Irudhi Pakkam (2021) Tamil by Himashi Indrachapa
The Last Page
අවසන් පිටුව….
හැම කතාවකම අන්තිමට දිනන්නේ වීරයා. ඒත් මේ කතාවේ දිනන කෙනා තමයි වීරයා….
ඉයල් කියන්නේ ලේඛිකාවක්. හැබැයි ඉයල් කතා ලියන විදිය හරිම වෙනස්.හරිම අමුතුයි. ඒ වගේම ඇය ගොඩක් තනියෙන් ඉන්න කැමති කෙනෙක්. ඒ නිසා ඇයට වැඩි මිතුරු ආශ්‍රයකුත් නෑ. ඒත් එක දවසක් හදිසියේම ඉයල්ගේ ගෙදරට එන ආගන්තුකයකුගේ අතින් ඇය මරණයට පත්වෙනවා.
ඉතින් ඇත්තටම කවුද ඇයව මැරුවේ ? ඇයි ඇයව මැරුවේ ?
මොකක් ද මේ ඇය කතා ලියන අමුතු ශෛලිය ?
මෙම වසරේ පෙබරවාරි මස 17 වන දින Amazon Prime Video හරහා අන්තර්ජාලයට මුදාහරින ලද ” Irudhi Pakkam ” හැමදාම දකින දමිළ සිනමාවෙන් ඔබ්බට ගිය වෙනස් කතා තේමාවක් රැගත් නිර්මාණයකි. මනෝ වී කන්නදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් හා තිර රචනයෙන් හැඩ වෙන ” Irudhi Pakkam ” ආදරයෙහිම එක් අන්තයක්, එනම් රාගය පිළිබඳව හරි අපූරුවට පෙන්වා දෙයි. ලිංගිකත්වය යන කාරණාවේ දි මිනිසුන්ගේ ස්භාවයන් විශමාකාරය. කෙනෙක් එය රසවිඳියි.තවත් කෙනෙක් තමන්ගේ හැඟිම් වෙනුවෙන් තවකෙකු රිදවා එම වේදනාව රස විඳියි. එමෙන්ම පුද්ගලයෙකුට ආදරයේ උච්චතම අවස්ථාව රාගය වන විට තවත් පුද්ගලයෙක්ට රාගයම ආදරය වෙයි.
කෙනෙක්ගේ අසරණකමක් කෙනෙක්ට අවස්ථාවකි. කෙනෙක් තමන්ගේ අරමුණ වෙනුවෙන් තව කෙනෙක් පාවිච්චි කරයි.දැන හෝ නොදැන අපි සැවොම එයට අසුවෙන්නෙමු. සංස්කෘතියට පටහැනි වීම වරදක් ද ? සංස්කෘතියට පටහැනි වන ගැහැණිය පමණක් වැරදිකාරියක් වන්නේ කෙසේ ද ? සංස්කෘතිය, සභ්‍යත්වය නම් බැඳිවලින් බැඳ තිබු ඇය එයින් නිදහස් ව තම නිදහසේ අන්තයටම ගියාය.වරදත් ඇය නිදහසට කරුණක් කළ ගත්තාය. ඉතින් ඇය සෙවු නිදහස නිසාම ඇයට ජීවිතයේ හමු වූ ආදරණීයතමයන් අහිමි වුණි.එහෙත් ඇය නිදහස සොයා ගියාය. එහෙත් අවසානයේ,
අවසානයේ ඇයට කුමක් ද සිදු වූයේ ?
” ඇසට පෙනෙන සියල්ල සත්‍යම නොවේ.ඇතැම්විට ඇසුත් අපව රවටයි “
චිත්‍රපටය පුරාවටම මේ කරුණ නම් නොඅඩුව ගැබ් වී ඇති අතර විනාඩියක් විනාඩියක් පාසා අවසානය තෙක්ම එම කරුණ මඟින් කුතුහලය ඔස්සේ ප්‍රේක්ෂකයා රඳවා තබා ගැනිමට අධ්‍යක්ෂකවරයා සමත් වී ඇත.
මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් අධ්‍යක්ෂකවරයාගේ පටන් රංගන ශිල්පීන් දක්වාම නවකයන් කණ්ඩායමකගේ නිර්මාණ දායකත්වයෙන් යුතු වීමයි. එමෙන්ම මෙය ඉතා අඩු පිරිවැයක් යටතේ නිෂ්පාදන කටයුතු සිදු වී ඇත.නමුත් ඒ කිසිදු කරුණක් ඔවුන් මෙහි නිර්මාණ රසයට නම් බාධාවක් කොට ගෙන නැත. විශේෂයෙන් ඉයල් ලෙස රංගන දායකත්වය ලබා දෙන අම්රුතා ශ්‍රී නිවාසන් තම චරිතයට උපරිම සාධාරණයක් ඉටු කිරිමට කටයුතු කොට ඇත. ඇතැම් අවස්ථාවක චිත්‍රපටයෙන් සමාජයට දෙනු ලබන අර්ථය ගැන ප්‍රශ්නාර්ථයක් නැඟුණ ද සමස්තයක් ලෙස මෙය හැමදාම දකින වීරයාගෙනුත් දුෂ්ටයාගෙනුත් ඔබ්බට ගිය සාර්ථක නිර්මාණයකි.
ගුරුත්වාකර්ෂණයෙන් තොර යැයි පවසන දමිළ සිනමාවේම ගුරුත්වාර්කර්ෂණයෙන් තොර එවැනි සිදුවීම් වලින් තොරම වූ චරිත හා සිදුවීම් දාමයන් ඔස්සේම බැඳි ඇති මෙවැනි නිර්මාණ නැතුවාම නොවේ. නමුත් ජනප්‍රිය රැල්ලේ කඩවසම් තරු මෙවැනි නිර්මාණවල නොමැති නිසා ද මන්දා ඒවා උඩට එන්නේ නැත. නමුත් ජනප්‍රියත්වය පසුපසම නොගොස් නිර්මාණශීලිත්වයත්, රස වින්දනයත් සොයන්නෙකුට මෙවැනි නිර්මාණයන් අරුමයකුත් නොවේ.