Forensic (2020) Malayalam 

Forensic (2020) Malayalam 

 Thriller/Crime ‧ 2h 14m

6.8/10 · IMDb

#Forensic (ෆොරෙන්සික්)

Serial Killer (සීරියල් කිලර්) හෙවත් දාම ඝාතකයින් යන වදන වර්තමානයේ බොහෝදෙනෙකු අසා ඇති වචනයක් වනවා සේම ඒ පිළිබඳව සත්ය හා කල්පිත කතා පුවත් රැසක් මේ වනවිටත් ඔබ සියල්ලන් දැන සිටිනවාට කිසිදු සැකයක් නැත. මෙම දාම ඝාතනයන් සහ ඝාතකයන් පිළිබඳව බොහෝ කතා පුවත් ත්රාසජනක (Thriller) ගණයේ සිනමාපට රැසකට වස්තුබීජය වී ඇති අතර මෙවැනි සංසිද්ධීන් පිළිබඳව අත්දැකීම් අඩු අපට එවැනි සිදුවීම් පිළිබඳව තොරතුරු වඩාත් සමීප වන්නේ එවැනි සිනමාපටයන් හරහා ය. ලංකාවට එවැනි අත්දැකීම් අඩු වුව ද අසල්වැසි ඉන්දියාව, යුරෝපය, ඇමරිකාව වැනි රටවලට මෙය කිසිසේත්ම නවමු අත්දැකීමක් නොවන අතරම එම රටවල වරින් වර මතුවෙමින් මහජනතාව කැළඹූ මෙවන් දාම ඝාතකයන් රැසක් පිළිබඳව තොරතුරු අපට හඳුනාගත හැකිය. ඇතැම්විට ඒ සම්බන්ධව මෙවන් චිත්රපට වැඩිපුර එම රටවල් ආශ්රිතව බිහිවීමට එය ද හේතුවක් වන්නට ඇත. දාම ඝාතනයන් සම්බන්ධව ලංකාව තුළ කිසියම් කැළඹීමක් ඇති කළ ප්රබලතම සිද්ධිය වන්නේ කොටකෙතන ඝාතනයන් පිළිබඳව සිද්ධියයි. ඒ සිදුවීම් සමග මෙම දාම ඝාතනයන් සම්බන්ධව කිසියම් කැළඹීමක් ලංකාවේ සමාජය තුළ ද ඇතිවී ගිය බව නොරහසකි.
“ෆොරෙන්සික්” නම් මලයාලම් චිත්රපටය ද එවන් දාම ඝාතනයක් පිළිබඳව කතා පුවතක් රැගත් චිත්රපටයකි. එහි එන දාම ඝාතකයා අපරාධවල ස්වභාවය අනුව දැනට ලොව ප්රධාන වශයෙන් හඳුනාගෙන ඇති දාම ඝාතකයන් වර්ග වන,
*Thrill seekers
*Mission – oriented serial killers
*Visionary serial killers
*Power and Control serial killers
යන වර්ගයන්ගෙන් Power and Control serial killers වර්ගයට අයත් දාම ඝාතකයෙකු ලෙස අපට හඳුනාගත හැකිය. එනම් කුඩා කාලයේදී කිසියම් හිංසනයකට ලක්වූ, එනිසාම සමාජය තුළ තමන් බල රහිත පුද්ගලයෙක් යැයි සිතන, අභ්යන්තරයෙන් බිඳී ගිය පෞරුෂයක් සහිත, තමාට ගොදුරුවන පුද්ගලයන් දරුණු වධ බන්ධනයන්ට ලක්කරමින් ඔවුන්ගේ කෑගැසීම්, වේදනාත්මක අඳෝනා ආදිය ඇසීමට ප්රිය කරන එක්තරා අන්දමක මනෝව්යාධී මනසකින් යුතු දාම ඝාතකයෙකි. නමුත් මෙම වර්ගයේ දාම ඝාතකයින් මනා ලෙස සංවිධානාත්මක වන අතරම තියුණු බුද්ධියක් ද ඔවුන් සතුවන අතර ඒ බව චිත්රපටය පුරාවටම මනාව පැහැදිලි කරගත හැකිය. ඇතැම්විට ඔබ කිසිසේත් නොසිතන අන්දමේ පුද්ගලයෙකු එවන් දාම ඝාතකයෙකු විය හැකිය.
මෙම වර්ගයේ දාම ඝාතකයන් බොහෝදෙනෙකුටම තමන්ගේ ළමා විය මූලික කරගනිමින් මෙම දාම ඝාතනයන්ට පදනම වැටී ඇති අතර ළමා වියේදීම ඔවුන්ගේ හැසිරීම් රටා පිළිබඳව මනා සැලකිල්ලෙන් සිට ඔවුන්ව අදාළ ප්රතිකාර සහ මනෝ උපදේශනයන්ට යොමු කරනවා නම් මෙවන් දාම ඝාතකයන් බිහිවීම හැකි තාක් අවම කරගත හැකි බව මගේ අදහසයි. ෆොරෙන්සික් හි දාම ඝාතකයාට ද ඔහුගේ දාම ඝාතනයන් සම්බන්ධයෙන් පදනම වැටී ඇත්තේ ඔහු කුඩා අවධියේ දී මය.
ෆොරෙන්සික් චිත්රපටය යනු ආරම්භයේ සිටම ඔබේ අවධානය නොබිඳී යන සේ ඒ කෙරෙහි ඇද බැඳ තබාගනිමින් කුතුහලයේ ඉසියුම් මානයන් කරා ඔබව රැගෙන යා හැකි අන්දමේ අපූරු කතා පුවතක් රැගත් චිත්රපටයකි. මා හට කලෙකින් නරඹන්නට ලැබුණු විශිෂ්ට හා සිත්ඇදගන්නා සුළු අන්දමේ Crime Thriller ගණයේ චිත්රපටයක් වන මෙය ඔබගේ සාධාරණ සැකය විවිධ මාවත් ඔස්සේ රැගෙන ගොස් විසුරුවා දමා ඔබ නොසිතන අන්දමේ අවසානයක් කරා රැගෙන යාමට සමත්වනු නිසැක ය.
*අහිංසක සුන්දර සමනලියන් වන් කුඩා දැරියන් කුරිරු ලෙස ඝාතනය කරන මනෝව්යාධී දාම ඝාතකයෙක්
*ඝාතකයා පසුපස හඹායමින් ඔහුව කොටුකරගැනීමට නොතිත් වෙහෙසක් දරනා ඉහළ පොලිස් නිළධාරිනියක්
*මව් සෙනෙහස, සිය පුද්ගලික ජීවිතය සහ රාජකාරිය අතර දෝලනය වන කාන්තාවක්
*ඝාතකයා අනාවරණය කරගැනීම සඳහා සිදුකෙරෙන නවීන අධිකරණ වෛද්ය පරීක්ෂණයන් රැසක්
*ඉතා සියුම් ලෙස අධිකරණ වෛද්ය දත්තයන් සහ හෝඩුවාවන් ඔස්සේ ඝාතකයා හඹායන අධිකරණ වෛද්ය උපදේශකවරයෙක්
*අවසානයේ සියල්ලන්ටම හෙළිවන කිසිවෙකු සිහිනෙනුදු බලාපොරොත්තු නොවූ අපේක්ෂා නොකළ රහසක්
ඔවුන්ට මෙම දාම ඝාතකයා කොටුකරගැනීමට හැකිවේද? සැබැවින්ම ඔහු කවුරුන්ද?
එය දැනගැනීමට නම් ඔබ #Forensic චිත්රපටය නැරඹිය යුතුය.
ෆොරෙන්සික් වනාහි හුදෙක් අපූරු Crime Thriller ගණයේ චිත්රපටයක් වනවා පමණක් නොව එය ඉතා වැදගත් කරුණු කාරණා කීපයක් කෙරෙහිම අපේ අවධානය යොමුකරවයි. ඉන් වැදගත්ම කරුණ වන්නේ අපේ දරුවන් කොතරම් දුරට ආරක්ෂිත ද යන කරුණයි. කොතරම් දුරට ඔවුන්ට අපගේ රැකවරණය සහ අවධානය යොමු කළ යුතු ද යන කරුණයි. සැබැවින්ම අපේ දරුවන් කෙරෙහි අපේ අවධානය නිරතරයෙන්ම යොමු වී තිබිය යුතු ය. බොහෝ පිරිසක් සිටින ස්ථානයක දී එහි බොහෝ පිරිසක් සිටින නිසාවෙන්ම ඔබේ දරුවාට ආරක්ෂාව සහ අවධානය ලැබේ යැයි ඔබ සිතන්නෙහි ද? නැත. එය කිසිසේත්ම එසේ නොවේ. බොහෝදෙනෙකු වරද්දාගන්නේ ද එතැන දීමය. දරුවන්ගේ ආරක්ෂාව සහ රැකවරණය සම්බන්ධව පමණක් නොව ඔවුන්ගේ චර්යා රටාවන් පිළිබඳව ද කුඩා අවධියේ සිටම අප මනා විමසිල්ලකින් සහ අවධානයකින් සිටිය යුතු බව මෙම චිත්රපටය අපට යළි යළිත් සිහිපත්කර දෙයි. මෙම ලිපියේ අවසානය මම මෙසේ සටහන් කරමි.
අනතුර පැමිණෙන්නේ නාඳුනන්නෙකුගේ වෙසින් පමණක් යැයි ඔබ සිතන්නෙහි ද?
කිසිසේත් ම නැත.
ඔබ කිසිදා නොසිතන ඉතාමත් හොඳින් හඳුනන්නෙකුගේ හෝ සමීපතමයෙකුගේ ස්වරූපයෙන් ද අනතුර ඔබ වටා පැවතිය හැකිය.
*********************************************
Directed by – Akhil Paul & Anas Khan
Produced by -Navis Xaviour
Siju Mathew
Written by – Akhil Paul-Anas Khan
Screenplay by – Akhil Paul-Anas Khan
Story by – Akhil Paul-Anas Khan
Starring – Tovino Thomas
Mamta Mohandas
Music by – Jakes Bejoy
Cinematography – Akhil George
Edited by – Shameer Muhammed
Production company – Juvis Productions
Distributed by – Century Release
Release date – 28 February 2020
Running time – 134 minutes
Country – India
Language – Malayalam

හංසිනී කවින්දි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *