Hridayam (2022) Malayalam By Anuja Wickramasingha
සිනමා රසවින්දනය ට භාෂාව බාධාවක් ද කියලා ඇහුවොත් උත්තරය මොකක් වේවිද..?
ඔව් හෝ නැත..
අපි ඔතනින් උත්තරය නෑ කියලා දෙන්නෙත් සමහර විට ඇත්ත මතය හංගලා වෙන්නත් පුළුවන්..
අපේ රටේ සිනමා රසවින්දනය ගැන හොයලා බැලුවොත් භාෂාව හරස් වෙලා තියන තැන් අනන්තවත් දැකගන්න පුළුවන් වෙන්නෙ අන්න ඒ නිසයි.. සමහර විට මේක කියවන ඔබත් යම් යම් ලිමිට්ස් හදාගන Films/TV Series බලනවා ඇති.. විශේෂයෙන් දමිළ සහා හින්දි භාෂාවන්ගෙන් එන නිර්මාණ වලට. ඇයි අපි භාෂාව හින්දා රසාස්වාදයට ලිමිට් දාගන්නෙ..? ඒ ඒ භාෂාවන්ගෙන් එන නිර්මාණ වල හිතට වදින රහ තැන් නැති නිසා ද? නැතිනම් ඊට හේතුව ගුරුත්වය රහිත වු සටන් ජවනිකා සහා Re-Make වූ නිර්මාණ ද..? සමහර විට මේ ප්‍රශ්න වලට සෘජු උත්තර ඇති.. සමහර විට නැතිව ඇති.. ගොඩක් දුරට හරි තර්කයක් නැතිව ඇති.
මම මෙහෙම ඇහුවොත්, කිසිම තේරුමක් නොදැන, ඒත් එක පාරට ඇහෙන හින්දි, දෙමළ සිංදු වලට කැමැත්ත ගිය අවස්ථාවන් මෙය කියවන ඔයාට තිබිලා නැද්ද..? එකම එක හරි, ඒ වගේ භාෂාවක හිත ගිය සින්දුවක් නැද්ද? මතක් වෙන්න ඇති එකට සිය ගාණක්. ඇයි එහෙනම් අපි Films, Series වලට විතරක් මේ වගේ අමුතු වෙනසක්.. ?
Hridayam ?
මේ දවස් වල වැඩි වැඩියෙන් අන්තර්ජාලයේ ඇහෙන, පේන නමක්.. ඇයි මේක මේ තරම් කතා වෙන්නෙ කියලා ඔබට හිතුණද.? නැත්තම් ඔළුවෙ තියාගන ඉන්න බැරියර් එක ඒකට ඉඩ දෙන් නැද්ද? සමහර විට මේ ෆිල්ම් එකේ චරිත අතර ඔබ ඇති.. ඔබේ අතීතය ඇති.. මේ මම උනත්.. මේ අපේ කතාව වෙන්න ඇති. විනාඩි කිහිපයක තැනක හරි.. එන්න ටිකක් ඔතනින් එළියට.. භාෂාව අමතක කරන්න.. දකින දේ මතක් කරගන්න…
Hridayam කියන්නේ “හදවතට..”
අපි ආදරය විඳින්නේ හදවතින්,ආදරය විඳවන්නෙත් හදවතින්. මලයාලම් සිනමාවෙන් අපේ හිත් වලට දුන්නු අලුත්ම මැජික් එක hridayam. අපිට හදවතින්ම විඳින්න පුළුවන් විදිහේ ෆිල්ම් එකක්.. සමහර වේදනාබර හැඟීම් තියෙනවා වචන දහසකින්වත් කියලා නිම කරන්න බැරි,ලොකුම ලොකු සුසුමකින් විතරක් පිට කරලා දාන්න ඉඩ ලැබෙන.එක අතකින් Hridayam කියන්නේ ඒ වගේ කතාවක් තියෙන ෆිල්ම් එකක්..
සමහර යාළු මිත්‍ර කම් ඇති වෙනන්නේ, ජාති ආගම් කුල-මල බේද හැම දෙයක්ම පැත්තකට වෙලා, එක සමාන වේගයෙන් හදවත් ගැහෙන අය අතරින්. එහෙම යාළුකම් සදාකාලිකයි.එහෙම යාළුකම් මැරෙන්නෙත් නැහැ,මරන්නත් බැහැ.Hridayam කියන්නේ ඒ විදිහේ යහළුවන් ගැන කතා කරන ෆිල්ම් එකක්. ඒ වගේම ජීවිතය ගැන දැනෙන්න කතා කරපු චිත්‍රපටයක්. බිඳීම්,වැටීම් පන්නරයක් කරගෙන නැගිටින්න උගන්නවන චිත්‍රපටයක්. බලන කෙනෙක්ට හොඳ මතකයක් බවට පත් වෙන චිත්‍රපටයක්. එහෙම බලද්දි Hridayam කියන්නේ අපේ හදවතේ ගැඹුරුම තැනකින් සදහටම තියාගන්න තරම් ලෝබ හිතෙන චිත්‍රපටියක්. ?❤
අපි අපේ ජීවිතේ ගැන හිතන්න පටන් ගන්නේ වැලේ වැල් නැතුව යන එන මං නැති වුනාට පස්සේ. අපි බහුතරයක් තාරුණ්‍ය එහෙමයි.එහෙම අපි අතරේ තමන්ගේ ජීවිතේ ඉලක්ක හඹාගෙන යන ජීවිතේ දිනන්න හීන තියාගෙන ඉන්න මිනිස්සු නැතුවම නෙවෙයි.ඒ දෙගොල්ලොන්ටම ජීවිතේ කොහේදී හරි එක තැනකදී මුණ ගැහෙන්න වෙනවා.ඒ කියන්නේ අයාලේ ගිහිපු හිත් ඉලක්ක ගත කරගන්න වෙනවා.Hridayam චිත්‍රපටයේ මේ දෙගොල්ලොම ඉන්නවා,ඒ අය ආදරය කරනවා,විරහා වේදනාව විඳිනවා,දුක් වෙනවා,සතුටු වෙනවා.ඒ හැම දේම වෙනවා. පිටින් ඉඳන් අපි, අපි දිහාම බලාගෙන ඉන්නවා වගේ හැඟීමක් Hridayam එක්ක අපිට දැනෙන්න ගන්නවා… සමහරවිට මේ අරුන්, නිත්‍යා, දර්ශනී, සෙල්වා චරිත අතර ඔබ ඇති.. ඇය ඇති.. සමහරවිට මේ ඔබේ කතාව වෙන්න ඇති..
අපේ අනාගතය කොහොම වේවිද කියන්න අදහසක් නැති වුනත්, ඒ වෙනුවෙන් හීනයක් තියාගන්න Hridayam අපේ හිත් වල ඉඩ හදලා දෙනවා. ජීවිතේ මගහැරීම් ගැන හිතලා කොච්චර පසු තැවුනත්,බිඳුණු බඳුනක් කොච්චර වැඩ දාලා හැදුවත්,පරණ පෙනුමම ආයේ නොලැබෙන බව Hridayam අපිට කියලා දෙනවා.. මේ හැම දෙයක්ම නිසා Hridayam අපිට වැඩි වැඩියෙන් දැනෙනවා. Hridayam කියන්නේ අපේ හදවතේ ගැඹුරුම තැනකින් සදහටම තියාගන්න තරම් ලෝබ හිතෙන චිත්‍රපටියක් කියලා මට හිතෙන්නෙ අන්න ඒ නිසයි.. ඉතින් තවත් ඇයි අපි රසවින්දනයට වැඩක් නැති සීමා දාගන්නෙ.. එන්න. නොදන්නා භාෂාවකින් දන්නා අපේ කතාව කියවන්න.. ❤