Don (2022) Tamil | Sinhala Article

Don (2022) Tamil by Himashi Indrachapa

තවත් එක මසාලවක් කියලා ද හිතුවේ ?

නෑ,මේක එහෙම එකක් නෙවෙයි. හිනස්සලා හිනස්සලා ඔයාව අන්තිම⁣ට අඬවයි මේක. එච්චරයි මම දන්නේ…..

” තාත්තා තමයි මගේ ජීවිතේ ලොකුම දුෂ්ටයා “

මෙහෙම කියන්නේ චක්‍රවර්ති කියලා මුරණ්ඩු කොල්ලෙක්. ඉගෙන ගන්න පොඩ්ඩක්වත් ආස නෑ. කිසිම අනාගත බලාපොරොත්තුවක් නෑ. හැමතිස්සේම කියන්නේ මම මට වෙන්න ඕන කෙනා වෙනකන්ම හැමදේම කර කර බලන⁣වා කියලා. ඒත් චක්‍රවර්තිගේ තාත්තා ටිකක් සැර තාත්තා කෙනෙක්. ඒ නිසා මෙයා තාත්තගේ බලකිරිම නිසාම අකමැත්තෙන් හරි ඉගෙන ගන්නවා. හැමදාම විභාග ෆේල්. තාත්තව රවට්ටනවා හැමතිස්සේම බොරු කිය කියා.අන්තිමට තාත්තා සල්ලි ගෙවලා පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ඇතුළත් කරනවා ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න. එතනත් ගිහිල්ලා ඉගෙන ගන් නෑ තව යාළුවෝ ටිකක් එකතු කරන් ගුරුවරුන්ට කරදර කර කර ඉන්නවා. කොටින්ම මෙයා තමයි කොලේජ් එකේ ළමයින්ගේ ඩොන්. හැබැයි මේ ඩොන් තාත්තට නම් පණ බයයි. කොලේජ් එකට ගිහිපු පළවෙනි දවසෙම චක්‍රවර්ති තමන්ගේ තාත්තගෙන් පස්සේ තමන්ට තව හතුරෙක් එයාම හිතලා හදාගන්නවා. ඒ තමයි භූමි සර්. කොලේජ් එකේ විනය භාර ගුරුතුමා. භූමි සරුයි, චක්‍රවර්තිගේ තාත්තයි තකට තක. හිතන්නකෝ ඉතින් ඩොන්ගේ ජීවිතේ එතන ඉඳන්.

⁣දැකලා තියෙනව ද ළමයෙක් මුළු කොලේජ් එකක්ම පාලනය කරනවා ගුරුවරුත් එක්කම. මේ කතාවේ නම් එහෙමයි. ළමයා තමයි කොලේජ් එක පාලනය කරන නිල නොලත් විදුහල්පති. ඉතින් චක්‍රවර්තිගේ එහෙමත් නැත්නම් ඩොන්ගේ කතාව තමයි ඒ. ⁣එනම් චක්‍රවර්තිට පුළුවන් වෙයි ද මේ හැම දෙයක් අතරෙම තමන්ට ඕන කෙනා වෙන්න. තාත්තගෙන් චක්‍රවර්තිට ඒකට ඉඩක් ලැබෙයි ද ?

දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් කොච්චර හීන දකිනව ද ? මුළු ජීවිත කාලේම වෙහෙසෙනවා තමන්ට වඩා ඉහළ තැනකට තමන්ගේ දරුවන්ව ගේන්න. ඒත් ඒක ටිකක් ආත්මාර්ථකාමීයි නේද ? සමහර විට දරුවන්ට ඇත්තේ දෙමව්පියෝ තමන් ගැන දකිනවට වඩා වෙනස්ම හීන, වෙනස්ම බලාපොරොත්තු. දරුවෝ ගැන, ඔවුන්ගේ හෙට දවස ගැන ඕනවටත් වඩා වෙහෙසෙන නිසා ඒක දෙමව්පියන්ට නොතේරනව ඇති. එක අතකට ඔවුන් බය ඇති තමන්ගේ දරුවව තමන් නොදන්න නුපුරුදු පාරක ගිහින් අතරමං ⁣වේවි කියලා. අපිත් හිතුවක්කාර නිසා අපටත් නොතේරෙනව ඇති දෙමව්පියෝ මේ තරම් වෙහෙසෙන්නේ, හීන දකින්නේ අපේ සතුට වෙනුවෙන් කියලා.

කතාවක් තියෙනවා තාත්තලා අම්මලා වගේ ආදරේ පෙන්වන් නෑ කියලා. ඒත් තාත්තලා සමහර වේලාවට අම්මලාටත් වඩා නිහඬව දරුවන්ට ආදරේ කරනවා. තාත්තලා උදේ හවා රස්සා කරලා මහන්සි වෙන්නේ එයාල වෙනුවෙන් ද ? නෑ ඒ අපි වෙනුවෙන්. අපේ ජීවිත සතුටින් තියන්න. චක්‍රවර්ති ගේ තාත්තත් චක්‍රවර්තිට මහ ගොඩක් ආදරය කළා.ඒත් කවදාවත් ඒ ආදරය පෙන්නුවේ නෑ. නිහඬවම තමන්ගේ මුළු ජීවිතේම තමන්ගේ දරුවා වෙනුවෙන් කැප කළා. තමන්⁣ට වඩා උසකින් හැමවේලාවේම චක්‍රවර්තිව තියන්නයි තාත්තට ඕන වුණේ. ඒ නිසා හැම වේලාවේම තාත්තා ඔහුට තදින් උන්නා. තාත්තගේ මේ නිති රීති චක්‍රවර්ති තවත් මුරණ්ඩු වෙන්න බලපාන්න ඇති. ඒත් තාත්තගේ තරහවයි, නිතී රීතියි විතරක් දැකපු චක්‍රවර්ති⁣ට ඇයි තාත්තගේ හදවතේ ඔහු වෙනුවෙන් උතුරන ඒ සෙනෙහෙස නොතේ⁣රුණේ. ඒ සෙනෙහස නෙදැකපු ඔහුට තාත්තා ඔහුගේ ජීවිතේ ලොකුම දුෂ්ටයා වුණා.

අපි ටික ටික ලොකු වෙද්දි අපි අම්මලා තාත්තලා ගණන් නෑ. අපි තමයි ලොක්කෝ කියලා හිතන් ඉන්නේ. ඒක යෞවන වයසේ ස්වභාවය. ඒත් අපි දැනුම් තේරුම් වයසට එද්දී අපට තේරෙනවා අම්මලා තාත්තලා කොච්චර හරි ද අපි කොච්චර වැරදි ද කියලා. ඒත් සමහර වේලාවට එතකොට අපි පරක්කු වැඩිවෙන්න පුළුවන්. මොකද අපි තරුණ වෙද්දී අපටත් වඩා වේගයෙන් අපි වෙනුවෙන් ⁣තමන්ගේ ජීවිත කාලය පුරාම වුණ මහන්සිය අම්මලා තාත්තලාව වයසට යවනවා. ඒ නිසා අප⁣ට පුළුවන්නම් දෙමව්පියෝ අපි එක්ක ඉන්න කාලේ එයාලව තේරුම් අරන් එයාලත් එක්ක ඉන්න. එනම් දවසක අපිට එයාලව මඟහැරුණා කියල ඇතිවෙන පසුතැවීමෙන් අපට මිදෙන්න හැකි වේවි.

ඔයත් ඔයාගේ අම්මාටයි, තාත්තටයි කවදාමහරි එක සැරයක් හරි සැරෙන් කතා කරලා තියෙනවා ද ? අපටත් චක්‍රවර්තිට වගේම හිතෙන්නේ දෙමව්පියෝ අපට කරන්නෙම දුෂ්ටකම් කියලා නේද ? එයාල අපි වෙනුවෙන් මුකුත් කරලා නෑ කියලා නේද ? ඒත් අපි නිකමටවත් හිතුව ද එයාලා එයා වෙනුවෙන් මොනවද කරගෙන තියෙන්නේ කියලා. මොකද එයාලා තමන්ගේ මුළු ජීවිත කාලේම කැප කරේ අපි වෙනුවෙන්.එයාලට අඩුම ගාණේ තමන් ගැන මොහොතකටවත් හිතන්න වේලාවක් තිබුණේ නෑ අපි ගැන හිතනවා ඇරෙන්න.

අපි සැරෙන් එයායාලට කෑ ගහද්දී බනිද්දී එයාල මුකුත් නොකර ඉන්නේ අපිට බයේ කියල ද හිතන්නේ ? නෑ, ඒ එයාලගේ හිතේ අපට තියෙන ආදරේ වැඩි කමට. එයාලට අපි කොච්චර ලොකු වුණත් අපිව පෙන්නේ පොඩි දරුවෙක් වගේ. අපි කෑගහද්දී එයාල අපි තුළින් දකින්නේ තමන්ගේ අත් දෙකෙන් නළවපු පොඩි දරුවා මිසක් කරදඬු උස්මහත් වෙච්ච අපිව නෙමෙයි.

එක තැනකදී චක්‍රවර්ති තාත්තාට බැන්නම චක්‍රවර්තිගේ අම්මා කියනවා මොන දේ වුණත් එයා ඔයාට කතා කරපු විදියට නම් මට හරිම කේන්තියි කියලා.ඒ වේලාවේ චක්‍රවර්තිගේ තාත්තා කියන්නේ එකම එක වාක්‍යයි.

ඒ, ” එයා තාම දරුවෙක් ” ඒ එක වාක්‍යය ඇති තාත්තා⁣ගේ හිතේ චක්‍රවර්ති වෙනුවෙන් දෝරේ ගලලා උතුරන සෙනෙහසට…..

තාතතලා කියන්නේ සැබෑ ලෝකයේ සබෑම සුපිරි වීරයන්ට. ඔවුන්ට අපි චිත්‍රපටිවල දකින සුපිරි වීරයන්ට වගේ සුපිරි බල නෑ. අත් දෙක දික් කරලා විදුලි දහරා විදින්න බෑ. ඒත් මොන සුපිරි වීරයෙක් ගාවවත් නැති සුපිරි බල කිහිපයක් තාත්තා ගාව තියෙනවා. ඒ තමයි ආදරය, සෙනෙහස, රැකවරණය. තාත්තගේ කරගැට ආපු අත්, පැළුණු යටි පතුල් මේ සුපිරි බලයන්ට සාක්ෂි දරාවී.

ගැහැණු දරුවෙක්⁣⁣ගේ පළමු ආදරය තමයි තාත්තා. තාත්තා තරම් සෙනෙහසක්, රැකවරණයක් වෙන කාටවත්ම ගැහැණු ළමයෙක්ට දෙන්න බෑ. චක්‍රවර්තිගෙයි තාත්තගෙයි ගැටුම් පිරුණු බැඳීම වගේම සෙනෙහසින් පිරී ඉතිරී ගියා තාත්තෙක්ගෙයි දුවෙක්ගෙයි ආදරණීය බැඳීමකුත් මේ කතාවේ තව පැත්තකින් හරි ලස්සනට ගලා යනවා.

මේ ලෝකේට දොස්තරවරු, ඉංජිනේරුවෝ, විද්‍යාඥයෝ හැම කෙනෙක්ම බිහි කරන්න පුළුවන එකම එක රැකියාවට විතරයි. ඒ තමයි ගුරුවරු. දෙමව්පියන්ගෙන් පස්සේ අපේ ජීවිතවල වැදගත්ම කොටසක් ඉටු කරන චරිතේ තමයි ගුරුවරු. සමහර ගුරුවරු ඉන්නවා ළමයින්ට ඉතාම සෙනෙහසින් ඔවුන්ගේ මිතුරන් සේ ඉන්න . තවත් ගුරුවරු ඉන්නවා ළමයින්ට ටිකක් තදින් ඉන්න. ඒත් ඒකේ තේරුම ඒ ගුරුවරු අපට ආදරේ නෑ කියන එක ද ? ඒක එහෙම නෙවෙයි. ගුරුවරුන්ට තමයි දෙමව්පියන්ගෙන් පස්සේ අපි ගැන වැඩිපුරම වගකීමක් තියෙන්නේ. ඉතින් ඔවුනුත් බය ඇති තමන්ගේ වගකීම තමන් අතින් ගිලිහේවී කියලා.

ගුරුවරු බනින්නේ අපිත් එක්ක තරහකට ද ? ඒ තමයි ඔවුන්ගේ සෙනෙහස. අපි වැරදි පාරක යනවනම් කොහොම හරි නැවත අපිව හරි පාරට ගන්නයි ඒ නීතිරීති ඇනුම් බැනුම් සියල්ල. ඒත් දෙමව්පියන්ව වගේම අපට ගුරුවරුන්ව පේන්නෙත් අපේ හතුරෝ වගේ. ඒත් එක තැනක් එනවා ඒ හැම දෙයක්ම වැරදියි කියලා තේරුම් යන. ඒත් මං කලින් කීවා වගේ එදාට සමහර විට අපි පරක්කු වෙන්නත් පුළුවන්. ඒත් දෛවය අපට අවශ්‍යම වේලාවේ මේ දෙවල් වටහාගන්න කවදාවත් ⁣අවස්ථාවක් දෙන් නෑ. අත්දැකීම් සමඟ අප පරිණත වන විටයි අපට අපි වැරදි බව හැඟෙන්නේ. එයයි ස්වභාවධර්මය.

හීන, ඔයාටත් තියෙනව ද තමන්ටම කියලා හීනයක්. මම මෙන්න මේ තැනට කවදමහරි යන්න ඕන කියලා. තමන්ගේ මුළු ජීවිතේම වෙච්චි හීනයක්. ඒත් කවුරුත් නැද්ද උදව් කරන්න. කවුරුත් නැද්ද තමන්ව විශ්වාස කරන්න. ඒත් අතාරින්න එපා. කොහොම හරි අල්ලගෙන ඉන්න. දවසක ඉර පායනවමයි. අනිත් අය තමන්ට බෑ කියලා හිතන ලොකු හීන දකින කෙනෙක් ද ඔයත් ? එනම් මේක ඔයා බලන්නම ඕන චිත්‍රපටියක්.

සමහර විට ඔයාටත් තාම චක්‍රවර්ති වගේ තමන් කවුද කියලා හොයාගන්න බැරි වෙලා ඇති. එනම් අතාරින්න එපා. දිගටම හොයන්න. අනිවාර්යයෙන් දවසක ඔයාට ඔයා අයිති තැන හම්බෙනවමයි.

ඉතින් හීන දකින, හීන වෙ⁣නුවෙන් වෙහෙසෙන හැමෝටම ලොකු කතාවක් චක්‍රවර්ති කියලා දෙනවා මේ කතාව ඇතුළේ.

වර්තමානයේ දෙමව්පියන්ට ඕන තමන්ගේ දරුවෝ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ, ගුරුවරු වගේ සමාජය පිළිගත්ත රැකියාවක් කරන්න. ගුරුවරුත් පාසල් අවධියේ ඉඳන්ම මේ වගේ සමාජය පිළිගන්නවා යැයි සම්මත රැකියා කිහිපයක් වෙනුවෙන් විතරයි ළමයි මෙහෙයවන්නේ. මේ රැකියාවලින් පිට හීන දැකීම බරපතල වරදක් ලෙසයි දෙමව්පියෝ වගේම ගුරුවරුත් හිතන්නේ. ඉතින් සමහර ළමයි දෙමව්පියන්ට හා ගුරුවරුන්ට ඇති ආදරයත්, බියත් නිසාම තමන්ගේ හීන උපන් ගෙයිම මරා ගන්නවා. ඒත් සමහරෙක් තමන්ගේ හීනය හොයාගෙන යන්න තීරණය කරනවා. ඒ වගේ කෙනෙක් තමයි චක්‍රවර්ති. ඒත් ඒ ගමන කවදාවත් ලෙහෙසි පහසු ගමනක් වෙන් නෑ. මනාන්තය දක්වාම අභියෝගවලින් පිරිපා තියෙිවී. තමන් වැඩියෙන්ම ආදරය කරන, වැඩියෙන්ම වටිනා දේවල් අහිමි වේවි. හැබැයි ඔයාගේ ඉවසීමත් ගොඩක් දේවල් තීරණය කරාවී. චක්‍රවර්තිගේ ජීවිතේ ඒකට ඔයාට උත්තර සපයාවි. තමන්ගේ හීන වෙනුනෙන් තමන් එක්කම ජීවත්වෙන ආදරයක්, තමන්ටත් වඩා තමන් වෙනුවෙන් වෙහෙසෙන යාළුවෝ තොයිතරම් නම් සම්පතක් ද ජීවි⁣තේට. චක්‍රවර්තිටත් කවුරු නැතත් එහෙම ආදරයකුයි,යාළුවෝ ටිකකයි හිටියා.

කතාවට ආදරයට වඩා යාළුකම වටිනවා කියනවා වගේම යාළුවෝ ටික ආදරයටත් එහා චක්‍රවර්ති වෙනුවෙන් හිටියා. හැබැයි කරන තරමක් නසරාණි වැඩ කරෙත් මේ යාළුවෝ ටිකත් එක්ක තමයි.

සිබී චක්‍රවර්ති විසින් ලියා අධ්‍යක්ෂණය කරන ලද අනාගත කොලිවුඩ් වංශ කතාවේ කිරුළ හිමි කුමාරයාගේ, එනම් SK නොහොත් සිවකාර්තිකේයන්ගේ අලුත්ම චිත්‍රපටය තමයි “Don”. මෙහි නිෂ්පාදනයෙනුත් සිවකාර්තිකේයන් දායක වෙනවා. ඒ Lyca Productions අධිපති සුභාෂ්කරන් අලිරාජා සමඟ. මේ කිරුළ හිමි කුමාරයාගේ කතාවට සංගීතය සපයනේත් තවත් කිරුළ හිමි කුමාරයෙක්. ඒ තමයි ඉන්දියාවේ අනාගත සංගීත වංශ කතාවේ නව පිටුවක් තමන්ගේ නමින් ලිවීමට බලා සිටින අනිරුධ් රවිචන්ද්‍රර්.

SK ගේ රංගනයෙන් හා අනිරුධ්ගේ සංගීතයෙන් හැඩුවුණ මෙහි සම්මුතිරාකරණි, එස්.ජේ සූර්යා, ප්‍රියංකා මෝහන්, සූරී, මුනීෂ්කාන්ත, මනෝබාලා ආදී තවත් නළු නිළියක් රැසක් රංගයේ යෙදෙ⁣නවා. සම්මුතිරාකරණි කවදත් මෙන් තම රංගනයෙන් නරඹන්නාගේ හදවත තුළටම කිඳා බහින්නට කටයුතු කර ඇති අතර චිත්‍රපටයේ අවසාන භාගය වනවිට ඔහු ඔබට මුළු චිත්‍රපටයේම වඩාත්ම මතකයේ රැඳෙන චරිතය තමන්ගේ චරිතය බවට පත්කර ගනු ඇති. එස්.ජේ සූර්යයා ගැන තව මොනවාට කියනවා ද ? මොවුන් දෙදෙනා තම ප්‍රවීණත්වයේ රංගනය තුළින් විටෙක පුධාන නළුවා අභිබවා ගොස් චිත්‍රපටයේ තම ස්ථානය වෙන් කර ගත්තා දැයි සිතුනි. ප්‍රියංකා මෝහන් තුළින් ද ඔබට වෙනදා නොදුටු ඇගේ රංගනයක් මෙහි දී දැකගැනීමට ලැබේ. අනෙකුත් සෑම රංගන ශිල්පියෙක්ම, ශිල්පිනියක්ම තමන්ගේ කොටස උපරිමයෙන් සිදු ⁣කර ඇත.

දැනට 7.5/10 IMDB අගයක් ලබාගෙන ඇති “Don” නෙල්සන් දිලීප්කුමාර්ගේ ” Doctor ” චිත්‍රපටයෙන් පසුව SKගේ නොකඩවා දෙවන වරට අති සාර්ථකව තිරගත වූ දෙවන චිත්‍රපටයයි. මෙහි දී එකම චරිතයේ අවධීන් කිහිපයක් මෙම නිරූපණය වේ. එනම් ළමා කාලය, පාසල් කාලය හා නව යෞවනයෙකුගේ සිට පරිණත තරුණයෙකු බවට පත්වීම දක්වා වු කාලයයි. ළමා කාලය හැරුණු විට අනෙකුත් සෑම අවධියක්ම නිරූපණය කරන්නේ සිවකාර්තිකේයන් විසින්මනි.

මෙම චිත්‍රපටයෙහි ඇති විශේෂත්වය නම් මුළු චිත්‍රපටයම හාස්‍යයෙන් යුුතුව ගලා ගොස් එක් තැනකදී ප්‍රේක්ෂක හදවත් සංවේදී කරමින් කතාව වෙනත්ම මාවතකට යොමු කිරීමයි. එතැන් පටන් චක්‍රවර්තිට පමණක් නොව අපට ද අපේ ජීවිතය පිළිබදව පසු විපරමක් කර බැලීමට සිත්වෙයි.

අපිත් මුලින් දෙමව්පියන් සහ ගුරුවරුන් වැරැදි යැයි කියමින් චක්‍රවර්තිත් සමඟ සිට ගනිවී. එහෙතේ එක තැනකදී චක්‍රවර්තිට මෙන්ම අපටත් වැටහේවී අපි මොනතරම් නම් වැරදි ද ගුරුවරු ඊටත් වඩා කොපමණ නිවැරදි ද කියලා.

අවසාන වශයෙන් පවසන්නේ මේක නිකන්ම නිකන් මසාලා ෆිල්ම් එකක් නෙවෙයි. අපි හැමෝටම මඟහැරී ඇති, තවමත් මඟහැරෙමින් පවතින කතාවයි මේ…..

Release date: May 13, 2022 (India)
Distributed by: Red Giant MoviesPVR Pictures

හිමාෂි ඉන්ද්‍රචාපා

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *