Imago (2018) Marathi | Sinhala Article

Imago (2018) Marathi By Ramitha Vimukthi

“සමනලුන් නිදහසේ පියාඹන ආකාරය දැක, මොහොතකට මාගේ ගමන නතර කර ඔවුන් දෙස බලා සිටියා. මාද ඔවුන් සමග පියාඹන ආකාරය ගැන සිහින මැව්වා. සමනලයා සංකේතවත් කරන්නේ නිදහසයි. ඔවුන්ගේ තටු ඉතා කුඩා වූවත්, ඔවුන්ට ඕනෑම තැනකට පියඹා යන්නට පුළුවන්. ලෝකයාට අවදානයක් නොදී, ඕනෑම මලක සිට ගන්නට පුළුවන්. ඔවුන් කෙතරම් වර්ණවත්ද. ඔවුන්ගේ කුඩා තටු වල ලස්සන වර්ණවත් රටාවන් පිහිටා තිබෙනවා. විවිද වර්ණ සහ හැඩතල වලින් සිටින සමනලයින් එකට දැකීමත් පුදුමයක්. මිනිසුන්ව ඔවුන්ගේ සමේ වර්ණයන් නිසා එකිනෙකාට වෙනස් කොට සලකනවා. නමුත් සමනලුන් එකිනෙකාට ඊර්ෂ්යා කිරීමක්වත්, වෙනස් කොට සැලකීමක්වත් සිදු කරන්නේ නැත. මාත් එවැනි සමනලයෙකු වූවා නම්, මාගේ ජීවිතයේ බොහෝ දේවල් වෙනස් වෙන්නට තිබුනා”.
(මම නම්රතා)

අපි වැඩිහිටියන් ලෙස සමාජගත වීමට පෙර, අප අත්විඳින ළමා කාලය බොහෝ සෙයින් වැදගත් වනවා. අප ළමා කාලය තුල දෙමාපියන්, මිතුරන් , ගුරුවරුන් සහ සමාජයේ නොයෙකුත් පුද්ගලයින් සමග ගැටෙන ආකාරය, පුද්ගලික වර්දනයට ප්‍රධාන දායකත්වයක් ලබා දෙනවා. එම නිසා ළමා කාලය හැම විටම සුන්දර සියුම් කාල සීමාවක් නොව. ළමා ලෝකය තුලද අප ගැඹුරින් අධ්‍යනය කළ යුතු පැතිකඩවල් රැසක් තිබෙනවා. සෙල්ලම් බඩු, සුරංගනා කතා සහ කුඩා කාලයේ මිතුරන් සමග විනෝදවීම් වැනි දේවල් තුලින් ඔබ්බට ගිය ලෝකයක් ළමයින් අත් විඳිනවා. විශේෂයෙන්ම ඔවුන් ළමාවියේ සිට යෞවනය දක්වා යන කාල සීමාව ඔවුන්ගේ පුද්ගලික වර්දනයේ සුවිශේෂී කාල සීමාවක්. මෙම සංකීර්ණ ළමා ලෝකය, යථාර්තවාදී ලෙස අධ්‍යනය කළ චිත්‍රපටයක් කරන් චවාන් සහ වික්‍රම් පාටිල් අධ්‍යක්ෂණය කළ Imago. Imago චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන්නේ නම්රතා. 14 වියේ පසුවන නම්රතා, කෙමෙන් යොවුන් ලෝකයට අවතීර්ණ වන ගැහැණු දරුවෙක්. නාම්රතාගේ ජීවිතයේ ඇති ප්‍රධානම අභියෝගය වන්නේ, ඇය තුල කාලයක් පුරා වර්දනය වූ Vitiligo නම් තත්වයයි. මෙම තත්වය නිසා ඇයගේ සම කෙමෙන් දුර්වර්ණය වනවා. එම නිසා ඇය තුල ඇති Vitiligo තත්වය, එදිනෙදා ජීවිතයට මුහුණ දීමට අභියෝගයක් වනවා. කලක් තිස්සේ ඇතිවූ මෙම තත්වය නිසා, නම්රතාට බොහෝ විට සමාජයෙන් ලැබෙන්නේ කුඩ අම්මාගේ සැලකිලි. නම්රතා ඉගෙනීමට දක්ෂ වූවත්, සමේ ඇති තත්වය ඇයගේ ආත්ම විශ්වාසය බිඳ වැටීමට ප්‍රධාන කරුණක් වනවා. මෙම නිසා ඇය සමාජය ඉදිරියේ ගැවසීමට බියක් දක්වනවා. විවිද වර්ණ රටාවන් ඇති සමනලුන් එකිනෙකා සමග සමාදානයෙන් ගැවසෙද්දී, මිනිසා තමාගේ සමේ වර්ණය පදනම් කරගෙන එකිනෙකාට වෙනස් කොට සලකනවා. මෙවැනි පසුගාමී සමාජයක නම්රතා වැනි දුවා දරුවන් හිස ඔසවන්නේ කෙසේද?.

නම්රතාට මිතුරෙකුට සිටින්නේ තම නිවස අසල ජීවත් වන කුඩා පිරිමි දරුවෙක්. පාසලේදී ඇයට සිදුවන වෙනස්කම් ඇය නිහඬව දරාගැනීමට පුරුදු වී ඇත. නම්රතා අනිකුත් ළමුන් සේ නිදහසේ සමාජයේ සැරිසැරීමට හීන දකිනවා. චිත්‍රපටය තුල තදින්ම හිතට කා වදින දර්ශනයක් වන්නේ, ඇයගේ පන්තියේ සිටින සිසුවියන් පාසැල තුල විවිද රූපලාවන්‍ය අංගයන් භාවිතා කරන ආකාරය නම්රතා බලා සිටින දර්ශනය. මේ සියල්ලක් දෙසම ඇය බලා සිටින්නේ බොහොම පරාජිත මුහුණුවරකින්. මෙතුවක් කල් ඇයට ප්‍රභල ආත්ම විශ්වාසයක් ලබා දුන්නේ ඇගේ සීයා පමණයි. ඔහුගේ මිය යාමත් සමග ඇගේ ආත්ම විශ්වාසය තව තවත් කඩා වැටෙනවා. නමුත් මේ සියල්ලක්ම සුභවාදී පැතිකඩකට යොමු වන්නේ, නම්රතාගේ පාසලට ආනන්ද් නම් ගුරුවරයාගේ පැමිණීමයි. ආනන්ද් යනු එහි අනිකුත් ගුරුවරුන්ට වඩා හාත් පසින්ම වෙනස් ඉගැන්වීමේ ශෛලයක් අනුගමනය කරන ගුරුවරයෙක්. ඔහුගේ මෙම සිත්ගන්නා සුළු ඉගැන්වීමේ ශෛලය නිසා, එහි සිටින බහුතරයක් සිසුවියන්ගේ ප්‍රසාදය ඔහුට හිමි වනවා. ආනන්ද් නම්රතාගේ ආත්ම විශ්වාසය බිඳ වැටී ඇති බව බොහෝ ඉක්මනින් වටහා ගන්නවා. එතැන් පටන් ඔහු නම්රතාගේ ආත්ම විශ්වාසය ගොඩ නගා දීමට සහාය දක්වනවා. විශේෂයෙන්ම නම්රතාගේ ඉගෙනීම දක්ෂතාවය අගයමින්, ඇයගේ වර්ණයේ ඇති තත්වය නම්රතාට ජීවිතය ජය ගැනීමට බාදාවක් නොවන බව ඔහු සෙමින් ඇයට වටහා දෙනවා. නම්රතා ගත කරන්නේ ළමා වියේ සිට යෞවනයට පා තබන කාල සීමාවයි. ආනන්ද් සර් ඇයට දක්වන කරුණාව හමුවේ, නම්රතාට ඔහු පිලිබඳ හැඟීමක් පහල වනවා. ඇයගේ ජීවිතයේ ප්‍රධාන හැරවුම සිදුවන්නේ මෙම අවදියේදී. ආනන්ද් සර් ඇයගේ ලෝකයේ සිහින කුමාරයා බවට පත් වනවා. ඇයට ඇය විදිහටම ජීවත් වීමට දෛර්ය දුන් ගුරුවරයාට ඇය ප්‍රේම කරනවා. ඇය කැඩපත ඉදිරියේ ඇයගේ ස්වරූපයේ ඇති සැබෑ සුන්දරත්වය අත් විඳමට ආරම්භ කරනවා. ඇය ජීවත් වූ අන්දකාරයට ආලෝකයක් ගෙන දුන්නේ ආනන්ද් සර්. නම්රතාට කෙතරම් කාලයක් මෙම යථාර්ථයත් ෆැන්ටසියත් අතර දිවෙන ලෝකයේ ජීවත් වීමට හැකියාවක් ලැබේද?. Imago චිත්‍රපටය තුල පෙන්නුම් කළ සංකීර්ණ ළමා ලෝකය මෙයයි.

අප බොහෝ විට සිතන්නට පුළුවන් සමේ වර්ණය හමුවේ වෙනස් කොට සැලකීම් සිදුවන්නේ සුද්දන්ගේ රටවල් තුල බව. නමුත් සැබෑ තත්වය එය නොවේ. වර්ණයන් හමුවේ මිනිසුන්ගේ ආත්ම ශක්තිය බිඳ දැමීම් සහ වෙනස් කොට සැලකීම් බොහෝ සෙයින් සිදුවන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි දකුණු ආසියාතික රටවල් තුල. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි රටවල් බහුතරයක් සමේ පාටින් දුඹුරු පැහැයට නැඹුරු වුනත්, සුදු පැහැපත් සමට වැඩි පිළිගැනීමක් ලබා දෙනවා. ‘ලස්සන සමානයි පැහැපත් වීම’ යන මතය ගැඹුරින්ම අපේ සමාජයේ වපුරා අවසන්. අපට ආවේනික වූ රූප ස්වභාවයන් (විශේෂයෙන්ම ඔබ‍ට පැහැපත් සමක් නැතිනම්) අගයන්නේ නැතුව, සමාජය පිළිගත් රූප ස්වභාවයන්ට හැඩ ගන්වීම අපේ සමාජයන් තුල බොහෝ සෙයින් සිදුවනවා. Imago චිත්‍රපටයේ අපට හමුවෙන නම්රතාද එවැනි සමාජ රටාවක ජීවත් වන ගැහැණු දරුවෙක්. ඇයගේ දුඹුරු සමට අමතරව කලක් තිස්සේ ඇය තුල හටගත් vitiligo නම් රෝගී තත්වය හමුවේ නම්රතාට සමාජයෙන් එල්ල වන පීඩනය දෙගුණ තෙගුණ වනවා. චිත්‍රපටයේ ප්‍රධාන වශයෙන්ම අවදානය යොමු කරන්නේ, ළමා වියේ සිටම සමාජයේ ඇති පසුගාමීත්වය හමුවේ ළමුන්ගේ ආත්ම ශක්තිය බිඳ දමන ආකාරයයි. සැබවින්ම අප ජීවත් වන සමාජයන් තුල අපට අවේනික වූ ස්වරූපයෙන්ම ආත්ම විශ්වාසය ගොඩ නැගීමේ සමාජ ක්‍රමයක් නිර්මාණය වී නැත. අප බොහෝ කලක් පටන් සිදු කරන්නේ සමාජය මවා දුන් රාමුවට සහ එම ආදිපත්‍යට යටත් වීමයි. මෙය සැබවින්ම ළමා මනසට පීඩනයක් ඇති කරන ආකාරය Imago තුලින් ඉතා ප්‍රභල ලෙස පෙන්නුම් කළා. ඒ සමගම නම්රතා තුල ඇගේ ගුරුවරයා පිලිබඳ ආදරයක් ඇති වීම තුලින් සහ සමනලයෙකු පිලිබඳ ඇය ලියූ රචනාවෙන් (සටහන ආරම්භයේ ඇත්තේ නම්රතාගේ රචනාවේ කොටසක්) , ළමා ලෝකය අප සිතනවාට වඩා කෙතරම් සංකීර්ණද යන කාරණය ඉන් පෙන්නුම් කළා. මෙම චිත්‍රපටයේ තවත් සුවිශේෂී කාරණයක් වන්නේ, නම්රතාගේ චරිතය රඟ දක්වන්නේ සැබවින්ම Vitiligo තත්වය ඇති ගැහැණු ළමයෙක්.

මෙම වසරේ ලෝක ළමා දිනය වෙනුවෙන්, Imago චිත්‍රපටය අපට ප්‍රභල පණිවිඩයක් ලබා දෙනවා. ළමයින්ට ඔවුන්ට අවේනික වූ ස්වරූපය සහ සිතුම් පැතුම් සමග ආත්ම ශක්තිය වර්දනය කිරීමට අත්වැලක් ලබාදෙන්න. කිසි විටක සමාජයේ ඇති රාමුගත කිරීම් හමුවේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ දැමීම අප කිසිසේත්ම නොකළ යුතු දෙයක්. ඉදිරි ළමා පරපුර වෙනුවෙන්, ඔවුන්ට අත්වැලක් විය හැකි වැඩිහිටි පරපුරක් බවට අප පත්විය යුතුයි. විවිද වර්ණ රටාවන් ඇති සමනලුන්ට එකට අත් වැල් බැඳ ගන්නට හැකිනම්, විවිද වර්ණයන් ඇති මිනිසුන්ටද එය කිරීමට අපහසු නැත.

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *