Indian Never Again Nirbhaya (2018) by Hasanka Somarathne
භාරතයේ නැවත වරක් සිදු නොවන්නට… නිර්භයා…
Indian Never Again Nirbhaya
අති සංවේදී ඔබට නොව…
වර්ෂ 2012 උඳුවප් මස 16 භාරත දේශයම කණ කොකාගේ මූසල නාදය වෙලාගත් දිනයක් විය. ස්ත්‍රීයකට විය හැකි අධම, බිහිසුණු අත්දැකීමක් ලැබූ ඇය සිය පෙම්වතා/හොඳම මිතුරා සමඟ රුධිරය වගුරවමින් බිම වැද හොත්තාය. ස්ථානය දකුණු දිග දිල්ලියේ මුනිර්කා ප්‍රදේශයේ තරමක ලඳු කැලෑ සහිත ප්‍රදේශයකි. රාත්‍රි 11ට පමණය. ඇය නමින් ජෝති සිං නම් වෛද්‍ය ශිෂ්‍යයාවකි. හිසෙන්, ලමැදින් හා රහස් ප්‍රදේශයෙන් නොනැවතී ගලන්නා වූ රුධිරය තෘණ ප්‍රදේශය රක්ත වර්ණ ගන්වමින් පැල්ලම් කරනුයේ මනුශ්‍යත්වයට නිගා දෙන මහා කලු පැල්ලමයි. ධාවනය වන්නා වූ පෞද්ගලික බස් රථයක සදෙනෙක් අතින් සමූහ දූෂණයට ලක් වූ ඇය නිරුවතින්ම මහ පාරේ වැටී සිටින කල්හි ඇය සහ ඇගේ මිතුරා රෝහලක් වෙත් ගෙන යාමට ඉදිරිපත් වූ ලතෙත් පුද්ගලයකු එහි නොවීය.
පුරා පැයකට අධික කාලයකට පසු පොලීසියේ මැදිහත් වීම මත රෝහල් ගත කල ඇය දුටු ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරිය පවසා සිටියේ ඇගේ රාජකාරි කාලය තුල ඈ දුටු බිහිසුණුම අපරාධය මේ බවය. සැකෙවින් ඇගේ හිසකෙස් ගලවා දමා ඇත. යෝනි මාර්ගයෙන් පිටතට පැමිණ ඇති අතුණුබහන්ය. පියයුරු වෙන්වන තරමට සපා ඇත. ඉකිලි ප්‍රදේශයේ ගැඹුරු දත් පහරවල්ය. දැඩි පහර දීම් හමුවේ දත් ගැලවී ශ්වාසනාලය සිරව ඇත. හිස් කබල කැඩිලාය. වර්තමාන වෛද්‍ය ශිල්පයේ කඩයිම් ඇය බේරා ගැන්මට අසමත් බැව් හැඟුනු ඇය වහා ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව වෙත යැවීමට තීරණය කොට ඇත. සිනමා නිර්මාණය තුල සත්‍ය නම් ගම් වෙනස් කර ඇති අතර මෙම ලිපියේ සහෘද ඔබගේ දැන ගැනීමට සත්‍ය නම් ගම් ලිවීමට අදහස් කලෙමි.
චිත්‍රපටය නැරඹීම හෝ නොනැරඹීම ඔබට භාරය. ඔබ අධි සංවේදී හිත් ඇත්තෙක් හෝ ඇත්තියක්නම් නොනරඹන්නේනම් මැනවි. චිත්‍රපට විග්‍රහය පසෙකලා මෙම චිත්‍රපටය යම් ආකාරයකට පහළ දැමීමටත්, ප්‍රේක්ෂකයා ඒ වෙත මනා ප්‍රතිචාර නොදැක්වීමටත් හේතු වූ කරුණු ඉදිරිපත් කිරීමටත් සිතීමි. යම් කරුණු ඉදිරිපත් කිරීමේදී ඔබ ආදරය කරන භාරත දේශයේ යම් සංස්කෘතීන් හා සබැඳුන මත වලට පහර එල්ල වීමක් සිදු වන්නේ නම් සමාවුව මැනවි.
පළමු කොට මේ පිළිකුල් සිද්ධිය අළලා BBC මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක ලෙස්ලි උඩ්වින් විසින් නිපදවූ India’s daughter නම් වාර්ථාමය වැඩසටහන ඉන්දියානු රජය විසින් වාරණය කෙරින.
ඊට හේතු ලෙස ඔවුන් ඉදිරිපත් කලේ ඇගේ සත්‍ය නම සහ ජායාරූප ඉදිරිපත් කිරීම වින්දිතයාට සිදුකල විශාල අවනම්බුවක් බවයි. තවද මේ තුලින් ජාත්‍යන්තරයට ඉන්දියාව පිළිබඳ වැරදි ආකල්පයක් ගමන් කරන බැව්ද සඳහන් විය. ඊට හේතුව නම් චූදිතයන් සහ ඔවුන්ගේ නීතිවේදීන්ගේ සම්මුඛ සාකච්ජා අමුවෙන්ම මෙහි ගැබ් කර දැක්වීමයි. නමුත් මේ සිද්ධිය තුල ගැබ් වූ ඊට විශාල අවනම්බූන් ඇති බව ඉන්දීය රජයට නොතේරුනේ මන්දැයි මා හට නොතේරෙයි.
මෙම නඩුවට චූදිතයන් සය දෙනෙක් ඇතුලත් විය.
1.බස් රථ රියදුරු මුකේශ් සිං
2.ඔහුගේ සොහොයුරු රාම් සිං
3.පවන් ගුප්තා
4. අක්ශේ තාකුර්
5.විනේ ශර්මා
6.බාලවයස්කාර මොහොමඩ් අෆ්‍රෝස්
ඉහත මා සඳහන් කළ සම්මුඛ සාකච්ඡා තුළින් ලබා ගත් යම් දෙබස් තුළින් ඔවුන්ගේ මානසිකත්ව මට්ටම තේරුම් ගන්නේ නම් යහපති.
චූදිත බස්රථ රියදුරු මුකේශ් සිං පවසන්නේ- ” ගෑණු ඉන්න ඕන ගෙවල් බලාගෙන. උන් රෑ තිස්සෙ ඇවිදලා හරි යන්නෙ නෑ කොල්ලො එක්ක. අපි බීමත්ව හිටි බව ඇත්ත. ඇය අපේ හැඟීම් ඇවිස්සෙන විදියට කොට ගවුමක් ඇඳන් හිටියා. ඇය රෑ ගමන් නොගියා නම් මෙහෙම වෙන්නෙ නෑ. ඇය අපේ සංස්කෘතියට අනුව නෙමයි හැසිරුණේ.”
“මම දැක්කා මොහොමඩ් ඇගේ පාද අතරින් යමක් ඇතුල් කරනවා. මම හිතන්නෙ ඒ වීල් බ්‍රශ් එක. ඊට පස්සෙ ඔහු දිග යමක් ගත්තා. ඒ ඇගේ බඩවැලක්”
” අපිට වඩා දූෂණ කරපු අය නිදැල්ලෙ ඉන්නවා. ඇයි අපිව විතරක් අල්ල ගත්තෙ. ඒ අය කාන්තාවන් මැරුවා. ඇසිඩ් වක් කලා, ඇස් ඉගිල්ලුවා.අපි ඇය මැරුවෙ නෑ. අපිව මැරුවොත් මින් ඉදිරියට දූෂණය වන කාන්තාවන් ඔක්කොම මරාවි සාක්ෂි නැති කරන්න”
සිර ගෙදර මනෝ වෛද්‍යවරයා පවසන්නේ-
” ඔවුන්ට හිතා ගන්න බෑ ඇයි ඔවුන්ට මරණ දණ්ඩනය ලබා දෙන්නෙ කියා. දූෂණය වීම් සාමාන්‍ය දෙයක්. ඔවුන් ඒවා නිතරම දකිනවා ඔවුන්ගේ සමාජයේ(මොවුන් පැල්පත් නිවාස සාමාජිකයන් වේ) මේක ඒ තරම් දෙයක් නෙමේ”
විත්තියේ නීතිවේදී ඇම්.ඇල් ශර්මා-
“අපේ සංස්කෘතියේ ගෑණුන්ට තැනක් නෑ. ඔයා දියමන්තියක් පාරට දැම්මොත් ඒක බල්ලෙක් ඩැහැගෙන යාවි. හැදිච්ච හොඳ පවුලක ගෑණු ළමයි රෑ පාරෙ ඉන්නෙ නෑ. රෑට පාරෙ ඉන්නෙ ගණිකාවො.”
විත්තියේ නීති වේදී ඒ.පී සිං-
” මගෙ දුව කසාද බඳින්න කලින් කොල්ලෙක් එක්ක රෑ ඔහොම යනවා නම් මම අපේ මුළු පවුලම ඉස්සරහ ඒකිට පැට්‍රල් වක්කරලා ගිනි තියනවා” මෙම දෙබස් (විශේෂයෙන් උගත් නීතිවේදීන්) ජාත්‍යන්තරයට ගියේ නම් ඉන්දියානු ජන සමාජයට වන කැළල අති මහත් බැවින් මෙම වාර්තාමය චිත්‍රපටය සහ සිනමා නිර්මාණය වැඩියක්ම සමාජ ගත නොකිරීමට හේතු පාදක වන්නට ඇතැයි මාගේ විශ්වාසයයි. ඊට එරෙහි මත වාදයක් දරන්නේ නම් කමෙන්ටුවක් මගින් දන්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. තවද ඉන්දියානු රජය පවසා සිටියේ මෙම නිර්මාණ මඟින් යටගියාව නැවත පුනරාවර්ජනය වීම මත සාමයට යම් බාධක ඇති විය හැකි බවයි. මට හැඟෙනා පරිදි එය කිතුලට නැඟි පුද්ගලයා තණකොළ කැපීමට ගසට ගොඩවූ බැව් පැවසූවාක් හා සමානය.
කෙසේ නමුදු බාලවයස්කාර මොහොමඩ් හැර අන් පස් දෙනා 2020 මාර්තු මස 20 දා එල්ලා මරා දැමූ අතර වින්දිතයාගේ රහස් ප්‍රදේශය හරහා අතුණුබහන් එළියට ගත් බාලවයස්කාර මොහොමඩ් හට තුන් අවුරුදු සිර දඬුවමක් පමණක් නියම විය.
මේ සමඟ ඉන්දියාව පුරා පැතිරුන පෙළපාලීන්හි මාද එවකට සරසවි ශිෂ්‍යයකු ලෙස සහභාගි වීමි. මා සිටි බැංගලෝරයට වඩා දිල්ලියේ පෙළපාලීන් බහුල විය. එසේම ඉන්දියාවේ සංචාරය කරන කල්හි ධරාවි පැල්පත් නිවාස අසල රුපියල් 5ක් හෝ 10ක් වැනි මුදලකට අවර ඝනයේ කාම චිත්‍රපට පෙන්වන මඩු බහුලව දුටීමි. බේබද්දන්ගේ සුරපුරයන් බඳු එම ස්ථානද මෙවන් අපරාධයන්ට වක්‍රව හෝ වග කිව යුතු ස්ථාන වන්නේය. අවසානයේ කෲර සහ වේදනාකාරී මරණයක් අත් විදි ඇගේ ආත්මය නිවී සැනහේවා යන ප්‍රාර්ථනය සිත් හි දරාගෙන ලිපිය අවසන් කරමි.