Firaaq (2008) – Parzania (2007) Ayodhya Genocide | Sinhala Article

Firaaq (2008) – Parzania (2007) Ayodhya Genocide by Hasanka Somarathne

අයෝධ්‍යාවේ පර්සානියාව සහ ෆිරාකය හෙවත් වෙන්ව යාම

මාතෘකාව දුටු වනම මේ මොන අපබ්‍රංසයක්දැයි නොහැඟුනා නම් විය නොහැක. අයෝධ්‍යාව නම් පුන්‍ය භූමිය හේතු කරගෙන සිදු වූ මහා ජන සංහාරයක් පිළිබඳව කියවෙන සිනමා නිර්මාණ දෙකක් ඔබ වෙත ගෙන ඒමට සිතීමි. ඒ පිළිවෙලින් “පර්සානියා” (2005) එනම් ස්වර්ගය සහ නිරය මිහිමත ඇතැයි පැවසෙන සංකල්පය සහ ෆීරාක්(2008) එනම් උර්දු බසින් වෙන්වීම යන ද්විත්ව සිනමා නිර්මාණයන්‍ ය.

නන්දිතා දාස් මහත්මිය විසින් අධ්‍යක්ෂනය කල ෆීරාක් චිත්‍රපටය සහ රාහුල් දොලාකියා මහතා විසින් අධ්‍යක්ෂනය කල පර්සානියා යන චිත්‍රපට දෙකෙහිම ප්‍රධාන චරිතය නිරූපණය කරනුයේ නසිරුදීන් ෂා මහතා විසිනි. මන්ද මෙම ජන සංහාරය පිළිබඳ සිය අදහස් සහ පිළිකුල සෘජුව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් මානව හිමිකම් ආයතනයට දැක්වීම හේතුවෙනි.

මෙම ඝාතනයන්ට හේතු වූ අතීත කතාව මඳක් විමසා බලමු. හින්දු භක්තිකයන්ගේ විශ්වාසය වූ කලි විශ්ණු දෙවියන්ගේ දස අවතාරයන්ගෙන් සත් වැන්න වන රාම දෙවිඳුගේ උපන් ස්ථානය අයෝධ්‍යාවේ පිහිටා ඇති බවය. මෙම ස්ථානයේ සිහිවටන මාලිඟයක් තිබූ බවත් පසු කාලීනව මහා මූගල් අධිරාජ්‍යයා විසින් වර්ෂ 1528 පමණ එය විනාශ කර බබ්‍රි නම් මස්ජීදය එහි ඉදි කරවූ බවයි. වර්ෂ 1992 අයෝධ්‍යා ව්‍යාපාරය නම් හින්දු පෙරමුණ විසින් මෙම මස්ජීදය කඩා දමා නැවත හින්දු කෝවිලක් ගොඩ නැංවූහ. මෙහිදීද ඉතා දරුණු ගැටුමක් සිදු වූ අතර මිනිස් ජීවිත 2000ක් පමණ ඉන්දියාවට අහිමි විය. මෙම සිද්ධිය වු කලි අළු යට සැඟවුන ගිණි පුපුරක් හා සමය. විටින් විට නිවෙමින් සහ ඇවිලෙමින් අද දක්වා ආගමනයක නිරත වේ. පටු දේශපාලන හස්තයන් මීට ඔක්සිජන් පිඹිමින්, ඇවිලුන කල්හි නිවමින් සිය අරමුණු මුදුන් පමුනුවා ගනිති.

මෙම සිනමා කෘති ද්විත්වයට පදනම් වූ මහා සංහාරය සිදු වූ දිනය නම් වර්ෂ 1992 පෙබරවාරි මස 27 දාය. අයෝධ්‍යාවේ ආගමික උත්සවයකට සහභාගී වූ හින්දු බැතිමතුන් රැගත් දුම්රියක් ගෝද්‍රා දුම්රිය පොලෙහි නැවතූ අවස්ථාවේ එම වේදිකාවේ සිටි මුස්ලිම් වෙළඳුන් හා මත ගැටුමක් සිදුවී ඇත. ඉතා දුරදිග ගිය මෙම ගැටුම කෙළවර වූයේ විනාශයේ දින 03 කිනි. වේදිකාවේ සිටි මුස්ලිම් පිරිස දුම්රියේ දොරටු වසා දමා එය ගිනිබත් කළහ. ජීවිත 58ක් පණපිටින් දැවී අළු බවට පත් විය.

එවකට ගුජරාටයේ මහ ඇමති වශයෙන් කටයුතු කළ වර්ථමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙයට වග කිවයුතු කිසිවෙකුට සමාවක් නොලැබෙන බවයි.

ඒත් සමඟම නීතිය සියතට ගත් හින්දු භක්තිකයන් මුස්ලිම් ගම් වලට වැද මහා ජන සංහාරයක් සිදු කළහ. මින් පුද්ගල මරණ 1000කට අධික සංඛ්‍යාවක් සිදුවූ අතර 2500කට අධික සංඛ්‍යාවකට බරපතල තුවාල සිදු විය.

ෆීරාක් සිනමා නිර්මාණය මූලිකව මානුෂවාදී හැඟීම් ස්පර්ශ කරනු වස් පුරාවටම විදහා දක්වන්නේ ජීවිතය අයදිමින් දිව යන මුස්ලිම්වරුන් බේරා නොගැනීම නිසා පසුතැවිලි වන හින්දු අසල්වාසීන්, අනේක දුක් පීඩා සහ මරණ බිය මධ්‍යයේ පළා යාමට වෙහෙස දරන මුස්ලිම් ජනතාව, මෙවන් ව්‍යසන හමුවේ රටේ අහිංසක ජනතාව සිය බලාපොරොත්තු සුන් කර ගැනීම සහ ආර්ථිකමය, සමාජමය සහ මානසික පසුබෑම යන කාරණා ඉතා සංවේදීව ඉස්මතු කරන්නා වූ සලරූ නිර්මාණයක් බැව් නොකියාම බැරිය. කුමන ආගමක් අදහන්නේ හෝ වේවා හිංසනය තුළින් අප ලබන්නා වූ විමුක්තියක් නොවන බව නම් මෙහි ලා මතක් කරනු කැමැත්තෙමි.

මෙම නිර්මාණ දෙක අතුරින් “පර්සානියා” චිත්‍රපටය ඉතා සංවේදී හැඟුම් දනවන්නාහ. ඔබ ඉතා සංවේදී හදවතක් ඇත්තකු නම් මෙය නොනරඹා සිටින්නේ නම් මැනවි.

මෙහි සාරාංශය වූ කලි මෙම වියරු ජන සංහාරය සිදුවන කල්හි ඊට මැදි වන ෆර්සි පවුලක මව, පියා සහ කුඩා දියණියට සිය සහෝදරයා අහිමි වීමේ අනුවේදනීය සත්‍ය සිදුවීම පාදක කොටගෙනය.

ෆර්සි ජාතිකයන් යනු මුස්ලිම් ජන කොට්ඨාසයක් නොවේ. මොවුන් පර්සියානු අර්ධද්වීපයේ මුල් පදිංචි කරුවන් වන අතර මුස්ලිම් ආක්‍රමණ සහ එම තාඩන පීඩන හමුවේ ආසියාවට සංක්‍රමණය වූ පිරිස්ය. සොරෝආස්ත්‍රියානු ධර්මය අදහන ඔවුන්ගේ එක් විශේෂ අවමඟුල් චාරිත්‍රයක් මෙහි සඳහන් කිරීමට කැමැත්තෙමි. ස්වභාවධර්මයෙන් උපත ලද ඔවුන් ජීවිතය අවසනද ඊට ප්‍රතිඋපකාරයක් කරනු වස් මළ ගිය සිය නෑ සිය මිතුරාගේ දේහය උස් කණුවක රඳවනුයේ ගිජුලිහිනියන්ගේ ආහාරය පිණිසය..

වෛරයෙන් වෛරය නොසන්සිදෙන බවත් අවෛරයෙන්ම වෛරය සංසිඳෙන බවත් මොනවාට පෙන්වා දෙන මෙම නිර්මාණයේ ඇති හද සසල කරන එක් දර්ශනයක් මේ මොහොතේ මගේ මතකයට නැගේ.
තදින් නරක් වන මෘතදේහ ගොඩගසා ඇති ස්ථානයක සිය නැතිවූ දරුවාගේ දේහය තිබේදැයි බලන ලෙස දන්වා පොලීසිය එම පියාට දන්වන අවස්ථාව සහ එම දේහයන් පීරමින් එය සොයන අවස්ථාව මා නෙතට කඳුලක් එක් කළ දර්ශනයක් වීය.

සිය නැති වූ දරුවා සොයන මවගේ සත්‍ය සාක්ෂි දීම මත කතාව අවසානයේ නිර්මාණය වූ සාක්ෂිය එදින එම අමානුෂික, කෲර බව අතැඹුලක් සේ දක්වයි. එය මම මෙආකාරයට පරිවර්තනය කරමි.

එය කෙතරම් වේදනාවක් අප තුළ ජනිත කරන්නේදැයි සලකා ඊට සත්‍ය වශයෙන් මුහුණ දුන් ජනතාව තුළ නැගෙන්නා වූ ශෝක ගින්න කෙතරම්දැයි මඳක් සිතා බලනු මැනවි

“පොලීසිය ශබ්ද විකාශය යන්ත්‍ර හරහා සියල්ල දැන් යථා තත්වයට පත් කරැති බවත් සියල්ල සාමාන්‍ය බවත් පැවසූවා. ඔවුන් එසේ පවසා ගිය විගස 5000-10000 අතර පිරිසක් කඩු,පොලු, ත්‍රීශූල අරන් පැමිණියා. ඔවුන් සෑම දිශාවකින්ම ආවා. අපිට ආත්මාරක්ෂාව සලසා ගන්න බැරි වුනා. අපිට ආයුධ තිබ්බේ නෑ. අපි මධ්‍යම පන්තියේ මිනිස්සු. අපි බලාපොරොත්තු වුනේ පොලීසිය අපිව රැක ගනීවි කියලා. ඔවුන් එය පැහැර හැරියා.

මෙයට පොලීසිය සම්බන්ධ වුනාද?

ඔව්.. මෙතන වාඩි වී සිටින ශංකර් නම් පොලිස් නිළධාරියා මගේ ස්වාමිපුරුෂයාගේ හිතවතෙක්. නමුත් ඔහු අප මරා දැමීමට තැත් කළා. මන්ද අපි හින්දු භක්තිකයන් නොවන නිසා. හැම තැනම පැතිර තිබුනේ වියරු උන්මාදයක්. මම දරුවන් ආරක්ෂා කර දෙන මෙන් ඉල්ලා මගේ හින්දු මිතුරන්ගේ නිවෙස් වලට තට්ටු කරමින් අයැදියත් ඔවුන් දොර ඇර අපට උදව් කළේ නෑ.. මට මගේ පුතා නැති වුනා. කොතනකවත් ආරක්ෂාවක් තිබුනේ නැහැ. අපි හිස් ලූ ලු අත දිව්වා. අපි සැඟවුන ස්ථාන පවා ආරක්ෂිත වූයේ නැහැ. සැඟවී සිටි අය එළියට ඇද මරා දැමුනා. මිනිසුන්ව නිරුවත් කර කඩු වලින් පෙති ගැසුවා. සෑම වයසකම ගැහැණු දූෂණය කලා. මහළු, තරුණ ඒ වගේම කුඩා දැරිවියන් පවා. ඔවුන් කාන්තාවන්ගේ පියයුරු කපා පාර පුරා විසි කළා. ඔවුන් නූපන් දරුවන් පවා මරා දැමුවා. මේ සියල්ල මා ඉදිරිපිට මා දුටුවා.

ඔබේ දරුවා ඔබේ වගකීමක් (සභාවෙන් ප්‍රශ්නයක් )

මට වගකීම් ගැන කියන්න අවශ්‍ය නෑ. අහිංසක ජනතාව ආරක්ෂා කිරීම රජයේ, පොලීසියේ වගකීමක් වූවත් එය ඉටු වුනේ නෑ. මම කතා කරන්නේ වන්දි ගැන නෙමේ. මුදල් වලින් අපිට නැතිවූ භෞතික සම්පත් වලින් යම් ප්‍රමාණයක් නැවත ලබා ගත හැකි බව ඇත්ත. නමුත් අපි ඉදිරිපිටම ඝාතනය වූ අපේ ආදරණීයයන් නැවත ගේන්න වන්දි මුදල් වලට හැකියාවක් නැහැ. අපි කොතරම් උත්සාහ කළත් අපිට නැවත යථා තත්වයට එන්න බැරි වේවි.

අපේ පවුලට එකිනෙකා හා කථා කිරීමටවත් ශක්තියක් නැත. මගේ ස්වාමිපුරුෂයා උන්මන්තකයකු මෙන් වීදියෙන් වීදියට පුතා සොගමින් දිව යනවා. අද දක්වාම එහෙමයි. කුඩා දරුවකුගේ මළ සිරුරක් හමු වී ඒ බව පොලීසිය දැන්වූ පසු ඔහුගේ පළමු කාර්‍යය එය පුතාගේ නොවේවායි දෙවියන්ගෙන් අයැදීම. ඒත් අපිට පුතා ගැන යම් හෝඩුවාවක් අවශ්‍යයි. ඒ නිසාම යනවා. දුව අයියා එනකම් මඟ බලා ඉන්නවා. ඇය සිනාසෙන්නේ මාව හිනස්සන්න. මගේ කඳුලු අතරින් සිනාවක් දකින්න. ඇය සතුටින් ඉන්න නිසා නෙමෙයි. ඒ විලාපය හැමදාම ඇය සමඟ රැදේවි.

මට අවශ්‍ය නැවත මගේ පුතාව මට තුරුල් කර ගන්න. ඔහුගේ වරදට බනින්න. ඒත් ඔහු කොහේදවත් මම දන්නේ නෑ. ඔහුට තාම අවුරුදු 10යි. ඔහුට අම්මෙක්ගෙ උණුසුම අවශ්‍යයි. මගේ පුතාගේ ජායාව ක්‍රමයෙන් බොඳව යමින් පවතිනවා.
මට ඕන පුතාට කෑම අනලා කවන්න. ඒත් එය බොහෝ දුර සිහිනයක් බව පේනවා. කොයි තරම් කාලයක් ගත වුනත් මගේ පුතා වෙනුවෙන් මම මඟ බලා ඉන්නවා.”

මේ එක් ආදරණීය මවකගේ ශෝකාලාපයක් පමණයි. මෙවැනි මව්වරු ලොව කොතරම් ඇත්ද??

කෙසේ නමුත් බලාපොරොත්තුවේ අනාගත මල් ඵල ගන්වනු වස් ප්‍රාර්ථනාවේ සෞම්‍ය ගී ගයන්නා වූ මෙවැනි මව්වරු සහ අනෙක් වින්දිතයන් ලොව සුලභ බව මෙම සිනමා නිර්මාණ ද්විත්වයම අපට පසක් කරයි.

Firaaq full movie

Parzania full movie

හසංක සෝමරත්න

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *