Hotel Rwanda (2004) English | Sinhala Article

Hotel Rwanda (2004) English by Chamara Hewawithana

මනුෂ්‍යත්වයේ සටන

———————————–

‘ජාතිවාදය’ – ඕනෑම ජන සමාජයක සාරධර්ම විනාශ කරනා මිනිසුන් අතර සුහදත්වය නැති කර දමනා විනාශකාරී පිළිලයක් .. ‘දරිද්‍රතාවය’ – මිනිසුන් තමන්ගේ ඇතුළාන්තය තුලින්ම අසරණ වන ඛේදාන්තයක් ..
ජාතිවාදය සහ දරිද්‍රතාව කියන නීරස හේතු සාධක ද්විත්වයම යම් ජන සමාජයකට එකසේ බලපායි නම් එය සැබැවින්ම ඛේදවාචකයක් … ‘රුවන්ඩාව’ යනු ඉතිහාසයේ එක් කාල සීමාවක එසේ පීඩාවට පත්වූ අන්ත දුගී නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් …
රුවන්ඩා ජන සමාජය තුල ජනවර්ග ත්‍රිත්වයක් දැකිය හැකි අතර ‘hutu’ යනු ඉන් ප්‍රධානම ජනවර්ගයයි … 85% ක් සමස්ථ රුවන්ඩාව පුරා ව්‍යාප්තව තිබෙනා hutu ජාතිකයන් සැබැවින්ම තමන්ගේ ජාතිය පිළිබද මහත් අභිමානයකින් පසුවෙන අතර එහි උච්චතම අවස්ථාව ලෙස සෙසු සුළු ජන කොටස් වන Tutsi සහ Twa වෙත hutu වරුන්ගෙන් එල්ලවූ විරෝධය දැක්විය හැකියි ..

 

“when people ask me .. why do i hate all the tutsi .. i say Read Our History .. The tutsi were collaborators for the Belgian colonists .. they stole our hutu land .. they whipped us”

 

hutu වරුන් tutsi ජාතිකයන්ව කැරළිකරුවන් ලෙසින් හදුන්වා දෙයි .. මිනීමරුවන් ලෙස හංවඩු ගසයි .. ඔවුන් tutsi ජාතිකයන්ව අමතන්නේ කැරපොත්තන් ලෙසයි .. tutsi යනු තමන්ගේ රට තුලට අනවසරයෙන් පැමිණි ද්‍රෝහීයන් බව ඔවුන්ගේ අදහසයි ..

“now they have come back .. these tutsi rebels .. they are cockroaches .. they are murderers .. Rwanda is our hutu land .. we are the majority .. tutsi are a minority of traitors & invaders”

 

කෙසේ නමුත් බහුතරයක් hutu ජාතිකයන් ගෙන යන ජාතිවාදී සටනට අකමැත්ත ප්‍රකාශ කරනා hutu ජාතික හෝටල් කළමනාකරුවෙක් මෙහිදී විශේෂ කොට ලා සැලකේ .. ස්වභාවයෙන්ම ඉතා බුද්ධිමත් හා කාරුණික මිනිසෙකු වන ඔහුට තම ජාතිය පත්වී ඇති තත්ත්වය කෙරෙහි ඇත්තේ දැඩි පිළිකුලක් …
පසු කාලීනව දේශපාලනය සදහාද පිවිසි Paul Rusesabagina නම් මේ මිනිසා රුවන්ඩානු ජන සමාජය තුල වීරයෙකු බවට පත් වන්නේ එදා tutsi ඇතුළු සුළු ජාතිකයන්ට එරෙහිව සිදුවූ මිලේච්ඡ සංහාරයේදී වටිනා මිනිස් ජීවිත 1268 ක් ආරක්ශා කිරීමට ඉදිරිපත් වූ මිනිසෙකු ලෙසයි ❤️
මහා රුවන්ඩානු ජන සංහාරය හෙවත් Rwandan Genocide පිළිබද කියවෙන අගනා සිනමාපටයක් 2004 වසරේදී තිරගත වනවා ‘Hotel Rwanda’ යන නමින් … Terry George විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙහි ප්‍රධාන චරිතය Paul Rusesabagina වෙනුවෙන් පණ පෙවීමේ අභියෝගය පැවරෙන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු Don Cheadle හටයි .. අප්‍රිකානු රටවල පැහැදිලිවම දක්නට ඇති ඉංග්‍රීසි උච්චාරණයේ වෙනස මෙහිදී Don Cheadle විසින් අති විශිෂ්ඨ අයුරින් රග දක්වනවා කිවහොත් නිවැරදියි ❤️
එමෙන්ම මිනීමරු Hutu ‘Interahamwe’ සංවිධානයේ උප සභාපති ලෙස සිටිමින් මහා රුවන්ඩානු ජන සංහාරයට සෘජුව වගකිවයුතු පුද්ගලයෙකු වූ Georges Rutaganda ලෙසින් බ්‍රිතාන්‍ය නළු Hakeem Kae-Kazim චරිත නිරූපණය කරනු ලබන අතර ජෙනරාල් Augustin Bizimungu ලෙස දකුණු අප්‍රිකානු නළු Fana Mokoena චරිත නිරූපණය කරනු ලබනවා …

 

ඔස්කාර් සම්මානලාභී Joachim Pheonix මෙහිදී සාම සාධක නිළධාරී Stefen Stec ලෙස උප ප්‍රධාන චරිතයක් නිරූපණය කරනා අතර Tatiana Rusesabagina ලෙසින් බ්‍රිතාන්‍ය නිළි Sophie Okonedo රංගනයෙන් එක්වනවා ..
77 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවා ඇතුළු සම්මාන ත්‍රිත්වයකට නිර්දේශ වීමටත් මෙම විශිෂ්ඨ චිත්‍රපටය සමත්වූවා ..

#Distributed – by MGM
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
Synopsis ? SPOILER ALERT

 

Paul Rusesabagina ..
රුවන්ඩාවේ ‘Des Mille Collines’ නම් හෝටලයේ කළමනාකරුවෙක් .. එමෙන්ම අති බහුතරයක් වූ hutu ජන වර්ගයේ නියෝජනයක් .. ඒ වනවිටත් රුවන්ඩාව පුරා hutu ජාතිවාදීන් tutsi වරුන්ට එරෙහිව දැඩි ජාතිවාදී සටනක් ගෙන ගිය අතර Paul ඒ කෙරෙහි දක්වන්නේ සිය කණගාටුව මුසුවූ කනස්සලු හැගීමක් .. ඒ ඔහු තුල කිසිසේත්ම ජාතිවාදී හැගීම් අල්ප මාත්‍රයක් හෝ නොතිබූ නිසාවෙනි .. වෙනකක් තබා ඔහු සිය රාජකාරී සදහා පිටත්ව යන රථයේ රියදුරු ද tutsi ජාතිකයෙක් ..
hutu ජාතික Paul සහ ඔහුගේ රියදුරු tutsi ජාතික Dube අතර සැබැවින්ම පවතින්නේද සහෝදරත්වය මුසුවූ සබදතාවයක් ..
“Dube .. ඔබ දන්නවාද මේ කොහීබා සුරුට්ටුවක් ෆ්‍රෑන්ක් 10,000 ක් වෙනවා .. නමුත් එය මා වගේ මිනිසෙකුට ඊටත් වඩා වටිනවා .. මා එය පහදන්නම් .. මා ධනවත් ව්‍යාපාරිකයෙකුට ෆ්‍රෑන්ක් 10,000 ක මුදලක් ලබාදුනහොත් එය ඔහුට ඉතා සාමාන්‍ය දෙයක් විය හැකියි .. නමුත් මම ඔහුට කියුබාවෙන් ආනයන කල වටිනා කොහීබා සුරුට්ටුවක් ලබාදුන හොත් එය මතකයේ රැදෙන දෙයක් වේවි”
ඔහු සිය රියදුරාට වටිනාකම යන වචනය පහදන්නේ එලෙසිනි .. වරක් hutu ජාතික මිනීමරු සංවිධානයක් වන ‘Interahamwe’ පාක්ශිකයන් පිරිසකගෙන්ද තම රියදුරුව ආරක්ශා කිරීමට ඔහු ඉදිරිපත් වෙයි …
tutsi ජාතිකයන්ට එරෙහි hutu විරෝධතා දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි … ගුවන් විදුලි සේවාවන් මහින් tutsi ජාතිකයන්ව විශ්වාස නොකරන ලෙස පවසයි .. Hutu සහ tutsi වරුන් අතර සිදුවන සංග්‍රාමයට Paul සම්බන්ධ නොවී සිටියත් ඔහුගේ ප්‍රිය බිරිඳ tutsi ජාතිකයෙක් වීම නිසාවෙන් එහි අතරමැදියෙකු වන්නට Paul හට සිදුවන්නේද දෛවයේ සරදමකට මෙනි ..
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
රුවන්ඩානු හමුදාව රහසිගතව hutu ජාතිකයන් හට හමුදා පුහුණුව ලබාදෙමින් මිනිසෙකු අතරින් කැරලිකරුවෙකු බිහිකිරීම සිදුකරමින් පවතින බවත් මිනීමරු ‘Interahamwe’ සංවිධානය දළු ලා වැඩෙන්නේ එහි අනිටු ප්‍රතිඵලයක් ලෙස බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සැක පහල කරයි …
මේ අතර රුවන්ඩානු ජනපති Juvenal Habyarimana උඩු ගුවනේදී එල්ලවූ ‘air missile’ ප්‍රහාරයකින් ඝාතනය වන්නේ මහා ජන සංහාරයකට පිඹුරුපත් සකසමින් .. මෙම ඝාතනයේ වගකීම රුවන්ඩානු tutsi සරණාගතයින්ගෙන් සැදුම්ලත් වත්මන් ජනපති Paul Kagame මෙහෙයවූ RPF පක්ශය වෙත එකහෙලාම එල්ලවූ අතර hutu ජාතිකයෙකු වන තම ජනපති tutsi කල්ලියක් විසින් ඝාතනයට ලක්වීම hutu වරුන්ව කුපිත කරවනා සිදුවීමක් වන බවට අමුතුවෙන් කිවයුතු නොවේ ..

එම ඝාතනයත් සමගින් අළු යට සැගවී තිබූ tutsi වෛරයෙහි ගිණි පුපුරු ඇවිලී ගිය අතර tutsi වරුන්ව ඝාතනය කිරීමේ මහා ජන සංහාරය හෙවත් ‘Rwandan Genocide’ එලෙස ආරම්භ විය ..
අප කතා නායකයා Paul Rusesabagina ගේ භූමිකාව ඇරඹෙන්නේ මෙතැන් සිටයි .. hutu ආක්‍රමණයෙන් ආරක්ශා වීමට ඔහු සිය ප්‍රදේශයේ ජීවත් වන tutsi ජාතිකයන්ට සිය නිවසේ පවා ආරක්ශාව සපයයි .. රට තුල සාමය ස්ථාපිත කිරීමට පොරොන්දු වී සිටියදී tutsi වරුන් විසින් සිය ජනාධිපති ව ඝාතනය කිරීම ඔහුගේ සිතේ ඇති කරන්නේ මවිතයක් ..
‘we must cut the tall trees’ ..
tutsi වරුන්ව ඝාතනය කිරීම ඔවුන් එලෙස හදුන්වයි … කෝලාහල වැඩිවෙයි .. ප්‍රචණ්ඩත්වය රජයයි .. මුළු මහත් රුවන්ඩාවම මළ සොහොනක් බවට පත්කරවමින් Tutsi මිනී කදු ගොඩ ගැසෙයි .. Paul සිය දිවි පරදුවට තබා tutsi මිනිසුන් වෙනුවෙන් පෙනී සිටියි .. ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ආරක්ෂක අංශ සමග ගැටෙයි … මිනිස් ජීවිත වෙනුවෙන් නිළධරයන්ට අල්ලස් පවා ලබාදීමට පසුබට නොවෙයි ..
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
මරණයට කැපවූ සියළුම tutsi ජාතිකයන්ගේ ගැලවීමේ දූතයා Paul වනවා සේරම ඔවුන් සියල්ලගේම ජීවිතවල ආරක්ශාවේ නිවහන බවට ‘Des Mille Collines’ හෝටලය පත්වී අවසන් .. ඔහුගේම සේවක මණ්ඩලයේ සමහරුන් ඔහුට කරනා එදිරිවාදිකම්, මිනිත්තුවෙන් මිනිත්තුවට ඉහල යන tutsi ජාතිකයන්ට ආරක්ශාව සැපයීමට හෝටලය තුල ඇති ඉඩ පහසුකම් මදි බව වැනි කරුණු නිසා ජීවිත ගණනාවක් සමග අරගලයක යෙදී සිටින Paul ට ඔවුන්ව ආරක්ශා කිරීම කිසිසේත් ලෙහෙසි පහසු කර්තව්‍යයක් වන්නේ නෑ ..
අනෙක් අතට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රතු කුරුසයත් සමග ජන ජීවිත ර්‍රැසක් ආරක්ශා කිරීම වෙනුවෙන් කරනා මෙහෙවර Paul වැනි සාමාන්‍ය මිනිසෙකුට මහ මෙරක් තරම් .. නමුත් ඔහුගේ ධෛර්‍යය සම්පන්න බව ඒ කිසිවකින් යට කල නොහැක්කක් … තමාට මුහුණපෑමට සිදුවූ දහසකුත් හිරිහැර බාධා මැද ජීවිතාරක්ෂාව පතා තම හෝටලයට පැමිණි කුඩා ළමුන් ඇතුළු අහිංසක ජීවිත රාශියකගේ ගැලවුම්කරුවා බවට ඔහු පත්වන්නේ මිනිස් ජීවිත 1200 කට තනිව වගකියූ මිනිසෙකු බවට Paul Rusesabagina යන නාමය රුවන්ඩානු ඉතිහාසය තුල සළකුණු කරමින් ..
රටක් වෙනුවෙන් සමස්ථ ජනයා වෙනුවෙන් සිය දිවි පරදුවට තබා ක්‍රියා කල බොහෝ වීර චරිත වලට එම නිසාම තමාගේ ලබැදියන් අහිමිව යාම කණගාටුවට කරුණක් .. මෙම මිනිසාටද මිනිස් ජීවිත රාශියක් බේරාගැනීමට ඉඩ හසර සැලසුනත් සිය මස්සිනා සහ ඔහුගේ බිරිඳගේ ජීවිත රැකගැනීමට නොහැකි වීමද දෛවෝපගත සිදුවීමක් ..
සමස්ථ රුවන්ඩාවම අමු සොහොනක් බවට පත්කල ‘රුවන්ඩානු මහා ජන සංහාරය’ 1994 වසරේ ජූලි මාසයේදී අවසන් වූවත් ඉන් විනාශ වු මිලියනයකට ආසන්න මිනිස් ජීවිත අදට ද රුවන්ඩා ඉතිහාසය තුල ඉතිරි කර ඇත්තේ අමිහිරි මතක ගොන්නක් …?

“for a Rwandan Family .. this is a comparatively lucky outcome”

– Paul Rusesabagina –

Hotel Rwanda Official Trailer

චාමර හේවාවිතාරණ

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *