Godmother (1999) Hindi by Ramitha Vimukthi
අද දිනට යෙදෙන ලෝක කාන්තා දිනය වෙනුවෙන් හින්දි සිනමාවේ අමතක නොවන කාන්තා චිත්‍රපට චරිත පෙලක්, ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප සිතා ගත්තා.
1999 වර්ෂයේ නිර්මාණය වූ හින්දි චිත්‍රපට අතරින්, සුවිශේෂීම චිත්‍රපටයක් විනේ ශුක්ලා අධ්‍යක්ෂණය කළ Godmother. විශේෂයෙන්ම හින්දි සිනමාවේ කාන්තාව ප්‍රභල ලෙස සංකේත කළ චිත්‍රපට අතරින් Godmother ඔබට ඉහලින්ම නිර්දේශ කළ හැකි චිත්‍රපටයක්. Godmother සහ මෙම වසරේ තිරගත වූ Gangubai චිත්‍රපටය තුල ඇති සම්බන්දය කුමක්ද?. මෙම චිත්‍රපට ද්විත්වයම පාදක වන්නේ ඉන්දීය පාතාලය රජ කළ මාෆියා රැජිණියන් පිලිබඳව පාධක වීමයි. සමස්ත ලෝක සිනමාව පිලිබඳ අප සලකා බැලුවොත් මාෆියාවන් සම්බන්දව නිර්මාණය වෙන බොහෝ චිත්‍රපට වල පාදක වන්නේ පිරිමි චරිතයන්. කාන්තාවක් වටා ගෙතුණු නිර්මාණයන් ඇත්තේ සාපේක්ෂව සීමිත ප්‍රමාණයක්. එය ලෝක සිනමාවේ. නමුත් ඉන්දියානු සිනමාවේ මෙය අතිශයින්ම දුර්ලබ දෙයක්. මාෆියාව නැතිනම් පාතාලය සම්බන්ද චිත්‍රපට තුල ස්ත්‍රී මූලිකත්වය දැක ගැනීමට හැකි වන්නේ ඉතාම කලාතුරකින්. ඉන්දියානු සිනමාව තුල මෙය සම්බන්දව ප්‍රධාන අවදානයක් දින ගැනීමට සමත් වූ මූලික චිත්‍රපටයක් Godmother. මෙය ප්‍රබන්දයක් ලෙස චිත්‍රපට නාමාවලියේ සඳහන් කළත්, කතාව ප්‍රධාන වශයෙන් පාදක වන්නේ සන්තොක්බෙන් ජඩේජා නම් ප්‍රභල දේශපාලනික සහ පාතාල සම්බන්දතා පැවැත්වූ කාන්තා නායිකාවක් පිළිබඳවයි. චිත්‍රපටයේ ප්‍රබන්ද කර තිබෙන චරිතයට වඩා සන්තොක්බෙන් ජඩේජාගේ සැබෑ ජීවිතය අතිශයින්ම ආන්දෝලනාත්මකයි. නමුත් Godmother චිත්‍රපටයේ පෙන්නුම් කරන හේතුවම ඇයද පාතාලයට සම්බන්ද වීමට හේතු වනවා. මිනීමැරුම් 14 ක් සම්බන්දව චෝදනාවන් ජඩේජා වෙත ඉදිරිපත් වනවා. ඒ සියල්ලක්ම ඇගේ සැමියාගේ ඝාතනයට කුමන හෝ සම්බන්දකමක් තිබෙන පුද්ගලයින්. ජඩේජාගේ සැමියාද ඝාතනය වන්නේ දේශපාලනික කල්ලීන් ද්විත්වයක් අතර තිබුනු ගැටුමක් හමුවේ. වාර්තා වන අන්දමට ඇය ඇගේ සැමියාවත් අභිබවා යමින් පාතාලයේ භයානක කාන්තාවක් ලෙස ක්‍රියාත්මක වූවා.
මෙම චිත්‍රපටයේ සන්තොක්බෙන්ව හඳුන් වන්නේ රම්භී ලෙසින්. රම්භී සහ වීරම් යනු දුෂ්කර ගම්මානයක ජීවත් වන විවාහක යුවලක්. ඔවුන්ගේ රැකියාව ගොවිකම. එය ජීවිතය කර ගත් රම්භී සහ වීරම්ට දීර්ග නියං කාලයක් හමුවේ නිසි පලදාවක් නොමැතිව විශාල අභියෝගයකට මුහුණපා ඇත. ඒ සමගම දරිද්‍රතාවය සහ කුල බේදයන් හමුවේ ඇති වන ප්‍රචණ්ඩකාරී වාතාවරණයන් ඔවුන් දෙපල ජීවත් වන සමාජයේ සුලබව අත්විඳීමට සිදුවන දෙයක්. රම්භීගේ සැමියා මෙම සමාජයේ සිදුවන බොහෝ අසාදාරණයන් වෙනුවෙන් හඬ නගන පුද්ගලයෙක්. විශේෂයෙන්ම කුල බේදයන් හමුවේ සිදුවන දේශපාලනික බලපෑම් වෙනුවෙන් ඔහු ප්‍රධාන වශයෙන් විරෝධයක් දක්වනවා. දිනක් එවැනි බලපෑමක් අතර සිදුවූ ගැටුමක් හමුවේ වීරම් අතින් පුද්ගලයෙකු මරණයට පත් වනවා. මෙම සිදුවීම හමුවේ වීරම්ට මිතුරෝ සේම හතුරන්වද එක සමානව වැඩි වනවා.
වීරම් අතින් ඝාතනය වූයේ ඔහුගේ කුලයට බලපෑමක් කළ, ප්‍රභල දේශපාලනික සම්බන්දතා ඇති පුද්ගලයෙක්. වීරම් ඔහුගේ කුලයේ යම්තාක් දුරකට වීරයෙකු බවට පත් වනවා. ඔවුන්ගේ කුලයට සහාය දක්වනවා යැයි ප්‍රකාශ කළ දේශපාලකයෙකුට වීරම් සහාය දක්වනවා. රම්භී තුල මෙය උපදවන්නේ බියක්. වීරම්ද එම දේශපාලකයාගේ ඇතැම් නීතී විරෝධී ක්‍රියාවන්ට සහාය දක්වනවා. නමුත් වීරම් එම දේශපාලකයාගේ රූකඩයක් පමණක් බව ඇඟවෙන විට ඔහු බොහෝ සෙයින් ප්‍රමාදය. එහි එක් ප්‍රතිපලයක් වශයෙන් ඔහු වීරම්ව මරා දමනවා. මෙයින් වඩාත් අවේගශීලී වන්නේ රම්භී. මින් අනතුරුව රම්භී යනු පිරිමි දරුවෙකු සමග තනි වුනු වැන්දඹු ගැහැණියක්. නමුත් රම්භී තුල තම සැමියාගේ මරණය වෙනුවෙන් පළි ගැනීම සඳහා විශාල ආවේගයක් උපදවනවා. තම සැමියාගේ මරණයේ ප්‍රතිපලයක් වශයෙන් ග්‍රාමීය මට්ටමින් ඇය දේශපාලනයට සම්බන්ද වනවා. කුස්සියේ බිත්ති හතරට පමණක් සීමා වූ රම්භී ඉතා සූක්ෂමව තම පලි ගැනීම සිදු කරනවා. සරලව පැවසුවොත් ඇය එය ක්‍රියාත්මක කරන්නේ ඇගේ සැමියාටත් වඩා දරුණු ලෙසයි. ඒ අනුව රම්භී පාතාල සහ දේශපාලනික සම්බන්දතා ඇති ප්‍රභල මාෆියා රැජිණක් වන්නේ එලෙසයි. නමුත් ස්ත්‍රීයක් වූ ඇයට එම මජර සමාජය තුල කෙතරම් කාලයක් බලය තබා ගත හැකිද?. මින් ඉදිරිය දැන් ගැනීමට නම් ඔබ Godmother නැරඹිය යුතුයි.
Godmother චිත්‍රපටය තුල අපට අධ්‍යක්ෂක විනේ ශුක්ලා පෙන්නුම් කරන්නේ මාෆියාවක රජ කළ ගැහැණියකට වඩා ඔබ්බට සමාජ දේශපාලනික අභ්‍යන්තරයක්. විශේෂයෙන්ම රම්භීගේ චරිතය ජීවත් වන්නේ ජාති, ආගම්, කුල බේදයන් සහ ලිංගික කුහකත්වයන් ඉහලින්ම වැජඹෙන සමාජ වටපිටාවක. මෙහි රම්භීගේ සැමියා පවා අසාදාරණය වෙනුවෙන් පෙනී සිටියත්, ඔහුද තමන්ගේ නොවන කුලකයන් වල මිනිසුන්ව පහත් කොට සලකනවා. විශේෂයෙන්ම honour killing වැනි දෙයක් තම සැමියා සාදාරණය කිරීම සම්බන්දයෙන් රම්භී පුදුමයට පත් වනවා. සමාජයෙන් ඇයට ලැබුණු තාඩන පීඩන හමුවේ ඇය මාෆියා රැජිණක් වූවත්, ඇය තුල බොහෝ අවස්ථාවන් වලදී මානුෂවාදී පෞරුෂයක් පෙන්නුම් කළා. රම්භීද තම දේශපාලනික ස්ථාවරත්වය මත බලය අව භාවිතා කළත්, ඇය බොහෝ අවස්ථාවන් තුලදී සිට ගත්තේ අසාදාරණයට ලක් වූවන්ගේ පැතිකඩයි. තවද රම්භී ජීවත් වූයේ කාන්තාව අවතක්සේරු කළ පුරුෂ මූලික සමාජයක. නමුත් රම්භී එම පුරුෂ මූලික සමාජ පරිසරය තුල යකඩ ගැහැණියක් ලෙස නැගී සිටියා. ජාති, ආගම්, කුල බේදයන් සහ ලිංගික කුහකත්වයන් හමුවේ මාෆියා රැජිණක් ලෙස රම්භී තමන්ගේ ස්වාදීන මතයන් තුල ජීවත් වුනා.
Godmother වර්තමානයේ යම්තාක් දුරකට අඩුවෙන් කතා බහට ලක් වූ නිර්මාණයක් වූවත්, මෙය 2000 වර්ෂයේ පැවැත්වූ ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන හයක් ජයග්‍රහණය කිරීමට සමත්වී තිබෙනවා. ඉන් වඩාත් සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ ශබානා අස්මීගේ වාර්තාගත පස්වන හොඳම නිළියට හිමි ජාතික චිත්‍රපට සම්මානයද මෙම චිත්‍රපටය වෙනුවෙන් ලබා ගැනීමයි. තවද Best Feature Film in Hindi, Best Music Direction, Best Editing, Best Lyrics සහ Best Male Playback Singer යන සම්මානයන්ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා. රම්භී ලෙස රංගනයෙන් දායක වූ ශබානා අස්මී, ඇයගේ සිනමා දිවියේ තවත් අමතක නොවන රංගනයක් Godmother හරහා ඉදිරිපත් කළා. කුස්සියේ බිත්ති හතරට හිරවූ ගැහැණියකගේ පටන් තම සැමියාගේ මරණය වෙනුවෙන් සාදාරණයක් ඉෂ්ට කර ගැනීමට වෙර දරණ මාෆියා රැජිණ දක්වා ඇති චරිත වර්දන පරාසය ඉතා විශිෂ්ට ලෙස ශබානාගේ රංගනය තුලින් ඉස්මතු වුනා. විශාල් බරද්වාජ්ගේ සංගීත අධ්‍යක්ෂණය චිත්‍රපටයේ කැපී පෙනුණු අංගයක්. නමුත් ඇතැම් ගීත චිත්‍රපටයේ යම් චරිත හඳුන්වා දීමට යොදා ගැනීම සම්බන්දයෙන් නම් මා දුටුවේ තාත්වික නොමැති බවක්. විශේෂයෙන්ම ශර්මාන් ජෝශිගේ චරිතය ගීතමය ජවනිකාවක් හරහා හදුන්වා දීම, චිත්‍රපටයට නොගැලපෙන ආකාරයට ඇතුලත් කර තිබුනා.
1999 වැනි කාල සීමාවක හින්දි සිනමාව තුල සිදු කළ නිර්භීත අත්හදා බැලීමක් සහ සමස්තයක් වශයෙන් ඉතා හොඳ චිත්‍රපටයක්. අපට Godmother හා සමාන චරිතයක් මෑත කාලීනව හින්දි සිනමාවෙන් දැක ගැනීමට හැකි වන්නේ Alia Bhatt රංගනයෙන් දායක වන Gangubai චිත්‍රපටය හරහා. Gangubai චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ආලියා බාට්ද ශබානා අස්මී සමානවම පෙරළියක් ඇති කළා යන කාරණය සඳහන් කළ හැකිය.