Hirushi Wasundara Sri Lankan Actress by Jegan Ganeshan
ඕවර් නයිට් ඔබාමා යන යෙදුම මෙරට සමාජය තුළ එතරම් භාවිත නොවන්නකි. නමුත් ඉන්දියාව තුළ නම් මෙය අධික ලෙස භාවිතයේ යෙදෙයි. කවුරුත් දන්නා පරිදි ඔබාමා යනු ඉතා වේගයෙන් ලෝකයේ අවධානයට පාත්‍ර වූ අයෙකි. එවැනි පිරිස් සීමිතය. ඔහු මෙන් එක දවසකින් දකුණේ සිට උතුරත් එතැනින් රාමේෂ්වරම් හරහා තමිල්නාඩුවත් ආක්‍රමණය කළ එක්තරා සුරූපිනියක ලෙස හිරුෂි වසුන්දරා හඳුන්වා දිය හැකිය.
මීට මාස අටකට පමණ ඉහතදී අපේ ගුරුතුමී නමින් දසුන් නිලංජන නමැති ඡායාරූප ශිල්පියාගේ කැමරා කාචයෙන් සටහන් වූ ඡායාරූප සමූහයක්, උතුරුකරයේ සිටි තරුණයින්ගේ සිත් සොරා ගැනීමට සමත් විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් දන්නා භාෂාවෙන් ඇය වෙත සුභ පැතුම් සහ ආදරය සමාජ මාධ්‍ය ඔස්සේම එක්කළහ.
1995 වසරේ ජුනි මස 29 වන දින උපත ලබන හිරුෂි සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරනු ලැබුවේ මාතර, ඌරුබොක්ක ජාතික පාසලෙන්ය. අනතුරුව ශිෂ්‍යත්ව විභාගය සමත්වී, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට ඇතුළත් වූවාය. එහිදී ඇය පාසල තුළ නිතරම කැපී පෙනෙන චරිතයක් බවට පත් වූයේ රංගනයට සහ නිවේදනයට තිබු උපන් හැකියාව නිසාමය. හිරුෂිගේ සහභාගීත්වයෙන් තොර වැඩසටහන් පාසලේ නොවීය. සෑම වැඩසටහනකම ඇයගේ දායකත්වය තිබුණි. 2007 වසරේදී සිරස ටී.වි ආයතනය පටිගත කරනු ලැබූ පුංචි පැංචි වැඩසටහනට එක්වූ ඇය 2008 සිට 2011 දක්වා සජීවීව එම වැඩසටහන මෙහෙය වනු ලැබුවාය. එම කාලය තුළ රාවණා අඩවියේ ළමා චරිතයක් නිරූපණය කිරීමටත් ඇයට අවස්ථාව හිමි විය. ඇය තුළ තිබු මෙම සුවිශේෂී හැකියාව හේතුවෙන් ද රත්නාවලිය තුළ ඇයගේ ජනප්‍රියත්වය තවත් අධික විය. තමන් ඉගෙනගත් ශ්‍රේණියේ දිගම වරලසෙහි හිමිකාරීත්වය ද ඇය සතුය. පාසලේ මිතුරියන්ගේ අසීමිත ආදරයට ලක් වූ ඇයට ඔවුන් විසින් හිරුවා ලෙස ආමන්ත්‍රණය කළ ද ඇගේ කතා විලාශයෙහි තිබූ ලාලිත්‍ය ස්වභාවය හේතුවෙන් ලතා යනුවෙන් ආමන්ත්‍රණය කළ අවස්ථා ද තිබුණි.
රංගනය මෙන්ම නිර්මාණශීලිව ලිවීමේ හැකියාව ද ඇය සතු විය. විවේකී කාලයේදී සිය මිතුරියන් හට නෙයිල් ආට්ස් (Nail Arts) ඇඳීම හෝ මේකප් කිරීම ඇයගේ විනෝදාංශ විය. 2013 වසරේ පාසල් ශිෂ්‍ය නායක කණ්ඩායමට තේරීපත්වන්නේ පාසලේ ගුරුවරුන්ගේ විශ්වාසය දිනාගනිමින්ය. එය “ස්වාභිප්රා-13” ලෙස නම් කළේ ද හිරුෂි විසින්මය.එමෙන්ම එම උත්සවයේ පිළිගැනීමේ ගීතය ද උප ප්‍රධාන ශිෂ්‍ය නායිකා හිරුෂිගේ නිර්මාණයක්ම විය. පාසලේ පැවැති සියලු උත්සව වලදී සියලු බර තම කරට ගැනීමට සිදු වූවත් කිසිදු දවසක ඉන් පළා යාමේ ලක්ෂණයක් ඇය සතු නොවීය. පාසලේ සිටි කුඩා දරුවන්ගේ ආදරණීය වැඩිමල් සහෝදරිය වූයේ ද ඇයයි. අද එය එලෙසම පවතින බව කිව යුතුමය. එහි ප්‍රතිඵලයක් ලෙස ද ඇය ගුරුවරියක ලෙස කටයුතු කරන්නීය.
නීතිවේදය හැදෑරීමේ ඇති අවශ්‍යතාව මත උසස් පෙළ කලා අංශය ඇය විසින් තෝරාගන්නා ලදී. උසස් පෙළින් අනතුරුව විශ්වවිද්‍යාල වරම් ලැබුණ ද එය අතහැර සිය සිහිනය ජයගැනීම පිණිස නීතිවේදය හැදෑරීම සඳහා හිරුෂි විවෘත විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. එහිදී ඇයගේ විලාසිතා කාගෙත් සිත් ගත් ඒවා වුණි. සිය ඇඳුමෙහි වර්ණයට ඇස් වර්ණ ගැන්වීම ද ඇයගේ පුරුද්දකි. නිතරම සිය කොණ්ඩය ඉහළට ඔසවා ගැට ගැසීම ඇය අන් අයගෙන් කැපිපෙනෙන හේතුවක් විය. කාලය ගෙවී යාමත් සමඟ 2018 වසරේ ඇය රූපවාහිනී නාලිකාවක් විසින් සංවිධානය කළ, අවුරුදු කුමරිය තරඟයට ඉදිරිපත් වූවාය. එයත් ඇයගේ කැමැත්තට නොව තමන්ගේ මිතුරු කණ්ඩායමේ බල කිරීම මතයි. අයදුම්පත්‍රය පවා ඔවුන් විසින්ම යොමු කරනු ලැබීය. එහිදී ඇය එම තරඟාවලියේ දෙවන ස්ථානය දිනාගන්නා ලදි. ඉන් අනතුරුව රංගනය සඳහා එක්වන ලෙස ආරාධනා නන්දෙසින් ගලා එන්නට විය. ඉන් තමන්ට ගැළපෙන චරිත පමණක් තෝරාගැනීමට ඇයට සුවිශේෂි හැකියාවක් තිබුණි. එම කාලයේදී හිරුෂිගේ ඡායාරූපවලින් තොර සඟරාවක් සොයා ගැනීමට පවා නොහැකි විය. සෑම එකකම මුල් පිටුව ඇයටම වෙන්වී තිබුණි. කලා කටයුතුවලට මෙන්ම සමාජ සේවය සඳහා ඇය කාලය වෙන් කළාය.
රාවණා අඩවිය, සුපහන් සිත, පිනිකඳුලු, භවාන්තර, නිස්සරණ, පියාණනි, කැඩපත සහ පාවෙලා වලාකුලේ ඒවිද අම්මා යන නිර්මාණ හරහා ඇයගේ රංගනය විදහා දැක්වූවාය. හිරුෂිගේ රංගනය සම්බන්ධයෙන් මේ වනවිට ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතියි. එසේ වූව ද ඒ සියල්ල ඇය භාරගනු ලබන්නේ ඉතා නිහතමානීවයි. තමන් සම්බන්ධයෙන් නිර්මාණය වන මීම්ස් සම්බන්ධයෙන් පවා ඇය දැඩි උනන්දුවක් දක්වයි. ඒවා තමන්ගේ ෆේස්බුක් ගිණුමට එක් කරනු ලබන්නේ ද ඉතා සතුටින් ය. ග්‍රාමිය පරිසරයක නිර්මාණය වන ගැමි තරුණියකගේ චරිතයක් නිරූපණය කිරීම ඇයගේ ඒකායන බලාපොරොත්තුවකි. එය මෙම වසරේදීම සඵල වේවා යැයි ඇයට සුභාශිංසන එක් කරමි.
සුබ උපන්දිනයක් වේවා හිරුෂි
(විස්තර ලබාගැනීමට උපකාර කළ Fathima Ifka Illiyas ට ස්තූතියි.. )