Forrest Gump (1994) English by Iresha Jaweera
ජීවිතය කියන්නේ චොකලට් පිරුණු පෙට්ටියක්ලු ඔබ කවදාවත් දැනගෙන හිටියද ඔබට ඊළග මොහොතේ ලැබෙන්නේ මොනවගේ රසයක් ද කියලා
මිනිසාගේ කතා රසයේ ලොල් බවට වසඟ වූ කලාවක් වේ නම් ඒ සිනමාව යන්නට මා කියවු සටහනක තිබුණි. මිනිසා යනු සාමාජීය සත්වයෙකු ලෙස විග්‍රහ වන්නාවූ තැනදී චලනය යන්න එයින් බැහැර කළ නොහැක්කකි. ඉදින් සිනමාවේ පදනම ගත් කල ජීවය හා චලනය එයින් වෙන්කර තැබීම සිදුකළ නොහැකිවේ. කලාත්මක මාධ්‍යයක් ලෙස සිනමාව කියවා ගන්නා තැනදී ප්‍රේක්ෂකයාට නැවත නැවතත් ආවර්ජනය කරමින් තම සිතුවිලි සමඟ ගනුදෙනු කරන්නට අවකාශ ලබාදෙන සිනමා නිර්මාණයන් මුණගැසීම කොතරම් නම් ආහ්ලාදජනක වන්නේද? ජීවිතය පිළිබඳ ගැඹුරු සංවේදනාත්මක රූපරාමු පෙළක නතර වූ මොහොතක මෙම සිනමා නිර්මාණය පිළිබඳව නොලියා සිටින්නට නොහැකි වුණෙමි. සැබැවින්ම සිනමා නිර්මාණයක් යනු ජීවිතය සමඟ තදානුබද්ධව එක පෙළට ගමන් කරන්නාවූ අතිශය සියුම් කලා මාධ්‍යයක් යන්නට මෙය හොඳම නිදර්ශනයක් සපයනු ලබයි.
1994 දී රොබට් සෙම්ස්කිස් අතින් (Robert zemeckis) අධ්‍යක්ෂණය වෙන අපූර්ව ගැඹුරු නිර්මාණාත්මක සිනමා නිර්මාණයක් තිරය ඉදිරියේ කක්ෂගත වී තිබේ. එය Forrest Gump නම් සම්මානනීය චිත්‍රපටයයි. මට ඔබෙන් ප්‍රශ්නයක් අහන්න හිතුනා. ආබාධිත තත්ත්වයක් ඔබ දකින්නේ කොහොමද සමහරු නම් තාමත් ඒ දිහා වපර ඇහින් බලන්නේ කියලා මං කිව්වොත් ඔබ මොකද කියන්නේ. මේ ලෝකයට ජනිත් වන සෑම දරුවෙක්ම දෙමාපියන්ට මැණිකකි. ඉතින් ඒකට ලේබල් අවැසි නොවේ. යම් යම් හේතු කාරණාවන් නිසා අඩුපාඩු එක්ක ඔවුන් ජනිත වූවාට ඇතැම් විට ඔවුනට අපිව අභිබවා නැඟී සිටින්නට වගේම සමහර සුවිශේෂී දක්ෂතාවයන් ඔවුන් උපතින්ම රැගෙන එන්නේය. ඒ සඳහා බොහෝ උදාහරණ ඉතිහාසය තුළිනුත් කියවා ගත හැකිය. මේ ඒ ගැන දිගට කතා කිරීමක් නොව චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව වන Forrest උපත ලබන්නේත් එක්තරා ආබාධිත තත්ත්වයක් සමඟය. ඔහුගේ බුද්ධි වර්ධනයත් අඩු මට්ටමක පවතී. නමුදු චිත්‍රපටය ගලාගෙන යන අතරමඟ ඔහු නෙවෙයි අපියි ආබාධිත කියන කාරණය මට සිතුණි.
ඔහුගේ ඇසින් දකින ලෝකය කෙතරම් සුන්දරද ඔහුගේ උත්සාහය ඔහුට ජීවිතයේ අලුත් අලුත් දේවල් ළඟා කර ගන්නට, ඔහුගේ ජීවිතය සුන්දර කර ගන්නට හැකියාව ලැබේ. ඔහුගේ ආදරණීය මව තම පුතු ආබාධිතයි කියා කිසිම විටෙක නොසිතති. එපමණක් නොව ඔහුට ජීවිතය කියා දෙන්න කුඩා කාලයේ සිටම අපූරු යෙහෙළියක් මුණ ගැසේ. නමින් ඇය ජෙනීය. ආබාධිත දරුවෙක් ලෙස තම ජීවන ගමන් මඟ අරඹන ඔහුගේ ජීවිතයට හයියක් වෙන්නට ඔහුට ආදරය කරන්නට ඔහුව අගය කරමින් රැඳෙන්නට මේ ආදරණීයයන් දෙදෙනා හිදී.
ඔහු ආබාධිත තත්ත්වයක පසු වුණත් ඔහු සුවිසල් හදවත් ඇත්තෙකු ලෙස චිත්‍රපටිය පුරාම දිවයන්නේය. තමාව ප්‍රතික්ෂේප කළ, තමාට උසුළු විසුළු කරමින් පහර දෙන්නට පැමිණි පාසැල් මිතුරන්ගෙන් බේරීමට තම යෙහෙළියගේ අනු දැනුම මත ඔහු වේගයෙන් දුවයි. ඔහුගේ ඒ වේගය ඔහුට ලෝකයට යන්නට රුකුලක් වන්නේය. යකඩයක් වුණත් තලන්න තලන්න මුවහත් වන්නේ යම් සේද ජීවිතයේ තමා කෙතරම් ප්‍රතික්ෂේප වුවද ඔහුගේ උත්සාහය ඔහුට ලෝකය දෙසට යාමට මාවත විවර කර දෙන්නේය.
කුඩා දරුවන් ජීවිතය පිළිබඳව වටහා ගනුයේ අන් අයගේ ජීවිත දෙස බලාය. තම ආදරණීය මවගේ ජීවිතය තුළින් ජීවිතය පිළිබඳව හැදෑරීමට ඔහු උත්සාහ දරයි.ෆොරස්ට්ගේ බුද්ධි මට්ටමේ අඩුවීම හේතුවෙන් ඔහුව විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සිටින පාසලකට යොමු කළ යුතුය යන්න ප්‍රතික්ෂේප කරමින් ඔහු සාමාන්‍ය පාසලක් කරා රැගෙන යාමට මව දරන උත්සාහය තුළ ඇයට තම කය දරුවාගේ අනාගතය වෙනුවෙන් ප්‍රධානියාට ලබාදීමට සිදුවේ. එහි අපට හිතන්නට යටගිය කාරණාවන් බොහෝ ඇත.
මිහිමත පවතින්නාවූ මානව බැඳීම් හරි පුදුමාකාර වේ. එතුළින් අප ජීවිතයට ලබාගන්නාවූ අත්දැකීම් වලට වටිනාකම් දිය නොහැකිය. ලෝකය රැඳී පවතිනුයේද එකියන්නාවූ මානව බැඳීම් නිසාවෙනි. අනේකවිධ හැලහැප්පීම් බාධක දුක්දොම්නස් මැද ගලායන ජීවිතයකට කිසියම් වූ මොහොතක ලැබෙන්නාවූ අස්වැසිල්ල කෙතරම් හිතට සැනසීමක් ගෙන දේවිද. පාසල් වියේදීත් ඉන්පසු ෆොරස්ට්ගේ ජීවිතයේ විවිධ නිමිනයන්වලදී මව මිය ගියායින් පසු ඔහුට ජීවිතය කියාදෙන්නේ හිතවතිය ජෙනීය.තම මව සහ ආදරණීය යෙහෙළිය මුහුණ දෙන්නාවූ දුක්බර ජීවිතය තුළින් පන්නරය ලබා ගනිමින්, ඔවුන් ලබාදෙන මඟ පෙන්වීම් මත ජීවිතය වටහා ගන්නට ඔහු උත්සාහ දරයි. හදවත අධි සංවේදීත්වයෙන් බර කරන්නාවූ රූපරාමු ජාලයක දිවයමින් ජීවිතය පිළිබඳව ගැඹුරු කියවීමකට අපට ඉඩ තබමින් ඔහුගේ ජීවිතය බොහෝ වෙනස් ජීවන චාරිකාවක ගමන් කරයි. ඔහු ජීවිතය වටහා ගැනීමට දරන්නාවූ ප්‍රයත්නය හමුවේ ඔහුගේ අවබෝධයේ පවත්නා සීමාකම් මත කිසියම් ප්‍රශ්නාර්ථයක් ද ඒ තුළ බහාලමින් ප්‍රේක්ෂකයින් වන අපට සිතන්නට බොහෝ දේ ඉතිරි කර ඇත.
සිතුවම්පටය පුරාවට දිවෙන දෙබස් තුළින් දහසක් සංකල්පනා අතර ගිලෙමින් යළි යළිත් ආවර්ජනය කරන්නට අපව පොළඹවන අයුරින් අපූර්ව සම්පිණ්ඩනයක් සිදුකිරීමට පිටපත් රචකයා සමත්කම් දරා ඇත. එමෙන්ම කැමරා කෝණ, වර්ණ සංකලන පුදුමාකාර හැඟීමක් හදවතෙහි නතර කරමින් එකවරක් බැලූ පසු නැවත වරක් බැලීමට පොළඹවන තරමට ජීවිතයට සමීප රූපරාමු එහි ගෙනහැර දක්වන්නට උත්සාහ දරා ඇත යන්න මාගේ අදහසයි. සිනමාපටයේ ඇති විශිෂ්ටත්වය නිසාම විශාල සම්මාන රැසකින් පිදුම් ලැබීමට එයට හැකියාව ලැබී ඇත.
සිනමා කෘතියකට එහා ගිය ජීවිතය පිළිබඳව වෙනස් ආකාරයේ කියවීමක් යන්න Forrest Gump ගැන මට සිතේ. මානව දයාව, ප්‍රේමය ආදී උතුම් මිනිස්කම් රැගත් හෘදයාංගම හැඟුම් හදවතකින් හදවතකට යාකරන්නට එය සමාජයක පැවැත්මට මෙන්ම ජීවිතයක ගොඩනැඟීම වෙනුවෙන් සුවිශාල වශයෙන් අවැසි බව පසක් කර දෙන්නට ෆොරස්ට්ගේ මේ ජීවන චාරිකාව තුළ ඇවිදිමින් අපට සිතන්නට සිදුවේ. ඔහුගේ මව පවසන පරිදි “ජීවිතය කියන්නේ සැබවින්ම විවිධ රසයන්ගෙන් පිරුණු චොක්ලට් පෙට්ටියක්ලු නමුදු ඊළඟ මොහොතේ කුමන රසයක් ලැබේවිද අප දන්නේ නැත”