Hana – the Tale of a Reluctant Samurai (2006) Japan | Sinhala Article
August 12, 2021
ALL IN ONE, Article, Japan, Other Language, ලක්ෂ්මන් අරංවල
132 Views
Hana – the Tale of a Reluctant Samurai (2006) Japan
Jidaigeki/Drama ‧ 2h 7m
87% liked this film Google users
ජපන් සිනමාකරු හිරොකසු කොරේඩා කියන්නේ එක්තරා සුවිශේෂී සීමාවක ඉඳන් නිර්මාණකරණයේ යෙදෙන කෙනෙක් කියල හිතන්න පුළුවන් ඔහු විසින් සිදුකරනු ලැබූ බහුතරයක් චිත්රපට ආශ්රයෙන් සලකා බැලුවම. ඒ කියන්නෙ ඔහු එක්තරා විදිහක කැරලිකරුවෙක්. පවුල කියන සාධකය කරණ කොට ගෙන ඔහු ඉදිරිපත් කරනවා පිරිසුදු ජපාන ආචාරධර්ම සංස්කෘතියකට එරෙහි වන සාධකයන්. ඉතින් Hana බලපු කෙනෙක්ට මෙහෙම හිතන්නත් පුළුවන්; “මේ යකා ජපානෙ රෙදි ගලවනවා විතරක් නම් මදෑ, රණශූර සමුරායිලගෙත් රෙදි ගලවනවනේ?”Hana බැලුවම පේනවා කොරේඩාගේ නිර්මාණකරණය නම් පේන තරම්ම සීමාවකට කොටු වූවක් නොවන බවත්. ඒ වගේම මෙහෙම වැඩක් කරන්න හැමෝටම බැරි බවත්.
සමුරායි කියන නාමය හොඳින් අසා පුරුදු ඇති. නම අහපු හැටියෙන්ම මුලින්ම මතකෙට එන්නෙ තියුණු කඩුවක්. සුපිරි රණශූරයෙක්. නියම ගෞරවාදරයක්. චිත්රපට වලින්ම සමුරායි කියන්නෙ මොනවගේ පිරිසක්ද කියන එක අපි දන්නවා. ජපාන සංස්කෘතිය තුළ සමුරායිවරුන් විසින් කොපමණ අභිමානයකට උරුමකම් කිවුවත් සමුරායි පරපුරේ අභාවය සිදුවන කාලපරිච්ඡේදයක් උදා වුණා. චිත්රපටයේදී එය විස්තර කරනවා මෙන්න මෙහෙම: “ගොවියෝ කුඹුරු කරනවා, වෙළෙන්දෝ බඩු විකුණනවා. එතකොට සමුරායිලා මොකද කරන්නේ? යුද්දෙකදී ජීවිත උදුරගන්නවා, ජීවිත පුද දෙනවා. කෝ ඉතින් දැන් යුද්ධ? ඉතින් සමුරායිලගෙන් දැන් වැඩක් නෑ. එයාලා අවලංගු කාසි වගේ ජාතියක්”. මේ ක්රියාවලිය සිද්ධ වෙන්නෙ 17 වැනි ශතවර්ෂයේ මුල් භාගයේ ඉඳන්. සමුරායි සංස්කෘතිය යල්පැනපු එකක් බවයි මේ කියන්නේ.
කතන්දරය තුළ බොහෝ සමුරායි ලක්ෂණ ගැන කතා කරනවා. සමුරායි පෙළපතට ගෞරවයක් අත් කරනා ලේ වැගිරීම් ගැන එනම් පළිගැනීම් ගැන කතා කරනවා. ලේ වැගිරීමක් ගෞරවාන්විතව අගය කරන්න පුළුවන් යුද්ධයකදී. නමුත් යුද වාතාවරණයක් නොපවතින සමයකදී සමුරායිවරයෙක් විදිහට හැසිරෙන එක, හිතන පතන එක පවා තේරුමක් නැති වැඩක් කියන එක පුන පුනා පැවසෙනවා. කාලාන්තරයක් තිස්සේම ජම්මාන්තර හතුරෙක් සොයා යමින්, ඔහුව නසා දමන්නට සැලසුම් සකස් කරමින්, සතුරාගේ මරණයෙන් තම නැසීගිය පියාගේ අන්තිම කැමැත්ත ඉටු කරගන්නටත්, ඒ ඔස්සේ තම සමුරායි පෙළපතට ගෞරවයක් අත්කරදීමටත් වෙහෙසෙන තරුණ සමුරායිවරයෙක් ගැනයි මේ කතාව. එහෙම බැලුවම මේක හරිම වීරවික්රමාන්විත කතන්දරයක් කියල හිතෙයි. බලනකොට තමයි හිතෙන්නේ “කොරේඩා මොකක්ද මේ කරල තියෙන්නෙ? සමුරායි කොමඩියක්ද මේ” කියලා.
හාස්යය නම් ඇති පදම් අඩංගුයි තමා. නමුත් ඇත්තටම මානුෂීය ප්රේමය ගැන තමයි කතා කෙරෙන්නේ. ඒකත් හරි අපූරු කාරණාවක්. සමුරායි පළිගැනීමක් අස්සේ මානුෂීය ප්රේමය හඳුනාගැනීමක් සිදුවෙනවා. සමුරායි ගතිලක්ෂණ වලට එරෙහිව යන සැබෑම ප්රේමනීය මිනිස් සමාජයක වටිනාකම ගැන කතා කරනවා. කඩුවට වඩා පෑන බලවත් බව පෙන්වා දෙනවා. තමන්ගෙ මිනිස් බවට ගෞරවයක් අත්කරගත හැක්කේ මනුස්ස ජීවිතයක් නසා දැමීමෙන් නොව, සුරක්ෂිත කරවීමකින් බව කියා දෙනවා. කොරේඩා ගේ සිනමාකරනය ගැන වෙනස්ම කෝණයකින් බලන්නට ඉඩ ලැබෙනවා. එනිසාම අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක් ලෙසින් නිර්දේශ කරනවා.
*****************************************************
Edited, Written & Directed by : Hirokazu Kore-eda
Produced by : Nozomu Enoki, Shiho Sato, Hijiri Taguchi
Starring : Junichi Okada, Rie Miyazawa , Cinematography
Country : Japan
Language : Japanese
ලක්ෂ්මන් අරංවල
Writer