High Plains Drifter ( 1973)
ක්ෂිතිජයෙන් මතුවූ ලාගෝ නගරවාසීන්ගේ නිර්නාමික යුක්තිය
Western/Revisionist Western ‧ 1h 45m
ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ සිනමා ශෛලිය Sergio leone ගෙන් උකහාගෙන විකාශය වූවක් බව අතැමෙක් පැවසුවද මම ඊට එකග නොවන්නා වූ කරුණු කිහිපයක් ඇත. එකක් නම් ඊස්ට්වුඩ් ගේ රළු මෙන්ම ගුප්ත කතා කීමේ ශෛලියය් , එහිදී ඔහු විසින් මිත්‍යාවන් , හණමිටි විශ්වාසයන් ආදී කිසිවක් චිත්‍රපට තුල ප්‍රතික්ෂේප නොකරන අතර ඒවාද චිත්‍රපට තුලට ඔබමින් ගුප්ත ස්පර්ශයක් ඔහුගේ කතා කීමේ ශෛලියට ආරූඩ කරගනුයේය. දෙවැන්න වනුයේ හැගීම් සමග කරන්නා වූ සියුම් භාවාත්මක ගණුදෙනුවය්. සංවේදීත්වය, ප්‍රේමය හා මානව බැදීම් උදෙසා තියුණු ගණුදෙනුවක් ඊස්ට්වුඩ් විසින් චිත්‍රපටයන් තුල ප්‍රකට කරනුයේය . සියෝන් ගෙ සිනමා ශෛලියෙන් ඊස්ට්වුඩ්ගෙ සිනමා ශෛලිය වෙනස් වනුයේ එවැනි කාරණාවලදීය. සියෝන්ගේ මෙන් සංකීර්ණ සිනමා හැසිරවීමක් ඊස්ට්වුඩ් විසින් නොකරන අතර ඒ වෙනුවට ඔහු භාවාත්මක සියුම් සිනමාකරණයක නියැලෙනුයේය.
High Plains Drifter ද එවැනි ඊස්ට්වුඩ් ගේ භාවාත්මක සියුම් සිනමා ව්‍යායාමයකි. ඔහු කඩවසම් භාවයෙන් අගතැන්පත් ව උන් අවධියේ මෙන්ම ඊස්ට්වුඩ් පිරිමි පෞරුෂත්වයේ සලකුණක්ව උන් අවධියේ මෙය අධ්‍යක්ෂණය කරමින් රගපෑම මෙහි ආකර්ෂණීය භාවයේ කර්ණයය්. චිත්‍රපටයේ භාවාත්මක සිනමා හැසිරවීම ඊස්ට්වුඩ්ගෙ අනන්‍ය සිනමා ශෛලියේ ආනුභාවයය්
තුරගෙකු පිටෙහි ලාගෝ නගරයට පැමිණෙන ආගන්තුකයෙකි . ලාගෝ නගරවාසීහු ගුප්ත මෙන්ම නිවට හැසිරීම් ඇත්තෝය. මෙම ආගන්තුකයාගේ නිර්භීත පෞරුෂය මෙන්ම , ඔවුන්ට ප්‍රකට කලා වූ දුෂ්ඨත්වය හේතුවෙන් නාදුනන්නාට නගරයේ වගකිව යුත්තන් විසින් ඕනම දෙයක් ලබාදෙන බව පොරොන්දු වී නගරයට මහා හිසරදයක්ව තිබූ ඉක්මනින් ම හිරෙන් නිදහස් වීමට නියමිතව තිබූ භයානක මංකොල්ලකරුවන් මෙන්ම ඝාතකයන් තිදෙනෙක්ගෙන් නගරය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා සිටින අතර නාදුනන්නා නගර වාසීන්ට ඔහුගේම ආකාරයට යුක්තිය උදාකරදෙන අයුරු High Plains Drifter හී කතාපුවතය්.
ලාගෝ නගරය නිල්වන් ගංතෙරක පිහිටා තිබුනද ශුෂ්ක කටුකත්වයෙන් පිරි නගරයකි . නගරවාසීහුද දුෂ්ඨත්වයෙන් මෙන්ම එකී ශුෂ්කත්වයෙන් තැලී පොඩිවී ජීවත් වුවද කිසිසේත්ම අහිංසකයන් ලෙස හදුන්වාදිය නොහැකි තරම් ආත්මාර්ථයෙන් යුත්තන්ය. නිවටයන් ය.
නිර්නාමික ආගන්තුකයා දරුණු හැසිරීම් ඇත්තෙකි. සිතුවක් කරන්නා වූ දඩබ්බරයෙකි. නගරයේ වගකිවයුත්තෝ නගරයේ ආරක්ෂක මුර දේවතාවා ලෙස දකිනුයේ මොහුවය. කිසිම කලෙක කිසිදු ආකාරයක සබදතාවක් ඔව්න් සමග නොතිබූ මෙකී නිර්නාමික වෙඩික්කරුවා අරබයා නගරවාසීහු විශ්වාසය තබති. දරුණු කොල්ලකරුවන් තිදෙනාගෙන් හෙම්බත්ව උන් නගරවාසීන්ට අවශ්‍ය වනුයේ කෙසේ හෝ ඉන් මිදීමටය. ඒ විනා නිර්නාමික ආගන්තුක වෙඩික්කරුවා ඉල්ලා සිටින්නා වූ ඉල්ලීම් හී බරපතල භාවයක් නගරවාසීහු නිනව් නොකරන්නෝය.
ඊස්ට්වුඩ් ඔහුගේ චිත්‍රපටයන්හී කලු මිනිසුන් සුදු මිනිසුන් සමග ගැටෙන්නා සුලු සිල්ලර තේමාවන් අන්තර්ගත නොකරනුයේය. ඔහුගේ චිත්‍රපට වල ගැටීම සිදුවනුයේ අලු චරිත අතරය. එහෙය්න් ඊස්ට්වුඩ් විසින් චිත්‍රපටයන්හී හදුන්වාදෙන සියලුම චරිතයන්හී ගුප්ත භාවය ඒ ආකාරයෙන්ම රදවා ගනිමින් එකී චරිතයක් සියුම්ව මානුශීය සාධකයන් තුලින් විග්‍රහ කරන අතර චිත්‍රපටය තුල වීරත්වයේ හා දුෂ්ඨත්වයේ පාරගම්‍ය සීමාව සලකුණු කරනුයේ එකී මානුශීය සාධක තුලනාත්මකව විවරණය කිරීමෙනි.
High Plains Drifter හීද එසේමය. එහෙය්න් මෙහි වීරයන් හෝ දුෂ්ඨයන් මෙන්ම පීඩිතයන් හා යුක්තිය ලබන්නන් වනුයේ හුදෙක් අලු මිනිසුන් වන අතර චිත්‍රපටය අවසානයේ අලුපැහැ වීරත්වය ක්ෂිතිජ ඉම තුල සැගව යනුයේය.