House of Gucci (2021) English by Ramitha Vimukthi
2021 වර්ෂයේ තිරගත වූ චිත්‍රපට අතරින්, House of Gucci යනු මා තුල දැඩි උනන්දුවක් ඇති කළ චිත්‍රපටයක්. එලෙස උනන්දුවක් ඇති කිරීමට කරුණු කාරණා කිහිපයක්ම පාධක වුනා. ප්‍රථමයෙන්ම Alien, Blade Runner, Thelma & Loise, Gladiator සහ The Martian වැනි විශිෂ්ට නිර්මාණයන් අධ්‍යක්ෂණය කළ Ridley Scott, මෙහි අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කිරීමයි. දෙවනුව මෙය Gucci නම් ලෝක ප්‍රසිද්ද සුඛෝපභෝගී වෙළඳ සමාගම සහ එම සමාගම් හිමිකාර පවුලේ සිදුවූ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක්ද පාධක වීමයි. තුන්වන කාරණය මෙයට රංගනයන් දායක වන දැවැන්ත නළු නිළියන්ය. මෙයට පාධක වන සත්‍ය සිදුවීම තිරයට නැගීම, ලේසි පහසු කාරණයක් නොව. විශේෂයෙන්ම එයට චරිත මෙන්ම සිදුවීම් රැසක් සම්බන්ද වන නිසා. අධ්‍යක්ෂක Ridley Scott මෙම සත්‍ය කතාව සාර්ථකව සිනමා නිර්මාණයකට පරිවර්තනය කරනවාද?.
කතාවෙන් බිඳක් :
චිත්‍රපටයේ ආරම්යේ පෙන්නුම් කරන කාල පරිච්ඡේදය වර්ෂ 1978. Patrizia Reggiani නම් රූමත් ඉතාලියානු ජාතික කාන්තාවක් අපට හඳුන්වා දෙනවා. ඇය සේවය සපයන්නේ තම පියාට උරුම වූ ට්‍රක් රථ සමාගමකයි. එක්තරා රාත්‍රී සාදයකදී Patrizia, Maurizio Gucci නම් තරුණයෙකුට ආලවන්ත හැඟීම් පෑමට පෙළඹෙනවා. Maurizio මූලිකව මෙය සම්බන්දව අපහසු ස්වරූපයෙන් සිටියත්, ඔහුද ඇයගේ හැඟුම් පෑමට ආකර්ෂණය වනවා. Maurizio යනු Gucci නම් සුඛෝපභෝගී විලාසිතා සමාගමේ එක් හිමිකරුවෙක්. ඒ අනුව එහි 50% ක දේපල අයිතිය ඔහු සතුවද තිබෙනවා. Rodolfo Gucci වන Maurizio ගේ පියා, තම පුත්‍රයාගේ ප්‍රේම සම්බන්දයට විරුද්ධත්වයක් දක්වනවා. ඔහු එයට හේතුවක් ලෙස සඳහන් කරන්නේ, Patrizia මුදල් පසුපස පැමිණෙන කාන්තාවක් ලෙස හඳුන්වමින්. Maurizio තම පියාගේ කීමට විරුද්ධවී Patrizia සමග විවාහ වනවා. කෙටි කලකින් Patrizia සහ Maurizio දෙමාපියන් බවට පත්වනවා. මෙම දරු උපත හරහා Patrizia Gucci පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු සහ තම සැමියාගේ මාමා වන Aldo ගේ හිත දිනා ගැනීමට සමත් වනවා. Gucci සමාගමේ තම සැමියාට උරුම වීමට නියමිත කොටසට අත තැබීමට Patrizia පෙළඹෙනවා. ඇය එම ව්‍යාපාරයට විශාල උනන්දුවක් නොමැති සැමියාවද පොළඹවා ගැනීමට සමත් වනවා. ඒක පුද්ගලික දේපල තණ්හාවන්, අඹු සැමි ගැටුම්, දූෂිත ව්‍යාපාරික ක්‍රමවේදයන් සහ ප්‍රචණ්ඩත්වය වැනි අංගයන් පෙලක්, Gucci පවුලේ මෙම ආන්දෝලනාත්මක ඉතිහාස කතාවට ඇතුලත් වනවා.
මෙම චිත්‍රපටයට පාධක වන්නේ සත්‍ය කතාවක් වූවත්, මෙයට මූලික අභාෂය ලෙස යොදා ගන්නේ Sara Gay Forden විසින් රචනා කළ The House of Gucci : A Sensational Story of Murder, Madness, Glamour and Greed කෘතියයි. එම කෘතිය කියවා නැති නිසා චිත්‍රපටය එය කෙතරම් දුරට අනුගමනය කරාද යන කාරණය සඳහන් කිරීමට අපහසුය. නමුත් House of Gucci තුලින් මෑත කාලීනව නිකුත් වූ ඇතැම් හොලිවුඩ් සහ බොලිවුඩ් biopic චිත්‍රපට වල දුටු අඩුපාඩු අඩු වැඩි වශයෙන් පෙන්නුම් කළා. මෙහි කැපී පෙනෙන අඩුපාඩුවක් වූයේ චිත්‍රපටයේ චරිත වර්ධනයේ ඇති දුර්වලතාවන්. පොදුවේ ජනතාව අසා ඇති කතාවේ කරුණු කාරණා වලින් ඔබ්බට ගොසින්, එම සංකීර්ණ චරිත සහ සිදුවීම් අධ්‍යනය කිරීමට මෙහි තිර රචනය සමත්වී නැත. විශේෂයෙන්ම Patrizia ගේ චරිතය එතරම් භයානක අන්තයකට යාමට හේතු වූ සාධකයන්, චිත්‍රපටයේ පෙන්නුම් කළ මට්ටමට එහා ගිය යමක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබුනා. නමුත් චිත්‍රපටය එවැනි පැතිකඩවල් Patrizia ඇතුළු අනිකුත් චරිත තුලින්ද අධ්‍යනය කිරීමට අසමත් වනවා. Patrizia සහ Maurizio ගේ ප්‍රේම සම්බන්දතාවය ගොඩ නැගීමට චිත්‍රපටය අනවශ්‍ය කාලයක් වැය කර තිබෙනවා. විශේෂයෙන්ම පළමු හෝරාව තුල එම ප්‍රේම සම්බන්දතාවයට අවධානය යොමු කිරීමෙන්, දෙවෙනි හෝරාවේ සිදුවන වැදගත් සිදුවීම් තුල කලබලකාරී ගතියක් දක්නට ලැබුනා. එම නිසා චිත්‍රපටයේ ප්‍රධාන හැරවුම සිදුවන අවස්ථාවද ප්‍රභලව ඉස්මතු වූයේ නැත.
House of Gucci චිත්‍රපටය ප්‍රධාන වශයෙන් නැගී සිටින්නේ ප්‍රභල රංගනයන් තුලින්. Patrizia ගේ චරිතය ඉදිරිපත් කළ Lady Gaga මේතාක් රඟපා ඇති චිත්‍රපට අතලොස්සෙන්, නැවත වතාවක් ප්‍රභල රංගනයක් ඉදිරිපත් කිරීමට සමත් වනවා. මෙහි තිර රචනය එම චරිතයේ ඇති සංකීර්ණ පැතිකඩවල් අධ්‍යනය කිරීමට පෙළඹුනා නම්, ඇයට මීට වඩා යමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් තිබුනා. Adam Driver එම චරිතයට සාදාරණයක් ඉෂ්ට කළත්,එම චරිතයට ප්‍රභල අවකාශයක් ලබා දීමට මෙහි තිර රචනය අසමත්වී තිබෙනවා. Paolo Gucci ලෙස රංගනයෙන් දායක වූ Jared Leto ගේ රංගනයද කැපී පෙනුණා. නමුත් ඇතැම් විචාරක සහ ප්‍රේක්ෂකයින්ගේ අදහස් වලට අනුව Leto ගේ ඉතාලියානු හඬ හැසිරවීම සහ එම සමස්ත චරිතය නිවැරදි නොවන වගද පෙන්වාදී තිබෙනවා.
Dariusz Wolski ගේ සිනමාකරණය, Claire Simpson ගේ සංස්කරණය සහ Harry Gregson – Williams ගේ සංගීත අධ්‍යක්ෂණයද කැපී පෙනුණා. ඒ සමගම මෙහි වේෂ නිරූපනයද ඉතා ඉහල මට්ටමක දක්නට ලැබුනා.
සමස්තයක් වශයෙන් House of Gucci යනු මා බලාපොරොත්තු වූ මට්ටමට නොතිබුණු නිර්මාණයක්. මෙවැනි ආන්දෝලනාත්මක කතා තේමාවක් ප්‍රභල ලෙස අධ්‍යනය කිරීමට හිමිවූ අවස්ථාවක්, මෙහි නිර්මාණකරුවන් අහිමි කර තිබෙනවා. ඒ කෙසේ නමුත් මෙහි ප්‍රභල රංගනයන් සහ අනිකුත් සිනමා අංගයන් වෙනුවෙන් මෙය නැරඹීමට යෝජනා කරනවා.