Gundala (2019) Indonesian | Sinhala Article

Gundala (2019)

 

Action/Adventure/ Super Hero

86% liked this film Google users

සකචායා අවුරුදු හතක පමණ කුඩා පිරිමි දරුවෙක්. ඔහුගේ පියා කර්මාන්තශාලා සේවකයෙක්. කර්මාන්ත හිමියා විසින් සිදු කරන ලද යම් අසාධාරණයක් නිසා තම සගයින් සමග හිමිකරුට විරුද්ධව විරෝධයතාවයක් අරඹන නමුත් වෙනත් සේවකයින් දෙදෙනෙකු මුදල් වෙනුවෙන් සිදු කළ පාවාදීමක් හේතුවෙන් සකචායාගේ පියා මරණයට පත් වනවා. පියාගේ මරණය ඇවෑමෙන් ජීවිතය පවත්වාගැනීමට දුෂ්කර වීම නිසා සකචායාගේ මව රැකියාවකට යෑමට අදහස් කරනවා. ඇය නිවසින් පිට වීමට පෙර සකචායාට පවසන්නේ අනිද්දා දහවල් ඔහු පාසල් ඇරී නිවසට එන විට තමන් නිවසට පැමිණ සිටින බවයි. නමුත් ඇය පැමිණියේ නැහැ. කුසගින්නෙන් සහ අසරණ භාවයෙන් පීඩාවට පත් හිසින් නිවසින් පිටතට පැමිණෙන දරුවා පාගමනින්ම නගරයට පැමිණෙනවා. 

නගරය යනු අනථ කුඩා කොලුවෙකුට ජීවත් වන්නට පහසු තැනක් නෙවෙයි. ඔහුට අනිකුත් වීදි දරුවන් සමග සටන් වදින්නට සිදු වනවා. එම සටනකදී ඔහුට මුණ ගැසෙන වැඩිමල් පිරිමි ළමයෙක් විසින් සකචායාට සටන් කලාවත් සමග වැදගත් පාඩමක්ද උගන්වනු ලබනවා; “තමන්ට අදාළ නැති දේවල් වලට ඔලුව දාන්නේ නැතුව පාඩුවේ හිටපන්”. වීදියේ ජීවිතය ⁣පවත්වාගෙන යෑමට අදාළ සිද්ධාන්තය වන්නේ එයයි. තමන්ට අදාළ නැති සිදුවීම් පිළිබඳව කරදර නොවී සිටිනතාක් ඔබට සාමකාමී ජීවිතයක් ගත කල හැකියි  

දැන් සකචායා තරුණයෙක්. දක්ෂ සටන්කරුවෙක්. එසේම පොත් පත් කියවූ දැන උගත් තරුණයෙක්.  ඔහු පුවත්පත් මුද්‍රණාලයක රාත්‍රී මුරකරුවෙක් ලෙස සේවය කරනවා. එසේම දැන් ඔහුට නිවාස සංකීර්ණයක නිවසකුත් තිබෙනවා. දිනක් සේවය අවසන්ව නිවසට එන අතරමගදි තරුණියකට හිරිහැර කරන මිනිසුන් දෙදෙනෙක් ඔහු දකිනවා. ඒත් සමගම ඔහුට තම මිතුරාගේ උපදෙස සිහි වනවා; “තමන්ට අදාළ නැති දේවල් වලට ඔලුව දාන්නේ නැතුව පාඩුවේ හිටපන්”. ඉතින් ඔහු පාඩුවේ යන්න යනවා.

නමුත් එක් දිනයකදි ඔහුගේ පියා සකචායාට නිතර පැවසූ කතාවක් ඔහුට නැවත අසන්නට ලැබෙනවා; “අසාධාරණය දැක දැකත් නිහඬව ඉන්නවා කියන්නේ තමන් ලබපු මනුෂ්‍යත්වයට කරන අපහාසක්”

ඒ දවසෙදි ඔහුගේ ඉවසීම අවසන් වනවා. තව දුරටත් ‘තමන්ගේ නොවන දේවල්’ පිළිබඳව නිහඬව සිටින්නට ඔහුට අපහසු වෙනවා. 

………………………………………………………….

Gundala යනු ඉන්දුනීසියාවේ ඉතා ජනප්‍රිය කොමික් කතා මාලාවක් ඇසුරින් නිපදවන ලද සුපර්හීරෝ චිත්‍රපටියක්. 

1954 වසරේදී අරඹන ලද, BumiLangit ප්‍රකාශන ආයතනය මගින් ප්‍රකාශනය කරනු ලබන මෙම කොමික් කතා මාලාව ඉන්දුනීසියානු ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා. 

BumiLangit Cinematic Universe (BCU) යනු ඉන්දුනීසියානු කොමික් කතා පදනම්ව නිමවන සිනමා විශ්වය වන අතර Gundala යනු එහි සමාරම්භක චිත්‍රපටියයි. BCU හි තවත් චිත්‍රපටි තුනක් 2021 වසරේ නිකුත් වීමට නියමිතයි

මෙම කොමික් කතා සඳහා පදනම් වන්නේ ඉන්දුනීසියානු ජනකතා වල කියැවෙන චරිත සහ සිදුවීම්. 1950 දශකයේ සිට මේ දක්වා ප්‍රකාශයට පත්වුන BumiLangit කොමික් කතා ප්‍රධාන කාලපරිච්ඡේදයන් හතරකට අයත් වන බව පැවසෙනවා;

 1. Era of Legands

 2. Era of Warriors 

 3. Era of Patriots

 4. Era of Revolution 

මෙම කාලපරිච්ඡේදය වලින් වර්තමානයේ ප්‍රකාශනය වන්නේ Era of Patriots කොටසට අදාළ කොමික් කතා. එම era එකෙහි ප්‍රධාන චරිත ලෙස Gundala, Sri Ashih, Godam, Sembrani සහ Tira වැනි අය හැඳින්වෙනවා. 

ඔවුන් පිළිබඳව කියැවෙන චිත්‍රපටිය තුනක් ලබන වසරේ නිකුත් වීමට නියමිතව තිබුන අතර ඒවා නම් වශයෙන්;

?Vigro and Sparklings

?Sri Asih

?The Blind of the ghost cave: Angles Eye 

Gundala චිත්‍රපටිය BCU හි පළමු චිත්‍රපටිය වන අතර BumiLangit සිනමා විශ්වයේ පළමු කොටස (1st Phase) තුළ චිත්‍රපටිය හතක් අැතුළත් කර තිබෙනවා. එක චිත්‍රපටි හත Warriors  සහ Patriots යන Era වලට අදාළව නිර්මාණය කරනු ලබනවා. 

ඉන්දුනීසියානු සිනමාව යනු ක්‍රමයෙන් දියුණු වන සිනමා කර්මාන්තයක්. එසේම එය බොහෝ සමබර සිනමාවක් බවත් කිවයුතුයි. සුපර් හීරෝ චිත්‍රපටි සේම අනිකුත් ශානරයන් වලට අදාළ අගනා සිනමා නිර්මාණ ඉන්දුනීසියානු සිනමාව තුළින්ද හමු වනවා. ඒ නිසාම අද වන විට නෙට්ෆ්ලික්ස් වැනි ජාත්‍යන්තර OTT ප්ලැට්ෆෝම්ස් වල අවධානයද ක්‍රමයෙන් ඉන්දුනීසියාව දෙසට හැරෙමින් පවතිනවා. 2019 වසරේ ඉන්දුනීසියානු චිත්‍රපටි කිහිපයක්ම Netflix හරහා නිකුත් වුනා. 

මෙතෙක් කල් අප නැරඹූ සුපර්හීරෝ චිත්‍රපටි වලට වඩා මෙම චිත්‍රපටිය වෙනස්. මෙහි සුපිරි වීරයා බිහි වන්නේ සමාජය තුළින්මයි. ඔහු සටන් කරන්නේ තමන් සහ තම හිතාදරයින් වටා වෙලී පවතින අසාධාරණ පලවා හැරීමේ අරමුණින්. ඉතින් මිනිසුන් Gundala චරිතයට ආදරය කිරීම පුදුමයක් නෙවෙයි. තමන්ට කරන්නට අවශ්‍ය නමුත් කළ නොහැකි යමක් තවකෙක් කරනු දකින්නට සාමාන්‍යයෙන් අකමැති වුවත් අසාධාරණ සම්බන්ධ කරුණකදී චිත්‍රපටියකින් හෝ වෙනත් අයකු එය කරනු දකින්නට මිනිසුන් කැමතියි.

එසේම ඔහුගේ සුපිරි බලය ඔහුට අවශ්‍ය සෑම අවස්ථාවකදීම ලබා ගැනීමටත් බැහැ. බොහෝ සටන් සිදුවන්නේ  ඔහුගේ සාමාන්‍ය  ශරීර ශක්තිය සහ සටන් කලාවෙහි නිපුණත්වය යන සාධක දෙකෙහි උදව්වෙන් පමණයි.

මෙම චිත්‍රපටිය නිපදවීමට ඉන්දුනීසියන් රැපියා බිලියන තිහක්(ආසන්න වශයෙන් $2.11 million) පමණ වැය කර ඇති අතර ආදායම ලෙස ඉන්දුනීසියන් රුපියා බිලියන 67.67($4.78 million) ලැබී තිබෙනවා. සංඛ්‍යා පිළිබඳව වද වීම අනවශ්‍යයි. මුදල් ඒකකයෙහි වටිනාකම සෑහෙන දුරට අවප්‍රමාණය වුනු රටකි ඉන්දුනීසියාව. ශ්‍රී ලංකා රුපියලක් ආසන්න වශයෙන් ඉන්දුනීසියන් රුපියා සියයක් පමණ වටිනවා. 

සුපර්හීරෝ සංකල්පයට අලුතින්ම එකතු වීමට නියමිතව ඇත්තේ මලයාලම් සිනමාව වන අතර ‘මින්නාල් මුරලි’ යනු එම සුපර්හීරෝ  චිත්‍රපටියෙහි නමයි.

Gundala යනු මෙතෙක් මා නැරඹූ සියලුම සුපර්හීරෝ චිත්‍රපටි අතරින් වඩාත්ම හිතට දැනුනු නිර්මාණයක් බව පැවසීමට කැමතියි. ඔබ මෙය නැරඹීමට අදහස් කරන්නේ නම් මෙය ඉන්දුනීසියානු චිත්‍රපටියක් බව තරයේ සිහි තබාගෙන නැරඹිය යුතුමයි. ඇමරිකානු සුපර්හීරෝ චිත්‍රපටියක දැකිය හැකි දෘශ්‍යය ප්‍රයෝග ආදිය මෙහි දකින්නට නැහැ. එනිසාම එය විශේෂයි. බිලියනයනපතියන්ව හිඳ සුපිරි වීරයින් බවට පත්වූවන්ට වඩා සාමාන්‍ය සමාජයෙහි ඉපිද නොයෙක් දුක් දොම්නස් සමග සටන් කරමින් තමන්ට උපතින්ම ලැබුනු හැකියාවක් සහ තමා විසින් දියුණු කරගත් සටන්කලාවත් සමග අසරණ මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින වීරයෙක් යනු නිසැකවම සුපිරි වීරයෙක්✌️

Initial releaseAugust 29, 2019 (Indonesia)
BudgetRp30 billion; ($2.11 million)
Music byAghi Narotama; Bemby Gusti; Tony Merle; Hans Zimmer
Based onGundala; Comic series by Hasmi
Produced bySukhdev Singh; Wicky V. Olindo; Bismarka Kurniawan

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *