Dracula Sir (2020) Bengali | Sinhala Article

Dracula Sir (2020) Bengali

95% liked this film Google users

ඩ්‍රැකියුලා ව අපට හමුවෙන්නේ බටහිර සාහිත්‍යයෙන්. ටෙලි, චිත්‍රපට නිර්මාණ විදිහට වුණත් බටහිරෙන්. නමුත් මේ කතා කරන්නේ පෙරදිග ඩ්‍රැකියුලා කෙනෙක් ගැන. මෙයා ඉන්නෙ ඉන්දියාවේ කල්කටාවේ. සාමාන්‍යයෙන් ඩ්‍රැකියුලා කිව්වම ඔළුවෙ මැවෙන රූපයෙත් ප්‍රධානතම අංගය වෙන්නේ ගොදුරේ සම හපා සිදුරු කර ලේ බොන්නටම සැකසුණු තියුණු නෙරා ගිය උල් දත් යුගලයනේ. මේ කතන්දරය තුළින් හමුවෙන පාසල් ගුරුවරයාටත් පිහිටා තිබෙනවා ඩ්‍රැකියුලා වර්ගයේ අසාමාන්‍ය දත් යුගලයක්. ඒ නිසාම තමයි ඔහුට “ඩ්‍රැකියුලා සර්” කියල නමක් පටබැඳිල තියෙන්නෙත්. එහෙනම් මේක ෆැන්ටසි වැම්පයර් කතන්දරයක් නෙමේ. නමුත් ගුරුවරයා සම්බන්ධයෙන් ‍යම්කිසි අමුත්තක් පවතින බවටත් ඉඟි ලැබෙනවා.

ඩ්‍රැකියුලා දත් දෙක නිසා මේ අහිංසක ගුරුවරයාට සමාජය ඉදිරියේ මහත් අපහසුකාරී තත්ත්වයකට පත්ව ඇති බව දකින්නට ලැබෙනවා. උසුළු විසුළු වලට, සමච්චලයට ලක් වන එක නම් වලක්වන්නම බැරි දෙයක්. කතාබහ කරන වෙලාවට ලේන්සුවකින් මුව ආවරණය කරගන්න වෙන්නෙත් ඒ නිසා. මේ හේතුවෙන් ඔහු විඳිනා ප්‍රබල මානසික පීඩනයක බර අපට වටහාගන්නට පුළුවන්. කාලාන්තරයක් තිස්සේම ඔහුව පෙළූ අමිහිරි වේදනාකාරී අතීත මතක ගොන්නක මානසික සිරකරුවෙක් බවත් දැනෙනවා. ඒ වේදනාවන් යළි සිහිවනා විට ඔහු තුළ යම් විපර්යාසයක් සිදුවන හැටිත් දකින්නට ලැබෙනවා. නමුත් ගැටලුවක් පවතිනවා. ඔහුගේ අතීත මතක අයත් වෙන්නේ 70 දශකයට. නමුත් මේ 2020 වසරට සාපේක්ෂව ඔහුගේ වර්තමාන වයස සම්බන්ධයෙන් දැවැන්ත පරස්පරයක් පවතිනවා. එදා වගේම ඔහු තවමත් තරුණයි. ඒ වගේම වැම්පයරයන් වයසට යන්නේ නැති බවත් අපි දන්නවා…. එතකොට මේ ඉන්නේ ඇත්තම….. ?

සයිකොලොජිකල් ත්‍රිලර් චිත්‍රපටයක් විදිහට ඉන්දියානු සිනමාවෙන් බිහිවූ විශිෂ්ටතම නිර්මාණයක් විදිහට Dracula Sir ව හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම කතා පෙළගැස්ම තුළ තිබෙනවා කතන්දරයේ අද්භූත සොබහවය ප්‍රේක්ෂකයාට තදින්ම දනවන්නට සමත්වන රටාවක්. ඒ වගේමයි මෙහි ඇතුළත් කලාත්මක අගයත් ආකර්ෂනීයයි. ප්‍රචණ්ඩකාරී අවස්ථාවනුත් ප්‍රබලව ඉදිරිපත් කර තිබෙනවා. ගුප්තකාරී චරිත විස්තරයක් වෙනුවෙන් ප්‍රධාන රංගන ශිල්පියාගේ රංගනයත් අතිවිශිෂ්ඨයි. සංගීතය තුළ තිබෙන්නේත් මෝහනීය මිහිරියාවක්. ලොකුම ක්‍රෙඩිට් එක හිමිවෙන්න ඕන නම් රචනය සඳහායි. ඒ නිසාම අනිවාර්යයෙන්ම නැරඹිය යුත්තක් විදිහට මේ බෙංගාලි චිත්‍රපටය ඉහළින්ම නිර්දේශ කරන්නට පුළුවන්.

*****************************************************

Directed by
Debaloy Bhattacharya

Written by
Debaloy Bhattacharya
Kallol Lahiri

Produced by
Shrikant Mohata
Mahendra Soni

Starring
Anirban Bhattacharya
Mimi Chakraborty
Cinematography
Indranath Marick

Music by
Amit Chatterjee
Ishan Mitra
Saqi
Durjoy

Country
India

Language
Bengali

Download
Subtitle Download

ලක්ෂ්මන් අරංවල

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *