Devi (The Goddess) (1960 ) Hindi
Spoiler Alert!
අන්ධ දේව භක්තියේ සැබෑ නිරුවත පෙන්නුම් කළ රායි.
අන්ධ දේව භක්තිය සහ අසාමාන්‍ය ලෙස මිත්‍යාව විශ්වාස කිරීම, ඉන්දියාව ඇතුළු බහුතරයක් ආසියාතික රටවල් තුල දැකිය හැකි සුලබ දෙයක්. මාගේ මතය අනුව ආගම යනු මිනිසාට යහපත්ව ජීවත් වීමට කියාදෙන ඉගැන්වීමක්. ඒ හැරුණු විට පොල් ගෙඩි ගසලා, පළතුරු වට්ටි පූජා කරලා සහ යාච්ඤාවන් ඔස්සේ ලෙඩ සුව කරනවා යන මුවාවෙන් සිදු කරන බොහෝ දේවල් තුල තිබෙන්නේ අන්ධ භක්තිය සහ බොරුවයි. අන්ධ භාක්තියටත් එහාට ගොසින් මිනිසුන්ව නොමග යවන පැතිකඩකටද මෙය ගමන් කරනවා. ඉන්දියාව යනු බොහෝ සෙයින් දේව භක්තිකයින් ජීවත් වන රටක්. එහි බොහෝ බැතිමතුන් රැසක් අදහන දේව චරිතයක් කාලී මෑණියන් (මා යන නාමයෙන් බොහෝ දෙනෙකු ආමන්ත්‍රණය කරයි). එය කෙතරම් සුවිශේෂීද කිවහොත් බෙන්ගාල් ප්‍රාන්තයන් තුල සෑම වසරක් පාසා කාලී මෑණියන් වෙනුවෙන් විශාල උත්සව සැමරීමක් පවත්වයි. කෙතරම් භක්තියෙන් මෙය පැවැත් වූවත්, මෙහි සැබෑ යථාර්තය හාත්පසින්ම වෙනස්. විනාඩි 93 ක් පුරා දිවෙන Devi චිත්‍රපටය හරහා රායි පෙන්නුම් කරන්නේ, මෙම අන්ධ භක්තිය නිසා සිදුවන ඛේදවාචකයක් පිලිබඳවයි.
දොයාමොයී සහ උමාප්‍රසාද් යනු බෙන්ගාල් ප්‍රාන්තයේ ජීවත් වන තරුණ විවාහක යුවලක්. උමාප්‍රසාද්ගේ පියා වන චෞද්රි, දැඩි ලෙස කාලී මෑණියන් අදහන පුද්ගලයෙක්. එම එකම නිවසේ උමාප්‍රසාද්ගේ වැඩිමහල් සහෝදරයා වන ටාරාප්‍රසාද්ගේ පවුලද (බිරිඳ සහ පුතා) ඔවුන් සමග ජීවත් වනවා. උමාප්‍රසාද් තම වෘතිමය සහ අධ්‍යාපනික කටයුත්තක් නිසා කොල්කටාවට යන්නට සිදුවනවා. නමුත් ඔහුගේ බිරිඳ වන දොයාමොයීව ඔහු සමග රැගෙන යන්නේ නැත. ඒ අනුව තම මාමණ්ඩියව බලා ගැනීමට සහ නිවසේ අනිකුත් වැඩ කටයුතු සිදු කරමින් තම සැමියාගේ මහගෙදර තුල ඇය රැඳී සිටිනවා. දිනක් චෞද්රි අමුතු හීනයක් දකිනවා. ඔහු දකින හීනය තුල කාලී මෑණියන්ගේ රූපයට බද්ද වූ දොයාමොයීව පෙන්නුම් කරනවා. මෙම හීනය හමුවේ දොයාමොයී කාලී මෑණියන්ගේ අවේශයක් බව ඔහු විශ්වාස කරනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් දොයාමොයීගේ දෙපා වඳිමින් ඇයව දැඩි ලෙස වන්දනාමාන කිරීමට ඔහු පෙළඹෙනවා. චෞද්රිගේ වැඩිමල් පුතුණුවන්ද මෙය විශ්වාස කරන තැනට පත්වනවා. නමුත් ටාරාප්‍රසාද්ගේ බිරිඳ මෙය ඉතා විහිළුසහගත දෙයක් ලෙස සලකනවා. චෞද්රි දොයාමොයීගේ ජීවිතය සම්පුර්ණයෙන්ම උඩුයටිකුරු කරනවා. දොයාමොයී තුල දේව බලයක් ඇති බව යන රාවය එම ප්‍රදේශය පුරාම ඉතා කෙටි කලකින් ව්‍යාප්ත වනවා. දිනක් යම් අසනීප තත්වයෙන් පෙලෙන කුඩා දරුවෙකු, දොයාමොයීගේ දේව බලයන් (යැයි සිතා) දෙන ශුද්ධ පැන් පානය කිරීමෙන් නොසිතූ ලෙස සුව අතට හැරෙනවා. දොයාමොයීගේ දේව බලය සම්බන්දව ඇති ජනප්‍රියත්වය තවත් වර්ධනය වනවා. ටාරාප්‍රසාද්ගේ බිරිඳ උමාප්‍රසාද්ව මෙය සම්බන්දව දැණුවත් කරනවා. උමාප්‍රසාද් යලි නිවසට පැමිණියත් මෙය ලෙහෙසියෙන් ලෙහා ගත නොහැකි නූල් බෝලයක් බව ඔහුට වැටහෙනවා. මෙහි තිබෙන අනිකුත් බරපතලම කරණය දොයාමොයී මෙම සිදුවන දෑ සම්බන්දව ව්‍යාකූල හැඟීමකින් සිටීම සහ ඇය තවම අවුරුදු 17 ක ගැහැණු ළමයෙකු වීමයි. කොටින්ම ඇය ජීවත් වන පරිසරය තුල ස්වාධීන තීරණ ගැනීමට අවස්ථාවක් නැත. මෙහි ඉදිරිය දැන ගැනීමට නම් ඔබ චිත්‍රපටය නැරඹිය යුතුයි.
සත්‍යජිත් රායි මීට වසර 61 කට පෙර පෙන්නුම් කළ අන්ධ දේව භක්තිය, අදටත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් තුල අසාමාන්‍ය ලෙස සිදුවන දෙයක්. කොටින්ම වර්තමානයේ මෙය බොරු මිත්‍යාවන් වපුරමින් සිදු කරන ව්‍යාපාරයක් ලෙසද ගොඩ නැගී තිබෙනවා. රේ මේ පිලිබඳ මීට වසර ගණනාවකට උඩදී ජනයාව දැනුවත් කරත්, එහි ප්‍රධාන වෙනස් වීමක් සිදු වූයේ නැත. බොහෝ ආගමික මිත්‍යාවන් ගොඩ නැගෙන්නේ ගැහැණියව එහි සංස්කෘතිය රකින බිල්ලක් ලෙස කොටු කරමින්. මෙය මූලික වශයෙන් සිදු වන්නේ ගැහැණියව දේවත්වයෙන් වන්දනාමාන කිරීමෙන්. Devi චිත්‍රපටය තුල දොයාමොයීටද ආරම්භයේ සිදු වන්නේ මෙයයි. ඇගේ මාමණ්ඩිගේ පටන් බහුතරයක් ඇයව වන්දනාමාන කරනවා. මෙය බැලූ බැල්මට ගැහැණියට ගරුත්වය දක්වන ක්‍රියාවක් ලෙස පෙනී ගියත්, එහි අභ්‍යන්තර තුල තිබෙන්නේ දැඩි පුරුෂ මූලික මතවාදයක්. මෙම දේවත්යෙන් එම සංස්කෘතිය රකින ගැහැණිය යොදාගන්නේ එම පුරුෂ මූලික මතවාදයන්ට වාසිදායක වන තෙක් පමණයි. යම්කිසි අතපසු වීමක් සිදු වුවහොත් කෙලින්ම වරද පටවන්නේ මෙම වන්දනාමානයට පාත්‍ර වන ගැහැණිය වෙතටයි. චිත්‍රපටය තුල අපට මුණගැසෙන දොයාමොයී වෙත ප්‍රධාන වශයෙන් මෙය අත්විඳීමට සිදු වනවා. සත්‍යජිත් රේ මීට වසර 61 කට පෙර පෙන්නුම් කළ මෙය වර්තමානය තුලත් අපගේ ඇස් මනාපිටම සිදු වනවා.
සත්‍යජිත් රායි තම සිනමා දිවිය තුල සිව් වතාවක් Cannes චිත්‍රපට උළෙලේ Palm d’Or සම්මානයට නිර්දේශ වනවා. එම ලබා ගත් නිර්දේශ අතරින් තුන්වෙනි වතාවට නිර්දේශ වන්නේ Devi චිත්‍රපටය වෙනුවෙන්. මෙහි ප්‍රධාන චරිතයන්ට රංගනයෙන් දායක වූ Sharmila Tagore සහ Soumitra Chatterjee ඔවුන්ගේ චරිතයන්ට උපරිම සාදාරණයක් ඉෂ්ට කළා. ඒ සමගම Subrata Mitra ගේ විශිෂ්ට කැමරාකරණය සේම Ustad Ali Akbar Khan ගේ සංගීත අධ්‍යක්ෂණයද චිත්‍රපටය තුල කැපී පෙනුණ අංගයන්.
Devi හරහා සත්‍යජිත් රායි වසර 61 කට ඉහතදී ඉදිරිපත් කළ මෙම කථිකාව අදටත් වලංගුය.
