Hope Aur Num (2018) Hindi by Kavinu Weerakkody
සීයේ…කොලොම්බස් ඇමරිකාව හොයාගත්තේ මාලිමාවෙන්ද?
සීයේ…කොලොම්බස් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවද?
සීයේ…මිනිස්සු පව් කරපුවාම අපායට යන්නේ ඇයි?
පොඩි එකාට ඉවරයක් නැති ප්‍රශ්න. හැම ප්‍රශ්නයක්ම අහන්නේ සීයාගෙන්. සීයා තමයි එයාගේ ලෝකේ වීරයා. එයාගේ හැම ප්‍රශ්නයකටම සීයා ගාව උත්තරයක් තිබුණා. හැබැයි එක ප්‍රශ්නයකට හැර!
“ සෝනිකෙන් මහත්තයට මොකද වුණේ? “
ජීවිතය කියන්නේ අහම්බ ගොඩක එකතුවක්. මේ හැම අහම්බයක්ම තීරණය කරන්නේ දෛවය විසින්. අපි හැම කෙනෙක්ගේම ජීවිත මොහොතෙන් මොහොතට වෙනස් වෙන්නේත් දෛවය නිසාමයි. මේ පොඩි එකාගේ වීරයා වුණු සීයාගේ ජීවිතයත් එක මොහොතකදී සම්පූර්ණයෙන්ම කණපිට හැරෙනවා.
ඇයි ඒ? ඔව්, දෛවය තමයි උත්තරය.
හැබැයි කතාව එතැනින් ඉවර වෙන්නේ නැහැ. අපේ කතා නායකයා වුණු පොඩි කොල්ලා; එහෙමත් නැත්නම් අනූ! නොහිතපු වෙලාවක මේ පොඩි එකා..අනූ අතින් මිනීමැරුමක් සිද්ධ වෙනවා. දැන් මේක කියවන හැමෝටම පොදු ප්රශ්නය තමයි,
“ මොකක්, පොඩි එකෙක් මිනීමරනවා?? “
ඇත්තටම මොකක්ද මේ සීයාගෙයි පොඩි එකාගෙයි කතාන්දරේ…
මැයි 11 වෙනිදා ඉන්දියාව පුරා තිරගත වීම ඇරඹි Hope Aur Num සලරුව ඔබ අත් නොහැරිය යුතුම කතාවක්.
ජීවිතය, හීනය, ආදරය, අහම්බය තුළින් ඔබව වෙනමම මානයකට ගෙනියන මේ චිත්‍රපටය පුරාවටම ඔබ මේත් සමඟම එකට ජීවත් වෙනවා සහතිකයි! දැකලා පුරුදු නැති පොඩි කොල්ලෙක් ඇඟ හීතල වෙලා යන තරමේ රංගනයකට පණ පොවනවා. අපි හොඳින්ම දන්න Naseeruddin Shah එයාගේ වැඩ කොටසත් උපරිමයෙන්ම ඉටු කරලා තියෙනවා. ඊට අමතරව Amir Bashir,Naveen Kasturia,Neha Chauhan වැනි පුරුදු නුපුරුදු නළු නිළියන් රැසකගේ රංගන කෞෂල්‍යය ඔබ වෙනුවෙන් බලාගෙන ඉන්නවා. IMDb මීටරය 6.5ට කරකවපු මේ නිර්මාණය 91%ක ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනාගෙන තියෙනවා. අධ්‍යක්ෂණය වෙන්නේ Sudip Bandyopadhyay අතින්. Neha pawarගේ තිර පිටපතකට අනුව රූගත වන මෙය Thumbnail Pictures නිෂ්පාදනයක්.
අත මිට මොලවලා ගහපු ගමන් අඩි තුන හතරක් උඩින් විසි වෙලා යන ෆයිට් කෑලි නැතුව ඇති.
කෙල්ලයි කොල්ලයි අත් පටලවගෙන මල් ගස් වටේ දුවන රොමෑන්ටික් සීන් නැතුව ඇති.
පගා ගහන පොලිස්කාරයෙකුයි, නීතිය තමන් අතට අරගෙන ඉන්න බොඩිබිල්ඩර් ඇඟක් තියෙන හයේ හතරේ සයිස් පොරකුයි පේන්න නැතුව ඇති.
හැබැයි එකක් තියෙනවා!
සෙනෙහස එක්ක මුහුවුණු ආදරය…
මඟහැර ගන්න එපා…
මේ හොඳම කතාන්දරයක්!