Family Man Hindi Tv Series | Sinhala Article

Family Man Hindi Tv Series

Family Man Family Man යනු ඉන්දීය OTT මාධ්‍යන් තුල සිදුවූ විශාල පෙරළියක්. Amazon Prime හරහා 2019 දී පළමු වරට විකාශනය වූ Family Man ඉතා දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක්‌ දිනා ගැනීමට සමත් වූ කතා මාලාවක්. මෙය තවත් සුවිශේෂී වීමට හේතුවක් වන්නේ ඉන්දියානු සිනමාවේ සම්මානනීය රංගන ශිල්පියෙකු වන මනෝජ් බජ්පායීගේ ප්‍රථම වෙබ් සීරීස් රංගන දායකත්වය මෙය වීමයි. මනෝජ් යනු බොහෝ සෙයින් කලාත්මක සිනමාව සහ මැද දාරාව නියෝජනය කළ රංගන ශිල්පියෙක්. Entertainment/විනෝදාත්මක සිනමාව තුල බොහෝ සෙයින් ඔහුට හිමි වූයේ සහාය චරිතයන් පමණයි.

 

“මෙලෙස කලාත්මක සිනමාව සහ මැද මාවත නියෝජනය කළ රංගන ශිල්පීන්ට ටෙලි කතාවක හෝ චිත්‍රපටයක වීරයෙකු වීමට හෝ වාණිමය වශයෙන් සාර්ථකත්වයක් ලබා ගැනීමට නොහැකිය” යන මතයක් තිබෙනවා නම්, මනෝජ් බජ්පායී Family Man හරහා එම මතය මුළුමනින්ම බිඳ දමනවා. එපමණක් නොව වීරයා යන යෙදුමට ඔහු රඟ දක්වන ශ්‍රීකාන්ත් තිවාරීගේ චරිතය හරහා වෙනස්ම මුහුණුවරක් ගෙන ඒමට ඔහු සමත් වනවා. කතාවෙන් බිඳක් : ශ්‍රීකාන්ත් තිවාරී යනු TASC (Threat Analysis & Surveillance Cell) හි සේවය කරන ජ්‍යෙෂ්ඨ රහස් පරීක්ෂක නිලධාරියෙක්. TASC යනු බොහෝ සෙයින් රහසිගතව ක්‍රියාත්මක වන ආයතනයක්. ශ්‍රීකාන්ත්ට ඔහුගේ සංකීර්ණ වෘතිය නිසා බොහෝ වේලාවක් තම පවුලෙන් ඈත් වී සිටීමට සිදු වනවා. නමුත් කෙසේ හෝ ඔහු පවුලේ උදවියත් සමග කාලය ගත කිරීමට උත්සාහ කරනවා. 2019 දී විකාශනය වූ මෙහි පළමු අදීරය පාදක වන්නේ, මුම්බායි නගරයට ISIS සම්බන්ද ත්‍රස්ත කල්ලියකින් එල්ල වන ප්‍රහාරයක්‌ සම්බන්දවයි.

 

මෙහි දෙවන අදීරයට පාදක වන්නේ LTTE යට සම්බන්ද වන ත්‍රස්ත කල්ලියක්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදුවන දේශපාලනික ගිවිසුමක් වැලක්වීමට සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවලියක් පිලිබඳවයි. මෙම ත්‍රස්ත මෙහෙයුමට ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ රාජලක්‍ෂමී සේකරන් නොහොත් රාජී නම් පැරණි LTTE සාමාජිකාවක්.

 

Family Man සුවිශේෂී වන්නේ ඇයි? Family Man මා මේතාක් නරඹපු Spy Thriller ගණයේ චිත්‍රපට සහ කතා මාලාවන්ට වඩා වෙනස් වීමට හේතු රැසක් තිබෙනවා. බොහෝ Spy Thrillers තුල මා දකින අංගයක් වන්නේ එහි ප්‍රධාන චරිතය වෙනුවෙන් දැඩි වීරත්වයක් ගොඩ නැගීමයි. වීරත්වයක් චරිතයක් තුල ගොඩ නැගීමේ වරදක් නැත. නමුත් එය අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් එම ප්‍රධාන චරිතයේ සහ අනිකුත් සහාය චරිතයන්ගේ අභ්‍යන්තරයට ගමන් කරන්නේ නැත. Family Man කතා මාලාව තුල ශ්‍රීකාන්ත් මූලික වීරයා වූවත් එය අනවශ්‍ය ලෙස ඉස්මතු කරන්නේ නැත. එම නිසා ශ්‍රීකාන්ත් තිවාරී නම් රහස් පරීක්ෂවරයාගේ එම වෘතියෙන් එපිට ඇති ඇතුලාන්තය පෙන්නුම් කිරීමට නිර්මාණකරුවන් අමතක කරන්නේ නැත. එම වෘතුයෙන් එපිට සිටින පියා සහ සැමියාගේ භූමිකාව ඉතා විශිෂ්ට ලෙස මෙහි පෙන්නුම් කරනවා.

 

මෙය රචනා කළ Raj & D. K. ගේ තිර රචනය තුල තවත් විශිෂ්ටත්වයක් වන්නේ මෙහි සහාය චරිතයන්ටද ඉතා ප්‍රභල අවදානයක්‌ ලබා දීමයි. එම නිසා ප්‍රධාන චරිත පමණක් නොව එහි සහාය චරිතයන් තුලද හොඳ අනන්‍යතාවයක් ගොඩනගා තිබෙනවා. ශ්‍රීකාන්ත්ගේ චරිතයේ ඇති සංකීර්ණ රටාව සමග එහි ඇති හාස්‍ය රසයටද බොහෝ රසික ආකර්ෂණයක්‌ දිනා ගැනීමට සමත්වී තිබෙනවා. විශේෂයෙන්ම මෙහෙයුම් අතරතුර ඔහු සහ JK යන චරිතය අතර ඇතිවන හාස්‍ය උපදවන සංවාදයන්, තවමත් නවීන ලෝකයේ ඇතැම් යෙදුම් සමග සමීප නොවීම නිසා මුහුණපාන අකරතැබ්බයන් සහ ඇතැම් ත්‍රස්තවාදීන්ගෙන් වචන එලියට ගැනීමට ඔහු පවසන බොරු මනංකල්පිත කතාවන් ශ්‍රීකාන්ත්ගේ චරිතයට ආකර්ෂණය වීමට ප්‍රධාන සාදකයන්. මෙතෙක් නිර්මාණය වූ Spy Thriller කතාවන්ගෙන්, ශ්‍රීකාන්ත්ගේ චරිතය iconic චරිතයක් ලෙස නම් කළ හැක්කේ මෙම සුවිශේෂී අංගයන් නිසාය. Family Man කතා මාලාවේ ත්‍රස්ත මෙහෙයුම් මෙල්ල කිරීම ප්‍රධාන මාතෘකාවක්‌ වූවත්, මෙහි ත්‍රස්තවාදය සහ එයට සම්බන්ද වන පිරිසව අධ්‍යනය කරන්නේ මානුෂීය කෝණයකින්.

 

මෙහි දෙවන අදීරයේදී ප්‍රධාන ප්‍රතිවීර (villain) චරිතය වන්නේ රාජී නම් කාන්තාවයි. රාජී යනු එතරම් හැඟීම් දැනීම් නොපෙන්වන රළු චරිතයක්. “මම උන් ඔක්කොම මරා දානවා ” කියූ රාජී දෙසද මෙහි තිර රචනය ඉතා මානුෂීය කෝණයකින් විග්‍රහ කරනවා. මතුපිටින් රළු කෘර ස්වභාවයක් පෙන්නුම් කරන මෙම කාන්තාවගේ අතීත කතාව පෙන්වද්දී, රාජී වැරදි හෝ නිවැරදි වූවත් ඇයටත් එලෙස කටයුතු කිරීමට හේතුවක් තිබෙන බව මෙහි තිර රචනය විග්‍රහ කර තිබෙනවා. එම නිසා ඇය සැබවින්ම අමානුෂික දුෂ්ට චරිතයක්ද යන හැඟීම නරඹන්නා තුලද මතු වනවා.

 

Family Man කතා මාලාව තුල තවත් ප්‍රධාන වශයෙන් පෙන්නුම් කළ කාරණයක් වන්නේ රටේ පවතින දේශපාලනය හමුවේ, TASC වැනි ආරක්ෂක අංශයන්ද අසරණ වන ආකාරයයි. ඔවුන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියත්, ඇතැම් දේශපාලනික බලපෑම් වෙනුවෙන් ඔවුන්ටද අකමැත්තෙන් හෝ අවනත වීමට සිදු වනවා. ඇතැම් අවස්ථාවන් තුලදී ඔවුන් මෙලෙස කැප කිරීම් සිදු කරන්නේ කුමන අරමුණකින්ද යන පැණයත් ගොඩ නැගෙනවා. මෙහි එක් චරිතයක් මෙය පිලිබඳ තම අප්‍රසාදය පළ කරද්දී ශ්‍රීකාන්ත් මෙවැනි දෙයක් ප්‍රකාශ කරනවා: “ඔවුන්ගේ දේශපාලනය කුමක් වූවත් අපේ වෘතියේ වගකීම අපි ඉටු කරන්නට ඕනේ. අපේ වගකීම ජාතික ආරක්ෂාව. මොන දේශපාලකයෙකු හෝ තනතුරට ආවත් අපි අපේ වගකීම ඉෂ්ට කරන්න ඕනේ “.

 

මනෝජ් බජ්පායී ශ්‍රීකාන්ත් තිවාරීගේ චරිතය ඉතා විශිෂ්ට ලෙස රඟ දැක්වුවා. එම චරිතය තුල ඇති සංකීර්ණත්වය සහ හාස්‍ය රසය ඔහුගේ රංගනය තුලින් ප්‍රභලව ඉස්මතු වූවා. Family Man දෙවෙනි දිගු හරුමේදී ප්‍රතිවීර චරිතය රඟ දැක්වූ Samantha Akkineni, මෙහි ඉදිරිපත් කළේ ඇයගේ සිනමා දිවියේ හොඳම රංගනයයි. එම චරිතය තුල ඇති කෘරත්වය සහ සංවේදී අතීත කතාව ඉතා අපූරුවට ඇය ඉදිරිපත් කළා. විශේෂයෙන්ම සටන් ජවනිකාවන් තුල ඇය ප්‍රධාන වශයෙන් කැපී පෙනුණා. ශ්‍රීකාන්ත්ගේ බිරිඳගේ චරිතය රඟ දැක්වූ Priyamani ද, ඇගේ රංගන දිවියේ තවත් සුවිශේෂී චරිතයක් ඉදිරිපත් කරනවා. Family Man නැරඹුවහොත්, ඉන්දියානු සිනමාවේ අප මේතාක් දැනුවත් නොවූ දක්ෂ චරිතාංග රංගන ශිල්පීන් සිටිනවාද යන කාරණය ඔබ‍ට වැටහෙයි. Family Man හි ප්‍රභලම සොයා ගැනීමක් JK Talpade ගේ චරිතය ඉදිරිපත් කරන ශරීබ් හෂ්මී. Slumdog Millionaire චිත්‍රපටයේ අතිරේක චරිතයකින් රංගනයට පිවිසි හෂ්මී, ප්‍රධාන වශයෙන් ප්‍රේක්ෂක සහ විචාරක අවදානයට ලක්වන්නේ මෙම චරිතය හරහා. විශේෂයෙන්ම ශ්‍රීකාන්ත් සහ JK අතර තිබෙන මිත්‍රත්වය සහ සංවාදයන් Family Man තුල ඔබ අත්විඳින රසවත්ම දර්ශන පෙළකි. Family Man දෙවන දිගු හැරුමේ දක්ෂ දමිළ චරිතාංග නළුවන් දෙපලකගේ රංගනයන්ද ඔබ‍ට දැක බලා ගන්නට පුළුවන්. එම දෙපල Ravindra Vijay සහ Devadarshani. චිත්‍රපටයේ ප්‍රභලම දර්ශන පෙළක් ඔවුන් දෙදෙනාට හිමි වනවා.

 

ඒ සමගම අපට කතා මාලාව තුල අමතක කළ නොහැකිම චරිතයක් වන්නේ ශ්‍රීකාන්ත්ගේ දියණිය සහ පුතාගේ චරිත රඟ දැක්වූ Ashlesha Thakur සහ Vedant Sinha. මෙහි අමතක නොවන දර්ශන පෙළක් ඔවුන් දෙපලටම හිමි වනවා. Family Man හි සිනමාකරණයද අනිවාර්යෙන්ම මතක් කළ යුතුයි. ඊට හේතුව මෙයෙද මෙහි ප්‍රධාන වශයෙන් කැපී පෙනුණු සාදකයක් නිසාවෙන්. මෙහි ඇති අදීර ද්විත්වය තුලම ඉතාම විශිෂ්ට ගණයේ Single Take දර්ශනයක් තිබෙනවා. මෙය මා ඉන්දියාවේ මේතාක් දුටු විශිෂ්ටතම දර්ශන පෙළක්. ඉහත සඳහන් කළ කරුණු කාරණා නිසා, Family Man යනු ඔබ‍ට ඉහලින්ම නිර්දේශ කළ හැකි කතා මාලාවක්.

රමිත විමුක්ති

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *