Gehraiyaan (2022) Hindi by Ramitha Vimukthi
Spoiler Alert!
Gehraiyaan චිත්‍රපටයට ලැබුණු මිශ්‍ර ප්‍රේක්ෂක ප්‍රතිචාර දුටු විට, මාගේ මතකයට පැමිණියේ මීට වසර 16 කට පෙර තිරගත වූ Kabhi Alvida Na Kehna (KANK) චිත්‍රපටයයි. Kabhi Alvida Na Kehna යනු අධ්‍යක්ෂක කරන් ජෝහර් ඔහුගේ පෙර නිර්මාණයන් තුල පෙන්නුම් කළ බොහෝ අංගයන් තුලින් බැහැරවී, වෙනස්ම මාවතකට ගමන් කළ චිත්‍රපටයක්. කරන් ජෝහර්ම ඊට වසර කිහිපයකට පෙර නියෝජනය කළ වර්ණවත් වට්ටෝරු සිනමාව ඔහු විසින්ම බිඳ දැමුවේ KANK හරහා. මෙම චිත්‍රපටය හරහා ඔහු ඉදිරිපත් කළා නරඹන්නාවද ප්‍රශ්න කරවන සංකීර්ණ චරිත හතරක්. ඔහුගේ පෙර නිර්මාණයන් සමග සසඳද්දී එම කිසිදු චරිතයක්වත් කළු සුදු ලෙස ලේබල් ඇලවීමට ඉඩකඩක් ඔහු සලස්වා තිබුනේ නැත. විශේෂයෙන්ම එහි අපට හමුවන දේව් සහ මායාගේ චරිතයන්, එකල සමාජ සම්මතයට අනුව සැබෑ ප්‍රේමය සහ සාර්ථක විවාහ ජීවිතය පිළිබඳව තිබූ සම්ප්‍රදායික අදහස් පිලිබඳ නැවත වරක් සිතා බැලීමට පොළොඹවා තිබුනා. විවාහයට පිටින් වෙනත් පුද්ගලයෙකු සමග සම්බන්දයක් පැවැත්වීම නිවැරදිද/වැරදිද යන නිගමනයට වඩා, එහි සැබෑ ඇතුලාන්තය අධ්‍යනය කිරීමට ජෝහර් සමත් වුනා. කරන් ජෝහර් එම චරිත ද්විත්වය හරහා එකල පෙන්නුම් කළේ, අප බහුතරයක් කතා කිරීමට පැකිලෙන මාතෘකාවක්. බහුතරයක් මෙය තිරගත වූ කාලයේ මෙයට දැඩි ලෙස විවේචනය කරන්නට ඇත්තේ, එම සංකීර්ණ මිනිස් සත්වයා තුල අප දකින්නට අකමැති යථාර්තය පෙන්නුම් කළ නිසා නොවේද?. මෙම කතාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමට ශාරුක් ඛාන් සහ රාණි මුකර්ජී යන ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපල භාවිතා කිරීමද සුවිශේෂී කාරණයක්. මෙම චිත්‍රපටයට ශාරුක් සහ රාණි සම්බන්ද වීම එකල ඔවුන්ගේ රසිකයින් අතරද යම් අප්‍රසාදයක් මතු කළ කාරණයක්. කරන් ජෝහර් මීට වසර 16 කට පෙර සිදු කළ එම පෙරළියට සමානව, ශකුන් බත්‍රා නැවත වරක් හින්දි සිනමාවට ඒ ආරෙටම ගලා යන සංකීර්ණ කතා තේමාවක් ඉදිරිපත් කරනවා. එයද ප්‍රේක්ෂකගාරය පැති දෙකකට බෙදන ආකාරයේ සංකීර්ණ කතාවක්.
අලීෂා යනු වයස අවුරුදු 30 ක පමණ පසුවන යෝගා පුහුණුකරුවෙක්. ඇය යෝගා පහුණු කිරීම් සම්බන්දව app එකක් නිර්මාණය කර ගැනීමට ආයෝජකයෙකු සොයමින් සිටිනවා. නමුත් එය සම්බන්දව සාර්ථක ප්‍රතිපලයක් ඇයගේ පේන මානයක නැත. අලීෂාගේ පෙම්වතා වන කරන්ද ඇය හා සමාන අරගලයක සිටිනවා. නවකතාකරුවෙකු වීමට උත්සාහ කරන කරන් තම පළමු පොත පළ කිර ගැනීම වෙනුවෙන් දැඩි අරගලයක නියැලෙනවා. එම නිසා ඔහු වර්තමානයේ සිටින්නේ විරැකියාසහගත තත්වයක. තම පෙම්වතා සමග එකට ජීවත් වන අලීෂාට, කරන්ගේ විරැකියාසහගත බව සේම අතීතයේ සිදුවූ එක් අඳුරු සිදුවීමක් ඇයට දැඩිව මානසික පීඩනයක් ඇති කරනවා. අලීෂාගේ මෙම අරගලකාරී ජීවතයට කෙටි විරාමයක් ලැබෙන්නේ ඇගේ ඥාති සහෝදරියක් වන ටියාගෙන් ලැබෙන ඇරයුමකින්. සෙයින් නම් ව්‍යාපාරිකයෙකු සමග විවාහ ගිවිස ගෙන සිටින ටියා, අලීෂා සහ කරන් සමග ඇයගේ දෙමාපියන්ට හිමි beach house එකක නිවාඩුවක් ගත කිරීමට ඇරයුම් කරනවා. අලීෂා සහ සෙයින් මෙම කාලය තුල එකිනෙකාට සමීප වනවා. මෙම සමීපත්වයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ ඔවුන්ට කුඩා කාලයේදී දෙමාපියන්ගේ ගැටළු මත ඇතිවූ කම්පනයන්. අලීෂාගේ මව ඇය කුඩා කාලයේදී සියදිවි නසා ගෙන ඇති අතර, සෙයින්ගේ මව ඔහුගේ පියා විසින් ගෘහස්ත හිංසනයට ලක්වී ඇත. අතීතයේ සිදුවූ සිදුවීම් හමුවේ සිත් වේදනාවන් තුලින් සමීප වූ අලීෂා සහ සෙයින්, තම සහකරුවන්ට සොරෙන් ප්‍රේම සම්බන්දයක් ආරම්භ කරනවා. ඒ අනුව අලීෂාගේ ජීවිතයේ පිරිමින් දෙදෙනෙක් සහ සෙයින්ගේ ජීවිතයේ ගැහැණුන් දෙදෙනෙක් මෙතැන් පටන් ජීවත් වනවා. සියල්ලම ආරම්භයේ ප්‍රේමනීය වූවත්, ලෙහෙසියෙන් ගැලවිය නොහැකි නූල් බෝලයක ඔවුන් පැටලී අවසන්. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුමයි.
KANK සේම Gehraiyaan චිත්‍රපටයද අන්තර් පුද්ගල සම්බන්දව ඉදිරිපත් කරන්නේ ඉතාම මධ්‍යස්ත අදහසක්. අප කෙතරම් අන්තර් පුද්ගලික සම්බන්දතා ඇසුරෙන් සදාචාරාත්මක රාමු ගොඩනගා තිබුනත්, එය සමාජය තුල එදත් අදත් සහ මින් ඉදිරියටත් සිද්ද වන කාරණයක්. මිනිසුන් විවිදාකාර වූ හේතූන් වලට මෙවැනි සම්බන්දතාවයන්ට යොමු වනවා. තම වත්මන් සහකරු/සහකාරිය සමග නොමැති සුරක්ෂිත බව, පෙර තිබූ හැඟීම් අහිමි වීම, ලිංගික තෘප්තියක් නොමැති වීම, ගෘහස්ත හිංසනය සහ තම එදිනෙදා ජීවිතයේ අත්විඳීමට සිදුවන මානසික පීඩනයන් හමුවේ වැනි විවිද වූ හේතූන් මත මෙවැනි පිටස්තර සම්බන්දතා වලට යොමු වන්නට පුළුවන්. ඔබ එයට කැමති වූවත් අකමැති වූවත් අප ඇස් ඉදිරියේ දිගහැරෙන යථාර්තය එයයි. Gehraiyaan හි අපට මුණගැසෙන අලීෂා, සෙයින්, ටියා සහ විනෝද් යනු මෙම සමජයේ සැබවින්ම ජීවමාන වන චරිත. මෙම චිත්‍රපටයේ මෙම අන්තර් පුද්ගල සම්බන්දතාවයන්ට අමතරව තවත් ගැඹුරින් පෙන්නුම් කළ සාධකයක් වූයේ, ළමා කාලයේ ඇති වුනු මානසික පීඩනයන් පුද්ගලයෙකුගේ වත්මන් තත්වයට කෙතරම් බලපෑමක් කරයිද යන කාරණය. අලීෂා, සෙයින් සහ ටියා තුල අඩු වැඩි වශයෙන් මෙම ලක්ෂණයන් දැක ගත හැක.
Gehraiyaan චිත්‍රපටයේ තිර රචනයට Shakun Batra ඇතුළුව Ayesha Devitre, Sumit Roy සහ Yash Sahai ද සම්බන්ද වනවා. මෙහි ප්‍රධාන චරිත ත්‍රිත්වයේ සේම විනෝද් වැනි සහාය චරිතයන්ද ඉතා සාර්ථකව අධ්‍යනය කිරීමට මෙහි රචකයින් සමත්වී තිබෙනවා. නමුත් චිත්‍රපටයේ දෙවෙනි හෝරාව තුල plot twists කිහිපයක්ම එකවර ඉදිරිපත් කිරීම නිසා, කතාවේ රිද්මයට යම් මට්ටමක හානියක් සිදු වුනා. ඒ කෙසේ නමුත් මෙහි චරිතයන් කෙරෙහි දක්වපු අවධානය පවත්වා ගත් නිසා, එය ප්‍රභල බාධකයක් වූයේ නැත. දීපිකා පදුකෝන්ට කලකට පසුව සංකීර්ණ චරිත රංගනයක නියැලීමට Gehraiyaan හරහා අවස්ථාවක් ලැබී තිබෙනවා. අලීෂාගේ චරිතය තුල ඇති එම මානසික කඩා වැටීම සහ අන්තර් ප්‍රේම සම්බන්දයක මැදිව වෙනත් සංකීර්ණ අන්තයකට ගමන් කරන එම ගැහැණියගේ චරිතය ඉතා තාත්වික ලෙස පදුකෝන් රඟ දැක්වුවා. සෙයින්ගේ චරිතය හරහා සිද්ධාන්ත චතුර්වේදීට ඔහු සතුව තිබෙන විවිද වූ රංගන පරාසයන් පෙන්වීමට හැකි වනවා. සෙයින්ගේ චරිතයේද අතීතය සම්බන්දව ඇතුලත් වන එම බිඳ වැටීම සහ අවස්ථානුකූලව පෙන්නුම් කරන එම කළු සුදු මිශ්‍ර ගති ලක්ෂණ සිද්ධාන්ත් ඉතා සාර්ථක ලෙස ඔහුගේ රංගනය හරහා ඉදිරිපත් කළා. ටියාගේ චරිතය රඟ දැක්වූ අනන්‍යා පාන්ඩේද එම චරිතයට සාදාරණයක් ඉෂ්ට කිරීමට සමත් වුනා. ඒ සමගම නසීරුදීන් ශාහ්ද ඉතාම සීමිත කොටසකින් අමතක නොවන රංගනයක් ඉදිරිපත් කළා.
කලකට පසුව හින්දි සිනමාවෙන් නිර්මාණය වූ සුවිශේෂී චිත්‍රපටයක් ලෙස Gehraiyaan හඳුන්වන්නට පුළුවන්. එම නිසා මෙය ඔබටද නැරඹීමට යෝජනා කරනවා.