Dunhinda Addara (1992) Sinhala Teledrama by Ramitha Vimukthi
දුන්හිද අද්දර
අසෝක හඳගම අධ්‍යක්ෂණය කළ දුන්හිද අද්දර ටෙලි නාට්‍ය, මා මේතාක් නරඹපු ටෙලි නාට්‍ය අතරින් තවත් සුවිශේෂී ටෙලි නාට්‍යක්. 2021 දී රූපවාහිනිය තුල නැවත විකාශනය කිරීමත් සමග, මෙය පළමු වතාවට නැරඹීමට අවස්ථාවක් හිමි වුනා. අසෝක හඳගම සරලවම දුන්හිද අද්දර තුලින් පෙන්නුම් කරන්නේ ලාංකීය ගැමියාගේ අරගලයයි. දුන්හිද ඇල්ල යනු සංචාරකයින්ගේ ප්‍රධාන අවධානය දිනාගත් ස්වභාවික වස්තුවක්. වසරක් ඇතුලත් ලාංකිකයන් සහ විදේශිකයන් දුන්හිද අසිරිය දැක ගැනීමට පැමිණෙනවා. නමුත් අප මොනතරම් එහි ආකර්ෂණය රස වින්දත්, එම අවට සිටින ජනයාගේ කටුක ජීවිතයන් පිලිබඳ ඔබෙත් මගෙත් ඇති දැනුවත්භාවය කොපමණද?. කොන්ක්‍රීට් වනාන්තර ඇතුලේ හිරවෙලා ඉන්න අපටත් ඇතැම් වෙලාවට දුර ඈත ගම් පිළබඳ හීනමානයන් පහළ වනවා. “ගම කොච්චර ලස්සනද, පොඩි පැලක අවට සිරියාවත් විඳගෙන ජීවත් වෙන්න ලැබුනා නම් සහ අපි වගේ නගරේ ඉඳගෙන රේස් දුවන ජීවිත වලට වඩා සරල ගැමි ජීවිතය මොනතරම් සුන්දරද “: මේ ආකාරයේ විවිදාකාර හීනමානයන් නගර වල සිටින අපටත් විටින් විට පහළ වනවා. නමුත් සැබවින්ම එය එතරම්ම සුන්දරද?. සරලම පිළිතුර නැත. නගරේ මිනිසුන් රේස් දුවන ආකාරයටම ගම්මුත් වෙනස් විදිහේ රේස් එකක් දුවනවා. එය ඊට කටුකයි සහ විටෙක භයානකයි. එපමණක් නොව සංස්කෘතිය සහ සදාචාරය යන වචන දෙකෙන් අපවම මොන තරම් රැවටී තිබෙනවාද යන කාරණය, දුන්හිද අද්දර ටෙලි නාට්‍ය තුලින් සනාථ කරනවා. ුන්හිද අද්දර ඉදිරිපත් කරන්නේ ඔවුන්ගේ ඔබ සවන් දිය යුතු කතාවයි.
දුන්හිද අද්දර ආරම්භ වන්නේ සුසිලා සහ නන්දසේනගේ (නන්දේ) චරිතයන් තුලින්. ඔවුන් බස් රථයක මුණ ගැසෙනවා. බස් රථයක හමුවූ අමුත්තන් දෙදෙනෙකුට වඩා ඔබ්බට ගිය දෙයක් ඔවුන් දෙදෙනා අතර පෙන්නුම් කරනවා. ඉතාම කෙටි හමුවීමක් හරහා ඔවුන් දෙපළ සැමියා බිරිඳ ලෙසට ජීවත් විය යුතු බව අඟවනවා. නමුත් කසාදේ රෙජිස්ටර් කරන්නට ඔවුන් ළඟ වත්කමක් නැත. ඕනෑම අවධානයකට මුහුණ දෙනවාය යන අදහසින් එක වහලක් යටට සුසිලා සහ නන්දේ පැමිණෙනවා. සුසිලා සහ නන්දේ යනු කොලේක අත්සන් නොකර එක වහලක් යටට ආපු පළමු යුවලවත්, අවසාන යුවලවත් නොව. නමුත් ජීවිතය දුෂ්කරයි. ඔවුන් පදිංචි වන්නේ දුන්හිද අසල පිහිටි පැල්පතකයි. දුන්හිද සිරි නරඹන්නට සෑම දිනකම සංචාරකයින් පැමිණෙනවා. එය අතරවාරයේම දුන්හිද අවට ජීවත් වන දුෂ්කර ගැමි ජීවිතය නිහඬව ගලා යනවා. මෙහි අපට මුණගැසෙන අනිකුත් ප්‍රධාන චරිත පෙළ වන්නේ කසිප්පු වෙළඳාමේ නියැලෙන ගුණදාසගේ පවුල. නීතී විරෝධී වෙළඳාමක නිරත වූවත් ඔවුන්ද එය සිදු කරන්නේ ජීවතය ගැට ගසා ගැනීමටයි. විරැකියාව, දරිද්‍රතාවය, ප්‍රචණ්ඩත්වය සහ අඹුසැමියන් අතර ඇති වන රාගය මෙම චරිත හරහා අධ්‍යනය වනවා.
සුසිලා සහ නන්දේ අතර ඇතිවන මෙම දෙබස් පෙළ, මා හට තදින්ම කාවැදුණු දෙබස් පෙළක් :
සුසිලා : අතපය හොඳට තියෙන මිනිහෙකුට නිකන් ඔහේ බලාගෙන ඉන්න පුළුවන්ද?
නන්දේ : වෙන මොනවා කරන්නද?
සුසිලා : මේ ගමේ ජීවත් වෙන්න මිනිස්සු මොන තරම් දේවල් කරනවද.
නන්දේ : ලෝකේ තියෙන දහ බලුකම් සේරම කරනවා.
සුසිලා : මුකුත් නොකර ඉන්නවට වැඩිය ඒක හොඳයි.
නන්දේ : තමුසේ කියන්නේ මටත් කසිප්පු පෙරන්න කියලද?
සුසිලා : කරන්න කිසිම දෙයක් නැත්තම් ඒත් කමක් නැහැ. කරන ඕනෑම දේකට උදව් කරන්නම්.
සුසිලා මෙහි අවසානයට ප්‍රකාශ කළ දෙබස බහුතරයක් වූ ගැමියන්ගේ ඛේදනීය යථාර්තයක්. ජීවත් වීමට ඔවුන්ට හරි වැරැද්ද කුමක්ද පිලිබඳ සිතීමට කාල වේලාවක් නැත. ජීවිතය ඉදිරියට ගෙන යන්නට නම් කසිප්පු පෙරීම ඔවුන්ට ඇති ප්‍රධාන විකල්පයක්. ගුණදාස, ඔහුගේ බිරිඳ, සුද්දෙ සහ කුසුමේ ඊට ප්‍රභල උදාහරණයන්. සුද්දෙ සහ කුසුමේ යනු ළමා වියේ සිටියත්, නිසි ළමා කාලය අහිමිවී ඇති ළමුන් දෙදෙනෙක්. කසිප්පු වෙළඳාමේදී කසිප්පු සපයන්නේ ළමුන්ගේ අතින්. එය ඔවුන් පොලීසියට හසු නොවීමට යොදාගන්නා මාර්ගයක්. කසිප්පු වෙළෙන්දන්ව වැටලීමට ගමට පොලීසියෙන් පැන්න විට, එම ළමුන්ද කසිප්පු පෙරණ බඩු සැඟවීමට ක්‍රියාත්මක වනවා. කොයි මොහොතේ පොලීසිය පැමිණේවිද යන චකිතයෙන් සිදු කරන අවදානම් රැකියාවක් එය. මනාලියකගේ වේල්ලක් සේ ගලා වැටෙන දුන්හිද අද්දර සිටින ගැමියන්ගේ, ඛේදනීය ජීවිතයන් ගලා යන්නේ මෙලෙසයි.
සුසිලා, නන්දේ, ගුණදාසගේ බිරිඳ, සුද්දෙ, කුසුමේ, කරුණාපාල, අනුලා සහ සියල්ලම බලා සිටින නන්නාදුනන පුද්ගලයා : මේ සෑම චරිතයකටම ජීවයක් මෙහි තිර රචනය හරහා ලබාදී තිබෙනවා. සුසිලාගේ චරිතය හරහා දරිද්‍රතාවය හමුවේ බැට කන තරුණියකගේ අසරණකම මානව පෙන්නුම් කරයි. නිසි රැකියාවක් නැත, මනුස්සයාද වෙනත් ගැහැණියෙකුට අහිමි වනවා, ලැබෙන්නට සිටි දරු ගැබද අහිමි වනවා සහ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අන් අයගෙන් යැපීමට සුසිලාට සිදු වනවා. විශේෂයෙන්ම සුසිලාගේ චරිතය ගැබ්බරව සිටින අවදියේ ඇල්ලෙන් වතුර කළයක් ඔසවාගෙන එන දර්ශනය, එවන් ගැහැණියකගේ අසරණකම මනාව පෙන්නුම් කරනවා. ගුණදාසගේ බිරිඳත් එලෙස බැට කාපු ගැහැණියක්. නමුත් කසිප්පු වෙළඳාම සමග සිදු කරන දීර්ග කාලීන ජීවන අරගලය හරහා ඇයටත් නොදැනීම හිත හයිය ගැහැණියක් වී ඇත. සුද්දෙ යනු තම දෙමාපියන්ගේ රැකියාවම කරට ගත් ළමයෙක්. සුද්දෙ හදවතින් අහිංසක වූවත් ඔහු අත්විඳින දුෂ්කරතා හමුවේ රළු ප්‍රචණ්ඩකාරී ගති පැවතුම්ද ඇති පුද්ගලයෙක්. රුපියල් විස්සක කසිප්පු කෝප්පයකට ඇති ණයක් හමුවේ ඔහු අතින් කාන්තාවක් ඝාතනය වනවා. ඔහු කළ දෙය කිසිසේත්ම සාදාරණය කළ නොහැකි වූවත්, සුද්දෙ තුල ඇති නොදැනුවත්භාවය කෙරෙහි සියුම් අනුකම්පාවක් නරඹන්නා තුලද උපදවනවා.
සුසිලාගේ චරිතය රඟ දැක්වූ අනෝමා ජනාදරී ඇයගේ රංගන දිවියේ තවත් විශිෂ්ටතම රංගනයක් ඉදිරිපත් කරනවා. එම සුසිලාගේ චරිතයේ ඇති ධෛර්යවන්තකම සහ විටෙක ඇති අසරණකම, මානව ඇයගේ ප්‍රභල රංගනය තුලින් ඉස්මතු වනවා. අනෝමා ජනාදරීගේ රංගනයට සමානව තකට තක ගිය අනිකුත් විශිෂ්ට රංගනය ඉදිරිපත් වන්නේ කෞශල්‍යා ප්‍රනාන්දු විසින්. එම කසිප්පු පෙරණ ගැහැණියගේ චරිතයට අදාල වන අංග චලනයන්ගේ පටන් එම චරිතයට අදාළ සෑම අංගයක්ම ඉතා අපූරුවට ඇය ඉදිරිපත් කළා. මෙය කෞශල්‍යා ප්‍රනාන්දුගේ පළමු ටෙලි රංගනය. තම පළමු රංගනයෙන්ම මෙතරම් විශිෂ්ට පරාසයක් පෙන්නුම් කරන්නේ බොහොම සුළු පිරිසක්. සුද්දෙගේ චරිතය සමාජය දෙස බලන විට ඇති වන ව්යාකූලත්වය සහ යම් සිදුවීම් හමුවේ අත්පත් වන අසරණකම හමුවේ තමා තුල ප්‍රවර්ධනය වන ප්‍රචණ්ඩකාරී හැසිරීම්, ඉතා අපූරුවට රුක්මල් නිරෝෂ්ගේ රංගනය හරහා ඉදිරිපත් වුනා. ඒ සමගම මැල්කම් මචාඩෝ, ජයශ්‍රී චන්ද්‍රජිත්, සේන නානායක්කාර, එච්. ඒ. පෙරේරා සහ හංසමාලා ජානකීද ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා. ඒ සමගම රෝහණ වීරසිංහගේ පසුබිම් සංගීත අධ්‍යක්ෂණයද ටෙලි නාට්‍යයේ කැපී පෙනුණ අංගයක්.
රමිත විමුක්ති.