Interstellar (2014) English by Chanaka Colombage
Interstellar (2014) බැලුව? තේරුණද ?
Interstellar (2014) එක පාරක්වත් බලපු නැති කෙනෙක් හොයනවට වැඩිය ලේසි ඇති, නොමළ ගෙදරකින් අබ මිටක් හොයන එක. සමහරවිට ඔබ Interstellar සම්පුර්ණයෙන්ම බැලුවේ නැතත්, අඩුම ගානේ උඩින් පල්ලෙන් හරි බලල ඇති. පට්ට, සුපිරි,එළම තමයි කියලා හැමෝම රැල්ලට වගේ කියන නිසාත්, කොණේ ඉන්න බැරිකම නිසාත් හිත හදාගෙන අමාරුවෙන් හරි බලන්නත් ඇති. මේක ඔය හැමෝම කියන තරම් පට්ට, සුපිරි, එළ නැති බවත් ඔබට වෙලාවකට හිතෙන්න ඇති. ටිකක් වෙලා ෆිල්ම් එක බලනකොට කම්මැලි හිතුන නිසා හරි, මෙලෝ මළදානයක් තේරෙන්නේ නැති නිසා හරි, මේක බලන්න කියලා ඔයාට කියපු අයටත් බැණ බැණ බලන එක අතහැරලා දාන්න ඇති. සතියකට සැරයක් වත් Interstellar ගැන මොකක් හරි post එකක් මේ group එකේ වරදින්නේ ද නැත. ඒ නිසාම Interstellar බලල තිබ්බත් නැතත් ඕනෑම කෙනෙක්ට මෙය හොඳට හුරු පුරුදුය.
Nolan ගේ මේ වනතුරු නිකුත්වූ චිත්‍රපට 10 න් හොඳම චිත්‍රපටය Inception (2010) විය හැක, නමුත් ඒ අතුරින් මම කැමතිම Nolan ගේ චිත්‍රපටය වන්නෙන් Interstellar ය. මට Interstellar ගැන ලියන්න හිතුනේ ඇයි දැයි කියා මම වත්, මේ වනතුරුත් නොදන්නෙමි. සමහර විට, ගොඩ කාලෙකින් මතක හිටින ජාතියේ ගොං වැඩක් කරන්නත් මට බැරි වුන නිසා ද දන්නෙත් නැත. බාග වෙලාවට මේක මම ලියන අප්සට්ම Review එක වෙන්නත් පුළුවන්ය. මීට පස්සේ ආයෙත් මේ වගේ ලිපියක් නොලියා ඉන්නට ද පුළුවන. බොහෝවිට මේක මම ලියන අන්තිම Full Movie Review එක වන්නට ද පුළුවන.
Interstellar ෆිල්ම් එකේ තියෙන බොහෝ කරුණු, සිද්ධාන්ත ලෙහා ගන්න එක හිතන තරම් ලේසි කාර්යයක් නොවන බව මම ප්රත්යක්ෂ වශයෙන්ම දනිමි. මේ මුල් විස්තරය ලියන මොහොත වන විටත්, Interstellar ෆිල්ම් එක ගැන කොහොම මොනවා ලියන්නදෝ යැයි කියා හෝ හරි හැටි අදහසක්වත් මට පහලවී නොමැත. සමහරවිට මේ සඳහා මා පෙළඹවන්නට ඇත්තේ මගේ යටි සිත වියහැක. සමහර අවස්ථාවල, කිසිදු පැකිලීමකින් තොරවම, හරියන්නට හෝ වරදින්නට යටිසිතට ඕනෑ පරිදි ජීවිතයේ සමහර තීරණ ගන්නට මම අවස්ථාව ලබා දෙමි. එතකොට මට මං ගැනම දැනෙන ගන්ධබ්බ ෆීලින්ග් එක විඳිගන්නට මම කැමැත්තෙමි.
මම අද කතා කරන්නේ විෂයයක් මා වශයෙන් පාසලේ දී වත්, විශ්වවිද්‍යාලයේදී වත් හදාරා නැති, ඒත් පුංචි සන්ධියේ ඉඳන්ම කියවපු, ඒතුල අසාවෙන් ජිවත් වුන, මගේ මුළු ළමා කාලය පුරාම හීන දැකපු, ඒත් ළඟා කරගත නොහැකි වූ ඒ හීනයේ මූලික විෂය ක්ෂේත්රය සම්බන්ධවයි.
විසි එක්වෙනි සියවසේ මේ වනතුරු, Space-travel ගැන බිහිවෙච්ච හොඳම, විද්‍යාත්මකම සහ සංකීර්ණතම චිත්‍රපටය Interstellar කියල අවිවාදයෙන්ම කියන්න පුළුවන්. ලෝක සිනමා ඉතිහාසයේම ගත්තත්, Interstellar දෙවෙනි වුනා නම් ඒ 1968 දී බිහිවූ 2001: A Space Odyssey චිත්‍රපටයට පමණක් වන්නට ඇත. 2001: A Space Odyssey චිත්‍රපටය ශ්‍රී ලාංකික අපිට සුවිශේෂ වෙන්නේ, එකේ කතාවට පාදක වුන පොත ලිව්වේත්, Screenplay එක කරේත් අපේ රටේම පුරවැසියෙක් වීම නිසාය. වෙන කව්රුවත් නෙමෙයි, ඒ අපේ රටේ හිටපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥ Sir. Arthur C. Clarke සුදු මහත්තයාය. Space-travel, Astrophysics ගැන පොඩි කාලේ ඉඳන්ම කුතුහලයක්, ආශාවක් තිබ්බ, internet තියා computer එකක් වත් තිබ්බේ නැති, 90′ ගණන් වල අගභාගයේ අපි ඉස්කෝලේ යන කාලේ සිංහලයට පරිවර්තනය වූ, Clarke මහත්තයා ලියපු 2001: A Space Odyssey, 2010: Odyssey Two, 2061: Odyssey Three හා 3001: The Final Odyssey පොත් ටික පිස්සුවෙන් වගේ කියවපු කෙනෙක්ට නම් Interstellar තේරුම් ගන්න ලොකු අමාරුවක් වෙන එකක් නැති බවයි මගේ හැඟීම.
ඒ දවස් වල මගේ Google එක උනේ ඉස්කෝලේ පුස්තකාලෙයි, විදුසර පත්තරෙයි. මට මතකයි ඉස්සර විදුසර පත්තෙරේ පළවුණු මහාචාර්යය නලින්ද සිල්වා, මහාචාර්යය චන්දන ජයරත්න මහත්වරු Astrophysics ගැන ලියපු බොහොම බැරෑරුම් ලිපි, ඒ වගේ ලිපි හොයාගෙන ඒවා කපල අලවලා අසාවෙන් මං හදපු Astronomy Scrap-book එක. මම ඔය Scrap book එක විද්‍යාව period දී දිග අරිනවට ඉස්කෝලේ අපේ පන්තියේ පන්තියේ හිටපු කොල්ලෝ ඔක්කොම කැමති උනා. මොකද ඒකේ තියෙන අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධ කරුණක් ඇදලා අරගෙන විද්‍යාව ගුරුතුමාටත් එදාට අපේ පන්තියේ කරන්න තිබ්බ පාඩම මං අමතක කරවන නිසා. ඔව්, පොඩි කාලේ ඉඳන්ම මට ඒ වගේ පොඩි ට්‍රැක්-අවුට් එකක් තිබ්බා. ඒ කාලේ මට තිබ්බෙත් හරිම සරල හීන. UFO එකක් වැරදිලා හරි අපේ ගෙවල් පැත්තට එයි කියල හැමදාම රෑට අහස දිහා, තරු දිහා පිස්සුවෙන් වගේ බලන් ඉන්න එක, Aliens ලා කවදා හරි Nevada වල Area-51 වලින් මතුවෙයි, අඩුම ගානේ මැරෙන්න දවසකට හරි කලින් කමක් නෑ Alien කෙනෙක්ව මට පණ පිටින් බලාගන්න පුළුවන් වෙයි. ඒ හැරෙන්න X-Files බලලා ඒකේ තිබ්බ සමහර සිද්ධි ගැන ඉස්කෝලේ යාලුවෝ එක්ක කෙස් පැලෙන තර්ක කර කර වාද කරපු, විෂය නිර්දේශයේ පෙළපොත් වල උගන්නන්නේ නැති, තරු, ග්‍රහලෝක, විශ්වය ගැන තොරතුරු දැනගන්න තිබ්බ නොසන්සිඳෙන ආශාවට ඉස්කෝලේ තාරකා විද්‍යා සංගමේට බැහැගෙන වැඩ කරපු සොඳුරු අතීතයක්, ළමා කාලයක් මටත් තිබ්බා. ඒ හින්දම දෝ මන්දා අදටත්, රටේ ලෝකේ කොයි දීපංකරේ මොන රාජකාරියකට කොහේ ගියත්, රෑට පැහැදිලි අහසක් තියෙනවා දැක්කොත් ඒ දිහා නිසොල්මන්ව ටිකක් වෙලා හරි බලාගෙන ඉන්න නොස්ටැල්ජික් ආශාවක්, පුරුද්දක්, පිස්සුවක් මට තාමත් තියෙනවා.
“චානක ලොකු උනාම කව්රු වෙන්න ද කැමති ?” කියල ඉස්කෝලේ පොඩි පන්ති වල ඉන්නකොට කව්රු හරි ඇහුවම අනිත් ළමයින්ට වගේ, මට දෙන්න තනි සරල උත්තරයක් තිබ්බේ නෑ. හැමෝටම ඕන උනේ ලොකු උනාම දොස්තරලා, ඉංජිනේරුවෝ, ගුරුවරු වෙන්න. එත් මට ඕන වුනේ හඳට යන්න, අඟහරු වලට, ඈත පේන තරු වලට, මන්දාකිනියෙන් එහා විශ්වයේ ඈත කොනට යන්න. ඒ කාලේ මම දැනගෙන හිටියේ නෑ ඒකට මොනවා කරන්න ඕනද, මොන විෂය ධාරාවක් ඉගෙනගන්න ඕනද කියලවත්. අපේ රටේ පවතින මේ සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමය තුල, අභ්‍යවකාශය සම්බන්ධව ආසාවක්, කුතුහලයක් තියෙන ළමයෙකුට එතනින් එහාට ඒ හීනය සැබෑ කරගන්න මොකක් ද කරන්න ඕන කියල නිසි මග පෙන්වීමක් ලැබෙන්නේ නැත.
උසස් පෙළ භෞතික විද්‍යාව (Physics) විෂය නිර්දේශයේ මීට සියවස් ගණනාවකට කලින් හොයාගත්ත Isaac Newton ගේ නියම, යාන්ත්‍ර විද්‍යාව, පැරණි භෞතික විද්‍යාව සම්බන්ධ නියමයන්, ඒවායේ සමීකරණ හැර අඩුම තරමේ Albert Einstein 1915 දී ඉදිරිපත් කල සාමාන්‍යය සාපේක්ෂතාවාදය (Theory of General Relativity) පිළිබඳව මුලික දැනුමක් වත් අපට ලබා දෙන්නේ නැත. තුල නවීන ලෝකයේ දැනට යොදාගන්නා දියුණු ක්‍රමවේදයන්, පෘතුවියෙන් පිටත සිදුවන නවතම අභ්‍යවකාශ විද්‍යා සොයාගැනීම්, පර්යේෂණ පිලිබඳ ප්‍රමාණවත් දැනුමක් කිසිවිටෙකත් අපිට නොලැබෙයි. මෙය, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල සිටින සියලු සයන්ස්කාරයන් ගේ අතිශය සෝචනීය ඉරණමයි.
ඇත්තටම Interstellar යනු සංකීර්ණ චිත්‍රපටයකි. ඒක එහෙම උනත් A/L වලට Science subjects කරේ නැති නිසා Interstellar චිත්‍රපටය තේරෙන්නේ නැතිවෙයි කියල නොබලා ඉන්න එපා. A/L වලට Science subjects කරා කියල Interstellar ලේසියෙන්ම තේරෙයි කියල අඩු තක්සේරුවක් කරන්නත් එපා.
Interstellar ෆිල්ම් එක ගැන ගොඩක් ප්‍රශ්න වලට උත්තර සමහරවිට මේ ලිපියේ තියෙන්න පුළුවන්, නොතිබෙන්නත් පුළුවන්. හැකි සෑම කරුණක්ම මට පුළුවන් විදිහට හැමෝටම තේරෙන්න විස්තර කරන්න උත්සහ කරන්නම්. අපි Interstellar ෆිල්ම් එක බලනකොට දැක්ක දේවල් ද ඇත්තටම චිත්‍රපටයේ අභ්‍යන්තරයෙන් අදහස් කලේ කියලත් ඔයාලට තේරෙයි මේ විකාර ලිපිය අමාරුවෙන් හරි අන්තිම වෙනකන් කියෙව්වොත්.
ඉතින් මෙතනින් එහාට Interstellar ෆිල්ම් එක මම සම්පුර්ණයෙන්ම Spoil කරනවා. තාමත් බලපු නැති, උඩින් පල්ලෙන්, බාගෙට බලපු අයත් ඉන්නවා නම් මුලින්ම ෆිල්ම් එක බලල ඉන්න. නැත්තම් මේ කියන දේවල් ටිකක් තේරුම් ගන්න අමාරු වෙයි.
Interstellar ෆිල්ම් එක ගැන විවිධ විස්තර, අතුරු කතන්දර මටත් වඩා හොඳට ඔබ කියවා ඇති, දන්නවත් ඇති. ඒ නිසා කෙලින්ම අපි චිත්‍රපටය දෙසට හැරෙමු. මුලින්ම පහත තියෙන භෞතික හා අභ්‍යවකාෂ විද්‍යාවේ අර්ථ දැක්වීම් හා චිත්‍රපටයේ භාවිත වන විශේෂ තාක්ෂණික යෙදුම් (Technical Jargon) ගැන ටිකක් දැනගමු.
Endurance – මෙය අභ්‍යවකාශ යනා සම්බන්ධ කල හැකි සේ තනා ඇති අභ්‍යවකාශ යනා නැවතුම්පොලකි, මව් යානයකි. මෙය රවුම් හැඩතිය. Capsules 12ක් සහිත Space-station එකකි. එහි colonization equipment 4ක්, එන්ජින් 4ක් හා cockpit (නියමු කුටි), medical labs 4ක් සහිත වේ.
Space-time Continuum (අවකාශ කාලය)
විද්‍යාගාරයක වීදුරු තැටියක ජිවත්වන අන්වීක්ෂයක් මගින් පමණක් නිරීක්ෂණය කළහැකි බැක්ටීරියාවක් ගැන හිතන්න. එම බැක්ටීරියාවට සාපේක්ෂව දැනෙන විදිහට ඒ වීදුරු තැටිය තුල ඇති බැක්ටීරියා ජනපදය යනු උගේ ලෝකයයි. සමහරවිට එම බැක්ටීරියාවට සාපේක්ෂව වීදුරු තැටියට යනු උගේ විශ්වය වන්නත් පුළුවන්. අපිට නොපෙනෙන අතිශය කුඩා මානයන් (Dimensions) බැක්ටීරියාවට ගෝචර වෙන්න පුළුවන්. නිකමට හිතන්න, අපි ජිවත්වන මේ විශ්වය කියන්නෙත් යම් X නම් ජීවි කොට්ඨාශයක් විසින්, ඔවුන්ගේ විද්‍යාගාරයක පරීක්ෂණ වීදුරු තැටියක් මත තනන ලද දෙයක් උනොත්. මේ X නම් ජීවි කොට්ඨාශයට අපට වඩා බොහෝ මාන ගෝචර වෙන්න පුළුවන්.
Isaac Newton ට අනුව කාලය හා අවකාශය යනු එකිනෙක වෙනස් මාන 2 ක්. ඒත් Albert Einstein ගේ සාමාන්‍යය සාපේක්ෂතාවාදයට (Theory of General Relativity) අනුව කාලය යනු ත්‍රිමාණ අවකාශයේ ඇති, එය හා එකිනෙක සම්බන්ධ වූ තවත් මානයක්. ඒ කියන්නේ, අපිට පෙන 3D (Space) වලින් එහා තියෙන 4D (Space-time) එකක්. අපිට පියවි ඇසට පෙනෙන්නේ දිග, පළල, උස (x,y,z අක්ෂ) යන තල 3 නැතිනම් මාන තුන පමණි (සැ.යු : ඔබට මීට වඩා Dimension/මාන පියවි ඇසට පේනවනම් වහාම NASA එකට දන්වන්න, නැතිනම් ලඟම සිටින මනෝ වෛද්‍යවරයා හමුවන්න). Einstein මහත්තයා කියන්නේ කාලය යනු අවකාශයේම තවත් එක මානයක් බවයි. ඒ කියන්නේ 4 වන මානය සැබෑවක් බවත් 3 වන මානයේ ජිවත් වන අපට එය ගෝචර නොවන බවත්ය. මේ නියමයේ ලොකු බරපතල සංකීර්ණ කරනා ගොඩාක් තියෙනවා. දැනට මේ ඇති.
Curvature of Space-time (කාල අවකාශයේ වක්‍රවීම)
අධික ස්කන්ධ හා ගුරුත්ව තත්ත්වයන් යටතේ මේ අවකාශය-කාලය වක්‍ර වෙනවා. සරලම උදාහරණයක් ගත්තොත්, හිතන්නකෝ 4 දෙනෙක් එකතුවෙලා ලොකු රෙදි කැල්ලක් දිශා 4ට ඒකාකාර ඇදීමක් ලබා දීමෙන් 4 කොනෙන් පොළවට තිරස්ව අල්ලන් ඉන්නවා කියල. මේක මැද්දට විවිධ බර සහිත වස්තු තියල බලන්න. වඩා වැඩි බරක් සහිත වස්තුවක් තිබ්බහම රෙදි කෑල්ලේ වක්‍ර වෙන ගතිය වැඩියි නේද? සැහැල්ලු දෙයක් තිබ්බම රෙදි කෑල්ල වක්‍ර වෙන්නේ අඩුවෙන් නේද? මේ රෙදි කෑල්ල තමයි අවකාශ-කාලය, මේක මැද්දට වරින්වර තිබ්බ වස්තුන් තමයි ග්‍රහලෝක, තරු වැනි අධික ස්කන්ධ සහිත වස්තු හා අධික ගුරුත්වාකර්ෂණ තත්ත්ව. කාල අවකාශයේ වක්රවිම, අධික ස්කන්ධ සහිත වස්තු හා අධික ගුරුත්වාකර්ෂණ තත්ත්ව වල බලපෑම යටතේ කොහොමද වෙන්නේ කියලා දැන් පැහැදිලියි ඇති.
Wormhole (කාල කුහරය) – එකක් යනු අවකාශ-කාලයේ එකිනෙක ඉතා ඈතින් ඇති ලක්ෂ දෙකක් අතර (ආලෝක වර්ෂ ගණනාවක පරතරයක් ඇති), සාමාන්‍ය අවකාශයේ ගමන් කිරීමේදී ගතවන කාලයට වඩා ඉතාම අඩු කාලයකින් ගමන්කල් හැකි සේ නිර්මාණය වී ඇති කෙටි මාර්ගයක්. මෙය 4 වන මානයේ සංකල්පයක් වන අතර කෘත්‍රිමව නිර්මාණය කළයුත්තක්.
Gargantua Black hole – කළු කුහරයක් (Black-hole) යනු ඉතා අධික ගුරුත්වාකර්ශනයක් සහිත අවකාශයේ ඇති ස්ථානයකි. මෙයට ඒ අවට ඇති සියලු වස්තුන්, ආලෝක අංශු පවා ඒ තුලට ඇදගැනීමේ කරගැනීමේ හැකියාව ඇත. Gargantua යනු Interstellar චිත්‍රපටයේ පෙන්වන එවැනි අතිවිශාල කළු කුහරයකි (Super massive Black-hole).
Frozen Embryos – හිමායනය කරන ලද මිනිස් කළල. මේවා අලුත් මිනිස් ජනපදයක් සැදීම සඳහා පෘතුවියේ සිට අභ්‍යවකාශයට ගෙනයනවා.
Tesseract – 3 වන මානයේ ජීවීන්ට කාලය මානයක් ලෙස ගෝචර වන පරිදි 4 වන මානයේ නිර්මාණය කර ඇති ඝනකයක හැඩය ඇති ස්ථානයක්. Interstellar චිත්‍රපටයට අනුව මෙය 5 වන මානයේ ජීවින් විසින් කෘත්‍රිමව සාදන ලද දෙයක් යයි සැක කෙරෙනවා.
Cryogenic sleep – ශිශිරතාරක නින්ද. නැතිනම් ඉතාම අඩු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ ගගනගාමීන්ව හිමායනය කර ගැඹුරු නින්දකට පමුණුවනවා. මෙමගින් වසර ගණනාවක් වුවද ශරීරය ජීවි තත්ත්වයෙන් නොනැසී පවත්වා ගත හැකිය. මෙය ඉතා ඈත ඇති ග්‍රහලෝක වෙත ගමන් කිරීමේදී ගගනගාමීන්ව අඩු ජීව ශක්තියක් වැය කරවමින් වැඩි කාලයක් ජීවත්ව තබා ගැනීමේ උපක්රමයකි. මෙය තවම පර්යේෂණ මට්ටමේ පවතින සංකල්පයක් පමණක් වන අතර චිත්‍රපටය තුල අවස්ථා කිහිපයකදීම Cryogenic sleep සංකල්පය යොදාගෙන ඇත. විද්‍යා ප්‍රබන්ධ කතාවල hibernation ලෙස හඳුන්වන්නේ ද මෙයයි.
Interstellar චිත්‍රපටයේ කතාව
21 වන සියවසේ එක්තරා කාල වකවානුවකදී, වායුගෝලයේ පවතින නයිට්රජන් (N2) ප්‍රතිශතය 80% දක්වා අසාමාන්‍යය ලෙස ඉහල යාමත්, ඔක්සිජන් (O2) ප්‍රතිශතය ඉතා සීග්‍රයෙන් අඩුවී යාමත් නිසා වායුගෝලය තුල විවිධ දිලීර වර්ග වර්ධනය වෙන්නට පටන් ගන්නවා. මිහිපිට ඇති අනෙකුත් ශාක වගාවන් සියල්ලටම පාහේ මේ දරුණු දිලීරය රෝගය සීග්‍රයෙන් බෝවෙනවා. වායුගෝලය තුල නිතරම පාහේ විශාල දුහුවිලි කුණාටු ඇතිවෙනවා. මිනිසුන්ට තම එදිනෙදා ජීවන කටයුතු පමණක් නොව, හුස්ම ගැනීම පවා සාමාන්‍ය පරිදි කරගෙන යාමට අපහසු වෙනවා. මේ හේතුවෙන් බොහොමයක් අහාර සපයන වගාවන් පවා විනාශවෙන අතර, ආහාර පිණිස සිදුකරණ ගොවිතැන් කර්මාන්ත ඉතාම අසීරු අඩියකට වැටෙනවා. මේ සංසිද්ධිය මිනිසුන්ගේ ඉදිරි පැවැත්මට මරු පහරක් වනවා. මෙලොව වාසය කරණ මිනිසුන්, ජිවත් වීමේ ඉතාම අසීරු කාලසීමාවක් කරා කෙමෙන් කෙමෙන් ලඟා වෙනවා. මිනිස් ජනගහනය හාමතේ හෝ හුස්ම හිරවී මෙලොවින් සම්පුර්ණයෙන්ම වඳ වී යාම වැඩි ඈතක නොවන බව ප්රත්යක්ෂ වශයෙන්ම පෙනෙන්නට තිබෙනවා.
Joseph Cooper, බිරිඳ මියගිය ගොවියෙක්. නිකන්ම නිකන් ගොවියෙක් නෙමෙයි, හිටපු NASA Jet Pilot කෙනෙක්, අභ්‍යවකාශ යානා ඉංජිනේරුවෙක්. මේ අසීරු අඩියක සිටින මිනිස් ජන සමාජයට ඉංජිනේරුවන් යනු තවදුරත් වැදගත් හෝ ඉහල රැකියාවක් කරන අයවලුන් නෙමෙයි. මේ සමාජයට අවශ්‍යය වෙන්නේ දක්ෂ ගොවියන්, අහාර සැපයිය හැකි වගා කරුවන් පමණයි. NASA වැනි අභ්‍යවකාශ විද්‍යා පර්යේෂණ ආයතන හෝ එහි පර්යේෂකයන්, ගගනගාමීන් යනු තවදුරත් රජය හෝ මේ සමාජය විසින් නඩත්තු කරන්නවුන් නොවේ.
Cooper ජිවත් වෙන්නේ විශාල බඩ ඉරිඟු හේනක මධ්‍යයේ තනාගත් කුඩා නිවසක, ඔහුගේ මියගිය බිරිඳගේ වයසක පියා (Donald), තම දියණිය (Murph) හා පුතු (Tom) සමගයි. ඔවුන්ගේ එකම අදායම් මාර්ගය මේ බඩ ඉරිඟු හේන පමණයි.
Cooper ගේ දියණිය Murph, ඇයගේ කාමරයේ සිටින භූතයෙකු ගැන නිතරම තම පියාට පවසනවා. Murph ගේ කාමරයේ පොත් රක්කයේ ඇති සමහර පොත් මේ භුතයා නිතරම බිමට වට්ටවනවා. Murph නිතරම Cooper ට කියන්නේ, මේ භූතයා ඇයට යමක් සන්නිවේදනය කිරීමට උත්සාහ ගන්නා බවයි, ඒකට අදාල Binary Code pattern එකක් පවා ඇය ව්‍යුත්පන්න කරලා Cooper ට පෙන්නවා. Murph ගේ මේ කරදරයෙන් බේරෙන්න බැරිම තැන Cooper දිනක් මේ කාමරයේ රාක්කය ඉදිරිපිට වැඩිවෙලා මේ කියන භූතයා එනතුරු බලා සිටිනවා. දැන් ගොවියෙක් වුනත් ඉස්සර Cooper කියන්නේ ඉංජිනේරුවෙක්. Cooper දකිනවා මේ දුහුවිලි අංශු බිමට වැටීමේ අමුතු ගණිතමය රටාවක් හා සම්බන්ධයක්. ඉතින් මේ භුතයා දුහුවිලි අංශු මගින් කාමරයේ පොලවේ සටහන් කරනු ලබන Binary Code pattern එක මගින් සන්නිවේදනය කරන්න හදන පණිවිඩය Cooper ව්‍යුත්පන්න කරගන්නවා. මේ භුතයෙක් නෙමෙයි, මේ pattern එක හදන්නේ ගුරුත්ව බලය (Gravity) මගින් බව Cooper තේරුම් ගන්නවා.
ඒක GPS coordinate එකක්. Cooper සහ Murph මේ Location එක හොයාගෙන යනවා. අන්තිමේදී ඔවුන් නතර වෙන්නේ ඉතා රහසිගතව NASA ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන අභ්‍යවකාශ ගවේෂණ පර්යේෂණ ආයතනයක් වෙතයි. එතැනදී Cooper ට ඔහුගේ පැරණි මහාචාර්යයවරයා වන Professor Brand ව මුණගැසෙනවා. ඒ සමගම Professor Brand ගේ සහයක විද්‍යාඥයන් කාර්යය මණ්ඩලයත් හා ඔහුගේ දියණිය Dr. Amelia Brand වත් Cooper සහ Murph ට මුණ ගැසෙනවා. මෙහිදී Professor Brand විසින් Cooper ට, මිට වසර 48 කට පෙර සෙනසුරු (Saturn) ආසන්නයේ අද්භුතව නිර්මාණය වූ Wormhole එකක් ගැන පවසනවා. එම Wormhole එක මගින් ඈත පිහිටි Galaxy එකක් (මන්දාකිනියක්) වෙත විවෘත කරන ලබන්නා වූ ගමන් මාර්ගයක් ඇති බවත්. එම Galaxy එක තුල මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝකයක් පැවතිය හැකි බවත් Professor Brand පවසනවා. දැනට පෘතුවිය තුල පවතින භයංකාර තත්ත්වය නිසා, අළුතෙන් මිනිස් ජනාවාස ඉදි කිරීමට සුදුසු වෙනත් ග්රහලොවක් සෙවීම මොවුන්ගේ පරමාර්ථයයි.
මීට වසර 10කට පෙර Lazarus Expedition ව්‍යාපෘතිය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ අභ්‍යවකාශගාමින් 12 දෙනෙක් යුත් කණ්ඩායමක් Dr. Mann නම් NASA ආයතනයේ අභ්‍යවකාශ පර්යේෂකයෙක් සමග මේ Wormhole එක හරහා ගොස් මිනිස් වාසයට සුදුසු ග්‍රහලෝක සොයමින් සිටිනවා. ඒ අතරින් Miller, Edmund, Dr Mann යන අය Gargantua නම් Black-hole එක ආසන්නයේ ඇති ග්‍රහලෝක කිහිපයක් ගැන බලාපොරොත්තු තබා ගතහැකි දත්තයන් මේ වනවිටත් NASA එකට ඒවා තිබෙනවා.
Professor Brand, ඔවුන්ගේ ඊලඟ අභ්‍යවකාශ ගමන සඳහා Cooper ව තෝරාගනු ලබන්නේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා අභ්‍යවකාශයට යවන කණ්ඩායම භාර අභ්‍යවකාශ යානයේ නියමුවා වශයෙනි. මේ වනවිටත් Professor Brand, පෘතුවිය තුල ඇති ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව කාර්යයක් කරමින්, පෘතුවි කක්ෂයෙන් පිටත අභ්‍යවකාශයට දැනට ජිවත් වන ජනතාව ගෙනයාමට අවශ්‍යවන සමීකරණයක් (Gravitational Theory of Propulsion) විසඳමින් සිටිනවා. එය Plan-A ලෙස නම් කරනවා. මිට අමතරව නව මිනිස් ජනපද තැනීමට අවශ්‍යය, හිමායනය කරන ලද මිනිස් කළල (Frozen Embryos) 5000 ක් Endurance එක තුලට ගෙන යන්නේ Plan-B ලෙසය. ඒ යම් හෙයකින් Plan-A අසාර්ථක වුවහොත් Plan-B ක්‍රියාත්මක කරවා මානව වර්ගයාගේ අඛණ්ඩතාවය මිනිස් කොලනියක් වශයෙන් හෝ වෙනත් ග්‍රහලොවක පවත්වා ගෙනයාමේ අරමුණෙනි.
මේ ගමන සඳහා Cooper එක්වන්නේ කුඩා Murph ගේ දැඩි අකමැත්ත මධ්‍යයේය. ඇය පවසන පරිදි පොත් රාක්කයේ සිටින භූතයාද STAY (නවතින්න) යනුවෙන් ඇයට Binary Codes හරහා පණිවිඩයක් ඒවා, Cooper ට අභ්‍යවකාශ ගමන නොයන ලෙස දැන්වූ බවත් ඇය පවසනවා. කෙසේ වෙතත් අකමැත්තෙන් හරි සිය පවුලේ සාමාජිකයන් පිලිබඳ අමතක කර Cooper අභ්‍යවකාශ යානයේ නියමුවා ලෙස ගමනට එක්වෙනවා. එතැන කාර්යය මණ්ඩලය ලෙස අභ්‍යවකාශ විද්‍යාඥයන් වන Romilly, Doyle, Dr. Amelia Brand ද සමග Tars සහ Case යන රොබෝ වරුන් දෙදෙනාද එක්වෙනවා.
පෘතුවි කක්ෂයෙන් මිදී වසර 2 කට පමණ පසු සෙනසුරු ආසන්නයට එන්නට ඔවුන් ගමන් කරණ Endurance යානයට හැකිවෙනවා. ඒ අතරතුර මේ ගගනගාමීන් පිරිස Cryogenic sleep තත්ත්වයකට පත්වී ඔවුන්ගේ ශක්තිය හා කාලය අනාගත කාර්යයන් සඳහා ඉතිරිකර ගන්නවා.
සෙනසුරු ආසන්නයේදී ඔවුන් බලාපොරොත්තු වූ Spherical Wormhole එක දකිනවා. එම Wormhole එකෙන් ඇතුළුවන ඔවුන්, අවසානයේ නවතින්නේ Gargantua Black-hole එක ආසන්නයට පැමිණීමෙනි. Endurance එක තුල Romilly ව තබා, Amelia Brand, Cooper සහ Doyle යන කණ්ඩායම Ranger යානයකින්, Miller’s planet එක දක්වා ගමන් කරන්නට තීරණය කරනවා. Miller’s planet එක ජලයෙන් පිරි ග්‍රහලෝකයක් (Ocean World), එයට එම නම ලැබී ඇත්තේ Lazarus මෙහෙයුමේදී එම ග්‍රහලොවට මුලින්ම ගමන්කළේ Miller නම් කාන්තාවක් වන නිසාය. Gargantua එක ආසන්නයේ ඇති Millers Planet එක මත පවතින පවතින අධික ගුරුත්ව බලපෑම හේතුවෙන් එහි කාලය අධික විස්තාරණයට (Time Dilated) ලක් වී ඇත. එහි පැයක් යනු පෘතුවියේ වසර 7ක්. මෙහිදී ජල පෘෂ්ටය තුල තිබී Miller ගේ යානයේ සුන්බුන් පමණක් හමුවන අතර Brand විසින් Miller එම ග්‍රහලෝකය තුල දී එකතු කරන ලද දත්ත ලබා ගැනීමට සමත්වනවා. එහෙත් ජල ගෝලයේ පෘෂ්ටය මත ඇතිවන අධික රළ පහරකට (Tidal wave) හසුවී Brand ගේ සහායට ආ Doyle මිය යනවා. Brand යන්තමින් දිවි ගලවා ගන්නා අතර යානයේ එන්ජිම ඇතුලට පවා වතුර ගලනවා. මේ හේතුවෙන් යානය පණගැන්වීමට තවත් අමතර කාලයක් Miller’s planet එක තුල සිටීමට Cooper සහ Brand හට සිදුවනවා. ඒ කියන්නේ පෘතුවියේ කාලයට සාපේක්ෂව නම් අවුරුදු ගණනාවක්
සිදුවූ අකරතැබ්බය නිසා, Endurance එක තුලට Brand සහ Cooper නැවත එනවිටත් පෘතුවියට සාපේක්ෂව වසර 23ක් ගතවී තිබෙනවා. එනම් යානයේ තනිව සිටි Romilly ද වසර 23කින් වයසට ගොසිනි. පෘතුවියේ සිටින Murph ද අවුරුදු 23 කින් වයසට ගොසිනි. ඇය මේ වනවිටත් Professor Brand සමග ඉදිරි පර්යේෂණ කටයුතු කරනවා, Plan-A සාර්ථක කර ගන්න.
Do not go gentle into that good night,
Old age should burn and rave at close of day;
Rage, rage against the dying of the light.
Though wise men at their end know dark is right,
Because their words had forked no lightning they
Do not go gentle into that good night
මෙය Dylan Thomas ගේ කවියක පද පේළි කිහිපයක්. Professor Brand නිතරම මේ කවිය මුමුණනවා. මොකක් ද මේ කවියේ යටි අදහස.
Professor Brand සිය මරණ මංචකයේදී Murph ඉදිරියේදී පිළිගන්නේ Plan-A සාර්ථක වීම යනු විය නොහැක්කක් බවත්, විශ්වාසය තැබිය හැකි එකම විසඳුම Plan-B පමණක් බවත්ය. Cooper පෘතුවියෙන් යනවිටදීත් Plan-A අසාර්ථක වන බව ඔහු දැනසිටි බවත් පවසනවා. ඔහුට අවශ්‍ය වුයේ අඩුම තරමේ Plan-B හෝ ක්‍රියාත්මක කිරීමටය. Murph මෙයින් තදබල ලෙස කම්පාවට පත්වෙනවා. පසුව Professor Brand මියයනවා. Gravitational Theory of Propulsion සමීකරණය තවමත් නොවිසඳුණු අභිරහසක්. එතැන් සිට Murph කරන්නේ මේ Gravitational Theory එක විසඳා ගන්න උත්සහ කරන එක. මොකද ඇයට අවශ්‍ය වන්නේ Plan-A සාර්ථක කරවාගෙන තම පියා වන Cooper ව කොහොම හරි නැවත පෘතුවියට ගෙන්වා ගන්න.
මේ Gravitational Theory එක විසඳා ගැනීම සඳහා Murph ට Gravitational Singularity (Space-time Singularity) සම්බන්ධ දත්තයන් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ Black-hole එකක මධ්‍යයයේ ඇති අනන්ත ගුරුත්වය (Infinite Gravity) හා පදාර්ථයේ අනන්ත ඝනත්වය (Infinitely Dense of Matter) පිලිබඳ ක්වොන්ටම් දත්තයන් (Quantum data).
මේ අතර, පවතින සීමිත ඉන්ධන ප්‍රමාණය නිසා Endurance යානයේ සිටින අය තීරණය කරනවා Dr. Mann ගේ planet එකට යන්න. මොකද Edmunds planet එකට තියෙන දුර, Mann ගේ planet එකට ඇති දුර ප්‍රමාණයට වඩා ඉතා විශාල නිසාත්, Dr. Mann එම ග්‍රහලෝකයේ සිට තවමත් දත්ත එවමින් පවතින නිසාත්ය.
Mann Planet එකේදී ඔවුන් Dr. Mann ව සොයාගනනවා. Dr. Mann යනු, Interstellar Expedition එකට වසර 10 කට කලින්, දියත්කල Lazarus Missions එකේ ප්රධානියාය. Dr. Mann පවසන පරිදි ඔහුගේ සොයාගැනීම් අනුව, එහි ඇති අධික ඇමෝනියා (NH3) සහිත වායුගෝලය හෝ හිමෙන් මිදුණු ග්‍රහලෝකය ජනාවාස ඉදිකිරීමට බාධාවක් නොවන බවයි.
මේ අතර Dr. Mann, Cooper ව එම ග්‍රහලෝකයේ නිරීක්ෂණ චාරිකාවක් රැගෙනයන අතරතුරදී ඝාතනය කරන්නට උත්සාහ කරනවා. Dr. Mann සම්ප්‍රේෂණය කල දත්ත බොරු ඒවා බවත්, මේ ග්‍රහලෝකය ජීවයට කිසිසේත් නුසුදුසු බවත්, ඊලඟට පැමිණෙන පර්යේෂණ කණ්ඩායම, එම තොරතුරු මගින් නොමග යවා හෝ තම ජීවිතය බේරා ගැනීමට, Mann Planet එකට ගෙන්වා ගැනීමට කල රැවටීමක් බවත් Mann, Cooper ට පවසනවා.
කොහොමහරි Dr. Mann, Cooper ගේ Ranger spaceship එක හොරකම් කරගෙන Endurance එක වෙත යනවා. Cooper සහ Brand තම ජිවිත බේරාගෙන Mann Planet එකෙන් පිට වුනත්, එහිදී සිදුවන පිපිරීමකට හසුවී Romilly මියයනවා. ඒකට හේතු වෙන්නේ Dr. Mann ඔහු සතුව තිබු KIPP රොබෝවට සවිකළ බෝම්බයක් (booby trap) පිපිරී යාමෙනි.
Dr. Mann මේ අතර Cooper සහ Brand ට කලින් ගොස් Endurance එකට තම යානය සම්බන්ධ කරවීමට (Docking Operation) උත්සහ ගන්නවා. Dr. Mann ට අවශ්‍ය වන්නේ Cooper නැවත පෘතුවියට යාම වලක්වා Endurance එකේ පාලනය අතට ගෙන ඔහුගේ Lazarus Mission එක සම්පුර්ණ කිරීමටය. එහෙත් Cooper සහ Brand විසින් Dr. Mann ගේ Ranger යානය Endurance එකට Docking Operation කිරීම වළක්වනවා. ඔවුන් දෙදෙනා කොතරම් අනතුරු ඇඟවුවද Dr. Mann දිගටම Docking Operation එක සඳහා උත්සහ කරනවා. එනිසා යානයේ Air-lock එකේ පිපිරීමක් සිදුවනවා. මෙනිසා Ranger යානය ද පිපිරීයාමෙන් Dr. Mann මරණයට පත්වනවා. Endurance එකේ Ranger යානය ගැටීමෙන් හදිසි පිපිරිමක් ඇති වන අතර එමගින් Endurance එකට ද ඉතා බරපතල හානියක් සිදුවෙනවා.
ඉතා අනතුරුදායක Docking Operation එකක් කිරීමෙන් පසුව Lander යානය, Endurance එක හා සම්බන්ධ කරවීමට Cooper සමත් වෙන්වා. මෙම සම්බන්ධ කිරීම මගින් යම්තාක් දුරකට Endurance එක සමතුලනය කරන්නට Cooper සමත් වුවත්, Endurance එක Gargantua Black-hole එකේ අධික ගුරුත්ව බලපෑමට හසුව ඒ දෙසට තල්ලුවෙන්නට පටන් ගන්නවා. Endurance එකේ ඇතිවන අසමතුලිතතාවය, සමතුලනය කිරීමට Tars රොබෝව jettison එකක් (Endurance එක මත බලය යොදා එයින් ඉවත් වීම) කර Gargantua එක ඇතුලට යාමට Cooper අණ කරනවා. ඊට සුලු වෙලාවකට පසුව Cooper ද තම යානය jettison එකක් මගින් Endurance එකෙන් මිදී Gargantua එක වෙත යනවා. Cooper ද Endurance එකෙන් මිදී Gargantua එකට යාමට සැලසුම් කර ඇති බවක් Brand කලින් දැනසිටියේ නැත. Brand මෙය දැනගන්නා විටත් Cooper, Endurance එකෙන් මිදීමට අවශ්‍ය කටයුතු සිදු කර හමාරය. Cooper අවසාන වශයෙන් ඇයට සුබපතමින් Black-hole එක වෙත යන්නේ Brand ට හා Case රොබෝවට Edmund’s planet එකට යාමට අවශ්‍ය ත්වරණය, නිව්ටන් ගේ තුන්වන නියමයට අනුව ලබා දෙමිනි. Gargantua එකට ලංවිම නිසා අධික ගුරුත්ව තත්ත්ව යටතේ දී ඔවුන්ගේ කාලය Time dilation එකකට ලක් වෙනවා. මේ අවස්ථාවේ හැටියට නම් පෘතුවිය, Endurance එකට සාපේක්ෂව වසර 51ක් වැඩිපුර වයසට යනවා.
Gargantua එකේ Event horizon එක පසුකරමින් Cooper හා Tars රොබෝවට යානා 2 කින්, Black-hole එකේ මධ්‍යයට ගමන් කරයි. Gargantua එක තුල යානයට සිදුවන හානියක් නිසා Cooper එයින් Emergency Ejection එකක් (Supersonic Jet වර්ගයේ ගුවන් යානා වල, ඉහල අහසේදී යානයට සිදුවන හදිසි අනතුරක දී නියමුවාට සිය යානයෙන් මිදීමට ඇති ක්‍රමයක්) කර ගන්නවා. ඉන්පසු Cooper ව එක වරම Tesseract එකක් තුලට තල්ලු වෙනවා. මෙය Murph ගේ කාමරය හා පොත් රක්කය නිරුපනය කරන සංකීර්ණ Tesseract එකකි. මෙමගින් Cooper ට Murph ගේ කාමරයේ විවිධ කාල පරාසයන්ට ගමන් කල හැකි වන අතර අතීතයේ ඔහු අතින් සිදු වූ වැරද්දක් වන NASA එකේ Interstellar Mission එකට සම්බන්ධ වීම වෙනස් කිරීමටත් උත්සහ ගන්නවා.
ඔහු Murph ට ඇයගේ පොත් රාක්කයේ පොත් වට්ටමින් Binary Codes හරහා STAY යනුවෙන් පණිවුඩයක් යවනවා. එහෙත් එමගින් සිය අතීතයේ සිදුවී හමාර වූ සිදුවීම් වෙනස් කල නොහැකි දෙයක් බව Cooper ට වැටහෙනවා. මේ අතර Tesseract එකේ තවත් අන්තයක සිටින Tars ඔහුට පණිවිඩ සම්ප්‍රේෂණය මගින් සම්බන්ධ වෙනවා. Tesseract එක යනු 5 වන මානයේ සිටින අනාගත ජීවින් (Bulk Beings) විසින් 3 වන මානයේ සිටින පෘතුවි වාසීන් (human being) වෙත කාලය නමැති 4 වන මානය ගෝචර වනසේ තැනූ කෘත්‍රීම නිර්මාණයක් බවත් එමගින් අතීතය වෙනස් කල නොහැකි බවත් Tars ඔහුට පවසනවා. මෙය වටහා ගන්නා Cooper තම පෞද්ගලික ආශාවන් පසෙකලා තම දියණිය නැවත දැකීම අමතක කර, Plan-A සාර්ථක කරගැනීමට තීරණය කරණවා. එනිසා ඔහු ගුරුත්වය හා දුහුවිල්ල යොදා ගනිමින් අතීතයේ සිටින Cooper ට NASA එකේ GPS location එක යවනවා. දැන් තේරෙනවා ඇති නේද කතාවේ මුලදී අපිට පෙන්නන NASA එකේ GPS location එක Cooper ට ලැබුන හැටි?.
Gravitational Equation එක විසඳීමට අවශ්‍ය ක්වොන්ටම් දත්තයන් Gargantua එකෙන් ලබා ගැනීම මගින් එය Binary Codes ආකාරයෙන් පරිවර්තනය කර දෙන Tars එම දත්තයන් Dr. Brand සමග සිටින Case රොබෝව වෙත විවිධ තරංග ආයාම හා සංඛ්‍යාත ඔස්සේ ද යවනවා. මේ අතර Tesseract එක තුලම වෙනත් කාල පරාසයක් තුල සිටින තරුණ Murph ව ඔහු දකිනවා. එවිටම ඔහු දකිනවා පොත් රාක්කය මත තිබෙන Murph කුඩාකල ඇයට Cooper විසින් තෑගී දුන් අත් ඔරලෝසුව. Tars ලබාදෙන Gravitational Singularity එක පිලිබඳ ක්වොන්ටම් දත්තයන් පෘතුවිය වෙත යැවීමට Cooper භාවිත කරන්නේ Murph ගේ කුඩා කල අත් ඔරලෝසුවයි. එහි තත්පර කටුවට, Binary Codes ආකාරයෙන් Gravitational Equation එක විසඳීමට අවශ්‍ය ක්වොන්ටම් දත්ත ලබාදීම අවසන්වනවාත් සමගම Tesseract එක බිඳ වැටෙන්නට පටන් ගන්නවා.
පසුව Turbulent Ejection එකක් මගින් Gargantua එකෙන් නිදහස්වන Cooper, නැවත අවදි වන්නේ සෙනසුරු ගේ කක්ෂය ආසන්නයේ ඇති Cooper Station නම් දියුණු අභ්‍යවකාශ මිනිස් ජනාවාසයේදීය. ඔහු සම්ප්‍රේෂණය කල ක්වොන්ටම් දත්තයන්ගේ Binary Codes මගින් Murph, Professor Brand ගේ Gravitational Equation එක විසඳීමට සමත්ව ඇති නිසා Plan-A සාර්ථක වී මිනිසුන් පෘතුවියෙන් නිදහස්ව අභ්‍යවකාශයට පැමිණ ඇත.
මේ වනවිට Cooper පෘතුවියට සාපේක්ෂව අවුරුදු 124 ක් වයසට ගොසිනි. මක්නිසාද යත් Gargantua එකේ අධික ගුරුත්ව තත්ත්ව යටතේ සිදුවූ Time Dilation වීම නිසා පෘතුවියට සාපේක්ෂව ඔහු වැඩිපුර වයසට ගොසිනි. මෙහිදී Cryogenic sleep එකක සිට අවදිවූ Murph ව Cooper බැලීමට Cooper Station එක වෙත ගෙන එනවා. ඇය ඒ වනවිටත් මහළුව ගිලන්ව සිය ජිවිතයේ අවසාන භාගයට පැමිණ සිටිනවා.
Murph ගේ ඉල්ලීම අනුව Cooper, Tars ද සමග Brand සොයා spaceship එකකින් සෙනසුරු ජනාවාසයෙන් පිටත් වෙනවා. මේ වනවිට Amelia Brand, Edmunds Planet එකේ Case රොබෝව සමග ජනාවාස ඉදිකරමින් Plan-B එකට අනුව අලුත් මිනිස් කොලනියක් තැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා.
මෙතනින් Interstellar චිත්‍රපටය නිම වෙනවා…
මේ ගානටවත් ෆිල්ම් එක තේරුම් ගන්න නම් n වතාවක් වත් Interstellar මුල ඉඳන් බලන්න වෙයි. (n ⩾ 3).
මේ වෙනකන් ලිපියේ විස්තර කලේ අපිට Nolan එයාගේ ෆිල්ම් එකේ මතුපිටින් පෙන්නන සංසිද්ධි ටික විතරයි. ඉතින් ගොඩක් වෙලාවට අපි මෙතනින් එහාට ෆිල්ම් එක ගැන හිතන එක නවත්තනවා. සමහරවිට මීටත් අඩුවෙන් පවා තේරුම් අරන් අපිට කැමති අවසානයක් හිතාගෙන හිත සතුටු කර ගන්නවා.
නැතිනම්, “මොන කාල-අවකාශ රෙද්දක් ද මන්දා, මෙලෝ මගුලක් තේරුනෙත් නෑ, මෙලෝ රහකුත් නෑ” කියල ආයේ පාරක් බලන්නේ නැතුවම ෆිල්ම් එක delete කරලා දානවා.
Interstellar චිත්‍රපටය මේ ගානට තේරුම් ගත්තා ඇති, යයි සෑහීමකට පත්වෙනවානම් හෝ මොළය තවදුරටත් වෙහෙසවන්නට කම්මැලියයි හෝ අකමැතියි යයි සිතෙනවානම්, මෙතනින් එහාට මේ ලිපිය කියවන්න හිතන්නවත් එපා.
මොකද, මෙතනින් එහාට කියෙව්වට පස්සේ මොළේ ටිකක් විකාර වෙන්න පුළුවන්ය.
රෑට නින්ද යන්නෙත් නැතුව මොලේ හම යනකන් කල්පනා කර කර ඉන්නත් ඉඩ තියෙනවාය.
ඔබගේ සාමාන්‍යය ජිවිතයේ ඇති ප්‍රශ්න පවා අමතක වන්නට පුළුවන්ය.
රෑට අහස දිහා බලාගෙන තනියෙන් කියව කියවා ඉන්නද පුළුවන්ය.
“මේ පොස්ට් එක ලියපු පිස්සු යකාගේ ඔල්මොරොන්දම් කියවලා මගේ හොඳට තිබ්බ ඔළුවත් විකාර වුණා” කියලා, මේක ලියපු මටත් බනින්න ඉඩ තියෙනවාය.
ඒක නිසා Interstellar ගැන ටිකක් ගැඹුරින් දැනගන්න, Astrophysics ගැන ඇත්තටම කුතුහලයක්, ආශාවක් තියෙන අය විතරක් මෙතනින් එහාට තියෙන වැටෙන් පනිනවානම් පමණක් මම සතුටුයි.
ඉතින්, මෙතැන් සිට ලිපිය ටිකක් සංකීර්ණයි. ඔව්, ඒ කියන්නේ හොඳ කොපි කෝප්ප දෙක තුනක් වත් ලෑස්ති කරගන්න වෙයි. Caffeine අධි මාත්‍රාවක් නැතුව නම් මේක කියවන්න මොළේ වෙහෙසවනවා කියන්නේ ටිකක් අමාරු වැඩක් වේවි.
Interstellar – පුළුල් විවරණය
මේ වෙනකන් කියපු දේවල් ගොඩක් අයට තේරෙන්නත් ඇති, සමහර අයට නොතේරෙන්නත් ඇති. කොහොම වුනත් කමක් නෑ, අර මං කලින් කියපු වැටෙන් මේ පැත්තට පැන්න කට්ටිය හැමෝටම තේරුම් ගන්න හැකිවන විදිහට, ඒ සංකීර්ණ කරුණු පහදන්න මම උත්සහ කරන්නම්.
Black-hole (කළු කුහර)
මෙය මුලින්ම අර්ථ දැක්වුයේ Sir Albert Einstein ඔහුගේ සාමාන්‍යය සාපේක්ෂතා වාදයෙනි (General Relativity Theory). නමුත් ඇත්තටම Black-hole එකක් ඡායා රූපයකට ලබා ගන්නේ 2019 අප්‍රේල් වලදීය. මේ Black-hole එක ආලෝක වර්ෂ මිලියන 55 ක් ඈතින් පිහිටා ඇති Messier 87 (M – 87) චක්‍රාවාටයේ මධ්‍යයේ පිහිටා ඇත. එය රේඩියෝ දුරේක්ෂ 8 කින් ලබා ගත් ඡායාරූප දත්ත computer program එකක් මගින් සකසා අපට දැකගත හැකි ආකාරයේ පින්තුරයක් ලෙස මුලින්ම ලබා දෙන්නේ Dr. Katie Bouman මහත්මියයි. ලංකාවේ අපිට මේක එච්චරම වැදගත් කියල තේරුනේ නැතත්, මේක ඇත්තටම ගත්තොත් Armstrong හඳට ගියා හා සමාන අභ්‍යවකාශ විද්‍යාවේ නව පිම්මකි. වසර සීයකට කලින් Einstein මනසින් දැකපු හා තර්කයෙන් පෙන්නපු Black-hole එකක් ඇත්තටම අපි සොයාගත්තා.
Black-hole එකක් ඇත්තටම සෑදෙන්නේ ඉතා විශාල තරුවක් හෝ අභ්‍යවකාශ වස්තුවක්, අධික ගුරුත්වාකර්ෂණය යටතේ හැකිලීමකට භාජනය වීමෙනි. මෙහිදී එම වස්තුවේ මුළු පදාර්ථ ප්‍රමාණයම එක ලක්ෂයකට සංකෝචනය වීම සිදුවෙනවා. එම ලක්ෂය Singularity එකක් ලෙස හඳුන්වනවා. එම අවස්ථාවේ Singularity හි පරිමාව ශුන්‍ය අගයක් ගන්නවා (d = m/V). එවිට එහි අනන්ත ඝනත්වයක් ඇති වෙනවා (Infinite density). Singularity එකක් යනු අනන්ත ඝනත්වයක් සහිත ලක්ෂයක්. Singularity එක Black-hole එක මධ්‍යයේ තිබියදී ඒ වටා පිටත වලයාකාර සීමාවක් ඇති වෙනවා. එයට අපි Event Horizon කියල කියනවා. යම් වස්තුවක් මේ Event Horizon එක දෙසට ඇදී ගියහොත් නැවත එලියට එන්න බෑ. ආලෝක කිරණක්, ශක්ති ෆෝටෝනයකට පවා මේක අදාලයි. මේකට හේතුව වෙන්නේ Singularity එකෙන් ඇති වන අධික ගුරුත්වාකර්ෂණ බලයයි. මෙනිසා Black-hole එකක් තුලට ඇදී යන කිසිම දෙයක් නැවත එලියට එන්නේ නැත.
ප්‍රධාන වශයෙන්ම Black-hole වර්ග 2 ක් තියෙනවා.
1. Stellar-Mass Black-hole (තාරුකා ස්කන්ධ කළු කුහර) – අපේ සුර්යයාට වඩා විශාල ස්කන්ධයක් ඇති තරු Black-hole එකක් වීමෙන් මේවා නිර්මාණයවේ. බොහෝවිට මෙහි අරය 10km ට අඩු අගයක් ගනී.
2. Supper Massive Black-hole (අති විශාල කළු කුහර) – බොහෝවිට චක්‍රාවාටයක් මධ්‍යයේ පිහිටන Black-hole එකකි. අප ක්ෂිරපථය (galaxy) මධ්‍යයේද Black-hole එකක් ඇත. එය Sagittarius A ලෙස හඳුන්වයි. එය සුර්ය ස්කන්ධ මිලියන 4 ක් තරම් විශාල වන අතර කළු කුහර අරය සාමාන්‍යයෙන් 22 million km පමණ වේ. Sagittarius A යනු සාපේක්ෂව කුඩා Supper Massive Black-hole එකකි. අර මම කලින් සඳහන් කල M-87 චක්‍රාවාටයේ ඇති Supper massive Black-hole එකේ අරය 19 Billion km පමණ වේ. (හිතාගන්නකෝ විශාලත්වය කොහොමද කියලා, අපේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටත් වඩා විශාල අරයක් ඇති black hole එකක්). ඒවගේම තමයි M-87 black hole එක සුර්ය ස්කන්ධ බිලියන 6.5 ක් පමණ වෙනවා.
Black-hole එකකින් ආලෝකය පිටවෙන්නේ නැත. ඉතින් අපිට Black-hole එකක් කිසිම ආකාරයකින් බලාගන්න විදිහක් නැත. අපිට ඇත්තටම පෙන්නේ Black-hole එකේ Accretion-disk එක හා එහි කොටස් පමණයි. Accretion-disk එකක් යනු Black-hole එක වටේ තරු, ග්‍රහ වස්තු විනාශවීම නිසා ඇතිවන වේගයෙන් ගමන් කරන දුහුවිලි වැනි අවකාශ පදාර්ථ ද්‍රව්‍ය වළල්ලක්. Accretion-disk එක සාමාන්‍යයෙන් Event Horizon එකටත් වඩා ඈතට විහිදෙනවා. ඒ වගේම කාල අවකාශයේ වක්‍රතාවය (Curvature of Space-time) නිසා මේ තිරස් අතට ඇති Accretion-disk එකේ පිටුපස වලයාකාර කොටස සම්පුර්ණ වළල්ලක් මෙන් සිරස්ව කළු කුහරයට උඩිනුත් පහළිනුත් ඉතා දීප්තිමත්ව බලා ගන්නට පුළුවන. මෙය ඇත්තටම 4 වන මානයේ බලපෑමෙන් සිදුවන සංසිද්ධියක් නිසා 3 වන මානයේ සිටින අපට Accretion-disk එක ඒ ආකාරයට පෙනෙන්නේ දෘෂ්ටි මායාවක් විදිහටයි. (මේ ලිපිය සමග අමුණා ඇති Black-hole එකේ ඡායා රූපය බලන්න)
අපිට ෆිල්ම් එකේ පෙන්නන Gargantua එක කියන්නෙත් Supper Massive Black-hole එකක්. ඒක හොඳින් නිරීක්ෂණය කලොත් අපිට පේනවා Accretion-disk එක පිහිටා ඇති අයුරු සහ කාල අවකාශයේ වක්‍රතාවය නිසා black hole එකට ඉහලින් හා පහලින් ගමන් කරන Accretion-disk එකේ වලයාකාර ආලෝකය. මෙහි Curvature of Space-time නිසා ඉහල හෝ පහල ආලෝක වලය වඩා දීප්තිමත් විය හැකියි. Interstellar එකේ 2014 දී පෙන්නන මේ Gargantua Black-hole එක, 2019 දී ලබාගන්නා ලද M-87 Black-hole එකේ ඇත්තම ඡායාරුපයේ හැඩයට අතිශයින්ම සමානයි. කොටින්ම කිව්වොත් Interstellar එකේ පෙන්නන Gargantua Black-hole එක විද්‍යාත්මකව ගත්තොත් 100% ක් ම පාහේ නිවැරදියි. Interstellar කියන්නේ අනාගතය සත්‍ය වශයෙන් නිවැරදිව දැකපු නිර්මාණයක් වන්නේ මේ නිසයි.
Stellar-Mass Black-hole එකකට ඇදීයන වස්තුවක් Singularity එක මගින් ඉතා ඉක්මනින් ග්‍රහණය කරගෙන විනාශ කරනවා. නමුත් Supper Massive Black-hole එකකට ඇදීයන වස්තුවක් එක වරම Singularity එක වෙත යන්නේ නෑ. එම වස්තුව Singularity එක වෙත ඇදී ගොස් විනාශ වීමට ප්‍රථම Black-hole එක තුල සැරිසැරීමට එම වස්තුවට අවස්ථාව හිමි වෙනවා. මෙමගින් එම වස්තුවට Black-hole එකේ අභ්‍යන්තරය අධ්‍යයනයට අවස්ථාවක් හිමිවෙනවා. Gargantua එක වෙත ඇදී යන Cooper ට Tesseract එකට ගොස් පෘතුවියට Quantum data යවන්න හැකි වෙන්නෙත් Gargantua එක Stellar-Mass Black-hole එකක් වීම නිසා එය තුල සැරිසැරීමට යම් අමතර කාලයක් හිමි වන නිසා කියල අපිට හිතන්න පුළුවන්.
Time Dilation (කාල විස්තාරණය)
Einstein ගේ General Relativity Theory එක අනුව ආලෝකයේ ප්‍රවේගයට (299,792,458 m/s) ආසන්න ප්‍රවේගයකින් ගමන් කරන වස්තුවක් තුල ගතවන කාලය බාහිර නිරීක්ෂකයෙකුට සාපේක්ෂව අඩු අගයක් ගනී. මෙය Time Dilation එක ලෙස හඳුන්වයි. මේ අතර අධික ගුරුත්වයක් යටතේ පවතින අභ්‍යවකාශ වස්තුන්/ග්‍රහලෝක වල ද Time Dilation එකක් සිදුවේ.
Wormhole (කාල කුහර)
මෙය Einstein-Rosen Bridge කියලත් හඳුන්වනවා. (Einstein එක්ක Nathan Rosen නම් විද්යාඥවරයාත් මේ Wormhole ගැන පරීක්ෂණ කළා). Einstein ගේ General Relativity Theory එක අනුව විශ්වය නැමෙන්න, ඇඹරෙන්න, දිග හැරෙන්න, සංකෝචනය වෙන්න පුළුවන්. එය සිදුවන්නේ 4වන 5වන මාන හරහා නිසා, 3වන මානයේ ඉන්න අපිට ඒක ගෝචර වෙන්නේ නෑ. මෙහෙම නැමුන, ඇඹරුණ ස්වභාවය නිසා විශ්වයේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් ඇති ලක්ෂ 2ක් ආසන්න වෙන්න පුළුවන්. එතකොට මේ ලක්ෂ 2 හරහා යන්න පුළුවන් විදිහට කෙටි මාර්ගයක් කෘත්‍රිමව හැදුවොත් ඒකට අපි Wormhole එකක් කියල කියනවා. මේ නිසා ආලෝක වර්ෂ දහස් ගානක් ඈත ඇති ලක්ෂ 2ක් අතර උනත් ඉතාම සුළු කාලයකින් ගමන් කරන්න පුළුවන්. Wormhole එකක් ඉතාම අස්ථාවරයි. මෙයට ආලෝක ධාරාවක් ඇතුල් උනත් ඇති බිඳ වැටෙන්න. තවමත් Wormhole එකක් යනු අභ්‍යවකාශ භෞතික විද්‍යා සංකල්පයක් පමණයි. තුන්වන මානයේ සිටින අප හට එය කෘත්‍රිමව සෑදීම අපහසු දෙයක් වන අතර 4 වන මානයේ හෝ ඊට එහා මාන වල සිටින ජිවින්ට එය කල හැකි දෙයක් වනු ඇත.
Kip Thorne
Kip Thorne කියන්නේ අභ්‍යවකාශ වස්තුවක් නම් නෙමෙයි, පුද්ගලයෙක්. කවුද මේ Kip Thorne කියන්නේ?.
Interstellar ෆිල්ම් එකේ සෛද්ධාන්තික භෞතික විද්‍යාව සම්බන්ධ විශේෂඥ විද්යාඥවරයාය (Theoretical Physicist). මට අනුව නම් Interstellar ෆිල්ම් එක සාර්ථකත්වය පිටිපස්සේ ඉන්න හොඳම වැඩ්ඩා Kip Thorne ය. Kip Thorne කියන්නේ ද සෙල්ලම් පොරක් නොවන්නේය. 2017 දී භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ලාභියායි. 2009 දී ලොව හොඳම භෞතික විද්‍යාඥවරයාට හිමි Albert Einstein Medal එක දිනාගත්ත විද්යාඥවරයායි. දැනට ලෝකයේ සිටින අභ්‍යවකාශ භෞතික විද්‍යාව සම්බන්ධ ප්‍රමුඛතම හා ප්රවීනතම විද්යාඥවරකි.
Interstellar ෆිල්ම් එක ලිව්වේ සැබෑ ජිවිතයේදී ද අයියා සහ මල්ලී වන Christopher Nolan හා Jonathan Nolan යන දෙනාම එක්වය. එහෙත් Interstellar ෆිල්ම් එක හදද්දී Nolan-brothers ලාට ඕන ඕන විදිහට පිස්සු කෙලින්න නම් Kip Thorne ඉඩ දුන්නේ නැත. චිත්‍රපටයේ සියල්ලම පාහේ සිදුවුයේ, Screenplay එක පවා ලිව්වේ Kip Thorne ගේ විද්‍යාත්මක සංකල්ප වලට අනුව පමණි. කිසිදු දෙයක් විද්‍යාත්මක සංකල්ප වලට පිටින් කිරීමට Nolan සහෝදරයෝ දෙදෙනාටම නොහැකි වනසේ ගිවිසුමකින්ම Kip Thorne වැටක් බැඳලා තිබ්බා.
Kip Thorne මොළකාරයා කියන්නේ ඒකනේ, නැත්තම් මේ පිස්සෝ දෙන්නත් එක්ක කොහොම Interstellar වගේ ෆිල්ම් එකක් කරන්න? එකෙක් පුරුද්දක් විදිහට හදන හදන හැම ෆිල්ම් එකම Fruit Salad කරනවා මදිවට ඒවා බලන අසරණ අපේ ඔලුවට පොල්ලකිනුත් ගහල තමයි ෆිල්ම් එක ඉවර කරන්නේ. අනිත් එකාට ෆිල්ම් එකකට කතාවක් ලියන්න කියල කිව්වොත් පොර කතාව ලියන්නේ මේ ලෝකේ ඉන්න එකෙක්ටවත් නොතේරෙන්න, තියෙන පැටලුම් ඔක්කොම දාලා කතාව බලන අපේ මොළේ විකාර වෙන විදිහටය. කොහොම හරි මේ තුන් කට්ටුවම එකතු වෙලා කරපු මේ නිර්මාණය මේතරම්ම සුවිශේෂ, අද්විතීය වෙන්න ඇත්තෙත් මේ ප්‍රභල සුසංයෝගය නිසා වෙන්න ඇති.
Kip Thorne එක්ක Jonathan Nolan එක්තරා වැඩසටහනකInterstellar ෆිල්ම් එක ගැන කෙටි සාකච්චාවක් පවත්වනවා. ඒ අතරේ නිවේදකයා අහනවා Inception ෆිල්ම් එක ගැන Jonathan ගෙන්, ඒකට Jonathan දෙන්නේ හරිම සරල උත්තරයක්.
” Inception එකේ කතාව ලිව්වේ මම නෙමෙයි, මගේ අයියා Chris. ඌ පිස්සෙක්…! මම ඒක ගැන කතා කරන්න දන්නේ නෑ.”
Interstellar ෆිල්ම් එකෙන් මාස කිහිපයකට පසුව Kip Thorne පොතකුත් ලියනවා The Science of Interstellar කියල. චිත්‍රපටයේ විද්‍යාත්මක නිවැරදි භාවය, Black-hole, Wormhole හා අනෙකුත් විශ්වයේ ඇති විවිධ වස්තුන් වල පරිඝනක ආශ්රිත දෘෂ්‍ය නිර්මාණයන් සියල්ල කලේ Kip Thorne ගේ සංකල්ප අනුව ඔහු යටතේය. මේ නිසාම වෙන්නත් ඇති, ඒ අවුරුද්දේ Best Visual Effects සඳහා Academy Award එක Interstellar එකට හිමි වුනෙත්.
නෝලනියානු සිනමාකරණය වෙනමම කතා කලයුතු මාතෘකාවක්. මෙම ලිපිය තුල එය කතා කිරීමට ම කාලය මිඩංගු නොකරමි. Nolan කියන්නේ Non-linear narrative type එකේ ෆිල්ම් හදන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මේකෙත් ටිකක් විතර ඒක දැකගන්න පුළුවන්. කතාව පටන් ගන්නෙම අනාගතයේ මිනිසුන් කිහිප දෙනෙක් පෘතුවිය විනාශ වීම පිලිබඳ කරන විවරණයකින්. හොඳින් බැලුවොත් එතන වයසට ගිය Murph වත් දැකගන්න පුළුවන්.
Cooper යනු NASA එකේ හිටපු Jet Pilot කෙනෙක්. NASA එකේ හදන Prototype Aircraft (ගුවන්යානා මූලාකෘති) Test කරන Pilot කෙනෙක් වගේම Aeronautical Engineer කෙනෙක්. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ Supersonic (ශබ්දයේ වේගය ඉක්මවා යා හැකි) වර්ගයේ Aircraft තියෙනේ ගුවන් හමුදාව සතුව පමණයි. ඒවත් බහුතරයක්ම Fighter Jets (ප්‍රහාරක ජෙට් යානා) සහ අනිත් ඒවා පුහුණු ජෙට් යානා වේ. සාමාන්‍යයෙන් අපි කව්රුත් අහල තියෙන ඊශ්‍රායලයේ නිපදවන K-fir (කෆීර්) Jet එක, දැනට ගුවන් හමුදාව සතුව තියෙන 2,400 km/h වැඩි වේගයකින් ගමන් කළහැකි Fighter Jet එකක්. මේ හැරෙන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු රුසියාවේ නිෂ්පාදිත MIG-27, චීනයේ නිෂ්පාදිත F-7 ප්‍රහාරක Jet යානා ලෙස භාවිතා කරන අතර, K-8 පුහුණු ජෙට් යානා ලෙස භාවිතා කරයි.
ෆිල්ම් එකේ මුලදීම පෙන්නනවා Cooper, Fighter Jet Pilot ලා අඳින Anti-G Flying Suit එකක් ඇඳගෙන Ranger එකක් ඇතුලේ ඉන්න හැටිත්, අන්තිමට ඒක crash වෙන හැටිත්. Jet එකක් කියන්නේ Aircraft එකක් මිසක් Spaceship එකක් නෙමෙයි. Professor Brand, ඔවුන්ගේ Interstellar Expedition එකේ අභ්‍යවකාශ යානයේ නියමුවා වශයෙන් Cooper ව තෝරාගන්නේ ඔහුගේ මෙම Jet ගුවන් යානා හැසිරවීමේ ඇති දක්ෂතාවය නිසාය.ඒ කියන්නේ Interstellar Expedition එකට කලින් පෘතුවියේ කක්ෂයෙන් එලියට Cooper ගිහින් නෑ. ඒක නිසා තමයි කට්ටියම එකතුවෙලා Cooper ට අභ්‍යවකාශයේදී Black-hole, Wormhole, Time Dilation ගැන හා ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන පොඩි පොඩි කුප්පි දාන්නේ.
Miller’s Planet
Miller’s Planet එක Gargantua එකට ඉතාම සමීපය. එහි පවතින අධික ගුරුත්වය යටතේ කාලය ගලායාමේ සිඝ්‍රතාවය ඉතා අඩුය (Time Dilation). එනිසා එහි පැයක් යනු පෘතුවියේ වසර 7කි. එහි Time dilation එකෙන් මිදීමට Cooper යෝජනා කරනවා, Endurance යානය, Miller’s Planet එක මගින් Time Dilation වීම නොවන කක්ෂයට සමාන්තරව තබාගෙන Ranger එක මගින් Miller’s Planet එක වෙත යන්න, එවිට Endurance එක Gargantua එකේ අධික ගුරුත්වයට හසු නොවන නිසා Time dilation වීමෙන් නිදහස්වනවා.
Gargantua එක මගින් Miller’s Planet එක මත ඇතිවන අධික ගුරුත්වය නිසා ජනනය වන ජල තරංග වල අධික විස්තාරයක් (Amplitude) සහිතවේ. මෙය චන්ද්‍රයා මගින් ඇතිවන ගුරුත්ව බලපෑම නිසා පෘතුවියේ වඩදිය බාදිය ඇතිවීමට සමාන කල හැක. චන්ද්‍රයා, පෘතුවියට සාපේක්ෂව කොතරම් කුඩා උවත් එමගින් ඇතිවන ගුරුත්ව බලපෑම සැලකිල්ලට ගත්විට, Miller’s Planet එක මත Gargantua එක මගින් ඇති කරන ගුරුත්ව බලපෑම ඇති විශාලය. එනිසා ජල ගෝලයක් වන Miller’s Planet එක තුල අති විශාල දිය රැළි ඇතිවේ. එමෙන්ම එම රැළි තරංග දෙකක් අතර තරංග ආයාම (Wave-length) අතර කාල වෙනස (Wave period) එක පෘතුවි කාලයට සාපේක්ෂව වසර 5 කටත් වඩා වැඩිය. මේ Wave-length අතර කාල වෙනසට හේතුව Time Dilation වීමයි.
Dr Mann
Interstellar චිත්‍රපටය තුල සැඟවුණු වීරයා, කව්රුත් වෛර කරන චරිතය Dr Mann (Matt Damon), මම Interstellar චිත්‍රපටය තුල දුටු ප්‍රභලතම චරිතයයි. Dr Mann පෘතුවියෙන් පිටවන විටත් Plan-A සාර්ථක නොවන බව දැන සිටියේය. ඔහු දැන දැනම තම ජීවිතය අනතුරේ හෙලන්නේ සමස්ථ පෘතුවි වාසී මනුෂ්‍යය වර්ගයා වෙනුවෙනි. Dr Mann යනු Lazarus මෙහෙයුම භාර ප්‍රධාන නිලධාරියාය. එවකට NASA කණ්ඩායමේ සිටි දක්ෂතම විද්යාඥවරයාය. සමහරවිට Prof Brand ට පසුව NASA එකේ ප්‍රධානියා වීමට පවා සුදුසු වූ විද්යාඥවරයාය. විටෙක පරාර්ථය වෙනුවෙන් තම ජිවිතයම කැපකළ ද ඒ කල කැපකිරීම තුල, යම් දිනෙක පෘතුවියෙන් පිටත, විශ්වයේ ඈත නොදන්නා ලෝකයක, හුස්ම ගන්නට පවා සුදුසු වාතයක් නොමැතිව අධික ශීතලේ දිනෙන් දින මිය යමින් ජිවත්වන තනිවූ මිනිසෙකු තුල, පරාර්ථය අභිබවා ආත්මාර්ථය කැටිවූ සිතුවිලි ඉස්මතුවන අයුරු චිත්‍රපටය තුල මනාව දක්වා ඇත. තම ජිවිතයේ අවසන් මොහොත දක්වාම, ඔහුට පැවරුණු රාජකාරිය ඉටු කිරීමට, තම ආත්මාර්ථය නැවත යටපත් කොට පරාර්ථය වෙනුවෙන් කැපවීම Dr Mann චරිතය තුලින් දිස්වෙයි. Dr Mann ගේ චරිතය නියෝජනය කරන්නේ බුද්ධියෙන්, උගත්කමින් හා දක්ෂතාවයෙන් කොතරම් උසස් වුවත්, ඇතුලතින් සාමාන්‍ය මිනිස් ගති පැවතුම් සහිත ලෞකික ආශාවන් ඇති අප වැනි පෘථග්ජන මිනිසුන්මය.
චිත්‍රපටය තුල Matt Damon (Dr Mann) ගේ චරිතය Cameo එකක් වගේ Nolan පෙන්නලා තිබ්බත්, මුළු චිත්‍රපටයම උඩු යටිකුරු කරවන්නේ Dr Mann ගේ චරිතය බව ඔබටත් අවසානයේ පැහැදිලි වන්නට ඇති. චිත්‍රපටයේ සමහර දර්ශණවල Matt Damon ගේ රඟපෑම් Matthew McConaughey (Cooper) ගේ රඟපෑම පවා අභිබවා යනු දැකිය හැකිය. මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් Matt Damon ව Interstellar චිත්‍රපටයේ ප්‍රචාරණ පෝස්ටර්වල හෝ Trailer වල වත් නොපෙන්වා සිටීමයි. Matt Damon ගේ චරිතය, චිත්‍රපටය නිකුත්වන තාක් රහසක් ව තබා ගැනීමට Nolan ට අවශ්‍ය වී ඇත.
Dr Mann ගේ Ranger යානය පිපිරි යාම නිසා ක්ෂණික අසමතුලිත බලයක් Endurance යානය මත ඇති වෙනවා. වෘත්තාකාර Endurance එකේ ඇතිවන මෙම ක්ෂණික කෝණික ගම්‍යතාවයට (Angular momentum) අදාලව සිදුවන හදිසි භ්‍රමණ චලිතය නිසා, එයට අධික කෝණික ප්‍රවේගයක් (Angular velocity) ලැබී පාලනයෙන් තොර වෙනවා. Endurance යානයේ අධික කෝණික ප්‍රවේගය නිසා Cooper ගේ Lander යානය සමාන්‍යය පරිදි Endurance එක හා Docking කිරීමට මෙය ගැටළුවක් වනවා. එනිසා, තමයි Lander යානය ද Endurance එකට සාපේක්ෂව ඊට සමාන කෝණික ප්‍රවේගයක් ලබා ගතයුතු බවට Cooper තීරණය කරන්නේ. මෙය ඉතා අනතුරුදායක Docking Operation එකක් වන්නේ, Docking කිරීමේදී එම යානා දෙකෙහි කෝණික ප්රවේගයන් එකිනෙක අසමාන වුවහොත් Cooper ට හා Brand ට අත්වන්නේ ද Dr Mann ට අත්වූ ඉරණමම වීම නිසයි.
Lander යානය, Endurance එක හා සම්බන්ධ කිරීමෙන් පසුව Endurance එක Gargantua Black-hole එකේ singularity එක මගින් ඇති කරන අධික ගුරුත්ව බලපෑමට හසුව එය Event Horizon එක දෙසට තල්ලුවෙමින් යනවා. මෙනිසා තමයි Cooper හදිසි තීරණයක් ගන්නේ Gargantua එකේ Gravitational Slingshot එක (Gargantua එකේ ගුරුත්වය මගින් ඇතිවන බලය යොදාගනිමින්, එහි කක්ෂය මත පරිභ්‍රමණ චලිතය භාවිත කර මාර්ගය හා වේගය වෙනස් කර ගැනීම) භාවිත කර Endurance එකට Edmunds Planet එක දෙසට යාමට අවශ්‍ය ගම්‍යතාවය (Momentum) නැත්තම් තල්ලුව ලබා ගන්න. Gargantua එකට ලංවිම නිසා ඇති වන Time dilation එක හේතුවෙන් ඔවුන්ගේ කාලය පෘතුවියට සාපේක්ෂව අඩුවෙන් ගමන් කරනවා. අයින්ස්ටයින් ගේ General Relativity Theory එක අනුව අධික ගුරුත්ව තත්ත්ව යටතේ තිබෙන වස්තුන් ගේ කාලය ගලායාමේ සීඝ්‍රතාවය අඩුය. ඒ කියන්නේ පෘතුවිය තුල වසරක් යනු Gargantua එක අසල තත්පර කිහිපයක් පමණක් වනු ඇත. එනිසා පෘතුවිය තුලට වඩා, Black-hole එක අසල කාලය ගලා යන්නේ සාපේක්ෂව අඩුවෙනි. ඒක නිසා තමයි පෘතුවියට සාපේක්ෂව Endurance එකේ ඉන්න අය ඒ ඉතා කෙටි කාලය තුල වසර 51ක් වැඩිපුර වයසට යන්නේ. Interstellar ෆිල්ම් එකේ සඳහන් වන අධික ගුරුත්ව බලපෑම් නිසා කාල වෙනස්කම් සිදුවිම ගණිතානුකුලව ද ඉතාම නිවැරදි අගයන් වනවා. එයට හේතුව Kip Thorne සාධකයයි.
බුද්ධ දර්ශනයේ දේශනාවල සඳහන් වෙනවා අපේ ලෝකේ අවුරුදු 100 ක් සමහර දිව්‍යලෝක වල එක දවසයි කියල, විශ්වයේ ඈත ඇති සමහර ලෝක (බ්‍රහ්ම ලෝක) හා ඒවායේ මතුපිට පෘෂ්ඨ වල ඇති පාවෙන සැහැල්ලු ස්වභාවයන් පිළිබඳව, බුදුන් වහන්සේ දේශනා කර ඇති බහු-මාන සංකල්පය. මේ දේවල් වල මූලික හරය ගත්තොත් අපිට පැහැදිලිවම පෙනෙනවා, 1915 දී Einstein ඔහුගේ Theory of General Relativity එක මගින් පැහැදිලි කරන, විවිධ ග්‍රහලෝක වල Time Dilation වීම හා ගුරුත්වයේ සිදුවන වෙනස්කම්, තුන්වන මානයෙන් එහා ඇති බහු මානයන්, කාල අවකාශය වෙනස්වීම් ගැන මුලික කරුණු බුදුන් වහන්සේ මීට ශතවර්ෂ ගණනාවකට කලින් වදාරා ඇති බව.
The Theory of Everything යනු ඉතාම කුඩා අංශුන් ගේ හැසිරීම අධ්‍යයනය කර, ඒවා සංයුක්ත වී සෑදුනු විශාල වස්තුන් ගේ හැසිරීම හා එමගින් මේ මුළු විශ්වයේම ඇති වස්තූන්ගේ හැසිරීම සඳහා සාධාරණ සමීකරණයක් නිර්මාණය කිරීම සඳහා වන පර්යේෂණයකි. මෙය ඔප්පු කිරීම සඳහා වඩාත්ම ආසන්නම හා නිවැරදිම වියහැකි පර්යේෂයනය වන්නේ String Theory එකයි. එහෙත් String Theory එක තවමත් පර්යේෂණ මට්ටමේ පවතින දෙයකි . මෙමගින් Space-time වල මාන 4ට අමතරව නව මාන 7ක් අර්ථ දැක්වීමට පර්යේෂණ සිදුකරයි. String Theory එක අනුව විශ්වය පිළිබඳව අංශුමය මට්ටමකදී (Quantum level) අවබෝධයක් ලබා ගතයුතුය. නමුත් String Theory හි සඳහන් වන ඉතාම කුඩා Vibrating Fundamental Strings වල හැසිරීම් ස්වභාවයන් දැනට අප සතු උපකරණ මගින් නිරීක්ෂණය කිරීමේ හැකියාවක් නොමැත.
චිත්‍රපටයේ පෙන්වන පරිදි Professor Brand ගේ Gravitational Theory of Propulsion සමීකරණය විසඳීම මගින් පමණක් Plan-A සාර්ථක කරගත හැකිය. Plan-A යනු පෘතුවිය තුල ඇති ගුරුත්වාකර්ෂණ බලයට එරෙහිව කාර්යයක් කරමින්, දැනට ජිවත්වන ජනතාව ඇතුළු අනෙකුත් විශාල ස්කන්ධ පෘතුවි ගුරුත්වයෙන් මිදී ඉහල අවකාශය වෙතට යැවීම සඳහා අවශ්‍යය බලය කුමක්ද හා එය ලබාගන්නා ආකාරය පිලිබඳව නිර්ණය කිරීමයි. මේ සඳහා ඉහත සඳහන් කල විශ්වය තුල ඇති Quantum level එකේ අංශුමය මට්ටමක ඇති දත්ත ඔහුට අවශ්‍යවනවා. එනම් String Theory එකේ සඳහන් ප්‍රමේයයන් ඔප්පු කිරීමට අවශ්‍යය වන මුලික දත්තයන්ය. මෙහි Quantum දත්ත Gargantua Black-hole එක තුල Singularity එක ආසන්නයේ ඇති අංශු අධ්‍යයනයෙන් ලබාගත හැකි අතර එය ලබාගන්නේ කෙසේදැයි මියයනතුරු ද Professor Brand ට අදහසක්වත් තිබී නොමැත. අවසානයේ Cooper, Murph ගේ අත් ඔරලෝසුව වෙත සම්ප්‍රේෂණය කරන්නේ මෙම Gravitational Singularity එකෙහි Quantum level දත්තයන්ය.
චිත්‍රපටයේ තැන් කිහිපයකම “They” ලෙස හඳුන්වන්නේ අනාගත ජීවින් නැතිනම් Bulk Beings ලාය. Bulk Beings ඇතිවන්නේ Plan-B මගින් Edmunds Planet එකට Brand ගෙනගිය Frozen Embryos (හිමායනී කරණය කල මිනිස් කළල) මගිනි. Interstellar චිත්‍රපටය නිමවන්නේ Edmunds Planet එක තුල ජනාවාස ඉදිකරන Brand ගේ දර්ශනයෙනි. එතනින් එහාට කතාව ගත්තොත්, ඉදිවන මිනිස් කොලනිය මගින් බිහිවන ජීවින් පෘතුවි ජීවින්ට වඩා වෙනස් ආකාරයෙන් විද්‍යාව දකිනවා. ඉතා දියුණු තාක්ෂණයක් ලඟා කරගන්නා ඔවුන් 5 වන මානය පවා සොයාගන්නවා. ඔවුන් තේරුම් ගන්නවා පෘතුවියේ සිටින ජිවින් යම් හෙයකින් විනාශ වුවහොත් Bulk Beings ලා ද විනාශ වන බව. එයට හේතුව නම් මේ සියලුම සංසිද්ධීන් ඇතිවන්නේ එක් Time-loop එකක (අතීතය හා අනාගතය සිදුවීම් ජාලාවක් වක්‍රයක ආකාරයට එකිනෙක පිලිවෙලින් සිදුවීම) වන නිසාය. Time-loop එක අඛණ්ඩව පවත්වා ගැනීමට නම් පෘතුවි ජීවින්ට Edmunds Planet එකට ඒමට ද්වාරයක් විවෘත කර දිය යුතුය. එනම් Wormhole එකක් කෘත්‍රිමව සෑදිය යුතුය. මේ සඳහා ඔවුන් කාල අවකාශයේ වක්‍රතාවය යොදාගනිමින් Gargantua කළු කුහරයේ සිට සෙනසුරු ආසන්නයට වන්නට Wormhole එකක් නිර්මාණය කරනවා.
Tesseract එක 5 වන මානයේ සිටින Bulk Beings විසින් 3 වන මානයේ සිටින පෘතුවි වාසීන්ට (human being) වෙත කාලය නමැති 4 වන මානය ගෝචර වනසේ Gargantua එක තුල තැනූ කෘතීම නිර්මාණයක් ලෙස චිත්‍රපටයේ දක්වනවා. 5 වන මානයේ ජීවීන්ට 4 වන මානය වන කාලය යනු, හුදෙක්ම අපට ගෝචර වන දිග, පළල, උස මෙන් තවත් එක් මානයක් පමණි. ඊට අමතරව ඔවුන් 5 වන මානය ලෙස ගුරුත්වයද ඔවුන් ගෝචර කරගන්නවා. Tesseract එක තුලදී Cooper ගුරුත්වය උපයෝගී කර ගනිමින් දුහුවිල්ල පාලනය කොට NASA එකේ GPS දත්ත අතීතයේ සිටින Cooper වෙත යවන්නේද මෙම 5 වන මානය වන ගුරුත්වය Tesseract එක තුලදී ඔහුට ගෝචර වන නිසාය. එසේනම් මගේ තර්කය, Tesseract එක යනු 4 වන මානයේ නිර්මාණයක් නොව 5 වන මානය ද Cooper ට ගෝචර වනසේ කරන ලද නිර්මාණයක් බවය. Tesseract එක මගින් නිරුපනය කරන, පෘතුවියේ තිබෙන Murph ගේ පොත් රාක්කය සහිත කාමරයේ සංසිද්ධිය, Cooper ගුරුත්වය හරහා තමන්ටම NASA එකේ GPS Location එක යැවීම, Murph ගේ අත් ඔරලෝසුවට Gravitational Equation එක විසඳීමට අවශ්‍යය වන Quantum දත්ත යැවීම හා එතනින් එහාට වෙන අනෙකුත් දේවල් දැන් ඔබට පැහැදිලි ඇති. ඇත්තටම මෙහිදී සිදුවන්නේ Time-loop එක අඛණ්ඩව පවත්වාගෙන යාමට 5 වන මානයේ ජීවින් ඔවුන් සතු හැකියාවන් මගින් සිදුකරන ක්‍රියාවලියකි.
Gravitational Theory of Propulsion සමීකරණය විසඳීම සඳහා තාක්ෂණික දත්ත 5 වන මානයේ ජීවින් තැනූ Tesseract එක හරහා Murph ට නොලැබෙන්න, පෘතුවි වාසී ජීවින්හට හිමිවන්නේ ද ස්ථිර මරණයයි. සමීකරණය විසඳීම සඳහා අවශ්‍ය වන Quantum දත්ත යැවූ පසු Tesseract එක බිඳ වැටෙන්නට සලස්වන්නේ ද තව දුරටත් එය ස්ථායිව පැවතීම 5 වන මානයේ ජීවින්හට තර්ජනයක් විය හැකි නිසාය. සමහරවිට, එමගින් Time Travel Paradoxes තත්ත්වයක් සිදුවුවහොත් Time-loop එකට නැවත හානි වී අනාගතයේ මහා අවුල් ජාලාවක් ඇතිවිය හැකි නිසා වියහැක.
Time Travel Paradoxes කියන්නේ මොකක්?
අපි දන්නවා පෘතුවියේ ඉන්න අපි කාලයත් සමග ඊට සාපේක්ෂව ඉදිරියට යන බව. නමුත් අපිට කාලයේ ආපස්සට යන්න පුළුවන් උනොත්?, සමහරවිට ඒක ගැටළුකාරී වෙන්නත් පුළුවන්. මොකද, අපි අතීතයට ගිහින් කරන වෙනස්කම් වල බලපෑම නිසා වර්තමානය, අනාගතය වෙනස් වෙන්න පුළුවන් නිසා. ඒකෙන් විශාල අවුල් ජාලාවක් ඇතිවෙන්නත් පුළුවන්. මේ විදිහට කාලය හරහා අතීතයට ගමන් කරොත් වෙන්න පුළුවන් ගැටලුකාරී තත්ත්වයන් වලට අපි Time Travel Paradoxes කියනවා. මේකේ ප්‍රධාන ආකාර 3ක් තියෙනවා.
1. Grandfather Paradox – හිතන්න Y කියල කෙනෙක් අතීතයට ගිහින් එයාගේ සීය කුඩා කාලයේදීම මැරුවොත් සීයට ආච්චිව මුණ ගැහෙන්නේ නෑ. එතකොට එයාගේ තාත්තා මේ ලෝකෙට බිහිවෙන්නේ නෑ. ඒ හින්දා Y ගේ පැවැත්මක් වෙන්නත් විදිහක් නෑ. මෙන්න මේ ඇතිවන අවුල් සහගත තත්ත්වයට තමයි Grandfather Paradox එකක් කියන්නේ.
2. Predestination Paradox – Y කියල කෙනෙක් අතීතයට ගහින් තමන් අතින් සිද්ධ වුන යම් වැරද්දක් නිවැරදි කරන්න යනවා. නමුත් මේ Y ගේ ක්‍රියාව නිසා සිදුවන අතුරු ප්‍රතිඵල මගින් ඔහුගේම වර්තමානයට විවිධ බලපෑම් ඇති වෙනවා. එමගින් Y ගේ අනාගතයේ ද විවිධ අවුල් සහගත තත්ත්වයන් ඇති වෙනවා. Predestination ෆිල්ම් එක බැලුවා නම් මේක පැහැදිලි වෙයි.
3. Bootstrap Paradox – යනු කාලය හරහා අතීතයට අයිති නැති යම් වස්තුවක් අතීතයට යැව්වොත් එමගින් සිදුවිය හැකි ගැටලුකාරී තත්ත්වයන්ය. මීට අවුරුදු 50 කට එහා අතීතයට Smart Phone එකක් යැව්වොත් මොනවා වෙයි?. Smart Phone එක ඒ වෙනකොටත් හොයාගෙන, නිපදවලා නෑ. නමුත් ඒක ඊට එහා අතීතයේ තියෙනවා. එතකොට අනාගතයේ Smart Phone එකක් නිපදවෙන්නේ නැතිවෙයි. මොකද අතීතයේ ඒක තිබ්බ නිසා. (ඔය ඇති, Time Travel Paradoxes ගැන මීට වඩා හිතන්න එපා, මොළේ විකාර වෙලා පිස්සු හැදෙයි)
Cooper Station
චිත්‍රපටයේ අවසාන භාගයේ පෙන්වන සෙනසුරු කක්ෂය ආසන්නයේ ඇති Cooper Station එක ගැන ඔබට ප්‍රශ්ණ පත්තරයක්ම ඇති. ඒක සිලින්ඩරාකාර වෙන්නේ ඇයි. සිලින්ඩරයේ උඩ පැත්තේ ඉන්න උන් බිමට වැටෙන්නේ නැත්ද? ඒක කොහොමද හැදුවේ?
මේක තවමත් කාලයක් තිස්සේ පර්යේෂණ මට්ටමේ පවතින විද්‍යාත්මක සංකල්පයක්. අනාගතයේ මානවයා අභ්‍යවකාශයේ ජීවත්වීම සඳහා කෘත්‍රිමව සාදන සිලින්ඩරාකාර මිනිස් ජනපදයක් O’Neill cylinder ලෙස හඳුන්වනවා. Cooper Station නමැති O’Neill cylinder එක එහි අක්ෂය වටා භ්‍රමණය වන ගමන්ම සෙනසුරු ගේ කක්ෂය වටා පරිභ්‍රමණය වෙනවා. එනිසා එමගින් ඇතිවන කේන්ද්‍රාපසාරී බලය (Centrifugal Force) මගින් එහි ඇතුලත ඇති වස්තුන්/මිනිසුන් හට සිලින්ඩරයේ ඇතුල් පෘෂ්ටය මත පෘෂ්ටය ලම්භකව සිටිය හැකිය. වස්තුන්/මිනිසුන් කේන්ද්‍රය දෙසට ඇදීමකට ලක් නොවෙයි. මේ සඳහා කෘත්‍රිමව ද ගුරුත්වයක් (Artificial Gravity) ඇති කල හැකිය. කෙසේ වෙතත් Cooper Station වැනි අතිවිශාල O’Neill cylinder එකක් අනාගතයේ තැනිය හැකි වුවහොත්, චිත්‍රපටයේ පෙන්වන ආකාරයේ දර්ශණ අපට සත්‍ය ආකාරයෙන්ම බලාගත හැකිවනු ඇත.
ඈත අභ්‍යවකාශයේ තියෙන අපිට තේරුම්ගන්න අමාරු Interstellar වගේ සංකීර්ණ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්,පෘතුවියේ සිටින අපිට ඇත්තටම සමීප කරවන්නේ Cooper ගේ චරිතය නිරූපනය කරණ Matthew McConaughey ය. ඔහුගේ අතිශය සංවේදී චරිත නිරූපනයයි. Cooper ගේ වීරත්වය හා සමානවම අනෙක් පසෙන් ඉස්මතුවන දාරක ස්නේහය චරිතය තුල අපුරුවට මවාපාන්න Matthew McConaughey ගේ අසහාය රංගන ප්‍රතිභාව සමත්වනවා. Dallas Buyers Club චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් 2013 හොඳම නළුවාට හිමි Oscar සම්මානය දිනපු Matthew ව, 2014 Interstellar එකේ ප්‍රධාන චරිතයට Nolan තෝරාගන්නට ඇත්තේද නිකන්ම වෙන්නත් බැරිය. විද්‍යාවට එහා ගොස් අපරිමිත වූ මානව බැඳීම්, ආදරය, සෙනෙහස තුලින් විශ්වයේ ඇති මහා බාධක පරයා යන ආකාරය Interstellar තුලින් ප්‍රේක්ෂකයා වෙත කාවද්දනේ Nolan ය. Nolan අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් අනෙකුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් ගෙන් වෙනස් වන්නේත් විශේෂ වන්නේත් ඒ නිසාමය.
මේ දීර්ඝ විස්තරය ඉදිරිපත් කරේ, ගැඹුරින් චිත්‍රපටය තේරුම්ගන්න ආශාවක් ඇති අයට රුකුලක් වීමටය. එමෙන්ම මා මෙතනින් එහාට චිත්‍රපටය පිළිබඳව ගොඩනගන්න හදන මගේම තර්කයන් වලට අවශ්‍යවන විද්‍යාත්මක සාධක ස්ථාවර කරවන්නටය. මෙතනින් එහාට මම විස්තර කරන්නේ Interstellar ෆිල්ම් එකේ අවසානය මගේ තර්කය අනුව විසඳුනේ කොහොමද කියලා කියන්නය.
චිත්‍රපටයේ අන්තිම රූප රාමුවල පෙන්නන Edmunds Planet එකේ ඉන්න Dr Brand ගේ රුප රාමුවත්, Cooper අන්තිමට Endurance එකෙන් ඉවත්වෙලා Gargantua Black-hole එකට යන අවස්ථාවත් ගන්න. ඒ අවස්ථා දෙකේම Dr Brand ගේ මුහුණේ තියෙන්නේ වචනයෙන් කියාගත නොහැකි දුක්බර බවක්, වේදනාත්මක හැඟීමක්. ඇය දන්නවා Gargantua එකට ගිය කෙනෙක් නැවත එලියට එන්නේ නැති බව. ඇයට ප්රත්යක්ෂ වෙනවා Cooper මුළු මහත් පෘතුවිය වෙනුවෙන්ම සේච්ඡාවෙන් මරණය තෝරාගත් බව. සමහර විට Cooper උනත් Gargantua එක තුලදී තමන් අනිවාර්යයෙන්ම මියයනවා යන්න දැනගෙන ඉන්නට ද ඇත.
මෙහිදී සිදුවන්නේ Cooper ව Black-hole එක තුල ඇති Singularity එක මගින් ඇතිවන අධික ගුරුත්වයට හසුවී Spaghettification කරණයට ලක්වී විනාශවී යාමයි. Spaghettification කියන්නේ Black-hole එකේ Event Horizon එක හරහා Singularity එක වෙත ළඟාවනවිට එහි පවතින අධික ගුරුත්ව බලය නිසා Singularity එක වෙත යොමුවූ පුද්ගලයාගේ ශරීරයේ පහල කොටසට, ඉහල ඇති කොටසට වඩා අධික බලයක් ඇතිවීමයි. මෙම අධික බල අසමතුලිතතාවය නිසා ශරීරයේ පහල කොටස ඉහල කොටසට වඩා විශාල වශයෙන් ඇදීමකට ලක්වෙනවා, හරියට නිකන් Spaghetti noodles string එකක් වගේ. ඉතින් එහෙම Singularity එක වෙත යන ජීවියෙක් මැරෙන්නේ නුඩ්ල්ස් එකක් වගේ ඇදිල ඇදිලම දික් වෙලා. මේ පිළිබඳව පැහැදිලි කිරීමක් Black-hole එක සම්බන්ධව කරලා තියෙන විස්තරයේ මම දක්වලා ඇති.
5 වන මානයේ ජීවින් Gargantua Black-hole එක තුල Tesseract එක හදන්න ඇත්තේද, එමගින් Plan-A සාර්ථක කර ගැනීමට අවශ්‍ය Quantum data ටික යැවූ පසු Tesseract එක බිඳ වාට්ටා, එහි සිටින පුද්ගලයා ඉන් පසුව Singularity එක වෙත යවා විනාශ වීමට සැලැස්වීමට වියහැකිය. එවිට Paradox තත්ත්වයක් ඇති නොවීමත්, 5 වන මානයේ ජීවින් පිලිබඳ සියලු රහස් ද රැකෙන නිසාත් ය. Cooper මියගියත්, විශ්වයේ අඛණ්ඩතාව හා මිනිසාගේ පැවැත්ම යන කරණා 2 ම මෙමගින් සිදුවෙනවා.
ඔබට මතක ඇති Wormhole එක තුලට Endurance එක මුලින්ම ඇතුල්වනවිට, Dr Brand කාල අවකාශයේ 4 වන මානයේ කෙනෙක්ට අතට අත දෙනවා, ඇය සිතන්නේ එය කාල අවකාශය ඇය පිළිගැනීමට කරන ලද ආචාරයක් කියාය. ඒක වෙන්නේ මෙහෙමයි, Tesseract එක බිඳ වැටෙනවාත් සමගම Cooper ට ඔවුන් මුලින් ගමන් කල Endurance යානය යාන්තම් ඡායාවක් වගේ පෙනෙන්න ගන්නවා, මොකද ඔහු තවමත් සිටින්නේ කාල අවකාශයේ 4 වන මානයේ. Cooper ට Endurance එක තුල සිටින Dr Brand ව පෙනෙනවා. Cooper ට අතට අත දීමට Dr Brand ද අත දික් කරනවා. මේ ක්‍රියාව සිදුවන්නේ කාලය යන මානය Cooper ට තවමත් ගෝචර වන මානයක් නිසාය.
Nolan නිකංම මෙහෙම රූප රාමුවක් ඇතුල් කරයි? Nolan තම චිත්‍රපට තුල මේ වගේ කරකවලා අතහරින රූපරාමු ඇතුලත් කිරීම මගින් ලොකු තේරුමක්, පණිවිඩයක් ප්‍රේක්ෂකයාට ලබා දීමට දක්ෂයෙක්. Nolan ගේ මතුපිටින් සරළව පෙනෙන රූපරාමු යට බොහොම ගැඹුරු අගාධ වැනි තේරුම් ගැබ්වෙලා තියෙනවා. මම සිතන ආකාරයට Nolan එම විශේෂ රූප රාමුව මගින් අපිට හිතන්න යමක් ඉතුරු කරනවා. ඒ Final Goodbye එකක්… ඔව් මිනිස් සංහතිය වෙනුවෙන් මරණයේ කළු කුහරය වෙත ස්ව කැමැත්තෙන්ම ඇදීයන Cooper, තම ජිවිත කාලයම කැප කර අනාගත මිනිස් ජනපදය සෑදීමට ගමන් කරන Amelia Brand ට සිදුකරන අවසාන සමුගැනීමේ අතට අත දීමක්. Interstellar මෙහෙයුමේ Plan-A සහ Plan-B අවසාන වශයෙන් එකිනෙකා හමුවූ අවස්ථාවක්. ඒ තමයි Cooper නැමති වීරයා මේ අගනා සිනමා සිත්තම තුල සත්‍යය වශයෙන්ම ජීවත්ව සිටින අන්තිම තත්ත්පර කිහිපය. Cooper ගේ මරණ මංචකයේ සිදුවූ දෛවෝපගත අවසාන අතට අත දීම.
චිත්‍රපටයේ අවසාන භාගයේ පෙන්වන සෙනසුරු ආසන්නයේ ඇති Cooper Station එකේ රෝහලක සිට අවදිවන Cooper ගේ අවසාන විනාඩි කිහිපය යනු Gargantua එක තුල මියයන Cooper ගේ අවසාන මොහොතේ හිතේ මැවෙන fantasy එකක් වියහැක. සමහරවිට 4 වන මානයේදී සිය මරණ මංචකයේදී ඔහු දුටු සිහිනයක් හෝ දෘෂ්ටි මායාවක් වන්නට ද පුළුවන. සිය පියා තමා දකින්නට කෙදිනක හෝ ඒ යයි සිතමින් වසර ගණනාවක් මගබලා සිටි Murph, Cooper Station එකේ දී සිය මරණ මංචකයේදී දුටු සිහිනයක් හෝ හිතළුවක් වන්නට ද පුළුවන. Cooper සිය දියණිය වූ Murph වෙත දැක්වූ අසීමිත සෙනෙහසත්, දියණියක හා පියෙකු අතර ඇති වන ආත්මීය බැඳීමත් සඳහා චිත්‍රපටය තුල සිදුකරන ගෞරවනිය සමුදීමක් ලෙස ද එය හැඳින්විය හැකිය.
Nolan, Interstellar චිත්‍රපටය තුල සිනමාකරණය පැත්තෙන් Kip Thorne ව අභිබවා යන අවස්ථාවක් විදිහට මම මේක දකිනවා. Nolan කවදාවත් Supper Massive Black-hole එකකින් Cooper ව බේරලා යවයි කියල මට නම් හිතන්න කොහෙත්ම බැරිය. Nolan කැමති වුනත්, Kip Thorne නම් කීයටවත් ඒකට ඉඩ දෙන එකක් නැත. එහෙම කලානම් ඒක මුලිකම Black-hole Theory එකක් උල්ලංඝනය කරා වෙනවා. එහෙම වුනානම් මෙතැනදී Nolan ටත් වඩා අසමත් වෙන්නේ Kip Thorne ගේ භෞතික විද්‍යා නියමයන්ය. ඉතින්, අකමැත්තෙන් උනත් අපිට පිළිගන්න සිද්ධවෙනවා Cooper, Gargantua Black-hole තුලදී මියගිය බව.
ඔව්, අනිවාර්යයෙන්ම Cooper, Gargantua Black-hole මියයනවා, වීරයා මැරෙනවා.
මම ඒ අවසානයට හදවතින් හා හැඟීම් වලින් අකැමැත්තෙමි. එහෙත්, මොළයෙන් හා විද්‍යාත්මක සංකල්ප වලට අනුව කැමැත්තෙමි.
මුළු ජිවිතේටම එකම එක වතාවක්, එකම එක කෙනෙක් ගැන විතරක් හදවතට දැනුණ, සමහරවිට කිසි දිනෙක සැබෑ කරගත නොහැකිවූ, ජිවිත කාලය පුරාවටම ඒ හැඟීම්, සිතුවිළි අමතක කර ගන්න බැරිවුන ආදරයක් ලෞකික මනුෂ්‍යයෝ වෙච්ච අපි හැමෝම ගාව තියෙන්නට පුළුවන. Interstellar චිත්‍රපටය තුල මතුපිටින් සැඟවුණු, Amelia Brand ගේ සහ Edmund ගේ අතිශය සුන්දර ආදරයත් හරියටම ඒ වගෙයි. එය හරිම පුදුමාකාර ආදර කතාවකි. තමන් Edmund ට සිතින් කොතරම් ආදරයකල ද, ඒ බව ඔහුට පවසා ගැනීමට Amelia ට පුළුවන් කමක් නොතිබිණ. NASA එකේ එක්ව වැඩ කරණ කාලයේදී පවා ඇය ඔහුට තම ආදරය පැවසීමට හැඟවීමට ප්රයත්න දරන්නට ඇත. Edmund වුවද Amelia පිළිබඳව එවැනිම හැඟීමකින් සිටින්නට ඇත. නමුත් Edmund ට මෙය එවැනි බැඳීමක් ඇතිකර ගැනුමට නිසි කාලය නොවේ. ඔහුගේ හිස මත වුයේ ඊට වඩා බැරෑරුම් වගකීමකි. ලෝකයක් බේරා ගැනීමේ සටනකට, තම ජීවිතය පරදුවට තබා මෙලොවින් තවත් ලොවක් සොයා යාමය. Edmund ඔහුගේ කණ්ඩායම සමග Lazarus මෙහෙයුමට පිටත්ව ගොස් වසර 10 ක් ගතවුව ද ඇය තවමත් ඔහු වෙනුවෙන් බලා සිටින්නිය. තම සිතිවිලි වල සෑම අස්සක් මුල්ලක් නෑරම සිටි ඇයගේ සදාතනික සිහින පෙම්වතා Edmund ම විය. මේ හේතුව නිසාම Amelia, වසර 10 කට පසුව Interstellar මෙහෙයුමට එක්වන්නේ, විශ්වයේ නොදන්නා ඉසව්වක තනිවී සිටින තම පෙම්වතාව, ඇය මියයන්නට මොහොතකට හෝ කලින් සිය දෑසින් දැක ගැනීමේ පරම චේතනාවෙනි. විශ්වයේ අනන්ත දුරක් ගෙවා හෝ තම ජීවිතය අනතුරේ හෙලා හෝ සිය ආදරය දකිනුවස් Amelia Brand අතිශය කටුක දීර්ඝ ගමනක නිරත වනවා. සිය හදවතේ ගැඹුරුම තැනෙක නිදන්වූ ඔහු කෙරේ වූ අප්‍රමාණ ස්නේහය, මියැදෙන්න මොහොතකට හෝ ප්‍රථම ඔහු සොයාගොස් ඔහුගේ නුවන් යුග දෙස බලා නොවලහා පැවසීමට ඇය සිතන්නට ඇත. කලාන්තරයක පටන් සිය සිත තුළ වූ අඳුරු කුහරයක සඟවා තැබූ ඒ ප්‍රේමය සැබෑ කරගැනීම ඇයගේ ඒකායන පැතුම වන්නට ඇත.
Amelia Brand, Gargantua එකෙන් මිදී Edmund’s Planet එකට එනවිටත් ඇයගේ පෙම්වතා අවාසනාවන්ත ලෙස මියගොසිනි. විශ්වයේ ඈත කෙලවරක නොදන්නා මන්දාකිණියක නව ලොවක තනිවී සිටින Amelia, සිය මියගිය පෙම්වතා විසින් සමස්ත මානව වර්ගයා වෙනුවෙන්ම තැබූ ඉදිරි පිම්ම සාර්ථක කරගැනුමට තම ඉතිරි ජිවිත කාලයද කැප කරන්නීය. චිත්‍රපටයේ අවසාන රුප රාමුවක, රිදී තිරයෙන් එහා ගැලරියේ ඉඳන් චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂක අප දෙස දුක් බරව බලා සිටින Amelia Brand, වචනයෙන් විස්තර කල නොහැකි වූ විවිධාකාරයේ මූසල අඳුරු හැඟීම් සමුදායක් අප සිත් තුල ජනිත කරවයි. ඇයගේ නිහැඬියාව, ඒ ශෝකයෙන් බර වූ කඳුළු පිරි දෙනෙත්, තුලින් පෘතුවි වාසි අපෙන් විමසන්නේ කුමක් ද?
කිසිදා එක් නොවූ පෙම්වතුන් දෙදෙනෙකුගේ අප්රකාශිත ආදරයක ගැබ්වූ, සඵල කරගැනීමට නොහැකිවූ සිහිනයන් සමුදායක් ගැන?
එය, නිශ්චිත පිළිතුරක් ගලපාගත නොහී, මා ද අසරණ කල රූප රාමුවකි. සංකීර්ණ විද්‍යාව පවා මානව හැඟීම්, බැඳීම් අභිමුව නිරුත්තර වූ රූප රාමුවකි.
Amelia Brand, පෘතුවිවාසින්ගේ ජීවයේ අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ප්‍රේමය නම්වූ ආත්මය කැපකළ වීරවරියකි. ඔව් ඇය ඇත්තටම පුදුමාකාර වූත් සුන්දර වූත් කාන්තාවකි.
මේ දීර්ඝ ලිපිය කියවන්න කලින්, ගොඩක් දෙනාට Interstellar කියන්නේ සුන්දර අවසානයක් තිබු ලස්සන විද්‍යා ප්‍රබන්ධයක් වන්නට ඇත. ඒත් කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ඒක එහෙම නෙමෙයි. මේක එක්තරා ආකාරයක ශෝකාන්තයක්. සිය ජීවිතය, පවුල, සියලු ආදරණිය බැඳීම් මානව සංහතියේ අඛණ්ඩතාවය වෙනුවෙන් කැපකළ ආදරණිය පියෙකුගේ ශෝකාන්තයක්. සිය සිහින පෙම්වතා විශ්වයේ ඈත කොනක නොදන්නා ලොවක මියැදෙන බව දැන දැනත් ඔහු ගැන වූ ආදරය බලාපොරොත්තු කිසි ලෙසකින්වත් අත්නොහල, ලෝකවාසීන් වෙනුවෙන් අසීමිත කැප කිරීම් කල පෙම්වතියකගේ ශෝකාකූල විලාපයක්. Cooper, Murph, Brand ට අමතරව Lazarus හා Interstellar මෙහෙයුම් සාර්ථක කර ගැනුමට තම දිවි කැපකළ සියලුම දෙනාම ඒ ශෝකාන්තයේ කොටස්කරුවන්.
ඉදිරි සියවසේ මෙලොව සිටින වීරයන් වන්නේ අවි අත දරා යුධවදින හමුදාවන් නොව, තම ජිවිත මානව වර්ගයාගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් අනතුරේ හෙලා, විශ්වයේ නව සිමා මායිම් සොයායන ගගනගාමීන් බව Interstellar චිත්‍රපටය අපිට පෙන්වා දෙනවා
“Interstellar, අනාගතය මනුෂ්‍යය වර්ගයාගේ ජීවයේ අඛණ්ඩතාවය වෙනුවෙන් තම ජිවිත කැපකළ අභ්‍යවකාශ වීරවරුන්ගේ වීර කාව්‍යයයි”
If I could turn back time, if I could find a way
I’d take back those words that hurt you, and you’d stay
If I could reach the stars, I’d give ’em all to you
Then you’d love me, love me, like you used to do…
මේ Luke Evans ගේ සින්දුවක පද පේළි කිහිපයක්.
ජීවිතේ එක අවස්ථාවක් හරි ලැබුනොත්, කාලයේ ආපස්සට ගිහින් අතීතයේ ඔබගේ ජිවිතයේ තිබුණු සමහර අඳුරු වේදනාත්මක තැන්, සිදුවූ අත්වැරදි නැවත හරිගස්සන්න. ඔබේ මුවින් පිටවූ එක් වදනකින් අතීතයේ ඔබ ලඟින්ම සිටි ආදරණීය සමීපතමයෙකු හට සිදුවූ සිත් වේදනාවක් නැති කරන්න, ඒ වැරදි වැටහීම සම්පුර්ණයෙන්ම මකා දමන්න. “අනේ මට තව චුට්ටක් ඉවසලා ඉන්න තිබ්බා” කියල හිතුන ඒ මොහොත තව එකම එක පාරක් හරි උදා කරගන්න. ඒ අමිහිරි මතකයන් වෙනුවට ඊට වඩා සුන්දර දෙයකින් ඔවුන්ව සතුටු කරවන්න. ඒ සිත් තුල ඇති අඳුරු කුහර, අපූරු මතකයන් වලින් සදහටම පුරවන්න. ඔබට පුළුවන් උනානම් ඒ අතීතයේ ගතකල සුන්දර කාල පරිච්ඡේද නැවත නැවත අත්විඳින්න. කෙතරම් උත්සාහකලත් යටපත් කරගැනීමට අපහසු වූ, අතීතයේ ඒ අහිමිවී ගිය සොඳුරු හැඟීම් සමුදායක් එක්ක නැවත නැවතත් ජිවත් වෙන්න. දළුලන්නටත් ප්‍රථම මියැදුණු ඒ ප්‍රේමනීය ආදරකතාවට නැවත පණදෙන්න. ඇත්තටම අපිට පුළුවන් වුනානම් කාලයේ ආපස්සට ගිහින්, මේ දේවල් අපිට කැමති සේ වෙනස් කරගන්න, අපේ ජිවිත කොච්චර නම් සුන්දරවන්නට, වෙනස්වන්නට ඉඩ තිබුණාද?
සමහර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවලත් අපිට ඒ වගේ සුන්දර දේවල් පෙන්වනවා. කාලයේ ආපස්සට ගිහිල්ල තමන්ගේ අතීතයේ සිද්ධ වුනු වැරදි හරි ගස්සපු අයව, එතැන් සිට ජීවිතය නැවත වෙනස් කරගත්ත අයව, නැතිවුණු ආදරය නැවත ලබාගත්තු අයව, ඉන්පසුව සතුටින් ජීවත්වුණු අයව.
ඒත් අවාසනාවකට, කාලයේ ඉදිරියට යාම කෙසේ වෙතත් විද්‍යාත්මකව හෝ ප්‍රයෝගිකව කාලයේ ආපස්සට යාම කල නොහැක්කක්. කාලය ගලා යන්නේ ඉදිරියට පමණි. කාලය ඉදිරියට ගැලීමේ සිඝ්‍රතාවය විශ්වයේ තැනින් තැනට වෙනස් වන්නට පුළුවන්. ඒ හැර කාලය ආපස්සට ගැලීමක් සිදුවන්නේ නැත. මේ බව ප්‍රකාශ කලේ ඇල්බට් අයින්ස්ටයින් සිය සාපේක්ෂතාවාදයේ මුලධර්ම වලය. ඒ බව සෛද්ධාන්තිකවත් උදාහරණ මගිනුත් Interstellar චිත්‍රපටය තුල ද අපට කියාදෙනවා. තුන්වන මානයේ ජිවත්වන අපහට කාලයේ ආපස්සට යාමට නොහැකි බව Kip Throne විසින්ම චිත්‍රපටය තුල සනාථ කරවනවා. ඒක අපිට ඒත්තු ගන්වන්නේ Amelia Brand, Miller’s Planet එකේදී Cooper ට කියන මෙන්න මේ දෙබස මගින්.
Time is relative, okay?
It can stretch and it can squeeze, but…
It can’t run backwards.
Just can’t…
The only thing that can move across dimensions, like Time, is Gravity.
Interstellar සහ Hans Zimmer
මේතරම් මා සංවේදී කල වෙනත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් මගේ මතකයේ නොමැත. Murph නිවසේ තනිකර දමා Cooper ගෙදරින් පිටවී යන අවස්ථාව, Miller’s planet හි ගතවූ වසර 23 ට පසුව පෘතුවියේ සිටින ඔහුගේ පවුලේ අයගේ සිදුවූ වෙනස්කම්, මියගිය සාමාජිකයන්, Murph යනු තවදුරටත් ඔහු ගෙදරින් පිටත් වෙනකොට හිටපු ඒ පොඩි කෙල්ල නොවන බව වැටහීමත් නිසා Cooper අතිශය සංවේදී වන අවස්ථාවන්, ගිලන්ව සිටින මහලු Murph ගේ හා තරුණ Cooper ගේ හමුවීම වැනි අවස්ථා චිත්‍රපටය තුල නිරුපනය කර ඇති අයුරු අතිශය තාත්විකය. එම අවස්ථාවන් ඔබගේ නෙතට ද කඳුලක් හෝ ගෙන නො ආවානම් එය අහම්බයකි. එම අතිශය සංවේදී රූපරාමු බලා සිටීම අදටත් මට අපහසුය.
පසුබිම් සංගීතය ද ඊට නොදෙවැනිව එම ශෝකය, අඳුරු හිස් බව වඩ වඩාත් තීව්ර කරවයි. Interstellar හි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ජර්මානු සංගීතඥ Hans Zimmer ය. Hans Zimmer පසුබිම් සංගීතය සඳහා ප්‍රධාන සංගීත භාණ්ඩය විදියට යොදාගෙන තියෙන්නේ Church Organ (Pipe Organ) කියන සංගීත භාණ්ඩයයි. චිත්‍රපටයේ සංගීත නිර්මාණය කරන්න කලින් Hans Zimmer ට Nolan ෆිල්ම් එක ගැන වැඩි විස්තරයක් කියලා නෑ. Nolan කියන්නේ කොහොමත් ටිකක් අමුතු, ගුප්ත පොරක් නේ. ඉතින් මේ අසරණ Hans Zimmer සංගීතය නිර්මාණය කරලා තියෙන්නේ තාත්තා කෙනෙක් හා පුතෙක් අතර වන බැඳීමක් ගැන හිතලා, ඒක Hans ටම පෞද්ගලිකව ආදේශ කරගෙන. හුස්ම මුළු ලෝකයටම ජීවය දෙන සාධකය බව හැඟවීමට වාතය උපයෝගී කරගෙන වාදනය වන විශාල Pipe Organ එකක් Hans මෙහිදී යොදාගෙන තියෙනවා. මේක පැරණි කතෝලික පල්ලි වල තිබෙන අති විශාල Piano එකක හැඩයක් සහිත සංගීත භාණ්ඩයක්. අන්තිමට කොහොම හරි Nolan, මේ Hans Zimmer ගේ Theme එකට කැමති වෙලා තියෙනවා. මේ ගීතය හොඳින් අසනවිට, මිනිසෙක් ගැඹුරින් හුස්ම ගන්නා ආකාරයේ ශබ්දයක් මුසු හැඟීමක් සංගීතයේ එක පසෙකින් ඔබට දැනේවි.
කාර්යය බහුලත්වයෙන් මිදී, ලැබෙන විනාඩි කිහිපයක නිදහස් වෙලාවක දී හෝ තනියෙම දුර බැහැර ගමනක් යද්දී, හුඟක් වෙලාවට මම අහන්න කැමති ඝෝෂාකාරී Rock සංගීතයයි. ඒත් අපි හැමෝටම තියෙනවා සමහර දවස්, සමහර අවස්ථා හරියටම වචනයෙන් විස්තර කරගන්න බැරි, කියාගන්න බැරි, වෙහෙසක්, පාළුවක්, කාන්සියක්, විඩාවක් දැනෙන, බලා ගත්තු අත බලාගෙන ඉන්න හිතෙන.
ඒ වගේ මොහොතවල් වලදී, මං පුරුදු වෙලා ඉන්නවා එක සංගීතයක් රසවිඳින්න. ඒක අනිත් හැම ගීතයකටමත් වඩා ප්‍රභලයි, ඇබ්බැහිවෙන සුළුයි. ඒ සංගීතය මගේ හදවතේ ස්වරයම නොවේදැයි මං මගෙන්ම අහගන්නවා. සවන් ඔස්සේ කිඳා බැස, මොළය, උගුර හිමිහිට සිරකරවමින් හදවත දක්වා මේ සංගීතය කිසි කලබලයක් නැතුව බොහොම සංයමයකින් ගලා යනවා. ඒත් එක්කම වාගේ සංගීතය තීව්ර වන සමහර තැන් වල හදවත මිරිකෙන හැඟීමක් එක්කම, මුළු ශරීරයම සැහැල්ලු වෙනවා, පාවෙනවා වගේ දැනෙන්න පටන්ගන්නවා. සමහර වෙලාවට මම ආසයි ඇස් දෙක පියාගෙන ඒ හැඟීම මුළු හදවතින්ම විඳගන්න. මං ආසයි මේ සංගීතය අහන ගමන් රෑ අහස දිහා නිසොල්මන්ව බලන් ඉන්න. එහෙම ඉන්නකොට, අතීතයේ රෑ අහසේ තරු රටා දිහා කුතුහලයෙන් බලන් හිටපු ඒ පුංචි කොල්ලාව මට පසෙකින් මැවිලා පේනවා. ජීවිතයේ සමහර සුන්දර මොහොතවල් යලි යලිත් මැවි මැවී පේනවා. ඒ සංගීතයෙන් මෝහනය වුවිට ඇතිවන හැඟීම් සමුදාය අතිශය ප්‍රභලයි, ගුප්තයි, හදවත රත්වූ යකඩයකින් පහුරු ගන්නා හා සමානයි. අතීතයේ සමහර සුන්දර නිමේෂයන් වෙත කාලය හරහා යන්න සිතිවිලිත්, සංගීතයත් හොඳටම ප්‍රමාණවත් බව ඔබට වැටහේවි.
උත්සහ කරලා බලන්න, ඒ පුදුමාකාර සංගීතය
රෑට අහසේ තරු එක්ක කතා කරන්න මං පුරුදු වෙලා ඉන්නවා
ඒ තරු මට ගොඩක් දුරයි ලඟා වෙන්න අමාරුයි
ඒක මං දන්නවා ඒත් මං කැමතියි සමහර නොලැබෙන දේවල් එක්ක බලාපොරොත්තු පොදිබඳින්න
ඒ හදවතේ පැරණි අඳුරු කුහර නැවුම් සිහින වලින් පුරවන්න
ඒ අඳුරු කුහර වල එක සිහිනයක මොහොතක් හරි ජිවත් වෙන්න
අතීතයේ ගිලිහීගිය ඒ හැඟීම්වල සුවය නැවත නැවත අත්විඳින්න
ඒ හින්දම වෙන්න ඇති,
ආලෝක වර්ෂ දහස් ගණනක් ඈතින් තියෙන
තරු එක්ක කතා කරන්න, ප්‍රර්ථනා කරන්න තාමත් මං ඇබ්බැහි වෙලා ඉන්නේ
ඒ ප්‍රර්ථනා ආලෝකයේ ප්‍රවේගයටත් වඩා බලවත්
ප්‍රාර්ථනා ඉටු නොවුනම මං මගෙන්ම අහනවා, ඇයි එහෙම වුනේ කියල
මං ඉල්ලපු දේවල්, මං කියපු දේවල් තරු වලට ඇත්තටම ඇහුනේ නැතුවා දෝ මන්දා
මම දකින, මම හැමදාම කතා කරන සමහර තරු මේ වෙද්දීත් මියගොස්, විනාශවෙලා ගිහිල්ලා
ඒත් අවුරුදු දහස් ගානකට කලින් මියැදෙන්නට පෙර
ඒ තරුවෙන් නිකුත් වෙච්ච ආලෝකය
මගේ ප්‍රර්ථනා වෙනුවෙන් තවමත් මාව හොයාගෙන එනවා.
සිය දහස් වතාවක් මැරිල, ආයෙත් නැවත මේ ලෝකයේම මම ඉපදේවි
ඒත් ඒ තරුවල ආලෝකය ඒ විදිහටම, මාව හොයාගෙන ඒවි
විශ්වය උඹත් හරිම පුදුමාකාරයි, හරියට මගේ හදවතත් වගෙයි
ගුප්තයි, ගැඹුරුයි තේරුම් ගන්න හරි අමාරුයි
මම හරි ආසයි ඒ පුදුමාකාර ගුප්ත බවට
මම ආසයි හදවතේ අඳුරු කුහර ඒ ගැඹුරු ගුප්ත බවෙන් පුරවන්න
මම ආසයි ඒ නොතේරෙන ගැඹුරු සංකීර්ණ බවේ
සිතිවිලි ආලෝක අංශුවක් මෙන් සැහැල්ලුවෙන් කිමිදෙන්න
ඒ පුදුමාකාර ගුප්ත ස්වභාවයේ අඳුරු කුහරයක අපරිමිතය තුල
සදාතනික විශ්වීය සැනසීමක් සොයාගොස්
හිත් මානයේ නිදන්වන්න…