Foundation (2021) English | Sinhala Article

Foundation (2021) English by Sahan Thirimanne

අදින් අවුරුදු හතලිස් හත්දාහක් විතර එහා අනාගතයේදී වෙන කතාවක් තමා Foundation සීරීස් එකේ දිග හැරෙන්නෙ. මේ සැප්තැම්බර් 24 වෙනිදා මේකෙ එපිසෝඩ් තුනක් රිලීස් වෙනව කියල තියෙනවා. ඉතුරු ටික ඉන්පස්සේ සතියට එක ගානෙ එනවා. පලවෙනි සීසන් එකේ එපිසෝඩ් දහයයි. මේකෙ දෙවෙනි සීසන් එකකුත් හදන බව පළවෙනි සීසන් එක යන්න කලින්ම ඇපල් සමාගම ප්‍රකාශ කරල තියෙනවා.

ඉතිං මේක පොත් සෙට් එකක්නෙ. අයිසෙක් ඇසිමෝව් තමා ලියල තියෙන්නේ. එයා නම් සුප්‍රසිද්ධ ලේඛකයෙක්. Foundation සීරීස් එක මුලින්ම පල වුනේ කෙටි කතා සෙට් එකක් විදිහට. ඒ 1942-55 අතර කාලයේ. පස්සෙ 1951-53 අතර කාලෙදි ඒ ටික පොත් තුනක් විදිහට පල වුණා, ඒ Foundation, Foundation and Empire සහ Second Foundation විදිහට. ඔය පොත් තුන ලියල අවුරුදු තිහකට විතර පස්සෙ, රසිකයන්ගේ දැඩි ඉල්ලීම් නිසාම ඇසිමෝව් තවත් පොතක් ලියනවා Foundation’s Edge කියල හතරවෙනි පොත විදිහට. ඉන්පස්සේ ඒ ළඟින්ම තවත් පොතක් පලවෙනවා Foundation and Earth කියල. එතකොට පොත් පහයි. ඊටත් පස්සෙ prequels දෙකක් ලියවෙනවා Prelude to Foundation සහ Forward the Foundation නමින්. ඒ අනුව ගත්තම Foundation සීරීස් එකේ පොත් හතක් තියෙනවා, ප්‍රීකුවල්සුත් ඇතුලුව. මේ පොත් හත ඇතුලේ අවුරුදු දාහක විතර කාලයක් පුරා ක්ෂීරපථය තුළ සිද්දවෙන කතන්දරයක් කියවෙනවා.

ඉතිං ඇපල් ටීවී එකට මේ ටීවී සීරීස් එක නිර්මාණය කරපු ඩේවිඩ් ගෝයර් නම් කියල තියෙන්නේ සීරීස් එක හරියට හැදුවොත් පැයේ එපිසෝඩ් අසූවකින් (ඒ කියන්නෙ එපිසෝඩ් දහයෙ සීරීස් නම් අටක්) විතර කියන්න පුලුවන් බවත් ඒ මිසක් ෆිල්ම් එකකින් වගේ පැය දෙක තුනකින් නම් කරන්න කොහොමත් අමාරුයි කියලයි.

ඉතිං ඇත්තටම මොකද්ද මේ ෆවුන්ඩේෂන් එකේදි වෙන්නෙ? පසුබිම මොකද්ද ?

මේ කතාව පටන් ගන්නෙම අදින් දළ වශයෙන් අවුරුදු 47000 ක් විතර අනාගතයේදී. ඒ කාලෙ වෙද්දි මිනිස් වර්ගයා අපි ඉන්න මුළු ක්ෂීරපථයම වසා පැතිරිලයි ඉන්නෙ. ක්ෂීරපථය පාලනය කරන්නෙ Galactic Empire එකකින්. ඒකෙ අධිරාජ්‍යයා ඉන්නෙ Trantor නමින් හැඳින්වෙන ග්‍රහලෝකයක. මේක ග්‍රහලෝකයක් කිව්වට, තනි නගරයක්. ඒ ආකාරයට මුලු ග්‍රහලෝකයක් වසා එකම විදිහට පැතිරිලා තියෙන නගර හඳුන්වන්නෙ ecumonopolis කියලයි. (මේ වචනෙ මේ සීරීස් එකට විතරක් අදාළ එකක් නෙවෙයි. අනාගතයේදී මෙහෙම නගර ඇත්තටම ඇති වෙන්න පුලුවන් කියල විද්‍යාඥයො හිතනව.)

ඉතිං ඔය කාලෙම ඉන්නවා Hari Seldon කියල ගණිතඥයෙක්. මෙයා ව්‍යුත්පන්න කරන සංඛ්‍යාත්මක සමාජවිද්‍යා තියරියක් අනුව, එයාට වැටහෙනවා මේ තියෙන ගැලැක්ටික් එම්පයර් එක නුදුරේදීම විනාස වෙලා ගිහින්, (ඒ කියන්නෙ ලොකු කැරැල්ලක් වගේ දේකින්) මුලු මන්දාකිණියම අවුරුදු තිස්දාහක් විතර දීර්ඝ අඳුරු යුගයකට යනවා කියන එක. ඒ කියන්නෙ හරිහමන් ශිෂ්ඨාචාරයක් නැති සංස්කෘතියක් නැති කාලයකට මිනිස් සංහතියට මුහුණ දෙන්න වෙනවා කියන එක. ඒ වගේම, ඒ තියරිය අනුව ගණන් එහෙම හදල බැලුවම ඒ වෙන්න යන විනාශය මක් කරලවත් සම්පූර්ණයෙන්ම නතර කරන්න බැරි බවත් වැටහෙනවා. හැබැයි ඒ වෙන විනාශය නතර කරන්න බැරි වුනත්, ඉන් පස්සෙ ඇති වෙන අර කිව්ව අවුරුදු තිස්දාහක් විතර පවතින අශිෂ්ඨාරාත්මක, අඳුරු යුගය අවුරුදු දාහකට විතර අඩුකරගන්න ක්‍රමයක් තියෙන බව මෙයාට වැටහෙනව. ඒ කියන්නෙ දැන් තියෙන ශිෂ්ඨාචාරය නැති වෙලා ඊළඟට ආපහු ශිෂ්ඨාචාරයක් ඇති වෙනකල් තියෙන ‘ගැප්’ එක අඩුකරගන්න ක්‍රමයක්… ක්‍රමේ තමා දැනට තියෙන සම්පූර්ණ මානව දැනුම් පද්ධතිය අපේ ක්ෂීරපථයේ කොන් දෙකක තියෙන එක්තරා තැන් දෙකක ගබඩා කරල ඒ ඔස්සේ අර දෙවෙනි ශිෂ්ඨාචාරය ඉක්මනින් ඇරඹීම. නිකං බූස්ට් කිරිල්ලක් වගේ දෙයක්. ඉතිං ඔන්න ඔය වැඩේ කරන්න එයා පත්කරගන්න සංගමයක් වගේ එකමුතුවට තමා Foundation කියල කියන්නෙ. තේරුම් ගිය විදිහට Foundation දෙකක් තියෙනවා මන්දාකිණියෙ කොන් දෙකේ.

හැබැයි ඉතිං ඔය විදිහට යම්කිසි ගහනයකට, ඒ ගහනයේම හැසිරීම නිසා ඒකට අනාගතයේදී වෙන්න පුලුවන් දේ පුරෝකතනය කරල ඒ ගොල්ලන්ටම කිව්වම, ඒ ගැන ඒ ගොල්ලො දැනුවත් වීම නිසාම එතනින් එහාට සිද්දවෙන දේවල් පුරෝකතනය කරන්න බැරි වීමේ සිද්ධියකුත් තියෙනවා. මේක ඇත්තටම සමාජ විද්‍යාත්මක පදනමක් තියෙන කාරණාවක්. ඉතිං මේ සීරීස් එකේ වෙන්නෙත් ඕකමයි. මේ ගණිතඥය ගිහින් මෙන්න මෙහෙම දෙයක් වෙන්නයි යන්නෙ කියල අධිරාජ්‍යයාට දැනුම් දෙනව. එතනින් පස්සෙ වෙන්නෙ මොකද්ද ? ඒ ටික ඉතිං බලන්නම පුලුවන් නෙ.

හරි. ඉතිං මේ අයිසැක් ඇසිමෝව් ලියපු කතා සෙට් එක මුලින්ම චිත්‍රපට පෙළක් විදිහට හදන්න ඕනෙ කියල පටන් අරන් තියෙන්නේ 1998 දී නිව් ලයින් සිනමා සමාගමයි. නමුත් ඒ කාලෙම එයාල ලෝඩ් ඔෆ් ද රින්ග්ස් පොත් ටිකෙන් ෆිල්ම් සීරීස් එකක් හදන වැඩෙත් පටන් ගත්ත නිසා, මේක එහෙම්ම අතරමග නතර වෙනවා. ඉන්පස්සේ 2009 දී කොලොම්බියා චිත්‍රපට සමාගම විසින් මේ කතා වලින් චිත්‍රපට නිපදවීමේ අයිතිය තමන්ට පවර ගන්නව. ඉන්පස්සේ එයාල රෝලන්ඩ් එම්රික් සමඟ චිත්‍රපට පෙලක් හදන්න උත්සාහ කලත් ඒකත් සාර්ථක වෙන්නෙ නෑ. ඉනුත් පස්සෙ 2014 දී එම අයිතිය HBO සමාගම විසින් ලබාගන්නව.

කොහොම හරි 2018 දී ඇපල් සමාගම නිවේදනය කරනව එපිසෝඩ් දහයක ටීවී සීරීස් එකක් හදන බව. (මෙතෙන්දි Film rights සහ Television rights කියන්නෙ දෙකක් වෙන්නෝනෙ. ඒක නම් හරියටම පැහැදිලි නෑ.) එනිවේ මොක උනත් අපිට මොකද නේද ? කොහොම හරි වැඩේ උනානෙ. අනික ෆිල්ම් විදිහට නැතුව සීරීස් එකක් විදිහට හදන්න සෙට් වෙච්චි එක ලොකු දෙයක්. ආරංචි හැටියට ඇපල්ලා මේ වැඩේට (පළවෙනි සීසන් එකට) ඩොලර් මිලියන 50 විතර වියදම් කරල තියෙනවා. ට්‍රේල එක බැලුවමත් හොඳයි කියල පේනවා. ඉතිං බලමුකො මොන වගේද කියල. තව ටික දවසයිනෙ…

First episode dateSeptember 24, 2021

සහන් තිරිමාන්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *