Gifted (2017) English | Sinhala Article

Gifted (2017)Gifted (2017) English by Hashan Randika Dias

හැම දරුවෙක්ම විශේෂයි, නමුත් සමහර දරුවන් ඉන්නව ටිකක් වැඩිපුර විශේෂයි. විශේෂයි කියන්නෙ මේ දරුවන්ට සහජයෙන්ම පිහිටල තියන බුද්ධිමය හැකියාව මේ වයසෙ අනෙක් දරුවන්ට සාපේක්ෂව සෑහෙන ඉහළයි. මේ වැනි අය ගැන තියන බොහෝම ප්‍රසිද්ධම උදාහරණය කවුරුත් දන්න මෝසාර්ට් නම් සංගීතඥයා ගෙ ජීවිතය. මෝසාර්ට් තමන්ගෙ මුල්ම සංගීත නිර්මාණය කරන්න පටන් ගන්නෙ අවුරුදු පහේ දි. රටේ ඉන්න සුප්‍රසිද්ධම පියානෝ වාදකයෙක් බවට මෝසාර්ට් පත්වෙන්නෙ අවුරුදු දහය වෙනකොට . හොයල බැලුවොත් ඉතිහාසය පුරාම මේ වගේ නොයෙක් විෂය ක්ෂේත්‍රවල දක්ෂකම් පෙන්නුව දරුවන් හිටිය බව සොයාගන්න පුලුවන්.

මේරි කියන්නෙත් එහෙම විශේෂ බුද්ධිමය හැකියාවක් තියන පුංචි ගෑනු ලමයෙක්. මේරිගෙ වයස අවුරුදු හතයි. හැබැයි මේරිට තියන ගණිතමය හැකියාව නම් අවුරුදු විසි හතක නෙමේ පනස් හතක කෙනෙකුටවත් කිට්ටු කරන්න බැරි මට්ටමේ එකක්. මේරිගේ තාත්ත පොඩි කාලෙම එයාව දාල ගිහින්. මේරිගෙ අම්ම Diane ප්‍රසිද්ධ ගණිතඥවරියක්. අම්මත් මේරි කුඩා කාලෙම ජීවිතේ හැර ගිහින්. නමුත් අම්ම මිය යන්න කලින් මේරිව එයාගෙ එකම සහෝදරය, මේරිගෙ මාම Frank ට බාර දෙනව. එතැන ඉඳන් මේරි හැදී වැඩෙන්නෙ එයාගෙ මාම ලඟ. මේරිට වයස හත වෙනකොට Diane ගෙත් Frank ගෙත් අම්ම වෙන සහ මේරි ගෙ ආච්චි එව්ලින්, Frank ව මුණගැහෙන්න එනව. මේරිව හදා වඩා ගන්න අයිතිය ඉල්ලමින් එව්ලින් තමන්ගෙ පුතා Frank හමුවෙන්නෙ. ඇය ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය පසුබිමත් හදාගෙනයි එන්නෙ.

ඇත්තටම මේරි Frank ලඟ ඉන්නෙ බොහෝම සතුටෙන්. මාමගෙයි දියණනියගෙයි බැඳීම බොහෝම සමීප එකක්. තනිකඩයෙක් වුණු Frank මේරිට හරිම ආදරෙයි. නමුත් දැන් Frankට මේරිව අතහරින්න වෙලා. ඔහුට මේරිගෙ අයිතිය වෙනුවෙන් නීතිය ඉදිරියට යන්න වෙලා. හරියට හුණුවටයෙ කතාවෙදි වගේ එක දරුවෙක් වෙනුන් අයිතිය කියන දෙපාර්ශවයක් මේ කතාවෙ අපිට දකින්න ලැබෙන්නෙ. මේරිගෙ මිත්තනිය එව්ලින් කියන්නෙ ධනය බලය අතින් සමාජයෙ ඉහළින් වැජඹෙන තැනැත්තියක්. මේරිගේ ගණිතමය හැකියාව වැඩිදියුණු කරල ඇයව ලෝකයෙ ශ්‍රේෂ්ඨ ගණිතඥවරියක් කිරිමයි එව්ලින් ගෙ අරමුණ. නමුත් Frank කියන්නෙ එහෙම විශේෂ බලවත් කමක් නැති, එදාවේල හොයාගෙන ජීවත් වෙන සාමාන්‍ය මනුස්සයෙක්. ඔහුට අවශ්‍ය නෑ වයසට නොගැලපෙන අධ්‍යාපනයක් මේරිට පොවල ඇගේ ළමා වයස ඇයට අහිමි කරන්න. ඇයත් අනෙක් ලමයින්ව ආශ්‍රය කරන ඔවුන් එක්ක සෙල්ලම් කරන දුවන පනින සාමාන්‍ය ලමයෙක් කරන්නයි Frank ට ඕන. ඉතින් ඔය දෙපාර්ශවයෙන් අවසානෙ කාට මේරිව ලැබෙයි ද. ඇගෙ ඉරණම කොහොම විසඳෙයි ද. ඒ ගැන දැනගන්න නම් Gifted චිත්‍රපටය බලන්න.

මේරි ගෙ චරිතය නිරූපණය කරන Mckenna Grace ගෙන් ඒ චරිතයට ගැලපෙන හොඳ රඟපෑමක් ලබාගන්න අධ්‍යක්ෂවරයා සමත්වෙලා තියනව. ඒවගේම Chris Evans සුපුරුදු සුපිරි වීර චරිත වලට එහා ගිහින් ඕනෑම ආකාරයෙ රංගනයක් තමන්ට කලහැකි බව පෙන්වා තියනව. මේ මාමාත් දියණියත් අතර chemistry එක චිත්‍රපටය ඇතුළෙ ගොඩනංවනව බොහොම ලස්සනට. ජීවිතේ ගැන සමාජයෙ තියන මතවාද එහෙම පිටින්ම දරුවාගෙ ඔලුවට දාන්නෙ නැතුව තමන්ගෙ බුද්ධියෙන් හිතල තමන්ගෙම අවබෝධයෙන් ජීවිතේ තේරුම් ගන්න ඔහු ඇයව මෙහෙයවන හැටි බලන්න වටිනව. ලමයි කියන්නෙ පොත් කටපාඩම් කරන්න, විභාග පාස් කරන්න ඉන්න මැෂින් වගේ කොටසක් කියල හිතන, ඉන්පස්සෙ කොහොම හරි කරල දරුවන්ව සමාජෙ ඉහලට යවන එක තමන්ගෙ එකම වගකීම කියල හිතන් ඉන්න දෙමව්පියො ඉන්න සමාජෙකට Gifted හොඳ පාඩමක් කියාදෙන චිත්‍රපටයක් බවයි මම හිතන්නෙ.

Gifted scored 7.6 out of 10 on IMDb.

Gifted scored 73 percent on Rotten Tomatoes.

Gifted scored 60 percent on Metacritic.
76% liked this film Google users
Release date: April 7, 2017 (USA)
Director: Marc Webb
Box office: $43 million
Production companies: TSG EntertainmentFilmNation EntertainmentGrade A Entertainment; DayDay Films
Produced by: Karen Lunder; Andy Cohen
Distributed by: Searchlight Pictures

හෂාන් රන්දික ඩයස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *