජාතියෙ එකෙක් කියන හැඟීම සිවදාස් තුල බලවත් වීම නිසා වෙන්න පුලුවන් දෙයක්.

චිත්‍රපටියේ දෙවනි අර්ධයට කතාව ගොඩ නගන්නේ ලංකාවේ වාර්ගික යුද්ධය නිසා අසරණ භාවයට පත්ව සරණගතයින් ලෙස එංගලන්තයට පැන යන තරුණියක වන අටිල්ලා සහ සුරුලි අතර ඇතිවන සම්බන්ධතාවය වටේ.
ඇත්තටම බැලුවොත් ෆස්ට් හාෆ් එක සහ සෙකන්ඩ් හාෆ් එක අතර අහසට පාළව වගේ වෙනසක් තියනවා. හරියට නික ෆස්ට් හාෆ් එක කාර්තික් සුබ්බාරාජ් කරගා සෙකන්ඩ් එක එයාගෙ සහායකයෙක් විසින් පිටපත ලියලා අධ්‍යක්ෂණය කලා වගේ වෙනසක්.
ෆස්ට් හාෆ් එක තුළ ගොඩනගාගෙන ආපු යමක් තිබුනා නම් ඒක සම්පූර්ණයෙන්ම ඉවරෙටම ඉවර කරලා තියනවා.

ජෝජු ජෝර්ජ් ඇරෙන්න අනිත් කිසිම කෙනෙකුගේ රංගනය අඩු තරමින් ඇවරේජ් කියන්න පුලුවන් තරමට වත් නෑ. ජෝජු ගැනත් කියන්න තියෙන්නේ, දන්න තරමින් මේ වගේ ෆිල්ම්ස් වල රඟපාන්න තරම් ජෝජුට හිඟමනයක් නෑ. මලයාලම් වලින් එලියට යන්න ඕන තමයි, හැබැයි ඒක කරන්න ඕන මේ විදියට නම් නෙවෙයි.
කලෛරාසන් වගේ තමන්ගේ අනන්‍යතාවයක් සහිතව යමක් කරගන්න පුලුවන් තරුණ නළුවො මේ වගේ යූස්ලස් චරිත කරන්න ඕනද කියන එක ප්‍රශ්නයක්.

මේ ෆිල්ම් එක කරලා තියෙන්නේ ජිගර්තාන්ඩ කරපු කාර්තික් සුබ්බාරාජ් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඒ ටැලන්ටඩ් මනුස්සයව ඉලුමිනාටි එකෙන් උස්සලා රීප්ලේස් කරපු ඩයල් එකක් තමයි කාර්තික් සුබ්බාරාජ් විදියට මේ ෆිල්ම් එක කරන්න ඇත්තේ. සනාගෙ මියුසික් නම් හොඳටම හොඳයි.

හරි දැන් තමයි හොඳම කෑල්ල. මම උදෙත් ඇහුවා දැනුත් අහනවා; අර සර්කාර් එකේ විජයි කියපු එක වාක්‍යයක් අල්ගෙන මිනිහට කොටියා කියපු දේශප්‍රේමී හේටර්ස්ලට දැන් මේකෙ එයාලගෙ ෆීලින් වලට හර්ට් වෙන දෙයක් ඩ්‍රාමා එකක් විදියට පෙන්නලා තියෙද්දි ධනුෂ්ට කොටියා කියන්න හිතෙන්නේ නැද්ද?
[මම විජයි ෆෑන් කෙනෙක් එහෙම නෙවෙයි, ඒක ප්‍රසිද්ධ කතාවක්නෙ ?]

එතනින් එහාට මේකෙ පෙන්වන දේශපාලන දේවල් ගැන කතා කරන්න මම කැමති නෑ. රටක් තුළ අවුරුදු තිහක වාර්ගික අරගලයකින් පස්සේ ඒ රට අවුරුදු පහකින් දහයකින් විස්සකින් නැවත යථා තත්වයට පත් වෙයි කියන්න බෑ. නමුත් අපි එකම රටේ ජාතීන් දෙකක් විදියට ඒ සඳහා යම් උත්සාහයක් ගත යුතුයි.

අපි දෙපාර්ශවයටම අහිමිවීම් සිද්ධ වුනා. අපේ දමිළ සහෝදරවරුන්ට ඒක තරමක් වැඩියි, මොකද මේ චිත්‍රපටියේ පෙන්වනවා වගේ එයාලට සරණාගතයො වශයෙනුත් විඳවන්න වුන නිසා. අද එයාලා ගැන ලොකු අනුකම්පාවකින් ආදරේකින් චිත්‍රපටි හදන ඉන්දියාව වත් අඩු තරමෙ එයාලව බාරගත්තෙ නෑ. ඒකත් ෆිල්ම් එකේම කියනවා. එක දෙයක් පැහැදිලියි, ගහගන්න හරි මරාගන්න හරි සිංහල දෙමළ මුස්ලිම් අපි ඔක්කොටම තියෙන්නේ මේ රට විතරයි, විතරමයි. වෙන කොහෙවත් නෑ, තමිල්නාඩුවේ අපේ වර්ගෙ අය ඉන්නවා, අරාබියෙ අපේ වර්ගෙ අය ඉන්නවා එයාලා අපිව බාරගනියි කියලා කවුරුහරි හිතනවා නම් ඒක කවදාවත් වෙන්නෑ. මම නෙවෙයි ඒක කියන්නේ මේ ෆිල්ම් එකේ අටිල්ලා තමයි කියන්නේ. ඒක නිසා ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි සියලු දෙනාටම වගකීමක් තියනවා අනිත් ජන කොට්ඨාස පිළිබඳව මානුෂීය හැඟීමකින් බලන්න. දෙමළ මිනිස්සු සිංහල මිනිස්සුන්ගේ හතුරො නෙවෙයි. සිංහල මිනිස්සු දෙමළ මිනිස්සුන්ගේ හතුරොත් නෙවෙයි. අතීතයේ සිදුවුන දේවල් අපි දෙගොල්ලම තාමත් කර තියාගෙන ඒවා මත්තෙම නැහි නැහී ඉන්න එකෙන් වෙන්නේ තුන්වෙනි පාර්ශවයකට අපේ දුක විකුණගෙන කන්න අවස්ථාවක් ලබා දෙන එක විතරයි.

තියටර් රිලීස් කරන්නම හදපු ෆිල්ම් එකක්
OTT රිලීස් කරනවා කියන්නේ නිකං පීනන්න හැදිලා ඉන්න මාළුවෙක් මැරතන් එකක් දුවන්න දානවා වගේ වැඩක්. මේකෙ ට්‍රේලරේ බලලා කාට හරි හිතුනා නම් ෆිල්ම් එක වැඩක් නෑ කියලා, බලන්න එපා(මොකද හිතුන දේ හරි?)

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *