Fan and Movie Enjoyment by Hansini Kavindi

 Fan and Movie Enjoyment by Hansini Kavindi

රසිකයා සහ සිනමා රසවින්දනය

සිනමා රසාස්වාදනය වූ කලී ලඝු කොට වචනවලින් විස්තර කළ නොහැකි තරම් විශාල පරාසයක් තුළ විහිදී පැතිරී පවතින්නකි. එනිසා මා මේ ලියන දේ සම්බන්ධයෙන් වුව ද වෙනස් මත දරන පිරිස් සිටිය හැකි ය. මා මෙහි ලා දක්වන්නේ හුදෙක් රසිකයෙකු ලෙස මගේ අදහස් පමණි. එනිසා එය කිසිවෙකුගේ සිත රිදවීමකට හේතුවක් වනු නැතැයි මම ඉඳුරාම අපේක්ෂා කරමි.

මම සැලකිය යුතු මට්ටමේ වයසක සිට චිත්‍රපට නැරඹීම සඳහා මහත් රුචිකත්වයක් දැක් වූ තැනැත්තියක වෙමි. ඒ රුචිකත්වය නිසාවෙන්ම මේ වන විට මට හිමි වී ඇති දේ බොහෝ ය. මේ වන විට විවිධ වර්ගවලට අයත් විවිධාකාරයේ සිනමාපට රාශියක් මම නරඹා ඇත්තෙමි. ඒවායේ නම් මෙහි සඳහන් කිරීම උගහට ය. නමුත් මම මා නැරඹූ සිනමාපට කීපයක් පිළිබඳව සටහන් මෙම සමූහයට ද එකතුකර ඇත්තෙමි. ප්‍රබන්ධ, ප්‍රේමණීය, අද්භූත, ක්‍රියාදාම, විද්‍යා ප්‍රබන්ධ, ප්‍රහසන, කුතුහලාත්මක, කාටුන්, සම්භාව්‍ය, වාණිජ ආදී නොයෙක් වර්ගවලට අයත් චිත්‍රපට රාශියක්ම මා නරඹා ඇති බව මෙහිදී පවසන්නේ ඉතාමත් සතුටිනි. මේ සියල්ලක්ම මා මෙහි සඳහන් කරන්නේ එය මේ කරුණ සඳහා ඉතාමත් අදාළ වන බැවිනි.

එදා සිට අද දක්වා මගේ සිනමාපට නැරඹීමේ ඉතිහාසය දෙස සහ සිනමාපට එකතුව දෙස බැලූ කල එකිනෙක අවධීන්හි දී විවිධාකාර රසවින්දන පරාසයන් කෙරෙහි මගේ රුචිකත්වය කාලයත් සමග විචලනය වී ඇති බවත්, එය මා හට වඩාත් උසස් රසවින්දනයක් ලබාදීමට සමත් වී ඇති බවත් මට වටහාගත හැකි විය. කෙටියෙන් කියතොත් කිසිම සිනමා නිර්මාණයක් ලඝු කොට “බාල” ගණයේ ලා නොසැලකිය යුතු බව මට අවබෝධ කරලීමට එය සමත් විය. කිසිම සිනමා කෘතියක් “බාල” ගණයට වැටෙන්නේ නැත. අඩුපාඩු තිබිය, හැකිය. නමුත් “බාල” යන වදනින් හැඳින්වීමට තරම් කිසිදු සිනමා නිර්මාණයක් ලඝු කොට තැකිය නොහැකිවා මෙන්ම කිසිවෙකුගේ සිනමා රසවින්දනයට සහ රසිකත්වයට “බාල” යන ලේබලය ඇලවීමට ද අපට නොහැකිය. එමෙන්ම සිනමා ශානරයන් සහ විවිධ සිනමා කලාපවලට අයත් කෘති සංසන්දනය කර බැලීම ද විවෘත, නිදහස් මනසකින් සිදුකළ යුතු ය. එය ඉතා ප්‍රවේසමින් කළ යුතු කාර්‍යයකි. සම්භාව්‍ය සිනමා කෘතියකින් ලැබෙන රසය ජනප්‍රිය ධාරාව අරමුණු කරගනිමින් නිර්මාණය කළ සිනමා කෘතියකින් ලැබෙන රසයට වඩා වෙනස් විය හැකි ය. අද්භූත හොල්මන් චිත්‍රපටයකින් ලැබෙන රසය විද්‍යා ප්‍රබන්ධයකින් හෝ ක්‍රියාදාම චිත්‍රපටයකින් ලැබෙන රසයට වඩා වෙනස් ය. මේවා එක් එක් රටවලට අයත් සිනමා කලාප අනුව ද වෙනස් විය හැකි ය. ජපන් හෝ කොරියානු චිත්‍රපටයකින් ලැබෙන රසයට වඩා බොලිවුඩ් හෝ කොලිවුඩ් චිත්‍රපටයකින් ලැබෙන රසවින්දනය වෙනස් ය. හොලිවුඩ් චිත්‍රපටයක රස ඊටත් වෙනස් ය. ඉතාලි, ඉරාන, පෝලන්ත, රුසියානු සිනමාවට ඇත්තේ ඊටත් වඩා වෙනස්ම රසයකි. උදාහරණයක් ලෙස අපි කේක් සහ ලුණුමිරිස්වල රසයන් එකිනෙක සසඳා බැලුව හොත් ඉන් ලැබෙන ප්‍රතිඵලය පිළිබඳව එතරම් විශ්වාසයක් තබාගැනීමට අපට නොහැකි ය. කේක්වලට සහ ලුණුමිරිස්වලට ඇත්තේ එකිනෙකට වෙනස් රසයන් දෙකකි. එලෙස සංසන්දනය කර බැලීම කේක්වලට සහ ලුණුමිරිස්වලට කරන බලවත් අසාධාරණයකි. මා කියනා දෙය ඔබ වටහාගන්නට ඇතැයි මම විශ්වාස කරමි.

නිදසුනක් ලෙස “ලොලිටා” සිනමා කෘතිය මා දකින්නේ මිනිසාගේ ලිංගිකත්වය සහ ගූඪ මනෝභාවයන් පිළිබඳව කලාත්මක ලෙස කදිම විවරණයක් සපයන සිනමා කෘතියක් ලෙස ය. නමුත් තවෙකෙකුට එය අමු තිත්ත කුණු හරුපයක් සේ පෙනිය හැකි ය. එහි වරදක් නැත. ඒ ඔහුගේ/ඇයගේ දෘෂ්ටිය යි. මේ මගේ දෘෂ්ටිය යි. ඒ ඔහුගේ/ඇයගේ රුචිකත්වය යි. මේ මගේ රුචිකත්වය යි. මගේ අදහස හා එකඟ නොවූ පමණින්, බහුතරයකගේ සම්මත යැයි සැලකෙන අදහස හා එකඟ නොවූ පමණින් ඔහුගේ හෝ ඇයගේ රසවින්දනය “බාල” යනුවෙන් හංවඩු ගසා පටු පරාසයක් තුළට සීමාකිරීමට මට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැත. එය ප්‍රශ්නගත කිරීමට ද මට කිසිදු අයිතියක් නැත.

කිසිවෙකු හෝ කිසියම් සිනමා ශානරයකට අයත් නිර්මාණ වැඩිපුර නරඹන්නේ ඉන් ලැබෙන රසය කෙරෙහි ඔවුන් වැඩි ඇල්මක් දක්වන නිසා ය. නමුත් ඔවුන් අනිකුත් ශානරයන්ට අයත් සිනමාපට නරඹන්නේ නැතැයි ඉන් කිසිසේත්ම අදහස් වන්නේ නැත. මතුපිටින් බලා එවැනි කාරණයක් කෙරෙහි විනිශ්චයකට එළැඹීම සුදුසු නොවන්නේත් කිසිසේත්ම සාධාරණ නොවන්නේත් එනිසා ය. එකිනෙක අවස්ථාවල දී තමා සතුවන මනෝභාවයන්ට අනුරූපව එකිනෙකා නරඹන සිනමාපට වෙනස් විය හැකි ය. එමෙන්ම එය තමන් පසුකරමින් සිටින වයස් සීමාව අනුව ද වෙනස් විය හැකි ය. නිදසුනක් ලෙස කුහුලින් පිරුණු අතිශය උත්තේජනකාරී අවධියක් වන තරුණ අවධියේදී කෙනෙකු අබිරහස් කතා, රහස් පරීක්ෂක කතා, ප්‍රේම කතා නැරඹීමට වැඩි රුචිකත්වයක් දැක්වීම ඉතා සාමාන්‍ය ය. නව යොවුන් වියේ සහ තරුණ වියේ දරු දැරියන් එම ගණයේ චිත්‍රපට නැරඹීමට වැඩි නැඹුරුවක් දක්වන්නේ එනිසා ය. එය අතිශයින්ම පුද්ගලබද්ධ සහ මනෝවිද්‍යාත්මක ප්‍රපංචයක් බව මම විශ්වාස කරමි. මම ඒ පිළිබඳව අත්දැකීමෙන් දනිමි. මම ද ඒ අවධිය පසුකර ඇත්තෙමි. ඒ අවධිය පසුකර ඇතත් සම්භාව්‍ය හෝ ජනප්‍රිය ධාරාවේ වේවා, කාටුන් චිත්‍රපට වේවා, එම වර්ගවලට අයත් චිත්‍රපටවලට මම ද තවමත් මහත් සේ ඇළුම් කරමි.

වාණිජ ධාරාවේ බොලිවුඩ් හෝ කොලිවුඩ් චිත්‍රපටයක් , කාටුන් චිත්‍රපටයක් නරඹා රසවිඳීම ක්‍රිස්ටෝපර් නොලාන්ගේ, අබ්බාස් කිරොස්ටොමිගේ හෝ ස්ටැන්ලි කුබ්රික්ගේ සිනමාපටයක් නරඹා ඉන් රසවින්දනයක් ලැබීමට බාධාවක් වන්නේ නැත. මන්ද ඒවායින් ලැබෙන්නේ එකිනෙකට වෙනස් රසයන් ය.

නමුත් රසිකයෙකුගේ සිනමාව ඇසුරුකිරීම සහ රසවින්දනය ශානරයන් කීපයකට හෝ පටු පරාසයකට සීමා සහගත නොවිය යුතු බව මම ද පිළිගනිමි. හොඳ රසිකයෙකුගේ සිනමා රසවින්දනය පෘථුල පරාසයක් තුළ විහිදී පැතිරී පැවතිය යුත්තකි. කිසියම් වර්ගයකට අයත් චිත්‍රපටවලට වැඩි රුචිකත්වයක් දැක්වූව ද එය කිසිසේත්ම ඔබේ සිනමා රසවින්දනය සීමා කරන්නක් නොවිය යුතු ය . එකිනෙකට වෙනස් රසයන් පිළිබඳව වඩාත් හොඳින් දැනගත හැක්කේ එම රසයන් සියල්ලක්ම පාහේ හොඳින් අත්දුටු විටදී ය. වැනිලා අයිස්ක්‍රීම්වලට ඇත්තේ එක් රසයකි. ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්වලට ඇත්තේ තවත් රසයකි. ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම්වලට ඇත්තේ ඊටත් වඩා වෙනස් රසයකි. ඒ ඒ රසයන්ගේ වෙනස් බව සහ ඒ තුළින් ලැබෙන වින්දනය දැනගැනීමට නම් ඒවා අනුභව කොට බැලිය යුතුම ය. වැනිලා අයිස්ක්‍රීම් පමණක් රස බලා ෆෘට් ඇඩ් නට් අයිස්ක්‍රීම්වල රස මෙවැනි යැයි නිගමනයකට බැසීමට අපට නොහැකිය. වැඩි වශයෙන් සම්භාව්‍ය සිනමා කෘති පමණක් ඇසුරුකර ජනප්‍රිය ධාරාව අරමුණුකරගත් බොලිවුඩ් හෝ කොලිවුඩ්හෝ වෙනත් වර්ගයක කෘතීන් වෙතින් ලැබෙන රසවින්දනය පිළිබඳව නිගමනයකට එළැඹීම එලෙස වැනිලා අයිස්ක්‍රීම් පමණක් රසබලා ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම්වල රස පිළිබඳව නිගමනයකට එළැඹීමක් වැනි යැයි මට සිතේ.

එමෙන්ම සිනමාපටයක් නැරඹීම හුදු “නැරඹීමක්” බවට ලඝු නොකොට ඉන් ඔබ්බෙහි වන “කියවීමක්”, සිනමා කියවීමක්, රූපරාමු කියවීමක් දක්වා වර්ධනය කරගත හැකි නම් එය වඩාත් පරිපූර්ණ රසාස්වාදනයක් ලබාගැනීමට බෙහෙවින් විසල් පිටිවහලක් වනු ද නිසැක ය.

රසිකයෙකු පලතුරු සලාදයක් මෙන් විය යුතු යැයි මා සිතන්නේ එබැවිනි. අඹවලට ඇත්තේ වෙනස් රසයකි. කෙසෙල්වල රස ඊට වෙනස් ය. ගස්ලබුවල රස ඊටත් වෙනස් ය. මේ සියල්ලෙන්ම සැදුම්ලත් පලතුරු සලාදය මේ සියල්ලටම වඩා වැඩි සහ හාත්පසින්ම වෙනස් රසයකින් යුක්ත ය. එමෙන්ම ඉතාමත් ගුණදායක ය. නමුත් වඩාත් අත්දැකීම් විඳ රස පිළිබඳව කෙළ පැමිණියෙකුට හොඳින් කවලම් වූ පලතුරු සලාදයක වුව ද එකිනෙකට වෙනස් පලතුරු කැබලි හැපෙන විට ඒවායේ ඇති එකිනෙකට වෙනස් රසයන් පිළිබඳව හොඳින් හඳුනාගත හැකිය. එමෙන්ම වඩාත් මිහිරි රසයෙන් එතරම් මිහිරි නොවන රස වෙන්කර හඳුනාගත හැකිය. පාඨකයෙකු ලෙස අප ගමන් කළ යුත්තේ එතැනට ය. ඒ අනුව රසිකයා සහ සිනමා රසවින්දනය යන මාතෘකාව අතිශයින්ම පුද්ගලබද්ධ කෙතරම් සංකීර්ණ මාතෘකාවක් ද යන වග පිළිබඳව මේ වන විට ඔබට කිසියම් අවබෝධයක් ලැබෙන්නට ඇතැයි මම විශ්වාස කරමි.

සිනමාව වූ කලී අතිශයින්ම පෘථුල පරාසයක් පුරා විහිදී පැතිරී පවතින්නකි. මුළු ජීවිත කාලය පුරාම සිනමාව ඇසුරු කළ ද අපට රසවින්දනය කළ හැක්කේ ඉන් ඉතාමත් අතළොස්සක් පමණි. ඉඳින් එයිනුත් අතිශයින්ම ස්වල්පයක රසය ස්පර්ශ කොට බලා සිනමාව සහ රසවින්දනය පිළිබඳව ඉක්මන් නිගමනවලට එළැඹීමට තරම් අප හදිසි විය යුතු නැත. එය සබුද්ධික රසිකයෙකු අතින් සිදුනොවිය යුතු ක්‍රියාවක් ලෙස මම දකිමි.

සිනමාව රූප මාධ්‍යය කරගනිමින් මිනිසාගේ චින්තනයේ නිම්වළලු පුළුල් කරවන ප්‍රබල කලාංගයකි. මිනිසාගේ සමාජීය සහ ජීවන දෘෂ්ටිය පෘථුල කරවන්නකි. ඕනෑම කලාවක් මෙන්ම සිනමාව ද ආනන්දයෙන් ඇරඹී ප්‍රඥාවෙන් කෙළවර වන්නේ යැයි පවසන්නේ එබැවිනි. එනිසා නිරන්තර සිනමාව ඇසුරුකරන රසිකයෙකු ලෙස කිසියම් සිනමා කෘතියක් හෝ තවත් රසිකයෙකුගේ රසවින්දනයක් නිර්දය ලෙස විවේචනය කිරීමට පෙර අප සිය දහස් වාරයක් ඒ පිළිබඳව හොඳින් සිතා බැලිය යුතු ය. සබුද්ධික රසිකයෙකු නිරන්තරයෙන්ම වචන භාවිතය පිළිබඳව සැලකිලිමත් සහ ප්‍රවේසම්කාරී යැයි මම විශ්වාස කරමි. එම අවබෝධය සහ සංයමය ඔහුගේ හෝ ඇයගේ ඵලදායී රසවින්දනයේ ප්‍රතිඵලයක් ලෙස හිමිවන්නකි. අත්දැකීම් බහුල සබුද්ධික රසිකයෙකු ලෙස අපට කළ හැකි තවත් යමක් මම මෙහි ලා සඳහන් කරමි. ඒ අපගේ සහෝදර රසිකයන්ට වඩාත් ඵලදායී රසවින්දනයක් සඳහා මගපෙන්වීමයි. නමුත් එය කිසිසේත්ම ඔවුන්ගේ රසවින්දනය හෙළාදැකීමක් නොවිය යුතු ය. මන්ද එවැන්නක් සබුද්ධික රසිකයෙකු ලෙස අප සතු සද්භාවී අරමුණට පටහැනි විය හැකි බැවිනි.

(මෙය හුදෙක් රසිකයෙකු ලෙස මගේ අදහස් දැක්වීමක් පමණි.)

හංසිනී කවින්දි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *