Drive My Car (2021) Japanese by Luckshman Aranvala
ජපාන සිනමාවෙන් ලොවට පිදෙන 2021 වසරේ තවත් විශිෂ්ටතම චිත්‍රපටයක්. නිර්මාණයට පාදක කරගෙන තියෙන්නෙ විශිෂ්ටතම ජපන් කතුවරයෙක් වන හරුකි මුරකාමි ගේ ‘Men Without Women’ නම් කෙටි කතා සංග්‍රහයේ එන එක් කතාවක්. කතන්දර දෙක තුළ වෙනස්කම් තිබෙනවා. Kafuku, Misaki Watari සහ Takatsuki කියන චරිත වල භූමිකාව එකයි. නමුත් චිත්‍රපටයට නැගීමේදී අතිවිශිෂ්ට ආකාරයකට සියලුම චරිත සහ සිදුවීම් ප්‍රසාරණය කරල තිබෙනවා. ඒ ඒ චරිත වලට අයත් හැසිරීම වෙනුවෙන් චිත්‍රපටය තුළ දැවැන්ත වපසරියක් අඩංගු වෙනවා. ඒ නිසාම කෙටි කතාව කියැවූ අයට චිත්‍රපටය තුළින් ලැබෙන අත්දැකීම උසස්ම එකක් වනවා.
සාරාංශය විදිහට මෙහි ප්‍රධාන තේමාව “බැඳීම්” කියල හඳුන්වන්නට පුළුවන්. එතකොට මෙහිදී හමුවන චරිත විස්තර ඇසුරෙන් බැඳීම් කියන දේට අදාළ කරගන්නා ස්වරූපයන්, පැතිකඩයන් සහ අර්ථකථනයන් විවිධාකාරයි. හැමෝගෙම ජීවිතේට සමීප වූ මොකක්මහරි සුවිශේෂී බැඳීමක් ඇති. ඒ බැඳීම පවත්වාගෙන යාමේදී ඉන් ලබනා ආස්වාදය වගේම අපහසුකාරී හෝ ගැටලුකාරී වාතාවරණයන් වලටත් මුහුණ දෙන්නට සිදුවනවා ඇති. දමල ගහල යන්නට හෝ මරාගෙන් මැරෙන්නට හිතෙන අවස්ථාවන් පවා එළඹෙනවා ඇති. අතාරින්නටම බැරි නිසාම එක්කෝ පාඩුවෙ විඳ දරාගෙන ඉන්නට සිදුවෙනවා ඇති. කොයිම විදිහකින් හරි මේ බැඳීම් එක්ක එකට ගතකරන මොහොත තුළ ලබනා පරම සුවයක ආධ්‍යාත්මික සැනසීම වැඩිපුරම දැනෙනවා ඇත්තේ බැඳීම බිඳුණ දාකම වෙන්නටත් ඇති. එතකොට පරක්කු වැඩි ඇති.
එවන් කාරණා ගැන මෙතරම් දීර්ඝව විස්තර කරනා සිනමා නිර්මාණයක් විදිහට මේ නරඹන්නට ලැබෙන්නේ සුවිශේෂී බැඳීම් සමුදායක විස්තරයක්. එක කතාවක් ඇතුළෙ කතා ගොඩක්. ඒ නිසාම පැය 3 කට ආසන්න කාලයක් මේ කතන්දරය එක්ක සංයමයකින් යුතුව ඒකාත්මික වෙන්නට හැකියි. විවිධ දිශානතීන් ට යොමු වන නමුත් එකම ගමනාන්තයක් කරා ධාවනය වන එකම චාරිකාවක මඟියෙක් වෙන්නට නරඹන්නාටත් අවස්ථාවක් හිමියි. එහෙම බැලුවම 2021 Cannes සිනමා උළෙලේදී හොඳම තිරරචනය ට හිමි සම්මානය ජයග්‍රහණය කිරීම පුදුමයකුත් නෙමෙයි. 94 වන ඇකඩමි සම්මාන උළෙල වෙනුවෙන් හොඳම ජාත්‍යන්තර චිත්‍රපටය වෙනුවෙන් තරඟ කරන්නට ජපානයෙන් ඉදිරිපත් කර තිබෙන්නේත් මේකම තමයි. සෙමින් ගලාගෙන යන කලාත්මක ඩ්‍රාමා චිත්‍රපට වලට ප්‍රිය රසික ඔබ නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුමයි.
*****************************************************
Directed by : Ryusuke Hamaguchi
Screenplay by : Ryusuke Hamaguchi , Takamasa Oe
Based on
“Drive My Car”
by Haruki Murakami
Produced by :
Tsuyoshi Gorô
Misaki Kawamura
Osamu Kubota
Sachio Matsushita
Yoshito Nakabe
Keiji Okumura
Jin Suzuki
Akihisa Yamamoto
Starring
Hidetoshi Nishijima as Yūsuke Kafuku
Tōko Miura as Misaki Watari
Masaki Okada as Kōji Takatsuki
Reika Kirishima as Kafuku’s Wife, Oto
Park Yoo-rim
Jin Daeyeon
Sonia Yuan
Cinematography : Hidetoshi Shinomiya
Music by : Eiko Ishibashi
Country : Japan
Language : Japanese