Dhamaka (2021) Hindi by Ramitha Vimukthi
ජඩ මාධ්‍යයේ නිරුවත!
Dhamaka යනු 2013 දී තිරගත වූ The Terror Live නම් දකුණු කොරියානු චිත්‍රපටයේ ප්‍රති නිර්මාණයක්. එම කොරියානු චිත්‍රපටය මා නරඹා නැති නිසා, රාම් මාධ්වානි මෙම චිත්‍රපටය තුල එය කෙතරම් දුරට අනුගත කර තිබෙනවාද යන කාරණය පිලිබඳ නිසි විග්‍රහයක් ලබා දීමට අපහසුය. රාම් මාධ්වානි යනු Lets Talk, Neerja යන චිත්‍රපට සහ Aarya වෙබ් සීරිස් මාලාව හරහා ප්‍රේක්ෂක විචාරක ඇගයීමට පාත්‍ර වූ දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්. විශේෂයෙන්ම Aarya වෙබ් සීරිස් මාලාව, Penoza නම් ලන්දේසි කතා මාලාවක ප්‍රති නිර්මාණයක්. එය ප්‍රති නිර්මාණයක් වූවත් ඉතා සාර්ථක ලෙස ඉන්දියානු සමාජ වටපිටාවට ගැළපෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා. ඒ සමගම ඔහුගේ නිර්මාණ තුල බොලිවුඩයේ වඩාත් දක්ෂ නළු නිළියන් ලෙස හඳුනා නොගත් පිරිස් සම්බන්ද වීමත් සුවිශේෂීයි. නමුත් එම නළු නිළියන් මාධ්වානිගේ සාර්ථක මෙහෙයවීම යටතේ ඔවුන්ගේ සිනමා දිවිය තුල ඉදිරිපත් කළ දක්ෂතම රංගනයන් ඉදිරිපත් කිරීමට සමත් වුනා. සෝනම් කපූර් Neerja චිත්‍රපටය හරහා සහ සුශ්මිතා සෙන් Aarya හරහා ඔවුන්ගේ සිනමා දිවියේ විශිෂ්ටතම රංගනයන් ඉදිරිපත් කළා. මාධ්වානි මෙම චිත්‍රපටයටද සම්බන්ද කර ගන්නේ පෙර සේම රංගනයට විශාල ඇගයීමක් නොලබපු නළුවෙක්. ඔහු වර්තමානයේ බොලිවුඩයේ නිර්මාණය වූ comedy චිත්‍රපට හරහා ජනප්‍රිය වුනු කාර්තික් ආර්යන්. කාර්තික් මෙම අභියෝගාත්මක රංගනය ජය ගත්තාද?
අර්ජුන් පාතක් යනු ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී මාධ්‍ය ආයතනයක සම්මානනීය ප්‍රවෘති නිවේදකයෙක්. එක් සිදුවීමක් හමුවේ ඔහුට එම තනතුර අහිමිවී තිබෙනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් අර්ජුන්ව එම අයෙතනයේම ගුවන් විදුලි වැඩසටහනක නිවේදකයෙකු වශයෙන් ස්ථාන මාරුවක් කර තිබෙනවා. අර්ජුන්ගේ වත්මන් ජීවිතය තිබෙන්නේ දැඩි අර්බුදකාරී තත්වයක. අර්ජුන්ගේ රැකියාවේ ඇති ගැටළු සමගම ඔහුගේ පෞද්ගලික ජීවිතයද අවුල් ජාලයක්. අර්ජුන් සහ ඔහුගේ බිරිඳ වන සෞම්‍යා දික්කසාද වීමට තීරණය කර තිබෙනවා. එක් දිනක අර්ජුන් මෙහෙයවන මෙම වැඩසටහනට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබෙනවා. මෙම අමතන්නාගේ තර්ජනයට අනුව අර්ජුන්ගේ ගොඩනැගිල්ල ඉදිරියේ තිබෙන මුහුදු සම්බැඳි පාලමක් පුපුරවා හරින බවට දෝෂාරෝපණය කරනවා. අර්ජුන් ආරම්භයේදී මෙය විහිළුවක් ලෙස සලකනවා. නමුත් මෙය විහිළුවක් නොවන වග අර්ජුන් වටහා ගන්නේ, එම අමතන්නා (ත්‍රස්තවාදියා) පැවසූ පරිදි සැබවින්ම එම පාලම තුල බෝම්බයක් පුපුරවා හැරීමෙන්. සිදුවූ දෙය හමුවේ කම්පණයෙන් පෙලෙන අර්ජුන්, ඔහුගේ වෘතියේ ඇති පසුබෑමෙන් ගොඩ ඒමට මෙය කදිම අවස්ථාවක් ලෙස විශ්වාස කරනවා. ඒ අනුව ඔහු හිතාමතාම මෙම සිදුවීම සම්බන්දව පොලීසිය දැණුවත් කරන්නේ නැත. එය පසෙක තබා එම ආයතනයේ ඔහු සමග විරසකව සිටින වැඩසටහන් නිෂ්පාදකවරිය වන අන්කිතා සමග මෙම ත්‍රස්තවාදියා සම්බන්දව ඇති සංවාදය සමග යම් එකඟතාවයකට පැමිණෙනවා. එක් පැතිකඩකින් ත්‍රස්තවාදියා සමග ඇති භයානක ගනුදෙනුව සහ තවත් පසකින් ලාභ සහ ඉහල ශ්‍රේණිගත කිරීම් වලට කෑදර වන අන්කිතාගේ නියෝග සමග ලෙහෙසියෙන් ලෙහාගත නොහැකි නූල් බෝලයක අර්ජුන් පැටලෙනවා. මින් ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.
Dhamaka තුල මෙම ත්‍රස්තවාදියා සම්බන්දව ඇති වන සිදුවීම මනංකල්පිත වූවත්, මෙය අප ජීවත් වන වත්මන් සමාජය තුල අපගේ ඇස් මනාපිටම සිදුවන සමාජ යථාර්තයක්. එම සමාජ යථාර්තය වන්නේ ජඩ මාධ්‍යයි. ජඩ මාධ්‍ය ඕනෑම රටක අඩු වැඩි වශයෙන් තිබෙන්නට පුළුවන් සාධකයක්. නමුත් විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල් තුල ජඩ මාධ්‍ය එක්තරා ආකාරයක දරුණු අන්තයන් තුලට ගමන් කරන්න හැකිය. විශේෂයෙන්ම ත්‍රස්ත ප්‍රහාරයන්, ජාතිවාදී ගැටුම් සහ විවිද දේශපාලනික සිදුවීම් එම මාධ්‍ය ආයතනයේ ජනප්‍රියත්වය වර්ධනය කිරීමේ විවිදාකාර විකෘති කිරීම් ඔස්සේ ජනතාවට බෙදා හරින ආකාරය අප දැක තිබේ. මෙහි ප්‍රධාන අරමුණ ජනතාවට සත්‍ය ප්‍රකාශ කරනවාට වඩා ආයතනික අරමුණු ඔස්සේ ඕනෑම අන්තයකට ගමන් කිරීමයි. Dhamaka චිත්‍රපටයේ සිටින අර්ජුන් පාතක් ඇතුළු බහුතරයක් චරිත තුලින් පෙන්නුම් කරන්නේ මෙම ජඩ මාධ්‍ය කලාවේ ඇති ගඳ ගහන යථාර්තයයි. මෙහි භයානකම පැතිකඩ වන්නේ ප්‍රවෘති ශ්‍රේණිගත කිරීම් ඉහල නැම්වීමට එම මාධ්‍යවේදීන් මෙන්ම පුවත් නරඹන්නන්ද සිල්ලර කාසි ලෙස භාවිතා කිරීමයි. මෙය සිදු වන්නේ අනිකුත් මාධ්‍ය ආයතන සමග තරඟකාරීත්වයෙන් සටන් වැදීමේ මුවාවෙන්. ඒ අනුව මෙය තවත් පැතිකඩකින් භයානක සෙල්ලමක්. මිනිස් ජීවිතද බිල්ලට දිය භයානක සහ විටෙක අමානුෂික සෙල්ලමක්. ඔබත් මමත් අඩු වැඩි වශයෙන් මෙම සෙල්ලමේ කොටස්කරුවන් වන්නට ඇත. ඊට හේතුව එම කොටස්කරුවන් නොමැතිව එයට පැවැත්මක් නොමැති නිසා.
Dhamaka විශිෂ්ට නිර්මාණයක් නොවුනත්, ජඩ මාධ්‍යයේ මෙම අඳුරු පැතිකඩ පෙන්නුම් කිරීමට යොදාගත් සාර්ථක වෑයමක් සහ එය පසුපස ඇති සමාජ දේශපාලනික පැතිකඩද මෙහි කතාව හමුවේ අධ්‍යනය වනවා. මෙහි මා දුටු තවත් වැදගත් අංගයක් වූයේ අනවශ්‍ය අතුරු කතා ඇතුලත් නොකිරීමයි. චිත්‍රපටයේ මුල් විනාඩි කිහිපය තුලම අපට මෙහි ප්‍රධාන සිදුවීම වෙත රැගෙන යනවා. ඒ සමගම කිසිදු අවස්ථාවකවත් මෙය අනවශ්‍ය ලෙස සංකීර්ණ කිරීමට නිර්මාණකරුවන් උත්සාහ කර නැත. මෙම චිත්‍රපටයේ තවත් ප්‍රධාන මාතෘකාවක් වන්නේ අර්ජුන් පාතක්ගේ චරිතය ඉදිරිපත් කරන කාර්තික් ආර්යන්. මෙතුවක් කල් හාස්‍යට බර චරිතයන් හමුවේ ප්‍රේක්ෂකයාව පිනවපු ඔහු සංකීර්ණ චරිතයකට අවතීර්ණ වන්නේ මෙම චිත්‍රපටය හරහා. කාර්තික් ආර්යන්ගේ රංගනය හමුවේ මා මවිතයට පත් නොවුනත්, ඔහු එම චරිතයට සාදාරණයක් ඉෂ්ට කර තිබුනා. විශේෂයෙන්ම ඔහුට සුපුරුදු හාස්‍ය රංගන රාමුවෙන් ඔබ්බට යා හැකි බව මෙම රංගනය හරහා පෙන්නුම් කළා. ඒ සමගම අන්කිතාගේ චරිතය රඟ දැක්වූ අම්රුතා සුභාෂ්ද එම දරදඬු වැඩසටහන් නිෂ්පාදකවරියගේ චරිතයට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා.
