Dhanush Indian Actor | Sinhala Article

Dhanush Indian Actor

මන්දිරයෙන් මහපොළොවට, ධනුශ් !

❤️

දමිළ සිනමාව ගැන ගොඩක් අය දැනගෙන හිටියේ මසාලා පැකේජ් එකක් විදිහට. බොලිවුඩය එක පැත්තකින් වෙනස් වෙනස් ගණයේ කතා මවමින් ජාත්‍යන්තරය ජය ගනිද්දී, කොලිවුඩ් කියන්නේ එකම දේවල් තියෙන මසාලා පැකේජ් එකක් බවට පත් වුණා. ඒ පාරෙන් කොලිවුඩය ගොඩ ගන්න ඉඳහිට හරි සමත් වුනේ මනිරත්නම් වගේ උදවිය. ඒත් මනිරත්නම්ලට පවා පසුකාලීනව මසාලා පැකේජ් වල කෑලි බෑලි තමන්ගේ චිත්‍රපට වලට රිංගවන්න සිද්ධ වුනා. දක්ශ නලු නිළියෝ හිටියත් වෙනස් වෙන්න කැමති අධ්‍යක්ශකවරු නැති එක දමිළ සිනමාවට මාර ප්‍රශ්නයක් වුණා.

වෙන්කටේශ් ප්‍රභූ කස්තුරි රාජා සිනමාවට පිවිසෙන්නේ ඔන්න ඔය වගේ කාලයක. 2002 අවුරුද්දෙදී Thulluvadho Ilamai කියන දමිළ සිනමාපටය ඔහුගේ පළමු චිත්‍රපටය බවට පත් වෙනවා. දමිළ සිනමාවේ බොහෝ නලුවන් අනුව යමින් තමන්ගේ දිග නම වෙනුවට “ධනුශ්” කියන නම සිනමාව සඳහා යොදාගන්න ඔහු තීරණය කරනවා. එතකොට ඔහුගේ වයස අවුරුදු 16 යි.

Thulluvadho Ilamai අධ්‍යක්ශණය කරන්නේ ධනුශ්ගේ පියා වුණ, කස්තුරි රාජා විසින්. ධනුශ්ගේ පවුල දකුණු ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ප්‍රභූ පවුලක්. ධනුශ්ගේ පියා ජ්‍යෙශ්ඨ සිනමා අධ්‍යක්ශක කස්තුරි රාජා.

ධනුශ් ඊලඟට රඟපාන්නේ Kaadhal Kondein චිත්‍රපටයේ. විනෝද් කියන මේ චරිතයට ධනුශ් හොඳම නලුවාට හිමි Filmfare සම්මානය සඳහා Nominate වෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ශකවරයා සෙල්වරාඝවන්.

ධනුශ්ගේ සහෝදරයා තමයි මේ අධ්‍යශක සෙල්වරාඝවන් කියලා හැඳින්වුවේ. සෙල්වරඝාවන් කලින් විවාහ වෙලා හිටියේ දමිළ සිනමාවේ සුපිරි නිළියක් වන සෝනියා අගර්වාල් සමග. සෙල්වරාඝවන් ඉන් පස්සේ විවාහ වුණ ගීතාන්ජලීත් අධ්‍යක්ශිකාවක් කියලා සමහර තැන් වල හඳුන්වලා තියෙනවා. ගීතාන්ජලීගේ මාමා තමයි මොහාන් රාමන් කියන ප්‍රකට දමිළ නලුවා.

ධනුශ්ගේ සහෝදරිය විමලගීතා. ඇය නිශ්පාදිකාවක් ලෙස සිනමාවට සම්බන්ධ වෙනවා.

Marine Engineer කෙනෙක් වෙන්න, එහෙම නැත්නම් කෝකියෙක් වෙන්න සිහින මවමින් හිටපු ධනුශ්ව සිනමාවට තල්ලු කරන්නේ ඔහුගේ සහෝදරයා සහ පියා බව සඳහන්. ධනුශ් මුලින්ම රඟපෑවේ අකමැත්තෙන් නමුත් දැන් නම් ඔහු තරම් ඔහුගේ වෘත්තියෙන් විනෝද වෙන කෙනෙක් නැති බව ධනුශ් හිතනවා.

“ඔයා අරගල කලාලු නේද පවුලෙන් රඟපාන්න කියලා ඔබව තල්ලු කරද්දී..?”

ධනුශ්ගෙන් එක දවසක් මාධ්‍ය වේදියෙක් අහනවා. ධනුශ් මෙහෙමයි ඒකට උත්තර දුන්නේ.

“දෙයියනේ ඔව්. මට අවුරුදු 16 යි එතකොට. මම ඇඬුවා. බඩු පොලොවේ ගැහුවා. නොකා නොබී හිටියා. එකක්වත් වැඩ කලේ නෑ.

හැබැයි එක අතකට ඒක හොඳයි. ඉස්සර මම ස්ටේජ් එකක් උඩට ගියාම වෙවුලනවා. තොල් ගැහෙන්න ගන්නවා. හැමදාම Performance එක මැදින් නවත්තනවා.

වටේට මිනිස්සු ඉන්නවා කියන එක මට හරිම අමුතු දෙයක් වුණා. කොටින්ම කියනවනම් ඉස්සර මම වටේට සෙනග ඉද්දී මට චෙක් එකක්වත් අත්සන් කරන්න අමාරුයි.

දැන් ඒව මොකුත් නෑ. මම කැමරාව ඉස්සරහ බය නැතුව අද ඉන්නවා. මට සතුටුයි ඒක ගැන.”

එහෙම සිනමාවට ආපු ධනුශ් සිනමා පට කීපයකින් අනතුරුව 2007 අවුරුද්දෙදී Vetrimaaran කියන නවක අධ්‍යක්ශකවරයා සමගින් Polladhavan චිත්‍රපටය වෙනුවෙන් එකතු වෙනවා. දමිළ සිනමාව යුග යුග බැබලෙන්නට තරම් වර්ණවත් කල එකතුවක ආරම්භය සටහන් වෙන්නේ ඒ විදිහට.

ධනුශ් සහ වෙට්‍රිමාරන් සිනමාව මහ පොළොවට ගේනවා. සුපිරි බලයක් සහිත සිනමා වීරයන් වෙනුවට, මධ්‍යම පන්තියේ කොල්ලෙකුගේ අහිමිවීමේ වියරුව ප්‍රධාන කතා තේමාව කරගන්නවා. Polladhavan Hit එකක් වෙනවා. තමන් වගේ සෙරෙප්පු දෙක දාගෙන එහේ මෙහේ රස්තියාදු ගහණ කොල්ලෙක් කලු තඩි මැරයන්ට තලනවා දකින තරුණ පරම්පරාව චිත්‍රපටය වෙත ඇදෙනවා. ධනුශ් දමිළ සිනමාවේ වීරයෙක් බවට පත් වෙන පාර හැදෙනවා.

Polladhavan චිත්‍රපටයෙන් පස්සේ Aadukulam, Vada Chennai, Asuran කියන චිත්‍රපට තුනම මේ දෙන්නගේ Combination එකේ අගනා ප්‍රතිඵල බවට පත් වෙනවා. මේ හැම එකක්ම හරිම ප්‍රචණ්ඩකාරී, අධි තාත්වික චිත්‍රපට විදිහට මම හඳුන්වලා දෙන්න කැමතියි. තමිල්නාඩු ප්‍රාන්තේ හද්දා පිටිසර කොන් වල ඉන්න චරිත වලට සිනමාත්මක වටිනාකමක් ධනුශ් සහ වෙට්‍රිමාරන් සුසංයෝගයෙන් නිර්මාණය වෙනවා.

ඒ චිත්‍රපට අතරට එන Maari කියන Masala Package එක වෙනම Crowd එකක් අල්ලගන්න සමත් වෙනවා. ඒ අතරට එන VIP කියන Reality Masala මිශ්‍රණය තව තවත් දමිළ සිනමාව ලෝකයට සමීප කරනවා.

Maryaan, Ranjhanaa, Three සහ Pudhupettai කියන්නේ පෞද්ගලිකව මම කැමති ධනුශ්ගේ චිත්‍රපට හතරක්.

2011 දී Aadukulam වෙනුවෙන් ඉන්දීය ජාතික සම්මානය ලබා ගන්නා ඔහු, තවත් Filmfare සම්මාන කීපයකට උරුමකම් කියනවා.

‘අවාසනාවන්තයෙක් විදිහට දෙවියො මට දීල තියෙන්නෙ රඟපාන හැකියාව විතරද කොහෙද..? බලන්නකෝ ලස්සන පෙනුමක්වත් තියෙද මට..? නෑ. හැබැයි කමක් නෑ. මට ලැබිල තියෙන දේවල් ගැන මම සතුටුයි’

ධනුශ් එක මොහොතකදී මාධ්‍ය වේදියෝ ඉදිරියේ එහෙම කියනවා. හැබැයි ඔහු ඒ විදිහට ලද දෙයින් සතුටු වෙන කෙනෙක් නොවන නිසාද කොහේදෝ 2012 අවුරුද්දේ තිරගත වුණ Three කියන චිත්‍රපටය වෙනුවෙන් Anirudh එක්ක එකතු වෙලා ඔහු ගීතයක් ගායනා කරනවා.

අන්තර්ජාලය මොහොතකට හෙලවෙනවා. ගීතය Viral යන්න ගන්නවා. Covers හැදෙන්න ගන්නවා. අවසානයේ පිස්සුවක් බවට පත් වෙනවා.

“Why This Kolavari Di” නමින් අදටත් අපි ඒ ගීතය මුමුණනවා.

එතනින් නොනවතින ධනුශ් තමගේ පළමු අධ්‍යක්ශණය Power Pandi නමින් 2017 දී එලිදක්වනවා.

“මම ඇදහිලි ගැන එච්චර විශ්වාස කරන මනුස්සයෙක් නෙමෙයි. මම විශ්වාස කරන එකම දේ ශක්තිය.”

ධනුශ් තමන් ගැන එහෙම කියනවා.

VIP චිත්‍රපටයේ අර කකුල් දෙකම අහසේ තියෙද්දි ගහන Kick Punch එක වෙනුවෙන් ධනුශ් මාසයක් විතර පුරුදු වුණා කියලා කියනවා. තමන්ට නටන්න බැහැයි කියලා තමන්ටම හිතුණ වෙලාවක ධනුශ් මාස ගාණක දිග නර්තන පුහුණුවීමක් ඇරඹුවලු. ඒවයේ ප්‍රතිඵල ධනුශ් අද භුක්ති විඳිනවා.

අද දමිළ සිනමාව Content අතින් හින්දි සිනමාව අභිබවා යමින් තියෙනවා. දමිළ නලු නිළියෝ හින්දි සිනමාවට පිවිසෙන යුගය වෙනුවට, හින්දි සිනමාවේ සුපිරි තරු පවා දමිළ චිත්‍රපට වල රඟපාන යුගයක් අද ආරම්භ වෙලා. ඉතින් මේ ඒ වෙනස. මගේ අදහසට අනුව ධනුශ් කියන්නෙත් මේ වෙනසේ පුරෝගාමී විප්ලවකාරයෙක්.

අදට ධනුශ්ගේ සිනමා ජීවිතයට අවුරුදු 18 ක් වෙනවා.

සෙරෙප්පු එකක් දාගෙන, One Side බෑග් එකක් එල්ලගෙන දුවගෙන එන, අපි වගේම නෝන්ජල් කොල්ලෙක්, තඩි කලු කඩුවක් අතින් ගත්තු මැරයෙක්ට ගහන චිත්‍රපටයක් බලන්න අපි ආසාවෙන් අදටත් දින ගණිනවා.

මහේල හෙට්ටිආරච්චි

Writer

Leave a Reply

Your email address will not be published. Required fields are marked *