‘It’s Okay to Not Be Okay’ (2020) Korean
කොරියන් සීරීස් වලට තාම ආධුනික නිසා දැනට බලල තියෙන්න නම් හරිම ටිකයි. පහුගිය කාලෙ එකදිගටම බැලුවෙත් මිස්ට්‍රි ත්‍රිලර් විතරයි. ඒ නිසා වෙනසකටත් එක්ක රොමෑන්ස් එකක් බලන්න කියලා, පොඩ්ඩක් හොයල බලලා, ප්ලොට් එක එකත් එහෙන් මෙහෙන් කියවලා සැටිස් වෙලා, විශේෂයෙන්ම ටයිට්ල් එකේ තියෙන අපූර්වත්වය නිසාම මේක බලන්න ගත්තා. සුපුරුදු ප්‍රශ්නෙම ආපහු ආවා… මුං කොහොමද අප්පා මෙහෙම ලියන්නේ…? ඒ කියන්නෙ මේ කතන්දර මෙච්චර ලස්සනට නිර්මාණය කරන්නෙ කොහොමද කියන විස්මය මුළුමනින්ම දැනුණා. රොමෑන්ස් කියල බලන්න ගත්තට මේක ඇතුළේ කතා කරන්නෙ මානුශීය හැඟීම් ගැන. එකකට එකක් වෙනස් චරිත තුනක් ඇසුරෙන් කරනා ජීවන චාරිකාවක් සහ තවත් චරිත ඇසුරෙන් ඒ ගැන හරි අපූරුවට විස්තර කරල තියෙනවා.
ප්‍රධාන පිරිමි චරිතය මානසික රෝහලක රෝගීන් බලාකියාගන්නා සේවකයෙක්. ඔහුගේ වැඩිමහල් සොහොයුරා Autism රෝග තත්ත්වයකින් පෙළෙන්නෙක්. ඒ කියන්නෙ වයස 30 පැනල වුණාට හැසිරීම පොඩි ළමයෙකුගේ වගේ. ඒ නිසාම පොඩි එකෙක්ගෙ තියෙන මුරණ්ඩු ගතියත්, අව්‍යාජ බවත් එහෙම්මම මේ චරිතය සතුයි. පොඩි ළමයි මල් වගේ කියනවනේ. අන්න ඒ වගේ. ප්‍රධාන කාන්තා චරිතය කුඩා ළමයින්ට සුරඟන කතා ලියනා ප්‍රසිද්ධ රචිකාවියක්. කතන්දර වල ආකර්ශනීයත්වය වගේම ඇගේ සුරූපී බවත් ඒ ප්‍රසිද්ධියට හේතුවක් කියන්න පුළුවන්. නමුත් ඇය Antisocial personality disorder තත්ත්වයකින් පෙළෙන්නියක්. ඒ කියන්නෙ ඉතින් හොස්ස ලඟින් මැස්සෙක් යන්න බැරි තත්ත්වයක්. පිපිරෙන්න තරම් කේන්තියකින් පසුවෙන, අන්තයටම මුරණ්ඩු අයෙක්. චරිතය නිරූපණය කරනා රංගන ශිල්පිනී Seo Yea-ji සතු ගැඹුරු කටහඬත් එම චරිත සොබහවය වෙනුවෙන් මනාව පෑහෙනවා.

මානුශීය හැඟීම් කියන කොටසටම මානුශීය සබඳතාවයන් කියන කොටසත් ඒ ඔස්සේම බැඳෙනවා. ප්‍රධාන චරිත වලට අමතරව දකින්නට ලැබෙන සෙසු චරිත සියල්ල හරහාත් ඒ බව නිරූපණය වෙනවා. ප්රේමවන්තයයෝ, සහෝදරයෝ, දෙමාපිය-දූ දරුවෝ, යහළුවෝ, අසල්වාසියෝ, හිතමිතුරෝ, ස්වාමි-සේවකයෝ, රෝගීන්-වෛද්‍ය-හෙද-හෙදියෝ ආදී වශයෙන් දීර්ඝ ලැයිස්තුවකින් සමන්විත මිනිස් සබඳතාවයන් රැසක් එක්ක ඒ බැඳීම කියන දේ ගැන වැඩියෙන් කතාබහට ලක් කරනවා. ඒ අතරෙම ලාවට හොරර් ගතියකුත්, කුතුහලය වඩවන මිස්ට්‍රි ගතියකුත් අඩංගුයි. ඒ නිසාම හැම අතින්ම සමබර වූ පරිපූර්ණ නිර්මාණයක් කියන්න පුළුවන්. ඒ නිසාම වෙන්න ඕනේ සුප්‍රකට The New York Times පුවත්පත විසින් “The Best International Shows of 2020” කියල මේ ටෙලි සීරිස් එක නම් කරෙත්. ඒ වගේම Autism රෝගයෙන් පෙළෙන වැඩිමහල් සොහොයුරා ගේ විශිෂ්ට චරිත නිරූපණය වෙනුවෙන් හොඳම සහය රංගන ශිල්පියා වශයෙනුත් 57 වැනි Baeksang Arts Awards (දකුණු කොරියානු ටෙලි, චිත්‍රපට සඳහා සම්මාන පිරිනැමෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක්) හිදී සම්මානයට පාත්‍ර වෙන්නේ. එමෙන්ම සුරූපී සුරඟන කතා රචිකාවියගේ විසිතුරු විලාසිතා නිසාමද මන්දා වසරේ හොඳම ඇඳුම් නිර්මාණයට හිමි තාක්ෂණික සම්මානය හිමිවෙන්නේත් මේ කතා මාලාවටමයි. වසරේ හොඳම කතා මාලාව විදිහට සම්මානයට පාත්‍ර වූ ‘Beyond Evil‘ හා සමවෙමින් වැඩිම නිර්දේශිත නාමයන් ප්‍රමාණයක්, එනම් 8 ක් අතරට එක්වන්නට හැකිවීමෙන්ම කතන්දරයේ ගුණාත්මක බව නිර්ණය කරගන්නට හැකිවෙනවා.
******************************************************

Directed by: Park Shin-woo
Written by: Jo Yong
Starring: Kim Soo-hyun, Seo Yea-ji, Oh Jung-se, Park Gyu-young
Opening theme : “Sketch Book” by Janet Suhh
Composer : Nam Hye-seung
Country of origin : South Korea
Original language : Korean
No. of seasons : 1
No. of episodes : 16
Interesting