Enemy (2013) English | Sinhala Review

Enemy (2013) English by Thilina Geethanjana

.කළු සුදු අරගලය.?

අපේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු ගොඩක් මිනුම්දඬු අනුව බෙදලා වර්ග කරලා වෙන් කරන්න පුලුවන්.හැබැයි අපි හැමෝම අයිති වෙන්නෙ අළු පාට මිනිස්සු කියන කොට්ඨාසයට.ඇයි මම එහෙම කියන්නෙ? ඒකට හේතුව තමයි මිනිස්සු කියන්නෙ සෑමවිටෙකම හොඳ නරක ඒ කියන්නෙ සුදු කළු කියන හැඟීම්,ක්‍රියාකාරකම් වල මිශ්‍රණයක්.ලෝකෙ ඉඳපු කරුණාවන්තම මිනිසාගෙ වුණත් පොඩිම පොඩි හරි නරකක් අනිවාර්යයෙන්ම තියෙනවා.අඩුම ගානෙ හිත ඇතුලෙ හරි අංශුමාත්‍රික කළු පැල්ලමක් තියෙනවමයි.ඒ වගේම තමයි ලෝකෙ දරුණුම අපරාධකරුවගෙ වුනත් යන්තම් හරි සුදක් ගෑවිලා හරි තියෙනවාමයි.ඉතිං ජීවිතේ ගෙවෙන විදිය අනුව මේ සුදු කළු දෙක විවිධාකාර ප්‍රමාණවලින් මිශ්‍ර කරගත්තු අළු පාට මිනිස්සු විදියට අපි ජීවත් වෙනවා.සමහර වෙලාවට කළු පැත්තට ළං වෙනවා,සමහර විට සුදු පැත්තට ළං වෙනවා.කොහොම වුණත් මේ කළු සුදු අරගලය කවදාවත් නවතින්නෙ නෑ.සමහර වෙලාවට අපි මැරුණට පස්සෙත් මේක සමාජය විසින් වෙනස් කරනවා.
දැන් එමු ප්‍රධාන මාතෘකාවට.ඇයි මේ ෆිල්ම් එක ගැන මෙහෙම කිව්වෙ කියල මේක කියවලා ඉවර වුනාම ඔයාලට තේරේවි.පොඩි විස්තරයක් කරොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ සමහරක් MCU ෆෑන්ස්ලාට අනුව මොන “කුක්කෙක්”ද කියල හැඳින්වුණු,
නමුත්
Blade Runner 2049
Arrival
Prisoners
Incendies
වගේ සුපිරි ෆිල්ම් ටිකක් අධ්‍යක්ෂණය කරපු ඒ වගේම ඉස්සරහට එන්න තියෙන Dune ෆිල්ම් එකේත් අධ්‍යක්ෂකයා වන Denis Villeneuve.
ප්‍රධාන චරිතය විදියට රඟපාන්නෙ ලෝකෙ ඉන්න most underrated actor කෙනෙක් වෙන Jake Gyllenhaal කියන දක්ෂ නලුවා.ඇයි එහෙම කියන්නෙ කියල ජේක්ගෙ ෆිල්ම් ටිකක් බැලුවම තේරේවි.මෙතනින් එහාට ෆිල්ම් එක බලපු නැති කෙනෙක් නම් බලලා ඇවිල්ල කියවන්න කියල යෝජනා කරනවා.
⚠️️Spoilers Alert ⚠️
මේ ෆිල්ම් මතුපිටින් බැලුවොත් පේන්නෙ තමන් වගේම හැඩරුවක් තියන චිත්‍රපට නලුවෙක් ගැන අහම්බෙන් හොයාගන්න සාමාන්‍ය ඉතිහාස ගුරුවරයෙක්ගෙ ජීවිතේ වෙනස් වෙන විදිය ගැන කතාවක්. ඉස්සරහට පහසුව තකා මම නලුවා සහ ගුරුවරයා කියල මේ චරිත දෙක හඳුන්වන්නම්. හැබැයි සාමාන්‍යයෙන් psychological thriller movies ටිකක් බලපු කෙනෙක්ට නම් මේ ඉන්නෙ එකම කෙනෙක් කියල මුලින්ම සැකයක් ඇති වෙනවා. එහෙම නැතත් මේ ඉන්නෙ එකම කෙනා කියල ෆිල්ම් එක ඇතුලෙම ඕන තරම් ඉඟි දීලා තියෙනවා.
?1.නලුවාගෙ නිවසේ පොත් රාක්කයක තිබෙන ඉතිහාසය පිළිබඳ පොත් ටිකක් පෙන්වීම.
?2.දෙදෙනාගේම ඉතාමත් අසාමාන්‍ය ලෙස සමාන වූ කැළලක් තිබීම.
?3.ගුරුවරයා තමා blueberries වලට අකමැති බව කිව්වත් ඔහුගේ මව ඔහු ඒවාට ඉතාමත් කැමති බව පැවසීම.ෆිල්ම් එකේ වෙනත් තැනකදී blueberries කියන්නෙ නලුවාගෙ ආසම කෑමක් කියල අපිට බලාගන්න පුලුවන්.
?4.නලුවාගේ ගැබිණි බිරිඳ ගුරුවරයා හමුවෙන්න ගිය වෙලාවෙ ඇයට නලුවාගෙන් දුරකතන ඇමතුමක් එනවා.හැබැයි ඒකට උත්තර දෙන්න කලින් ගුරුවරයා තාප්පෙකින් නොපෙනී යනවා.හරියට කිව්වොත් මේ දෙන්නා එකම වෙලාවෙ දැකලා තියෙන්නෙ ඒ දෙන්නා විතරයි.
?5.ගුරුවරයා සතුව තිබෙන ඉරුණු ඡායාරූපයට සමාන සම්පූර්ණ ඡායාරූපය නලුවාගේ නිවසේ තිබී සොයාගැනීම.
?6.මේ සිද්ධියෙන් පස්සෙ ගෙදර යන බිරිඳ කිසිම පුදුමයක් හෝ බයක් පෙන්වන්නෙ නෑ ඒ වෙනුවට ඇය ඉන්නෙ ලොකු දුකකින්.ඒ වගේම ඇය තමන්ගෙ සැමියා ඒ කියන්නෙ නලුවාට කියනවා ගුරුවරයා කියන්නෙ කවුද කියල ඔහු දන්නවා කියල.ඒ කියන්නෙ මේ චරිතයේ තියන මානසික ස්වභාවය ගැන ද්විත්වපෞරුෂත්වය (Dual personality) ගැන ඇය දන්නවා.
හරි දැන් මේ ඉන්නෙ එකම කෙනෙක් කියල අපිට හිතන්න පුලුවන්. ෆිල්ම් එක පටන් ගන්නෙ ගුරුවරයගෙ අම්මගෙන් ඔහුට ආපු voicemail එකකින්. ඒ කියන්නෙ ඔහුට ඇයගෙන් ලැබුනු ඇමතුම මඟහැරිලා. ඒ වගේම මෙතනදී ඇය කියනවා ගුරුවරයා ජීවත් වෙන ගෙදර තත්වය “ඉතාමත් දුක්ඛිත” බව. මේක ගොඩක් වැදගත් සිද්දියක්.ඒ මොකද කියල ඉස්සරහට තේරේවි. ඊළඟට ගොඩක් අමුතු විදියෙ Sex club එකක සිද්ධි ටිකක්. මෙතනදී High Heel දාගත්තු කාන්තාවක් මකුළුවෙක් චප්ප කරන්න යන විදිය බලාගන්න පුලුවන්. මේ ෆිල්ම් එකේ වැදගත්ම සංකේතය තමයි මකුලුවො.ඒක ගැන අපි පස්සෙ කතා කරමු.
ඊළඟට එන්නෙ ඉතිහාස ගුරුවරයාගේ දේශනයක සිද්දිය.මෙතනදී තමයි ෆිල්ම් එක තේරුම් ගන්න අවශ්‍ය වෙන වැදගත්ම කරුණ අපිට ලැබෙන්නෙ. ඒ වගේම මෙතනදී බ්ලැක් බෝඩ් එකේ ලියලා තියන ගොඩක් වචනත් ෆිල්ම් එකේ හරයට ගොඩක් සම්බන්ධයි. මෙතනදී ගුරුවරයා කියනවා පොඩි උපුටාගැනීමක්.
?“Hegel said that all the greatest world events happened twice and then Karl Marx added the first time it was a tragedy and second time a farce.”
?“හේගල් කිව්වා ලෝකෙ වැදගත්ම සිදුවීම් ඔක්කොම දෙපාරක් සිද්ධ වෙලා තියෙනවා කියල ඊට පස්සෙ කාල් මාක්ස් පළවෙනි වතාවෙ ඒක ඛේදාන්තයක් වුණා හැබැයි දෙවනි වතාවෙ ඒක විහිළුසහගත විකාරයක් වුණා කියල ඒකට දිගුවක් එකතු කරා.”
මේකත් හොඳට මතක තියාගන්න.

?.පාලනයට නතුවීම. (Dominance)

මේක චිත්‍රපටයේ තියන ප්‍රධානම මාතෘකාවක්.
මේක ගැන දීලා තියෙන ගොඩක් ඉඟි ෆිල්ම් එකේ ගොඩක් තැන් වල අපිට හොයාගන්න පුලුවන්.
?1.මුලින්ම ගුරුවරයා පාලනය සහ අධිරාජ්‍යවාදය ගැන කරන දේශනය.
?2.ගුරුවරයා බයිසිකලයකින් නැවත නිවස බලායන අතරමඟදී උමං මඟක තියන ෆැසිස්ට්වාදී බිතුසිතුවම.
?3.අඩි උස සපත්තු පැළඳ සිටින කාන්තා දෙපා වල දර්ශන.
?4.ගුරුවරයා චිත්‍රපට අලෙවි සලකට ගිය විට දක්නට ලැබෙන “Attack of the 50 foot woman” චිත්‍රපටයේ පෝස්ටරය.(මේකෙ තියෙන්නෙ නගරයක් ආක්‍රමණය කරන අඩි පනහක් උස කාන්තාවක් ගැන කතාවක්)
?5.නලුවා ගුරුවරයාගේ පෙම්වතිය ගැන ඔත්තු බලන විට පසුබිමේ දක්නට ලැබෙන කාන්තාවන්ගේ රූප. මෙතනදී අඩි උස සපත්තු දාගත්තු කාන්තාවක් ලොකු ගොඩනැගිල්ලක් උඩින් කකුල තියාගෙන ඉන්න රූපයක් තියෙනවා.
ඉතිං ඇයි මේවා මෙහෙම ෆෝකස් කරන්නෙ. ෆිල්ම් එකේ නලුවා කියන්නෙ තමන්ගෙ බිරිඳගෙ පාලනයට නතුවුනු චරිතයක් කියල අපිට බලාගන්න පුලුවන්. ඇය ගැබිණියක් නිසා තවත් ඇගේ යටතට පත් වෙලා ඉන්නෙ. මොකද එතකොට තමන්ට පවුලට සහ බිරිඳට පක්ෂපාතී වෙලා ඉන්න සිදු වෙනවා. හැබැයි නලුවා ඇත්තටම එහෙම පක්ෂපාතී නොවෙන බව අර මුලින්ම පෙන්නන sex club සීන් එකෙන් අපිට බලාගන්න පුලුවන්.

?.කළු සහ සුදු බව (Good and Bad)

ෆිල්ම් එකේ පුරාවටම ගුරුවරයා ඇඳගෙන ඉන්නෙ සුදු හෝ ඒ ආසන්න පාටවල් තියෙන ඇඳුම්‍ විතරයි. අන්තිමටම තියන සීන් එකේ නම් වෙනස් වෙනවා. ඒවගේම තමයි නලුවා ඇඳන් ඉන්නෙ කලු හෝ අඳුරු පාට ඇඳුම්‍. ඉතිං මේ චරිත දෙකේ ස්වභාවය ගැන කියන්න මීටත් වඩා උදාහරණ ඕනත් නෑ වගේ තමයි. ගුරුවරයා නිවුණු තැන්පත් කෙනෙක්. පේන විදියට කිසිම නරක පුරුද්දක් නෑ. හැබැයි නලුවා ඒකෙ අනික් පැත්ත. ඔහු නිතරම තරහගන්න, දුරාචාර වලින් පිරුණු කෙනෙක්.
හැබැයි අනික් විශේෂ කාරණය තමයි මේක අනික් චරිත වලටත් බලපාලා තියෙනවා.
ඔව්, නලුවාගේ ගැබිණි බිරිඳ ඇඳන් ඉන්නෙ සුදු හෝ ඒ ආසන්න පාටවල් වල ඇඳුම්‍ වගේම ගුරුවරයාගේ පෙම්වතියගේ ඇඳුම් ඔක්කොම වගේ කළු පාටට ආසන්නයි. මේකෙන් පේනවා ගුරුවරයා (සුදු) සහ බිරිඳ (සුදු) කියන්නෙ එකතු වෙන්න ඕන චරිත දෙකක් කියල.

?.මකුළුවන් (Controllers)

ෆිල්ම් එක ගැන ගොඩක් අයට ප්‍රශ්නයක් වුනෙ මේ මකුලුවොන්ගෙ තේරුම මොකක්ද කියන එක. මුලින්ම මකුලුවො ගැන අපි දන්න දේවල් අනුව බලද්දී ඌ ප්‍රධාන වශයෙන්ම කරන්නෙ තමන්ගෙ ගොදුර පාලනයට නතු කරගැනීම. මකුළු දැලකට අහුවුණ සතෙක් කොටින්ම කිව්වොත් තමන්ගෙ පාලනය නැති වෙලා මකුළුවට නතු වෙනවා. සමහර වෙලාවට ගැහැණු මකුළුවන් සංසර්ගයෙන් පසුව පිරිමි මකුළුවා කාලා දානවා කියලත් හොයාගෙන තියෙනවා. ෆිල්ම් එකේ මේ ගුරුවරයා සහ නලුවා කියන දෙන්නම මකුළු දැලකට අහුවෙලා ඉන්නෙ කියල අපිට හිතාගන්න පුලුවන්
.
?1.මකුළු දැලක් විදියට පේන නගරයේ විදුලි රැහැන්වල දර්ශනය.
?2.ගුරුවරයා සිහිනෙන් දකින චිත්‍රපට දර්ශනයේ,ගුරුවරයාගේ මවගේ නිවසේ ඇති නිර්මාණ වල, කළු ලෑල්ලේ ඇති රටා වල මකුළු දැලක ස්වභාවය.
?3.නලුවා අනතුරට භාජනය වූ පසු වාහනයේ බිඳුණු වීදුරුවේ ඇති මකුළු දැලකට සමාන රටාව.
ඉතිං කවුද මේ මකුලුවො ටික? සරලවම කිව්වොත් ෆිල්ම් එකේ මකුලුවො කියන්නෙ කාන්තාවන්ට පාවිච්චි කරපු සංකේතයක්.මේකෙ නලුවා අහුවෙලා ඉන්නෙ තමන්ගෙ “ගැබිණි බිරිඳ” කියන මකුළුවා වියපු “පවුල” කියන මකුළු දැලට අහුවෙලා.ඒ වගේම ඔහුට ඕන ඒකෙන් මිදිලා ජීවත් වෙන්න. sex club එකේදී මකුළුවා මරන සිදුවීම ආසාවෙන් බලාගෙන ඉන්න එකෙන් ඒ නිදහස ලබාගන්න ඔහුගේ තියන දැඩි ආසාව පිළිඹිබු වෙනවා.
ඉතිං ෆිල්ම් එකේ ඉන්න එකම මකුළුවා බිරිඳ නෙවෙයි. මෙතනදී තමයි තවත් වැදගත් සිදුවීමක් අපිට බලාගන්න ලැබෙන්නෙ. ඒ තමයි ගුරුවරයා සහ ඔහුගේ මව අතර සංවාදය.මෙතනදී අම්මා කියනවා ඔහුගේ ජීවිතය සහ නිවස ඉතාමත් “හොඳ” තත්වයක තියෙනවා කියල. මේක අර ෆිල්ම් එකේ මුලින්ම අහන්න ලැබෙන voicemail එකට පරස්පර විරෝධී කතාවක්. ඒ වගේම ඔහු කලින් සිටි ගැහැනියක් නිසා ජීවිතේ කරගත්තු වැරැද්දක් ගැනත් කියනවා. ඒ වගේම ඔහුගේ නලුවෙකු වීමේ “ෆැන්ටසිය” අතහරින ලෙසද ඇය කියනවා.
ඉතිං මේකෙන් පස්සෙ ඊලග ශොට් එකේ තමයි ෆිල්ම් එකේ අපිට දකින්න ලැබෙන ලොකුම මකුළුවා පෙන්නන්නෙ. නගරයක් ආක්‍රමණය කරන මකුළුවෙක් තමයි මෙතනදී පෙන්නන්නෙ. ඉතිං මේ මකුළුවා සංකේතවත් කරන්නෙ ගුරුවරයාගේ මව. විශාලත්වය මඟින් නිරූපණය කරන්නෙ ඇය ගුරුවරයාගේ මුළු ජීවිත කාලයම වගේ මවගේ පාලනයට යටත්ව ගතවුණු කාලය සහ එයින් වුණු බලපෑම.
ඊලග කාරණය තමයි ගොඩක්ම රසවත් එක.මේ ෆිල්ම් එකේ කතාව ගලාගෙන යන්නෙ කැනඩාවේ Ottawa, Ontario කියන ප්‍රදේශය තුළ. ඉතිං මේ ප්‍රදේශයේම තියෙනවා Louise Bourgeois කියන මූර්ති ශිල්පියා නිර්මාණය කළ ලොකු මකුළුවෙක්ගෙ ප්‍රතිමාවක්. මේක අර ෆිල්ම් එකේ පෙන්නන විශාල මකුළුවට ගොඩක් සමාන පෙනුමක් තියන නිර්මාණයක්.ඒ වගේම මේකෙ නම තමයි Maman.

?.Guess what?

මේක “Mother Spider” කියලත් හඳුන්වනවා.ඉතිං මම හිතන්නේ මේක අහම්බයක් නම් වෙන්න බෑ. තවත් තැනකදී ගුරුවරයා සිහිනෙන් දකින මකුළු හිසක් සහිත කාන්තාවට සමාන හැඩරුවක් සහිත කාන්තාවකුත් අපිට බලාගන්න පුලුවන්. ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමට ඉන්න බය වුණු මකුළුවා තමයි ඔහුගේ බිරිඳ. ඒක නම් ඕන කෙනෙක්ට හිතාගන්න පුලුවන් දෙයක් නෙ.

?.වර්ණ භාවිතය සහ නගරයේ දර්ශන (Dull and Gloomy)

Denis Villeneuve කියන්නෙ කොච්චර දක්ෂ ඩිරෙක්ටර් කෙනෙක්ද කියල හොඳටම බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් තමයි මේක.මේ චිත්‍රපටයේ සාමාන්‍යයෙන් තියෙන්නෙ කහ සහ කොළ පැහැයට හුරු ගොඩක් මූසල වර්ණ තේමාවක්.ඒ වගේම අවශ්‍ය තැන්වල ඒක අඳුරු කිරීම මඟින් චරිත ස්වභාවය ඉස්මතු කිරීම හොඳට කරලා තියෙනවා.ඒ වගේම ගොඩක් අවධානය යොමු විය යුතු ස්ථාන වලට ඔහු නිල් පැහැය එකතු කරලා තියෙනවා.
?.උදාහරණයක් විදියට චිත්‍රපට අලෙවිසලේ ඇති ” Attack of 50 foot woman” පෝස්ටරය ආසන්නයේ නිල් පැහැ විදුලි බුබුළක් දක්නට ලැබීම දක්වන්න පුලුවන්.
අනික තමයි නගර දර්ශන වල දකින්න ලැබෙන මූසල සහ මීදුමෙන් වැසුණු ස්වභාවය. මේ ෆිල්ම් එකේ නගරයෙන් පෙන්නන්නෙ ප්‍රධාන චරිතයේ මනසේ ස්වභාවය. අර විශාල මකුළුවා නගරය ආක්‍රමණය කිරීමෙන් ඔහුගේ මනසට තමාගේ මවගෙන් ඇති බලපෑම වගේ අවස්ථා පිළිඹිබු කරනවා. ඒ වගේම ෆිල්ම් එකේ අන්තිමට ඇක්සිඩන්ට් එක ගැන රේඩියෝ එකේ නිව්ස් එක යද්දී ඒකෙ නගරයේ කාලගුණය විස්තර කරන්නෙ “ඉතාමත් දීප්තිමත් හිරු එළිය හොඳින් ලැබෙන” උදෑසනක් කියල. නමුත් අපිට දකින්න ලැබෙන එක නගර දර්ශනයකවත් එහෙම දීප්තිමත් බවක් දකින්න ලැබෙන්නෙ නම් නෑ.

?.සිදුවීම් වල අනුපිළිවෙළ (Timeline order)

ෆිල්ම් එකේ මුලින්ම පෙන්නනවා යම්කිසි වැකියක්.ඒකෙ තියෙන්නෙ
?“Chaos is order yet undecipered.”
?“අවුල්ජාලයක් කියන්නෙ තවමත් තේරුම් ගත නොහැකි වූ යම්කිසි පිළිවෙළකි.”
ඉතිං මේ ෆිල්ම් එකෙත් නිශ්චිත කාලරේඛාවක් අනුව ගලායෑමක් දකින්න අමාරුයි.

මේ ෆිල්ම් එකේ Timeline එක වෙන්න පුලුවන් විදි දෙකක් තියෙනවා.

1.
මට තේරුණ විදියට නම් මේ චරිතය දිගටම ඉතිහාස ගුරුවරයෙක්. ඒ වගේම ඔහු තමන්ගෙ බිරිඳගෙ යටතෙන් මිදෙන්නෙ ලොකු උත්සාහයක් දරන කෙනෙක්. කොහොම වුනත් තමන්ගෙ බිරිඳ ගැබිණයක් වීම සමඟ ඔහුගේ නිදහස තවත් සෑහෙන්න සීමා වුණා. ඒ නිසා ඔහුගේ නලු හීනයත් අතරමඟ නැවතුනා. ඔහු නැවත ඒජන්සියට ගිය වෙලාවෙ එතන ඉන්න කෙනෙක් ඔහුට කියනවා ඔහු දැක්කෙ මාස හයකින් කියල. ඒ වගේම ගුරුවරයා සහ බිරිඳ අතර සංවාදයේදී ඇය කියනවා ඇය සයමස් ගැබිණයක් කියල. ඒ කියන්නෙ බිරිඳගෙ ගැබ්ගැනීමත් සමඟ ගුරුවරයාගේ නිදහස් ජීවිතය ගොඩක් සීමාවුණා කියල.ඒ වගේම කලින් තමන් නිදහසේ කරගෙන ගිය අනියම් සම්බන්ධතාවත් මේක නිසා නතර කරන්න වුණා. ඒ නිසා තමයි ගුරුවරයා ළඟ ඉරුණු ඡායාරූපයක් තිබ්බෙ. මේ නළු භුමිකාව ෆැන්ටසියක් විතරක් කියල මව සමඟ වෙන සංවාදයෙන් තේරුම් ගන්න පුලුවන්. නැවත කොහොම හරි පවුල් ජීවිතයක් ගෙවන ගුරුවරයාගෙ හිතේ බිරිඳගෙන් මිදිලා නිදහස් ජීවිතයක් ලබාගෙන පරණ පෙම්වතියත් ඇසුරු කරමින් නැවත තමන්ගේ නලුවකු වීමේ හීනය සම්බන්ධව කටයුතු කරන්න තියන ආසාව සහ ඒකත් එක්ක තමන්ගෙ ඇත්ත ජීවිතේ සිදු වෙන ගැටුම තමයි මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන්නෙ. චිත්‍රපටයේ එක තැනකදී අහන්න ලැබෙන අනාචාරයේ ගොස් ජීවිතය විනාශ කරගත්තු පිරිමියෙක් ගැන කියවෙන “Cheater” කියන ගීතයත් මේ අවස්ථාවට ගැලපෙනවා.
2.
එහෙම නැත්නම් මේ ගුරුවරයා තමන්ගෙ බිරිඳට හොරෙන් තවමත් තමාගේ අනියම් සම්බන්ධතාවය සහ දුරාචාර ක්‍රියා පවත්වාගෙන යනවා. නමුත් හිත ඇතුලෙන් ඔහුට නැවතත් පක්ෂපාතී සැමියෙක් වෙන්න අවශ්‍යයි. ඒ නිසා තමන්ගෙ නරක ජීවිතයෙන් මිදිලා නැවත බිරිඳගෙ මකුළු දැලට අහුවෙන්න යන්න ඔහුගේ සිතේ ඇති වන කැමැත්ත සහ අකමැත්ත අතර ගැටුමක් මේ ෆිල්ම් එකෙන් පෙන්නනවා වෙන්නත් පුලුවන්.
?“It’s a man,who decided to leave his mistress to go back to his pregnant wife and we see the story from his subconscious point of view….”
?“මේ තමන්ගෙ අනියම් බිරිඳ අතෑරලා නැවතත් තමන්ගෙ ගැබිණි බිරිඳ වෙත යන්න තීරණය කරපු මිනිහෙක්ගෙ කතාවක්,ඒ වගේම අපි ඒක දකින්නෙ ඔහුගේ උපවිඥාන ‘මනසේ’ කෝණයෙන්…”
කොහොමත් අධ්‍යක්ෂක Denis Villeneuve ෆිල්ම් එක ගැන මෙහෙම කියන එකෙන් මේ මතය තවත් තහවුරු වෙනවා.

?.හේගල් සහ මාක්ස් (Hegel and Marx)

ෆිල්ම් එකේ මුලදී ගුරුවරයා කියන දෙබස තමයි මේ ෆිල්ම් එක තේරුම් ගන්න තියන යතුර. ඒ වගේම එක් දර්ශනයකදී ඔහුගේ පිටුපසින් තියෙන කළු ලෑල්ලේ ලියලා,තියෙනවා මෙහෙම සමීකරණයක්.
?. Thesis + Antithesis = Synthesis
ඇයි මේ සමීකරණය වැදගත් වෙන්නෙ?
මේ සමීකරණය ප්‍රධාන වශයෙන්ම අදාල වෙන්නෙ Dialect (හේතුඵලවාදය) කියන ඇත්ත නිස්සාරණය කරගැනීමේ ක්‍රමයකට. මේ ක්‍රමය ගොඩක් අපරාධකරුවන්ගෙන් ඇත්ත දැනගැනීමේදිත් පාවිච්චි කරනු ලබනවා. ඉතිං මේකත් අර කලින් කියපු හේගල් ඉදිරිපත් කරපු සිද්ධාන්තයක්. මේකෙදී වෙන්නෙ Thesis (යම් නොදන්නා කාරණයක් ගැන අදහසක්) දුන්නම ඊට විරුද්ධව Antithesis (යම් පරස්පර විරෝධී ප්‍රතිචාරයක්) ලැබුණොත් ඒකෙන් Synthesis (ඇත්ත) මොකක්ද කියල අපිට නිගමනයකට එන්න පුලුවන්.
?.උදාහරණයක් විදියට අපරාධකරුවෙක් (සැකකරුවෙක්) කිව්වොත් ඔහු මිනීමැරුම වෙන වෙලාවෙ ගෙදර ෆුට්බෝල් මැච් එකක් බැලුවා කියලා ඊලගට පොලිස් නිලධාරියා එතනදී “කවුද එහෙනම් 35වෙනි විනාඩියෙදි ගෝල් එකක් ගැහුවෙ?” කියල ප්‍රශ්නයක් මඟින් Thesis එකක් ගොඩනඟනවා. හැබැයි අපරාධකාරයා ඒක දන්නැති නිසා එක්කො බොරුවක් (Antithesis) කියාවි නැත්තං ඇත්තම කියාවි. බොරුවක් කිව්වොත් අපිට තේරුම් ගන්න පුලුවන් ඇත්තටම ඔහු අපරාධය කරා කියල (Synthesis). හැබැයි බොරුව වහන්න තවත් බොරු කියන්න ගත්තම මේ Dialect ක්‍රියාවලිය අනන්තයක් දුරට වුණත් ඇදෙන්න පුලුවන්. ඒ කියන්නෙ Loop එකක්. මේ ෆිල්ම් එකේ Thesis වෙන්නෙ ගුරුවරයා, Antithesis වෙන්නෙ නලුවා මේ දෙන්නගේ දිගටම සිද්ධ වෙන ගැටුම තමයි මේකෙ තියන Dialectic process එක.
ඉතිං ෆිල්ම් එකේ අපිට බලාගන්න පුලුවන්.ගුරුවරයාගේ හිතේ ගැටුමෙන් සුදු පැත්ත දිනනවා කියල. නලුවා සහ අනියම් පෙම්වතිය අනතුරට භාජනය වෙනවා වගේම ගුරුවරයා නැවත තමාගේ බිරිඳ සමඟ එකතු වෙනවා. Dialect එක ඉවරයි. ඉතිං සතුටුදායක අවසානයක් නේද ?
අපෝ නෑ. ඊලගට තමයි සෙල්ලම ආපහු පටන් ගන්නෙ. මෙතනදී ගුරුවරයා නැවත ‘කලු” පාට ඇඳුම්‍ කට්ටලයක් ඇඳගෙන Sex Club එකට යන්න ලෑස්ති වෙලා අදාළ යතුරත් අතේ තියාගෙන ඉන්නවා. ඒ වගේම බිරිඳ කියනවා ඔහුට “මවගෙන් ලැබුණු දුරකතන ඇමතුමක්” මඟ හැරුනා කියලා.
ඊළඟට අහන ප්‍රශ්නයට බිරිඳගෙන් උත්තරයක් නොලැබුණු නිසා කාමරයට යන ගුරුවරයා දකින්නෙ “බියෙන් ඇකිළුණු” යෝධ මකුළුවෙක්. ඒ වගේම ගුරුවරයාගේ මුහුණේ දකින්න ලැබෙන්නෙ බයක් පුදුමයක් නෙවෙයි. යම් කිසි විදියක “උපහාසාත්මක” (ironical) බැල්මක්. මෙතනදී ගුරුවරයා නැවත ක්ලබ් එකට යන්න හදන නිසා බිරිඳ දැනගන්නවා ඔහුගේ සැමියාගේ කළු පැත්ත ආපහු ඉස්මතු වෙලා කියලා. ඉතිං මකුළු දැලෙන් මිදුණම ඔහු මොකක්ද කරන්නෙ ?
ඔව් ඔහු ඊළඟට තමයි Sex club එකේදි මකුළුවෙක් චප්ප කරන්නෙ යන්නෙ. ඉතිං බිරිඳ කියන මකුළුවා සැමියා අතින් චප්ප වෙනවට සහ නැවත ඔහුව තමාට අහිමි වීමේ බියෙන් ඇකිළෙනවා.
?.ඒත් ඇයි ගුරුවරයාගේ මුහුණේ උපහාසාත්මක බැල්මක් තියෙන්නෙ ?
ඔව් කාල් මාක්ස් කිව්වා දෙවනි පාර එකම දේ වෙද්දී ඒක විහිලුවක් වෙනවා කියල. ඉතිං ගුරුවරයා දැන් මේ එකම සිද්ධිය ආපහු වෙන්න යන බවත් හැබැයි මේ පාර ඒක ඛේදාන්තයක් නෙවෙයි විහිලුවක් වෙන බවත් දන්නවා. ඉතිං මේ විකාර සහගත විහිළුවට ඔහුට හිනා යනවා. ඒ වගේම Dialects loop එකත් ආපහු පටන් ගන්නවා.ඉතිං ඊළඟට තමයි අර ඔහුගේ මවගෙන් ලැබුණු voicemail එක ඔහු අහන්නෙ.ආපහු මුල ඉදන් ෆිල්ම් එකම Loop වෙනවා.ඔන්න ඕකයි සිදු වෙන්නෙ. ඉතිං ගුරුවරයාගේ හතුරා වෙන කවුරුවත් නෙවෙයි ඒ ඔහුමයි. ඔහුගේ කළු සුදු පැති දෙක එකිනෙකාගේ සතුරන් බව හොඳට තේරුම් ගන්න පුලුවන්. ඉතිං ෆිල්ම් එකේ නම Enemy කියන්නෙ ඇයි කියල දැන් තේරෙනවා ඇති.
දැන් ඉතිං මම අර මුලින්ම කිව්ව ටිකට හේතුව තේරෙනවා ඇති. මිනිස්සු විදියට අපිත් හැමදාම කලු සුදු පැති දෙකේ ගැටුම් එක්ක ලූප් එකක හිරවෙලා තමයි ජීවත් වෙන්නෙ. හැබැයි පුලුවන් තරම් කළු පාට ගතිය අඩු කරගන්න එක අපිටත්, අනුන්ටත් හොදයි. ඉතිං අවසාන වශයෙන් මේක ඇවිල්ලා සංකීර්ණම සහ හොඳම ගුණාත්මක මට්ටමක තියන Mind blowing masterpiece එකක්.ආසාවක් ආවා නම් හරියට තේරුම් අරගෙන අනිවා ආපහු බලන්න කියල recommend කරනවා.

Enemy Official Trailer

Download
Subtitle Download

තිළිණ ගීතාංජන

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *