Frances Ha (2012) English | Sinhala Article

Frances Ha (2012) English by Hashan Randika Dias 

සමහරු ඉන්නව කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ. හැමදාම ඔහොම ඉඳල පුලුවන්ද ඉතින් දැන්වත් හොඳ රස්සාවක් හොයාගෙන කසාදයක් බැඳල පිළිවලක් වුණොත් නේද හොඳ කියල තමන්ගෙ නෑදෑ හිතමිත්‍රයින් කොයිතරම් කිව්වට ඒ අයට නම් මේ දේවල් වගක් නෑ. ඇත්ත ඉතින්, ජීවත් වෙන්න නම් මොකක් හරි රස්සාවක් කරන්න ඕන තමයි. ආදරයක් ජීවිතේ ඇතුළෙ ලබන්න ඕන තමයි. ඒත් කවුරුත් කිව්ව පලියට ඒව ලැබෙනව ද. අපිට හීන නැද්ද.. හදවතින්ම සතුටින් කරන්න පුලුවන් දෙයක් නෙමේ ද ජීවිතේ ඇතුළෙ අපි තෝරගන්න ඕන. එහෙම නැතුව මොන දේ ලබා ගත්තත් වැඩක් තියනවද තමන්ගෙ ආත්මය පාවා දීල. හිතට එකඟව ඉන්න බැරි තැන් වල නතර වෙනවට වඩා මේ අපිළිවෙළ පිස්සු විකාර ජීවිතේ හොඳ නැද්ද….

ඔය විදිහට හිතන්න සහ ඒ අනුව ජීවිත්වෙන්න පුරුදු කරගත් අය වෙනම කාණ්ඩයක මනුස්ස කොට්ටාසයක් විදිහට තමා සාමාන්‍යයෙන් සමාජෙ සලකන්නෙ. නමුත් ටිකක් ආශ්‍රය කරබැලුවොත් ඔය ජීවිත ඇතුළෙ මතුපිට පේන්න තියන්න අවුල්සහගත බවට යටින් තියන සැබෑ මනුස්ස හදවත දැකගන්න ලැබේවි. Frances Ha චිත්‍රපටයත් ඒ වගේ ජීවිත විවරණයක් කිව්වොත් නිවැරැදියි. සාමාන්‍යයෙන් ඇමරිකානු සමාජෙ තරුණ තරුණියන් තමන්ට කියල දෙයක් කරගන්න පුලුවන් කමක් ලැබෙන්න පටන් ගන්නකොට දෙමව්පියන් අතහැරදාල තමන්ගෙම ජීවිතේ හොයාගෙන යනව. ෆ්‍රාන්සස් එහෙම නිදහස්කාමී ජීවිතයක් ගෙවන අවුරුදු විසි හතක තරුණියක්. ෆ්‍රාන්සස් එයාගෙ පොඩිකාලෙ ඉඳන් හොඳම යාලුව වුණු සොෆී එක්ක එක නවාතැන බෙදාහදාගෙන ජීවත් වෙන්නෙ. නිදහස්කාමී ජීවිතයක් වුණාට ඒ ජීවිතේ පහසු නෑ. ෆ්‍රාන්සස් ගෙ හීනය නාටිකාංගනාවක් වෙන්න. හරි හැටි වෘත්තීය තත්ත්වයක් ගොඩනගා ගන්න බැරි වුණොත් තියන ආර්ථික අමාරුකම් එක්ක ජීවිතේ පවත්වගෙන යන්න අපහසුයි. ෆ්‍රාන්සස් තවම තනිකඩයි. එයාගෙ යාලු මිත්‍රයින් හැමෝටම වගේ පෙම්වතුන් පෙම්වතියන් හිටිය වුණත් ෆ්‍රාන්සස්ට තමන්ගෙ මිතුරිය ඇරෙන්න වෙන ආදරයක් නැහැ. නිදහස් විනෝදකාමී චරිතයක් වුණත් ආදරය වගේ මාතෘකාවකදි ෆ්‍රාන්සස් සෑහෙන සංවේදී කෙනෙක්. ඇගේ මේ අපිළිවෙල ජීවිත රටාව Frances Ha චිත්‍රපටයට මුල් වෙන්නෙ.

Frances Ha කලු සුදු මාධ්‍යයෙන් නිර්මාණය කල සිනමාපටයක්. අධ්‍යක්ෂණය සහ තිරරචනාව Noah Baumbach ගෙ. 2019 ඔස්කාර් නිර්දේශ ලබපු සුප්‍රසිද්ධ Marriage Story චිත්‍රපටයත් ඔහුගේ නිර්මාණයක්. චිත්‍රපටය ඇතුළෙ වැඩියෙන්ම කැපිල පෙනෙම දේ තමා ෆ්‍රාන්සස් ගේ චරිතය. ෆ්‍රාන්සස් ගේ චරිතය රඟපාන්නෙ පහුකාලීනව Lady bird, Little women වගේ චිත්‍රපට නිර්මාණය කළ Greta Gerwig. Greta ඒ තරුණ සුන්දර රූපකාය තුළින් ෆ්‍රාන්සස්ව මතුකරගෙන තිබුණු ආකාරය නැරඹූ කෙනෙකුට නම් ලේසියෙන් අමතක නොවෙන යමක් වේවි. Frances Ha තිරපිටපත රචනා කරන්නෙ Noah සහ Greta එක්ව. ඒ වෙනකොටත් මේ දෙන්න විවාහයෙන් එකිනෙකා සමඟ බැඳී අවසන්.

චිත්‍රපටයෙ තැනක ෆ්‍රාන්සස් ගෙන් කෙනෙක් අහනව ප්‍රේමසම්බන්ධකම් ගැන ඇගෙ අදහස. ඈ දෙන පිළිතුර ඇතුළෙ ඈ හදවතින්ම ආදරය කියල විශ්වාස කරන දේ මොකක්ද කියල නිරාවරණය වෙන බව මම හිතනව. මේ ඒ වචන පේළියෙ සරල පරිවර්තනය.

“ඒක මෙන්න මෙහෙම දෙයක්. ඔයාට ඉන්නව කෙනෙක්. ඔයා එයාට ආදරෙයි සහ එයා ඒ බව දන්නව. එයත් ඔයාට ආදරෙයි සහ ඔයත් ඒ බව දන්නව. ඒත් හිතන්න. අපි ඉන්නෙ ලොකු සාදයක් මැද. ඔයාල දෙන්නම වෙන වෙන මිනිස්සුත් එක්ක කතා කරමින්, හිනාවෙමින් හරිම සතුටින් ඉන්නව. ඔයා කාමරේ අනෙක් පැත්ත බලපු ගමන් ඔයාගෙ ඇස් දෙකට අහුවෙනව ඒ ඇස් දෙක. ඒත් වෙන හේතුවක් නිසා නෙමේ ඔයා එහෙම බලන්නෙ. ඒ තමා ජීවිතේ ඔයාට නියමිත කෙනා. ඒක හරි විකාරයි ඒ වගේම දුකයි. අපේ කාලය ඉක්මනටම ඉවර වෙනව. ඒත් අපි විතරක් දන්න පුංචි ලෝකෙ පවතිනව කවුරුත් නොදැනම. ඒක හරියට අපි එක්ක වෙනත් සමාන්තර විශ්වයක් පවතිනව වගේ දෙයක්. බැඳීමක් ඇතුළෙ මට ඕන එහෙම දෙයක්. එහෙම මොකවත් නොවුණොත් මට, මේ ජීවිතේ නිකම්ම ඔහේ ගතවෙලා යාවි මම හිතන්නෙ”

Frances Ha scored 7.4 out of 10 on IMDb.

Frances Ha scored 93 percent on Rotten Tomatoes.

Frances Ha scored 6.9 out of 10 on Filmaffinity.
90% liked this film Google users
Release date: May 17, 2013 (USA)
Director: Noah Baumbach
Budget: $3 million
Cinematography: Sam Levy
Distributed by: IFC Films
Production companies: RT Features; Pine District; Scott Rudin Productions

හෂාන් රන්දික ඩයස්

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *