Gautham Vasudev Menon; To Infinity & Beyond- 03
මේ ලිපියෙන් මම හිතාගෙන හිටියේ Vinnnaithaandi Varuvaaya චිත්‍රපටිය සහ එහි තෙලිඟු රීමේක් එක ගැන කතා කරන්න. නමුත් වැඩි දෙනෙක් කියලා තිබුනා තමන්ගේ කැමතිම GVM මූවි එක Vaaranam Aayiram කියලා. ඒක නිසා ඒ චිත්‍රපටිය ගැන කතා කරන්න හිතුවා.
මේ චිත්‍රපටිය වෙනුවෙන් ගෞතම් මෙනන්ට නැෂනල් අවෝර්ඩ් එකක්(Best Feature film in Tamil) ලැබුනා. කෙලින්ම හදවතට කතා කරන චිත්‍රපටියක්.
නැෂනල් අවෝර්ඩ් එකක් ලැබුන අධ්‍යක්ෂකවරයාට ෆිල්ම්ෆෙයා අවෝර්ඩ් එකක් තියා විජෙයි සිනමා අවෝර්ඩ් එකක්වත් ලැබුනෙ නම් නෑ හැබැයි. ඒක සාමාන්‍යයෙන් තමිල්නාඩුවේ හැටි, ලැබෙන්න ඕන මිනිහට කවදාවත් දෙයක් ලැබෙන්නේ නැහැ. නමුත් තමිල්නාඩුවෙන් ඔහුට නොලැබුන ඇගයීම ලැබෙන්න ඕන ඉහළම තැනින් ලැබුනා.
මේ චිත්‍රපටියේ ලොකු විශේෂත්වයක් තියනවා.
Vaaranam Aayiram චිත්‍රපටිය GVM හැදුවේ එයාගේ තාත්තට කරන ගෞරවයක් විදියට. 2007 වසරෙදි ඔහුගේ තාත්තා මිය යනවා. මේ චිත්‍රපටිය රිලීස් වෙන්නේ 2008 අවුරුද්දේ. තමන්ගේ තාත්තා එක්ක ගෙවපු ජීවිතේ අත්දැකීම් ඇසුරින් තමයි මෙහි ස්ක්‍රිප්ට් එක ලියැවෙන්නේ. බොහොම සීමිත සිද්ධි කිහිපයක් තමයි සැබෑ ජීවිතයේ සිදු නොවුන, නමුත් චිත්‍රපටියක් නිසා එයට අදාලවන විදියට ඇතුල් කරලා තියනවා කියන්නේ.

මේ චිත්‍රපටියේ සූරියා මිකැනිකල් ඉන්ජිනියරින් ඉගනගන්න යන්නේ මූගම්බිකා කොලේජ් ඔෆ් ඉන්ජිනියරින් කියන කොලේජ් එකය. GVM සැබෑ ජීවිතේ මිකැනිකල් ඉන්ජිනියරින් කලේත් ඒ කොලේජ් එකේම තමයි. එතකොට සූරියගේ තාත්තාගේ පෙනුම GVMගෙ තාත්තගෙ පෙනුමට සමානව අරගෙන තියනවා. වෙට්ටයියාඩු විලෛයාඩු චිත්‍රපටියේ ආරම්භයේදී නාමාවලියත් එක්ක තියන ක්ලබ් එකේ එක දර්ශනයකට ගෞතම් මෙනන්ගේ තාත්තා ඉන්නවා කියලා ඔහු වරක් සාකච්ඡාවකදි පැවසුවා. මේ චිත්‍රපටියේ ඉන්න තාත්තගේ නමත් අරගෙන තියෙන්නෙ තමන්ගේ තාත්තගෙම නමේ කොටසකින්.
චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේක පුතෙක්ගේ, පොදුවේ දරුවෙකුගේ ජීවිතේට තාත්තා කෙනෙක්ගේ සෙවණැල්ල මොනතරම් දුරට වැටිලා තියනවද කියලා කියාපාන චිත්‍රපටියක්.
මෙහි සූරියා විසින් ද්විත්ව චරිත නිරූපණය කරනු ලබනවා. ඔහුත් සමග සිම්රන්, සමීරා රෙඩ්ඩි ඇතුලු පිරිසක් රංගනයෙන් දායක වෙලා තියනවා.
ක්‍රිශ්නන් මලයාලියෙක්. මාලිනී මදුරාසි කෙල්ලෙක්. මේ දෙන්නා කොලේජ් එකේදි මුණගැහෙනවා. පළමු තත්පරයේදීම දෙන්නා ප්‍රේමයෙන් බැඳෙනවා. විවාහ වෙනවා. පුතෙක් උපදිනවා, ඔහු සූරියා. පුතාට පසුව තවත් දුවෙක් පවුලට එකතු වෙනවා.
සූරියා එක්ක තාත්තා නිතරම ඉන්නවා.
පුතා පාරේ කෙල්ලෝ එක්ක කතා කරගෙන ඉන්නවා දකින තාත්තා පුතාට කියන්නේ
“පාරේ කතා කර කර ඉන්න එපා. එයාලට ගෙදරට එන්න කියලා කතා කරන්න” කියලා.
ටිකෙන් ටික කාලය ගත වෙලා සූරියාත් කොලේජ් එකකට යනවා. ඔහුගේ තාත්තා කියන්නේ එකම දෙයයි.
“ඔයා දැන් ලොකු කොල්ලෙක් පුතා. ඔයාට ඔයා ගැන බලාගන්න පුලුවන්. මම කොලේජ් ඇඩ්මිශන් එකට ඔයාගේ මාමාගෙනුත් සල්ලි ඉල්ලගෙනයි ඔයාව මෙතනට එව්වේ. ඒක නිසා හොඳට ඉගනගන්න.ඔයා දැන් මගේ හෙවනැල්ල යට නෙවෙයි ඉන්නේ. සතුටින් ඉන්න. ගොඩක් වෙනස් වෙන්න එපා. මාසෙන් මාසෙට මම සල්ලි එවන්නම්”
ඉතුරු ටික දැනගන්න ෆිල්ම් එක බලන්න වෙනවා.
මේ ෆිල්ම් එක මට නම් ගොඩක්ම දැනුන ෆිල්ම් එකක්. මට විතරක් නෙවෙයි ගොඩක් දෙනෙකුට ඒක එහෙම තමයි. දරුවෙක් තමන්ගේ තාත්තා වෙනුවෙන් කරපු දෙයක් නිසා මේක 100% හදවතින්ම කරපු දෙයක් වෙනවා. ඒක නිසාම වෙන්නැති මේ චිත්‍රපටිය අපිට මේ තරම් දැනෙන්නේ.
අසූව දශකයේ අග භාගයේ සහ අනූව දශකයේ මුල් අවුරුදු තුනේ හතරේ ඉපදුන මගේ වයසේ ඉන්න සහෝදර සහෝදරියන්ට මම විශේෂයෙන්ම යෝජනා කරනවා මේ චිත්‍රපටිය බලන්න කියලා. බලලා තියනවා නම් ආයෙත් බලන්න. මේ චිත්‍රපටියේ තියන තාත්තගේ ආදරය හොඳටම දැනෙන්නේ දැන් කියලයි මට හිතෙන්නේ.

මේ චිත්‍රපටියේ සූරියගේ රඟපෑම අති විශිෂ්ඨයි. ඔහුට ෆිල්ම්ෆෙයා ඇතුලු තවත් සම්මාන කීපයක් ලැබුනා හොඳම නළුවා විදියට. සුරියාට රඟපාන්න පුලුවන් කියලා මම විශ්වාස කලේ මේ චිත්‍රපටිය බැලුවට පස්සේ. සිම්රන්ගේ තියෙන්නෙ සූරියට නොදෙවෙනි රංගනයක්. හරිම ලස්සන භාව පූර්ණ රංගනයක්. ඇයටත් සම්මාන උලෙල කීපයකදීම ඇගයීම් ලැබුනා.
චිත්‍රපටියේ කතාවට සංගීත නිර්මාණය තුලින් ලොකු පිටුවහලක් ලැබුනා. හැරිස් ජයරාජ් නියමෙටම ඒ වැඩේ කරලා තියනවා.
ඔබ චිත්‍රපටිය බලද්දි ඇස් දෙක වහගෙන මේ ගීත රසවිඳින්න.විෂුවල් එකක් හිතේ මැවෙයි

චිත්‍රපටියේ අවසානයට තියෙන සටහනින් මමත් මගේ සටහන නිමාකරන්නම්.
“ඔබ තමයි මට මේ මුහුණ ලබාදුන්නේ
ඔබ තමයි මට මේ ශරීරය ලබාදුන්නේ
ඔබ තමයි මට මේ ජීවිතය ලබාදුන්නේ
මට මගේ සියල්ලමත් ඔබම තමයි
ස්තූතියි තාත්තේ!
“

