Gautham Vasudev Menon; To Infinity & Beyond- 05

Gautham Vasudev Menon; To Infinity & Beyond- 05
ආදරය කියන්නේ හරියට නිකං හුළඟක් වගේ. ඒක කොයි වෙලාවක, මොන පැත්තකින් අපිව සිප වැළඳගෙන හමා යයිද කියන්න කවුරුත් දන්නෑ. මොන වේශයකින් අපි ඉදිරියට එයිද කියන්න කවුරුත් දන්නෑ. ආදරය තුළ අපි මොනවිදියට ප්රතිචාර දක්වයිද කියන්න දන්නෑ. කොටින්ම කිව්වොත් ආදරය කියන්නේම මහා අබිරහසක්, ප්රහේලිකාවක්.
නොහිතන, නොපතන වෙලාවක ඇවිත් නොහිතන,නොපතන වෙලාවක සුනදර මතකයන් ඉතිරි කරලා අපිව අතෑරලා යනවා නම් ඒ ආදරයම තමයි….
96 කියන්නේ ගොඩක් දෙනෙකුගේ හදවතට කතා කරපු චිත්රපටියක්. 96 වලට කලින් තිබුන හදවතේ පතුලටම කතා කරපු චිත්රපටියක් තිබුනනම් ඒ අනිවාර්යයෙන්ම Vinnaithaandi Varuvaya(2010) චිත්රපටිය තමයි. ගෞතම් වාසුදේව් මෙනන්ගෙ ප්රේමණීය මාස්ටර්පීස් ෆිල්ම් එක. ඒ වගේම ආදායම අතින් අති සාර්ථකයි. බ්ලොක්බස්ටර් ෆිල්ම් එකක්. Total grossed income එක ඉන්දියානු රුපියල් මිලියන 500 කියලා තමයි කියැවෙන්නේ.
චිත්රපටිය සම්මාන 21 දිනලා තියනවා විවිධ සම්මාන උත්සව වලදි. නමුත් මේ චිත්රපටි ලියලා, අධ්යක්ෂණය කරපු මනුස්සයට එක සම්මානයක් නෑ!! ඒක තමිල්නාඩුවේ ගතිය.
58th Filmfare Awards south 2011 Best Director nominees අතර ගෞතම් මෙනන්, සෙල්වරාඝවන්(ආයිරතිල් ඔරුවන්) සහ ශංකර්(එන්තිරන්) තුන්දෙනාම ඉඳලත් ඒ තුන්දෙනාගෙන් එක්කෙනෙකුට හොඳම අධ්යක්ෂකවරයා විදියට සම්මානය ලැබුණේ නැත්තේ ඇයිද කියන එකත් හරියටම ආදරය වගේම ⁣ප්රහේලිකාවක්!
මෙහි කතාව ගැන එක වචනයක්වත් කියන එක අනවශ්යයි. හැමෝම දන්නවා ඒක මොකද්ද කියලා. නොදන්නා අය චිත්රපටි බලන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.
මොකද කිව්වොත් මේ චිත්රපටිය ගැන කියන්න මටත් වචන නෑ වගේ.
සමාජයේ සම්මතයක් තියනවා කාන්තාවට වඩා පිරිමියා වයසෙන් වැඩි විය යුතුයි කියලා. ඒත් දෙවියනේ ආදරය කොහොමද වයස අඳුරගන්නේ….
ඒක එන්නේ කලින් කියලා විස්තර දන්වලා ටෙලිග්රෑම් ගහලා නෙවෙයිනේ….
කෙනෙක් එකපාරටම ජීවිතේට එනවා. ආදරය කරනවා. ජීවත් වෙනවා; සමහරවිට සදාකාලිකවම වෙන්න පුලුවන්. එහෙම නොවුනොත් හදවත කෑලි කෑලි වලට කඩලා දාලා යන්න යනවා. ඒත් ඒ පුද්ගලයා වෙනුවෙන් බැඳුනු ආදරය එහෙම ලේසියෙන් හිතෙන් යන්නේ නෑ. ඒ ආදරය කූඬැල්ලෙක් වගේ හදවතේ එල්ලිලා වඩ දෙනවා. රිදවනවා. පිටින් හොඳින් ඉන්නවා වගේ පෙන්නලා අභ්යන්තරයෙන් කෑලි කෑලි වලට කඩලා දානවා. මේ ක්රියාදාමයට කියන සාහිත්යමය වචනය තමයි විරහව. ආදරයට පස්සේ එන්නේ විරහව.
මම දන්නෑ GVM කොහොම මේ හැඟීම් මේ තරම් සාර්ථකව තිරයක් මතට ගෙනාවද කියලා. GVM කියන්නෙ මැජික්කාරයෙක්. දමිළ චිත්රපටි ලෝකයේ ඩේවිඩ් කොපර්ෆීල්ඩ් තමයි ගෞතම් මෙනන්. ඔහු මිනිස්සුන්ට හොඳටම රිදෙන, වදින තැනට ගහනවා.
A.R රහුමාන්ගේ සංගීතය තමයි ගෞතම් මෙනන්ගෙ කතාවට පියාපත් දුන්නේ. මේ ලිපිය ලියන ගමන් මම අහගෙන ඉන්නේ Vinnaithaandi Varuvaya චිත්රපටියේ ඕඩියෝ ඇල්බම් එක. ඒ සංගීතය ගැන කියන්න මට වචන නෑ❤️❤️❤️
සතුටත් දුකෙත් සම්මිශ්රණයක් මේ සංගීතය ඇතුලේ තියනවා. ඔබේ හිත වේදනාවෙන් පිරිලා නම් මේ සංගීතයට සවන් දෙන්න. වචනයක්වත් නොතේරුනාට කමක් නෑ. නමුත් අහලා ඉවර වෙද්දි ඔබේ හදවත සංසුන් වේවි.

 

Vinnaithaandi Varuvaya චිත්රපටිය Ye Maaya Chesave තෙලිඟු භාෂාවෙන් ප්රතිනිර්මා

ණය වුනා. නාගචේතන්යා සමග සමන්තා තමයි ප්රධාන චරිත නිරූපණය කලේ. සමන්තාගේ පළවෙනිම චිත්රපටිය. අද සමන්තා ඉන්න තැන ගැන අමුතුවෙන් යමක් කියන්න අවශ්ය නෑනේ. ඒ වගේම මේ චිත්රපටියේ ඉන්නේ සමන්තා කියලා දැනගෙන බැලුවේ නැත්තන් සමන්තව අඳුරගන්නත් බෑ කීයටවත්ම. දමිළ චිත්රපටියේ වගේ නෙවෙයි මෙහි තියෙන්නේ happy ending එකක්. ඒක නිෂ්පාදකවරයගේ ඉල්ලීම නිසා ඒ විදියට වෙනස් කලා කියලා තමයි GVM කියන්නේ.

බලලා නැති අයට අනිවාර්යයෙන්ම තෙලිඟු චිත්රපටි බලන්න කියලා මම යෝජනා කරනවා. රීමේක් එකකට වඩා චිත්රපටි දෙකක් විදියට වෙන වෙනම රසවිඳින්න පුලුවන් චිත්රපටි දෙකක්.
දැනට අවුරුදු හතරකට කලින් තිබුනු එක සාකච්ඡාවකට ගෞතම් මෙනන් සමග තෙලිඟු සිනමාවේ අසහාය අධ්යක්ෂකවරයා වන රාජාමෞලි සර් සහභාගි වෙනවා. L.V. ලාල් ප්රසාද් ෆිල්ම් & ටීවී ඇකඩමි ආයතනයේ ඉගන ගන්න අය වෙනුවෙන් තමයි ඒ සාකච්ඡාව පැවැත්වුනේ. එතන හිටපු ළමයි මේ දෙන්නගෙන් ප්රශ්න ඇහුවා. ඒක ඉවර වෙද්දි රාජාමෞලි සර් මයික් එක අතට අරගෙන මෙහෙම කිව්වා;
“මට ගෞතම් සර්ගෙන් අහන්න ප්රශ්නයක් තියනවා. ඒක තමයි, සර් ඇත්තටම මම ලව් ස්ටෝර්ස් කරන්න කැමති නෑ. මම කැමති ෆයිට්ස් තියන ෆිල්ම්ස් වලටයි. ඒත් මගේ පුතා පහුගිය කාලයක් තිස්සේ මට විසි සැරයක් විතර බල කලා යේ මායා චේසාවේ චිත්රපටියක් බලන්න කියලා. අන්තිමේට දවසක් එයා මාව ඇදගෙන ගිහිල්ලා කාමරේකට දාලා ලොක් කරලා ඩීවීඩී එක්ක දාලා ඒ ෆිල්ම් එක බලන්න දුන්නා. සර් මට තේරෙන්නෑ හරියටම මට දැනුන හැඟීම කියාගන්න, හරියට නිකං මගෙන් කොටසක් ඒ චරිත එක්ක මූව් වෙනවා වගේ දැනුනෙ. කවදාවත් එහෙම වෙලා නෑ ෆිල්ම් එකක් බලද්දි. ගෞතම් සර්, කොහොමද මේවා කරන්නේ? කොහෙන්ද මේ ජෙසීව හොයාගත්තේ?”
“සර්ගෙ පුතාට වයස කීයද?”
-“අවුරුදු විසිතුනයි”
“සර්ගෙ පුතාගේ ජීවිතේ ජෙසී කෙනෙක් ඉන්නවා වෙන්න ඇති. සර්ගෙ ජීවිතෙත් අනිවාර්යයෙන්ම ඉන්න ඇති.
මම අත්දැකීම් වලින් තමයි කතාවක් හදන්නේ. මගේ වෙන්න පුලුවන්, තව කෙනෙකුගේ වෙන්න පුලුවන්. ජෙසීලා හැමතැනම ඉන්නවා!!”
සමහරවිට අත්දැකීම් වලින් කරන වැඩ නිසා වෙන්න ඇති මේ චිත්රපටිය දහදසහ් සංඛ්යාත තරුණ පිරිසක් හදවතින්ම වැලඳගත්තේ.
ඔබේ ජීවිතෙත් කාර්තික් කෙනෙක් ජෙසී කෙනෙක් ඇති. හිටියත් නැතත් මේ චිත්රපටිය බලන්න…
ජෙසීලා කාර්තික්ලා හැමතැනම ඉන්නවා!!!
“Yen idhayam
Udaithaai norugave…..
En maru idhayam
Tharuven nee udaikkave……….”
To be continued…….

ඉන්දීවරී හේරත්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *