Homosexual Three Movies | Sinhala Article

Homosexual Three Movies by Kosala D Maduraweera

“ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව චෝදනා ලද තරුණයන් දෙදෙනෙකුට එරෙහි නඩුව හෙට…
පුරුෂ පුරුෂයන් අතර ලිංගික ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් තරුණයන් දෙදෙනෙකුට දඬුවම් නියම කිරීම…….” – පුවතක්

ඉහත උපුටා ගැනීම පුවත්පතකින් කළ එකකි. ඔබට පුවතේ ස්වභාවය තේරුම් ගැනීමට අපහසු නැත. සමලිංගික ක්‍රියාකාරකම්වල යෙදුනැයි තරුණයන් දෙදෙනෙකුට නඩු පවරා තිබේ. සමලිංගික එක් වීම් ලංකාවේ නීතියට අනුව වරදකි. ඒවා නීති විරෝධීය. ඒ පිළිබඳව වන වගන්තිය පහතින් උපුටා දක්වන්නම්.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 කොටස පහත පරිදිය:
“ස්වභාව ධර්මයට විරුද්ධව පිරිමියෙක්, ගැහැණියක් හෝ සතෙකු සමග ලිංගිකව හැසිරුනු ඕනෑම කෙනෙකුට වසර 10 දක්වා වන සිර දඬුවමක් සහ දඩයක් ද පැනවිය යුතුයි. මෙම වරද වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකු විසින්, වයස අවුරුදු 16ට අඩු පුද්ගලයෙකුට එරෙහිව සිදු කර ඇති විට අවුරුදු 10කට නොඅඩු, අවුරුදු 20කට නොවැඩි බරපතල සිර දඩුවම් සහ දඩයක් ද පැනවිය යුතුයි. එසේම උසාවිය විසින් නියම කරන මුදලක් වැරැද්දට ලක් වූ පුද්ගලයාට සිදු වූ හානි වෙනුවෙන් වන්දි මුදලක් වශයෙන් ද ගෙවීමට නියම කළ යුතුයි.

දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ කොටස පහත පරිදිය:
365 අ. කිසියම් පුද්ගලයෙකු තවත් පුද්ගලයකු සමග ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ කිසියම් ආකාරයේ තදබල අශෝභන ක්‍රියාවක නිරත වීම හෝ වෙනත් පුද්ගලයකු එසේ හැසිරවීමට පාර්ශ්වකරුවකු වෙන පුද්ගලයෙකු වැරැදිකරුවකු විය යුතු අතර වසර දෙකක් දක්වා වන සිර දඩුවමක් හෝ දඩයක් හෝ ඒ දෙකම සහ වැරැද්ද සිදු කර ඇත්තේ අවුරුදු 16කට අඩු පුද්ගලයෙකුට එරෙහිව නම් අවුරුදු 10කට නොඅඩු අවුරුදු 20කට නොවැඩි සිර දඩුවමක් සහ දඩයක් ද එවැනි පුද්ගලයකුට වන හානි සම්බන්ධයෙන් උසාවිය විසින් නියම කරන මුදලක් වන්දි වශයෙන් ද ගෙවිය යුතුය.”

සමලිංගිකත්වය ප්‍රස්තුතය බවට පත් කර ගනිමින් නිර්මාණය වූ, මා විසින් නරඹන ලද, රටවල් තුනකට අයත් වන සිනමා නිර්මාණ තුනකි,

1) Frangipani හෙවත් සය පෙති කුසුම (2013) – Sri Lanka

2) Moothon (2019) – India

3) Moonlight (2016) – USA

සයපෙති කුසුම (2013) විසාකේස චන්ද්‍රසේකරම් විසින් අධ්‍යක්ෂණය කරන ලද සිංහල චිත්‍රපටයකි. එහිදී මූලිකවම විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය වන ස්ත්‍රියක් (ඇයගේ ලිංගික තෝරා ගැනීම මෙය මිසක් ඇය වේසියක්ය යන්න අදහස් නොවේ), සම ලිංගික පුරුෂයෙක් සහ ද්වීලිංගික පුරුෂයෙකු අතර පවතින් සම්බන්ධතා දාමයක් පිළිබඳව සාකච්ඡා කරයි. සමලිංගික සේවනය ලංකාව තුළ නීති විරෝධී වන බැවින් එවැනි එවැනි පිරිස් මුහුණ දී තිබෙන අසරණභාවය පිළිබඳව මෙහිදී කතා කරයි. අධ්‍යක්ෂවරයා මෙහිදී අප සමාජයේ ජීවත් වන මෙම ජන කොට්ඨාසයේ අයිතිවාසිකම් පිළිබඳව මානුෂීය ප්‍රවාහයක් ඔස්සේ ප්‍රේක්ෂකාගාරය වෙත ආමන්ත්‍රණය කරයි. නිර්මාණයේ පවතින සාර්ථක අසාර්ථක භාවය පිළිබඳව මා මෙම සටහනෙදි මාගේ අදහස් ඉදිරිපත් කිරීමට උත්සහ නොකරන අතර මෙවැනි විවාධාත්මක මාතෘකාවක් වස්තු විෂය කර ගනිමින් නිර්මාණයක් බිහි කරලීම පිළිබඳව පැසසුම් එක් කරමි.

Moothon (2019) ගීතු මෝහන්දාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ප්‍රබල කතා වස්තුවක් රැගත් අපූරු සිනමාපටයකි. මේ තුළින්ද සමලිංගිකත්වය පිළිබඳව සාකච්ඡා කරන අතර එය ප්‍රේක්ෂකයා වෙතට ගෙන එනු ලබන්නේ අපූරු ලෙස චරිත අතර සම්බන්ධතාවය හසුරවමිනි. සමලිංගිකත්වය යනු විකෘතියක් නොව එයද සාමාන්‍ය මිනිස් හැඟීම් ප්‍රකාශනයක්ය යන්න අපූරු ලෙස ඉස්මතු කර දක්වයි. ඔබ විසින් අනිවාර්‍යයෙන්ම නැරඹිය යුතු මෙය ඉන්දීය සිනමා නිර්මාණයකි.

Moonlight (2016) බැරී ජෙන්කින්ස් විසින් අධ්‍යක්ෂණය කරන ලද සමලිංගිකත්වය පිළිබඳ වූ අපූරු නිර්මාණයකි. 2017 ඇකඩමි සම්මාන උළෙලේදී මෙම සිනමාපටය “හොඳම චිත්‍රපටය” සඳහා වන සම්මානය දිනා ගන්නා ලදි. ලිට්ල් හෙවත් චිරොන් (චයිරොන්) ගේ කුඩා අවධිය, නව යොවුන් අවධිය සහ වැඩ්හිටි අවධිය තුළින් ඇමෙරිකානු සමාජය තුල පවතින විෂමතාවයන් පිළිබඳව සාකච්ඡා කරන මෙම සිනමාපටය සමලිංගිකත්වය පිළිබඳව ප්‍රේක්ෂකයා තුළ විවෘත මනසකින් යුතුව විමසා බැලීම සඳහා වන පෙලැඹවීමක් ඇති කරයි. සංවේදී ප්‍රේක්ෂකයා තුළ කම්පනයක් ඇති කරලන්නට සමත් මෙම සිනමාපටය අපට නොදැනිවම අපගේ නෙතු කඳුළින් බර කරයි. අති සාර්ථක සිනමාපටයක් වන මෙය යතාර්ථවාදී නිර්මාණයකි. ඇමෙරිකා එක්සත් ජනපදයේ සමලිංගික විවාහ නීති ගත කොටැ තිබේ.

ඉහත නිර්මාණ ත්‍රිත්වයේම පොදු මාතෘකාව වූයේ “සමලිංගික ප්‍රේමයයි”! එය විකෘතියක් නොවන බවත් විරුද්ධ ලිංගිකයන් අතරේ හට ගන්නා ප්‍රේමය හා සමාන සුන්දර වූත් උත්තරීතර වූත් මානව හැඟීමක් බවත් ඉස්මතු කරලයි.

ඉහත නිර්මාණ තුනම ඔබ විසින් අනිවාර්‍යයෙන්ම නැරැඹිය යුතු ඒවා වන අතර ඒවායේ ගුණාත්මකභාවය අනුව ඒවා වර්ගීකරණය කරන්නේ නම් අංක එකට Moonlightද අංක දෙකට Moothonද අංක තුනට සය පෙති කුසුමද මා තෝරන්නෙමි.

ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපට සිතන්නට බොහෝ දේ ඇත. ඔබ සහ මම “සමලිංගිකත්වය” පිළිබඳව දරන්නේ කවරාකාරයේ මතයක්ද? සැබැවින්ම “සමලිංගිකත්වය” විකෘතියක්ද? සමලිංගිකත්වය තුළ ප්‍රේමය නැතිද? තවකෙකුගේ ප්‍රේමයක්, ලිංගික ආශාවක් පිළිබඳව තීරණ ගැනීමට අපට සැබැවින්ම අයිතියක් තිබෙන්නේද? ඔවුන්ට නිදහස යනු වචනයකට පමණක් සීමා වූ දෙයක් නොවන්නේද? යනාදී කාරණා රැසක් පිළිබඳව අපට සිතන්නට ඉතිරි කරයි.

කෝසල D මධුරවීර

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *